කලාවේ අහුමුලු සොයා යමින්, රස තැන් ස්පර්ශ කරමින් ගමනක යෙදෙන මොහු, විටෙක රංගන ශිල්පියෙක් ලෙසද තවත් විටක සිතුවම්කරණයේ යෙදෙන නිර්මාණ ශිල්පියෙක් ලෙසද අප හමුවට එයි. ශ්‍රී ලාංකික කලාව තුළ දිගු ගමනකට හිමිකම් කිව හැකි නිර්මාණකරුවෙක් ලෙස හැඳින්විය හැකි මොහු නමින් සචිත්‍ර කළ්‍යාණජිත්ය.
ඉතින් සචිත්‍ර මේ දවස්වල මොකද වෙන්නේ?
මේ දවස්වල මගේ අධ්‍යයන වැඩකටයුතු කරගෙන යනවා. රංගන වැඩමුළුවලට සම්බන්ධ වෙනවා. ඒ වගේම මගේ චිත්‍රවල, ග්‍රැෆික් ආර්ට්වල වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම මේ දවස්වල ඉන්දියානු චිත්‍රපටයක් ලංකාවේ රූගත කෙරෙනවා. ඒකෙ වැඩ කිහිපයක් තිබෙනවා. ඊට අමතරව ෆිල්ම් එකක ස්ටෝරි බෝඩ්ස් වගයක් කරනවා. තව එක ෆිල්ම් එකක් හම්බුණා ඒකේ ස්ක්‍රිප්ට් එක ලැබිලා තිබෙන්නේ. නමුත් රූගත කිරීම් ආරම්භ වෙලා නැහැ. ඔය වැඩත් එක්ක තමයි කාලය ගතවෙන්නේ.
ඔබ කලාකරුවෙක්, චිත්‍ර ශිල්පියෙක්. මේ ගමනට පදනම වැටෙන්නේ කොතනින්ද?
මම එක වසරේ ඉඳන් පාසල් ගියේ රාජකීය විද්‍යාලයට. පුංචි කාලේ ඉඳන්ම චිත්‍ර හා නැටුම් තමයි මම වැඩියෙන්ම කළේ. ඩ්‍රාමා නම් කළේ නැහැ. මගේ අප්පච්චි ආර්ටිස්ට් කෙනෙක්. ඒ පසුබිම පොඩි කාලේ ඉඳන් තිබ්බා. ඒත් එක්කම මමත් නොදැනුවත්වම වගේ ආර්ට්ස්වලට පුරුදු වුණා. ඊට පස්සේ උසස් පෙළටත් මම තෝර ගන්නේ කලා විෂයයන්. එතැනින් පස්සේ මාව මොරටුව විශ්වවිද්‍යාලයේ ආර්කිටෙක්චර් ෆැකල්ටි එකේ ඩිසයිනිංග් ඩිපාර්ට්මන්ට් එකට තේරෙනවා. එතැනදි මම තෝර ගන්නේ Graphics designing in cinema කියන විෂය පථය. මගේ ගුරුවරු වෙන්නේ ධර්මසේන පතිරාජ, ඩොනල්ඩ් කරුණාරත්න, බූඩි කීර්තිසේන, විමුක්ති ජයසුන්දර වගේ අය. ඒ පසුබිමත් එක්ක තමයි ආර්ට්ස්වලින් ග්‍රැෆික්වලට ඇවිත් සිනමාවට තිබෙන කැමැත්ත වැඩි වුණේ. එතනින් එහාට මම රංගනය ගැන ඉගෙන ගත්තේ ප්‍රසන්න මහගමගේ, මහේන්ද්‍ර පෙරේරා, කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රදීප් රාමවික්‍රම කියන මගේ ගුරුවරුන්ගෙන්.
ඔබ මූල පද්ධතියෙන්ම කලාව හා සම්බන්ධයි නේද?
