නෙළුනි.... අද මොකද හිතෙන්නේ...?
අද ඇත්තටම ගොඩාක් සතුටුයි. මම මේ ක්ෂේත්‍රයට අලුත්. තාම මට වයස අවුරුදු විසි එකයි. ඉතින් මේ පොඩි කාලය තුළදී ලබපු මේ ජයග්‍රහණයට මම ගොඩාක් සතුටුයි. මට අද නිහතමානීව ආඩම්බරයක් දැනෙනවා.
Qමේ අද හැබෑවෙලා තියෙන්නේ කාගේ හීනයක්ද...?
ඇත්තටම මේ හැබෑවුණේ මගේ තාත්තාගේ හීනයක්. මගේ අම්මයි තාත්තයි මට දැනෙන හිතෙන විදිහට ගොඩාක් තරුණයි. ඒ දෙන්නා ලස්සනට ඉන්න හරි කැමැතියි. ඒ වගේම මේ ක්ෂේත්‍රයටත් ගොඩක් කැමැතියි. මගේ තාත්තා විදෙස් ගත වෙලයි ඉන්නේ. හැබැයි මගේ තාත්තා කවදාහරි මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවට ගොඩාක් කැමැති වුණා. ඒ තාත්තාගේ හීනය තමයි අද මම මේ හැබෑ කරලා තියෙන්නේ.
නෙළුනි පුංචි කාලේ මේ විදිහට ලස්සනට ඉන්න උත්සාහ කළාද?
ඔව්නේ... මම පුංචි කාලේ මගේ අම්මයි අඩි උස සපත්තු දාලා, ලොකු ඇඳුම් ඇඳගෙන, ලිප්ස්ටික් ගාගෙන ලස්සනට ඇවිද්දා. සෙල්ලම් කළා. හැබැයි ඒ කාලේ මෙහෙම වෙන්න මගේ හිතේ ආසාවක් තිබුණේ නැහැ. හැබැයි මගේ තාත්තාට ඒ ආසාව තිබුණා... බොහෝ අම්මලා තමන්ගේ දරුවන්ට ලොකු වුණාම දොස්තරවරු, ඉංජිනේරුවන්, ගුරුවරුන් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්වලට යවන්නට උත්සාහ කරද්දී මගේ අම්මයි, තාත්තයි මාව මේ ක්ෂේත්‍රයට යවන්න පුංචි කාලේදීම උත්සාහ කළා. මම පවුලේ එකම දරුවා. ඉතින් මගේ අම්මගෙයි, තාත්තගෙයි ආදරය, රැකවරණය, ආරක්ෂාව උපරිමයෙන් මට ලැබුණා. අදටත් එහෙමමයි.
ඒ දෙන්නා එක්ක ගෙවන ජීවිතේ නෙළුනිට දැනෙන්නේ කොහොමද?
ඒක පුදුමාකාර ආදරයක් එක්ක ගෙවන ජීවිතයක්. මගේ අම්මයි, තාත්තයි, මමයි විනෝදයට ගොඩාක් කැමැති තුන්දෙනෙක්. අපි හරියට හොඳම යාළුවෝ තුන්දෙනෙක් වගෙයි. මගේ අම්මයි, තාත්තයි හරිම ආදරෙන් ඉන්න දෙන්නෙක්. මම හැම මොහොතකම දකින්නේ ඒ ආදරයයි. ඉතින් තාත්තා ලංකාවට ආපු හැම දවසකම අපි ගෙදර ඉන්නවාට වඩා ඇවිදින්න යනවා. විනෝද වෙනවා.
නෙළුනිගේ හීනය වුණේ කවුරු වෙන්නද?
මම ගුවන් සේවිකාවක් වෙන්න ආසාවෙන් හිටියා. පුංචි කාලේ ඉඳන් මම ලස්සනට ඉන්න, සංචාරය කරන්න ආසා කළා. ගුවන් සේවිකාවකගේ රස්සාව හරි නිදහස්, අපිට රටවල්වල සංචාරය කරන්න ලැබෙන රස්සාවක්. ඉතින් ඒ නිසා මම ඒ රුකියාවට ආසා කළා.
පාසැල් ගියේ කොහොටද...?
