පිරිසුදු හිතක් තියෙන නිසා තමයි රසිකයන්ගෙ ආදරේ මේ තරම් ලැබෙන්නෙ -සමිතා මුදුන්කොටුව




ඇය මැජික්කාරියකි. තම හඩින් සුවහසක් වූ රසිකයන් මෝහනය කරගන්නා වූ මැජික්කාරියකි. හඬටම සරිලන සුන්දර සිනහවකින් මුව සරසාගෙන දශක කිහිපයක් පුරාවටම එක ලෙස ශ්‍රී ලාංකික රසික  හදවතේ ආදරය දිනා ගන්නට සමත් වූ ඇගේ මධුර හඬට සමවන්නට තවත් අයෙක් බිහිවී නොමැති තරම්ය. ඇය ඔබ අප කවුරුත් ආදරය කරන  විශාරද  සමිතා මුදුන්කොටුවයි. 


මේ දවස්වල තොරතුරු ටිකක් කියලම පටන් ගමු?


මේ දවස්වල මම සම්බන්ධවෙලා ඉන්න රියැලිටි තරගාවලියේ විනිශ්චය කටයුතු සිදුකරනවා. ඒ වගේම ඊයේ පෙරේදා දිනේශ් ගමගේ සමඟ කරපු හිරිවැටෙනා ගීතයේ කටයුතු එක්ක කාර්යබහුල වෙලා හිටියා. තව අලුත් නිර්මාණකරුවෝ කිහිප දෙනෙක් සමඟම නිර්මාණ කටයුතු කිහිපයක් කරනවා. ඊට අමතරව ගෘහස්ථ ප්‍රසංග විශාල ප්‍රමාණයක් තිබෙනවා සහභාගි වෙන්න. ඔය වැඩ කටයුතු තමයි මේ දිනවල සිද්ධ වෙන්නේ.


ඔබේ අලුත්ම ගීතය හිරිවැටෙනා ගැනත් කතා කරමු?


ඇත්තටම ඒ ගීතයට මට ආරාධනා කරන්නේ දිනේශ් සහ මනුරංග. ගීතය ලියන්නේ මනුරංග විජේසේකර. තනු නිර්මාණය දිනේශ් ගමගේ. ගායනයෙන් දිනේශ් සහ මම සහභාගි වෙනවා. ගීතයට සංගීතය සපයන්නේ අමිත් ගුරු. ඒ වගේම මේ ගීතයේ රූප රචනා අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වෙන්නේ තිසර ඉඹුලාන. මේ ගීතයට දායක වුණු හැමෝගෙම උදවුවෙන් තමයි ඒ නිර්මාණය බිහිවෙන්නේ. මේ වෙද්දි ගීතයට ඉතාමත් හොඳ ප්‍රතිචාර හිමි වෙනවා.


කලාකරුවන් බහුතරක් ඔබේ නිහතමානිකම අගයනවා ඒකට විශේෂ හේතුවක් තිබෙනවද?


අපිට කාව හරි සතුටු කරන්න පුළුවන් නම් කාගේ හරි හිතක් සනසන්න පුළුවන් නම් ඒක තමයි අපි කරන ලොකුම පින. කෙනෙක්ට දෙන්න තිබෙන හොඳම දේ තමයි ඔවුන්ගේ දේවල් අගය කරන එක. ඒ දේ මම අපේ කලාකරුවන් වෙනුවෙන් හැමදාම කරනවා. ලස්සන නිර්මාණ ආවම, අලුත් හොඳ නිර්මාණ දැක්කම මම මගේ දුව හරහා හෝ ඔවුන්ගේ දුරකථන අංක හොයාගෙන ඔවුන්ට කතා කරලා සුබ පතනවා. මොකද හොඳ නිර්මාණයක් දැක්කම අගය නොකර ඉන්න මට බැහැ. මම හිතන්නේ ඒක තමයි හේතුව.


දශක ගණනක් පුරාවට ජනප්‍රියත්වය එකම විධියට පවත්වාගෙන යන්නේ කොහොමද?


මම හිතන්නේ ඒකට බලපාන්නේ අපේ හිත පිරිසුදුව තියාගන්න එක. අපේ හිත පිරිසුදු නම් අපිට හැම කෙනාවම අගය කරන්න පුළුවන් වෙනවා. හැම කෙනාත් එක්කම සුහදව ඉන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා මගේ හිත පිරිසුදු නිසාම තමයි මට මේ තරම් කාලයක් හැම කෙනාත් එක්කම හොඳින් ඉන්න පුළුවන් වුණේ කියලා. ඒ වගේම රසිකයන්ගේ ආදරය මේ විධියට ලැබෙන්නෙත් ඒ නිසා කියලා තමයි මම හිතන්නේ.