ඇත්තටම ඒ ගැන කතා කරද්දි මට කියන්න තිබෙන්නේ මගේ අප්පච්චි ගැන. ඔහු ආචාර්ය උපාධිය සම්පූර්ණ කරපු කෙනෙක්. ඒ වගේම ලංකාවේ බොහෝ විශ්වවිද්‍යාලවලට Graphics designing කියන එක අ¾දුන්වලා දුන්නේ ඔහු. ඉතින් අප්පච්චිගෙන් මට ලොකු අභිප්‍රේරණයක් ලැබුණා. නමුත් කියන්න ඕනි ඔහු කවදාවත් මට චිත්‍ර උගන්නලා නැහැ. ඒ වගේම මම ඉගෙන ගෙනත් නැහැ. ඒක මම හිතන්නේ ජානවලින් එන දෙයක් වෙන්න ඕනි. හැබැයි මම පුංචි කාලේ ඉඳන් අප්පච්චි චිත්‍ර අඳින හැටි ග්‍රැෆික් වැඩ කරන හැටි බලාගෙන හිටියා. එහෙම ඔහුගෙන් ඉගෙන නොගත්තට මම පුංචි කාලේ ඉඳන් ඔහුත් එක්ක ගොඩක් දේවල් කතා කළා, විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේ පවා. ඔහු සිංහල භාෂාව ගැන, සංස්කෘතිය ගැන වගේම ලෝකයේ ගොඩක් රටවල්වල සංස්කෘතිය, නාට්‍ය, සිනමාව, සංගීතය මේ හැමදේම ගැන ඔහු මට කියලා දුන්නා.
Let me sleep ෂෝර්ට් මූවී එක ගැන කතා කරමු?
ලෙට් මී ස්ලීප් කෙටි චිත්‍රපටයට මට ආරාධනා කරන්නේ වින්ද්‍යා හාරිස්පත්තුව. ඇය මට මේ ගැන කියපු ගමන් මම කැමැති වුණා. මොකද මට ඒකේ කරන්න තිබුණේ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙක්ගේ චරිතයක්. ඒ චරිතය ගැන අධ්‍යයනය කරන්න මට ආස හිතුණා. මම හිතන්නේ වින්ද්‍යා හාරිස්පත්තුව මාව එම චිත්‍රපටයට තෝරගන්න හේතුව මගේ මුහුණ හා මාව පේන ආකාරය. ඉතින් මාව පේන ආකාරය එක්ක මට ඒ චරිතය කරන්න පුළුවන් කියලා ඇය විශ්වාස කළා.
Let me sleep සඳහා ඔබේ පෙර සූදානම මොන වගේද?
මම මුලින් කිව්වා වගේ වින්ද්‍යා හාරිස්පත්තුව මේ ගැන කියද්දිම මම එකපාරින් කැමැති වුණා. මොකද මට ආස හිතුණා ඒ චරිතයට අනුගත වෙද්දි අවශ්‍ය කරන මානසිකත්වය, ශරීර ලක්ෂණ මේ හැමදේම සම්පූර්ණ කරගන්න ආකාරය අධ්‍යයනය කරන්න. මොකද මම සමලිංගික හෝ බහුලිංගික පුද්ගලයෙක් නෙවෙයි. එතැනදි මට ආස හිතුණා මේ චරිතය ගැන අධ්‍යයනය කරන්න. චිත්‍රපටය රූගත කිරීම් අරඹන්න සතියක් තියෙද්දි වගේ තමයි මට ආරාධනාව ලැබුණේ. මම ඒ සතියම කළේ සංක්‍රාන්තික ලිංගික පුද්ගලයන් හමුවෙලා, ඔවුන්ගේ අංග චලනයන්, කතා විලාසය, හැසිරීම් වගේ දේවල් අධ්‍යයනය කරන එක. මම විශ්වාස කළා ඒක ෆිල්ම් බලලා ඉගෙන ගන්න බැහැ කියන දෙය. සංක්‍රාන්තික ලිංගිකයෙක්ගේ මානසික මට්ටම, කායික මට්ටම මේ හැමදේම මට ඉගෙන ගන්න අවශ්‍ය වුණා.