මම ඉගෙන ගත්තේ නාත්තණ්ඩිය ජනාධිපති විදුහලෙන්. මුලින්ම හත වසර වෙනතුරු ජාත්‍යන්තර පාසැලක ඉගෙන ගත්තා. ඒ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. හැබැයි මගේ අම්මට සිංහල මාධ්‍යයෙන් මට උගන්වන්න ඕන වුණා. පුංචි කාලේ මට සිංහල කතා කරන්න, ලියන්න ටිකක් අමාරුයි. ලංකාවේ ළමයෙක්ට සිංහල හරියට කතා කරන්න බැරිවීම ලැජ්ජාවක්. ඒක මටත් දැනුණා. සමාජයට ගියාම අසරණ වුන තැන් තිබුණා. ඒ නිසා මාව අම්මා ජනාධිපති විදුහලට ඇතුළත් කළා. මම උසස් පෙළට කළෙත් සිංහලයි. ඇත්තටම නාත්තණ්ඩිය ජනාධිපති විදුහලේ ළමයින් මට සිංහල කතා කරන්න බැහැ කියල කිසිම වෙලාවක කොන් කළේ නැහැ. මාව හරිම ආදරෙන් ඒ අය පිළිගත්තා. මට කියලා දුන්නා. බොහෝ උදව් කළා. පාසැල් කාලයේදී අධ්‍යාපන කටයුතුවලට අමතරව මම සංගීතය කළා. නර්තනය කළා. ක්‍රීඩා කළා.
තරගයට නෙළුනි වෙනුවෙන් අයදුම්පතක් යොමුකළේ කවුද...?
මාව මේ තරගයට ඉදිරිපත් කළේ මගේ ගුරුවරයායි. ඒ රුක්මල් සේනානායකයි. මුලින්ම තාත්තායි අම්මයි මාව සර්ගේ ඇකඩමියට ඇතුළත් කළා. ඒ නිරෑපණ පාසල තුළදී මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. රුක්මල් සර් ළඟට මම යද්දී මේ විෂය තුළදී මම අතදරුවෙක් වගෙයි. ක්ෂේත්‍රය ගැන කිසිම දැනුමක් මට තිබුණේ නැහැ. මගේ අම්මා කාලයක් රෑපලාවන්‍ය ක්ෂේත්‍රයේ හිටියා. ඒ නිසා අම්මා ඒ ක්ෂේත්‍රය ගැන දැනගෙන හිටියා. මම අවුරුද්දකට වඩා කාලයක් රුක්මල් සර් යටතේ නිරෑපණ ක්ෂේත්‍රයට බොහෝ දෑ ඉගෙන ගත්තා.
ඒ ලබාගත්තු දැනුමත් එක්ක නෙළුනි මේ තරගයට ඉදිරිපත් වුණා...?
ඔව්. දවසක් මම සර්ගෙන් 'මම තරගයට ඉදිරිපත් වෙන්න ආසයි සර්' කියලා කිව්වා. සර් ඒ වෙනුවෙන් මට ආශීර්වාද කළා. ඒ නිසා ලංකාවේ තිබුණු Miss teen Sri Lanka තරගයට මම ඉදිරිපත් වුණා. චරිත් ගුණසේකර ජාතික අධ්‍යක්ෂක ලෙසින් කටයුතු කළ රුක්මල් සේනානායක ජාතික පුහුණුකරු ලෙසින් කටයුතු කළ තරගාවලිය අවසානයේදී මම Miss teen Sri Lanka ලෙසින් ජයග්‍රහණය කළා. ඉතින් පසුව මට ජාත්‍යන්තරයට යන්න අවස්ථාව ලැබුණා.
ජාත්‍යන්තර තරගය ගැන සඳහන් කළොත්...?