ඒකපුද්ගල ගීත  ප්‍රසංගයක් කරන්න අදහසක් නැත්ද?


අදහසක් නම් තිබෙනවා. නමුත් ඒක කරන්න නොහිතෙන එක තමයි ගැටලුව. ඒකපුද්ගල ගී ප්‍රසංගයක් කරන්න අවශ්‍යයි කියන අදහස අවුරුදු ගාණක ඉඳන් තිබෙනවා. නමුත් ඒක කරන්න තාම හිතුණේ නැහැ. හිත හරි පුදුම දෙයක්. මොන දෙයක් කරන්න අවශ්‍ය වුණත් හිතට ඒක හිතෙන්නම අවශ්‍යයි.


රියැලිටි තරග විනිසුරුවරියක් විධියට අපේ අලුත් පරම්පරාව ගැන ඔබේ අදහස?


අලුත් පරම්පරාව සම්බන්ධයෙන් පුදුම විධියට සතුටු වෙන්න පුළුවන් මට. ඇත්තටම කියනවා නම් මම දැනට  සම්බන්ධවෙලා ඉන්න රියැලිටි තරගාවලියේ ඉන්න තරගකරුවන් තරගකාරිනියන් දිහා බැලුවම මට පුදුමත් හිතෙනවා මේ තරගාවලිවලට ඇවිල්ලා නවකයන් මේ තරම් හොඳට සජීවීව ගායනා කරන්නේ කියන එක ගැන. ඔවුන් දිහා බැලුවම මට සතුට සහ පුදුමය දෙකම ඇති වෙනවා. මොකද ඔවුන් දිහා බලද්දි මට අපේ ක්ෂේත්‍රයට අවශ්‍ය දක්ෂයන් පෙනෙනවා. ඒ වගේම මම සම්බන්ධ වෙලා ඉන්න තරගාවලිය විතරක් නෙවෙයි වෙනත් රියැලිටි තරග දිහා බලද්දි පවා මට එහෙම සතුටු වෙන්න පුළුවන් අවස්ථා ඕනෑ තරම් ලැබිලා තිබෙනවා.


ඇතැම් පුද්ගලයන් ජනප්‍රියත්වය පමණක් අරමුණු කරගෙන නිර්මාණයන් කරනවා ඒ ගැන ඔබේ අදහස?


ඒක ඔවුන්ගේ පෞද්ගලික කැමැත්ත. ඔවුන්ට සල්ලි තිබෙනවා නම් ඒවා වියදම් කරලා ඔවුන්ට නිර්මාණ කරන්න හැකියාව තිබෙනවා. හැබැයි ඇතැම් නිර්මාණ දිහා බලලා කියනවානේ මේකේ කිසිම අර්ථ රසයක් නැහැ, ශබ්ද රසයක් නැහැ විශුවල් එක විතරයි කියලා. හැබැයි ඒ විශුවල් එක පවා රසවිඳින්න පුළුවන් මට්ටමක මම ඉන්නේ. ඒ කියන්නේ විශුවල් එක වුණත් ඇති මට රසවිඳින්න. ඕනිම දෙයක අපි ගත යුත්තේ හොඳ පැත්ත විතරයි. අනිත් දේවල් අපිට බැහැර කරන්න හැකියාව තිබෙනවා.


වෙනත් භාෂාවකින් ගීතයක් කරලා ජාත්‍යන්තර රසිකයන්ගේ අවධානය ගන්න අදහසක් නැද්ද?


එහෙම නම් මට හිතිලා නෑ. මේ වෙද්දී ජාත්‍යන්තර රසික රසිකාවන් අතර, ලංකාවෙන් එළියේ පිරිසක් අතර ජනප්‍රිය වුණු අපේ නිර්මාණකරුවන්, නිර්මාණකාරියන් ගොඩක් ඉන්නවා. මම ඔවුන් දිහා බලලා සතුටු වෙනවා. යොහානි, භාතිය සන්තුශ්, ඉරාජ්, කාංචනා, සුපුන්, රිද්ම, උමාරියා, රන්ධීර් මේ වගේ ගොඩාක් අය ඉන්නවා. ඔවුන් යම්කිසි දේවල් ටිකක් රටින් එළියට අරගෙන ගිහින් තියෙන්නේ. ඒ හොඳටම ඇති. මම ඒ වගේ දේවල්වලට උත්සහ කරන්නේ නැහැ. ඔවුන් දිහා බලාගෙන මගේ ගමන පාඩුවේ යනවා.