කලාකරුවෙක්, නිර්මාණ ශිල්පියෙක් වෙන්න ඇකඩමික හැදෑරීම අත්‍යවශ්‍යමද? එහෙම නැත්තම් අත්දැකීම් ප්‍රමාණවත්ද?
මම නම් එහෙම ඇකඩමික් කොලිෆිකේශන් ලැබිය යුතුයි කියන දේ විශ්වාස කරන්නේ නෑ. කලාව ආරම්භ වුණේ එහෙම සුදුසුකම් සම්පූර්ණ කරපු අයගෙන් නෙවෙයි. සමහරු ආසාවට කලාවට එනවා. තවත් සමහරු තමන්ගේ උපන් හැකියාව නිසා සම්බන්ධ වෙනවා. සමහරුන් පෙනුම නිසා සම්බන්ධ වෙනවා. නමුත් මේ හැමෝටම කාලයත් එක්ක අත්දැකීම් එකතු කරගෙන තමන්ගේ හැකියාවන් වර්ධනය කරගන්න පුළුවන්. නමුත් හැම තැනදීම ශාස්ත්‍රීය සුදුසුකම් අවශ්‍ය නොවුණත් ඇතැම් තැන්වලදී ඒ දේවල්වලට ලොකු අගයක් ලැබෙනවා. පේපර් කොලිෆිකේශන් අවශ්‍ය නැහැ. නමුත් අපිට ඒ දේවල් නිවැරදිව සිදුකරන ආකාරය ඒ කියන්නේ නිවැරදි තාක්ෂණය ගැන අවබෝධයක් තිබෙන්න ඕනි. එතැනදි ගොඩක් වෙලාවට පුරුද්දෙන් හා අත්දැකීම්වලින් පමණක් තමාගේ කාර්යයේ නියැළෙන කෙනාට වඩා තාක්ෂණය දන්න කෙනාට යන්න පුළුවන් පරාසය වැඩියි.
ලංකාව තුළ මිනි සීරීස් හා ෂෝර්ට් ෆිල්ම් ජනප්‍රිය වෙමින් පවතිනවා. මේ දහරාවේ නිර්මාණ ගැන ඔබේ අදහස?
විශේෂයෙන්ම ලංකාවේ ෂෝර්ට් ෆිල්ම් නිෂ්පාදනය වෙන්න බලපාපු ලොකුම හේතුව තමයි රටේ ආර්ථික ගැටලුව. මොකද කලාකරුවාට තමන්ගේ නිර්මාණයක් කරන්න සීමිත සම්පත් ප්‍රමාණයක් විතරයි තිබෙන්නේ. එතැනදි අපිට තිබෙන සීමිත සම්පත්වලින් ලොකු දෙයක් එළියට දෙන්න පුළුවන් හොඳම ක්‍රමය මිනි සීරීස් හා ෂෝර්ට් ෆිල්ම්. එහෙම තත්ත්වයක් තුළ වුණත් මේක ඉතාමත් හොඳ දෙයක්. මොකද මිනි සීරිස් හා ෂෝර්ට් ෆිල්ම් ඉදිරිපත් කරලා තමන්ගේ ගමන හදාගන්න පුළුවන්. නමුත් හැම තිස්සෙම ෂෝර්ට් ෆිල්ම් හෝ මිනි සීරිස්වලම හිරවෙලා ඉන්න අවශ්‍ය නෑ.
ඔබේ ඉදිරි කටයුතු ගැනත් කතා කරමු?
ඉදිරියෙදි විදෙස් නිර්මාණ කිහිපයක වැඩ කටයුතු තිබෙනවා. ඒ වගේම රංගනය සම්බන්ධයෙන් මගේ අධ්‍යයන කටයුතු වගේම මගේ චිත්‍ර වැඩකටයුතුත් දිගටම කරගෙන යනවා. ඒ හැර ඉදිරිය සම්බන්ධයෙන් ලොකු සැලසුම් නැහැ.
අක්ෂි මාපා වීරසිංහ