ඒ ඝානාවලයි. ඒ තරගයට රටවල් විස්සක් තරග කළා. මම තරගයට ඒ රටට ගියෙත් තනියමයි. චූටි කාලේ ඉඳන් මම හැදුණු විදිහ අනෙක් සමහර ළමයින්ට වඩා වෙනස්. පුංචි කාලේ මට අනිත් ළමයින්ට වගේ බස් එකේ යන්න එන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ හැම වෙලාවකම මගේ අම්මා මාත් එක්ක හිටියා. උසස් පෙළ කරද්දී මම අඬලා තමයි යාළුවෝ එක්ක බස් එකේ යන්න අවසරය ඉල්ලා ගත්තේ. මම මුලින්ම ෆෝන් එකේ අම්මයි තාත්තයි අරගෙන දුන්නෙත් මගේ උසස්පෙළ ප්‍රතිඵල ආවට පස්සෙයි. ඒ නිසා ඒ විදිහට හැදුනු මාව තනියම රටකට යවන්න අම්මා බයවුණා. හැබැයි තාත්තා අවසර දුන්නා. අත්දැකීමක් නැතිවුණාම මගේ හිත තනියම රටකට ගිහින් එන්න ශක්තිමත් බව මට තේරුණා. ඒ නිසා මගේ ගමනට අම්මයි තාත්තයි අවසර දුන්නා. මම තනියම තමයි ඒ තරගයට ගියේ.
ඒ රටේදී ලබපු අත්දැකීම් කොහොමද?
මගේ ඇඳුම් නිර්මාණයේදී වගේම ලංකාවේ මේක් අප් කරන්න ගොඩාක් අය උදව් කළා. හැබැයි ඒ රටේදී තරග හැම එකකම මගේ මේක්අප් එක කරගත්තේ මමමයි. සමහර දවස්වල මම රූට පොඩ්ඩක්වත් නිදාගත්තේ නැහැ. අවසන් තරගය ළංවෙද්දී මට පුහුණුවීම් කරන්න සිදුවුණේ තනියමයි. රුක්මල් සර් එක්ක වීඩියෝ කෝල්වලින් නිදහස් තැනකට ගිහින් එයාට පේන්න ඇවිදපු හැටි, පුහුණුවීම් කරපු හැටි මට අමතක කරන්න බැහැ. සමහර වෙලාවට මගේ පුහුණුවීම් මම වීඩියෝ කරගෙන ඒවා බලලා මගේ අඩුපාඩු මම හදාගත්තා. එක් තරග අංශයත් මම ගින්දර වලින් තමයි කළේ. ලංකාවේ භූමිතෙල්වලට වඩා ඒ රටේ භූමිතෙල් වෙනස්. ඒ නිසා පන්දම්වලට අවශ්‍ය කරන ඒ භූමිතෙල් ඒ රටේදී හොයාගත්තේ මම තනියමයි. ඒ රටේ භූමිතෙල් නිල් පාටයි. ඒවා ඇවිලෙන සුළු ගතිය අඩුයි. ඒ නිසා පන්දම් මුලින් එළියට අරගෙන ගිහින් තනියම පත්තු කරලා බලලා තමයි ඒවා පුහුණුවීම් කළේ. මේ රටට වඩා ඒ රට ගොඩාක් රස්නෙයි. ඒ රටේ හැම වෙලාවෙම අයිස් වතුර බිව්වේ. මුලින්ම ඒ රටේදී කෑම මට ඇලජික් වුණා. ඒ කාලගුණයත් එක්ක ඒක මගේ ඇඟට ඔරොත්තු දුන්නේ නැහැ. හැබැයි මොන බාධක ආවත් තරගය අතරමග දාලා ලංකාවට එන්න හිතුණේ නැහැ. මට ඉලක්කයක් තිබුණා. අඟල් හතක අඩි උස සපත්තු දාගෙන ඇවිදින්න අමාරුයි. ඒ කොච්චර වේදනාවක් ගතට දැනුණත් මට එන්න හිතුණේ නැහැ. හැබැයි මම අනු තරග තුනක් එක්ක තරගාවලියේ ලොකුම ජයග්‍රහණය ලංකාවට අරගෙන ආවා. Miss teen queen කිරුල මම ලංකාවට අරගෙන ආවා. මගේ ජයග්‍රහණය සමරන්න ඒ රටේ මගේම කියල කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා වේදිකාවෙන් බැහැපු ගමන් මම මුලින්ම රුක්මල් සර්ට කතා කරලා කිව්වා. අද මම මගේ අම්මා, තාත්තාගේ හීනය හැබෑ කළා. ඒ ගැන මට ගොඩාක් සතුටුයි.
දිශානි ජයමාලි