සමාජ මාධ්‍යවල සුලබත්වය සමඟ කලාකරුවන්ගේ පෞද්ගලිකත්වය රසිකයන්ට නිරාවරණය වන ප්‍රමාණය වැඩියි, මේක කොයි ආකාරයෙන්ද බලපාන්නේ?


මම පෞද්ගලිකව ශ්‍රෙයා ගෝෂාල්ට, සෝනු නිගම්ට, ශාරුක් ඛාන්ට කැමතියි. ඉතිං මමත් ආසයි ඔවුන්ගේ විස්තර හොයන්න, කොහෙද යන්නේ, කොහෙද ඉන්නේ, එයාලගේ ජීවන රටාව කොයි වගේද දේවල් දැනගන්න මාත් කැමැතියි. ඉතිං මටත් පෞද්ගලිකව එහෙම කැමත්තක් තිබෙනවා නම් අපේ ලංකාවේ රසිකයන්ට එයාලා ආදරය කරන කලාකරුවෝ ගැන එහෙම කුතුහලයක් නොතිබෙන්න බෑනේ. ඔවුනුත් කැමතියි ඔවුන් ආදරය කරන කලාකරුවන්ගේ තොරතුරු


දැනගන්න.


කවින්ද්‍යා වැඩිය ගීත ගයන බවක් පෙනෙන්නේ නැහැ. ඔබ ඇයව දිරිමත් කරන්නේ නැද්ද ගීත නිර්මාණ කරන්න?


දිරිමත් කරනවා, නොකරනවා නෙවෙයි. නමුත් ඇයත් මම වගේමයි. ඇයට ගායනා කරන්න විතරක් නෙවෙයි, නර්තනය, නිවේදනය  මේ හැම දේම පුළුවන් සම්පූර්ණ දරුවෙක්. නමුත් ඇය ඉතින් පොඩ්ඩක්  මම වගේ. ඒත් අපි එයාගේ නිර්මාණයක් කරනවා ළඟදීම විශුවල් එකත් එක්කම. නිර්මාණයක් නිතරම නොකළත් මම හිතනවා මගේ දුවයි, පුතයි දෙන්නා මේ වෙද්දී හැමෝම ආදරය කරන චරිත දෙකක් කියලා.


කවින්ද්‍යා දැන් පෙම්වතියක්, ඇය ඔබේ තුරුලෙන් ගිලිහිලා ඇගේම ලොවකට යන දිනය ගැන ඔබේ හැඟීම?


ගිලිහෙන්න නම් දෙන්නේ නැහැ. මම ජීවත් වෙලා ඉන්න තුරු එයාලට මගෙන් ගිලිහෙන්න දෙන්නේ නැහැ. නමුත් එයාලට එයාලගේ පෞද්ගලික ජීවිතයක් තිබෙනවනේ. ඉතිං ඒ දේවල්වලට බලපෑමක් නොකර ඔවුන්ට ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය ගෙනියන්න දෙනවා. කවදාහරි ඔවුන් විවාහ වුණාට පසුව මම අම්මා කෙනෙක් විධියට යුතුකම් කරලා ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය ගෙනියන්න දෙනවා. නමුත් මම ඔවුන්ට කරදරයක් හෝ බාධාවක් වෙන්න යන්නේ නැහැ.


ජීවිතයට ආපු අභියෝග හමුවේ නොසැලී හිටියේ කොහොමද?


මම හිතන්නේ ඒකට හේතුව මගේ ඉවසීම, ඉවසීම නැත්තම් සිදු වෙන්නේ විනාශයක්. මට මොන දේ කිව්වත් කරත්, මම  නැවත මොන දෙයක්වත් පෙරළා කිව්වේ හෝ කළේ නැහැ. එහෙම කියන කරන දේවල්වලට වඩා මට ලොකු රසික ආදරයක් ලැබුණා. සුළුතරයක්  කියන කරන දේවල්වලදී මම ඔළුව කෙළින් කරගෙන හිටියේ මට ආදරය කරන්න ගොඩක් අය ඉන්න නිසා. ඒ වගේම මගේ පවුල හැම වෙලේම මාත් සමඟ හිටියා මගේ දරුවෝ, මගේ චිරන්ත. මේ තුන්දෙනා මාත් එක්ක ඉද්දී මොන දේටවත් මාව වට්ටන්න බැහැ.


ඉදිරි වැඩ කටයුතු ගැනත් කතා කරමු?


ගීත කිහිපයක්ම එන්න තියෙනවා. මගෙ තනි නිර්මාණයක් එක්කම. ඒත් එක්කම මගේ පවුලත් එක්ක බොහෝම සතුටින් කාලය ගෙවන්න තමයි බලාපොරොත්තුව.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post