ගැහැණු පිරිමි වගේම සමරිසි අයත් සාමාන්‍ය මිනිස්සු-නලින් ලුසේනා




ජගත් මනුවරණ අධ්‍යක්ෂණය කරන ‘කොඩිගහ යට’ ටෙලි නාට්‍යය මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන අතිශයින් ජනප්‍රිය කලා ප්‍රකාශනයක්. කොඩිගහ යට ටෙලි නාට්‍යය වගේම කළුගේ චරිතයත් අතිශයින්ම ජනප්‍රියයි. ඇත්තටම කළුගේ චරිතය නිසාම මේ ටෙලි නාට්‍යය නරඹන්න පුරුදු වුණු පිරිසකුත් ඉන්නවා. ඉතින් මේ විදියට කාගෙත් අවධානය දිනාගත්ත කළුගේ චරිතයට පණ පොවන අතිදක්ෂ රංගන ශිල්පියා තමයි අද  පිළිසඳරේ කතා නායකයා. ඔහු නලින් ලුසේනා.


කළුගේ චරිතයට මේ තරම් පිරිසක් ආදරය කරයි කියලා හිතුවද?


කළුගේ චරිතයට විතරක් නෙමෙයි කොඩිගහ යට ටෙලි නාට්‍යයටත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.


කොඩිගහ යට කියලා කියන්නේ ප්‍රේක්ෂකයාට රසවත් අත්දැකීමක් කියලා ඒ ප්‍රතිචාරවලින් අවබෝධ වෙනවා. රසවිඳින්න පුළුවන් නිර්මාණයක් විදිහට කොඩි ගහ යට ටෙලි නාට්‍යය ප්‍රේක්ෂක අවධානය දීනාගැනීම ගැන ඇත්තටම සතුටුයි.


නලින් කොහොමද කොඩිගහ යට කළු වුණේ?


ටෙලි නාට්‍යයේ වැඩ පටන් ගන්න දවස්වලම ජගත් අයියා මට ඒ ගැන කිව්වා. ඒත් මට ලැබෙන්නේ මොන චරිතයද කියලා මම මුලින්ම දැනගෙන හිටියේ නැහැ. කොඩිගහ යට ටෙලි නාට්‍යයේ විවිධ චරිත ගැන ජගත් අයියා මාත් එක්ක කතා කළා. ඒ විදිහට කතා කරන දවසක කළු කියන චරිතය කරමුද කියලා මගෙන් ඇහුවා. ඒ වෙද්දි ජගත් අයියා කළුගේ චරිතයට නිශ්චිත රංගන ශිල්පියෙක් හිතාගෙන හිටියේ නැහැ. ඒ නිසා මාත් එක්ක ඒ චරිතය කරනවා කියලා ඔහු එක් තැනකදි තීරණය කළා.


මාව යොදාගෙන මේ චරිතය තුළින් යම් කිසි නිර්මාණාත්මක වෙනසක් ඇති කරන්න පුළුවන් කියන අදහස ජගත් අයියාගේ හිතේ මුල ඉඳලම තිබුණා. මං වගේ කෙනෙක් කළු කියන චරිතය මොන විදිහට කරයිද කියලා බලන්න වුවමනාවක් තිබුණා, ඒ නිසා අභියෝගයක් විදිහට ඒ චරිතය මට දුන්න කියලා ඔහු කියලත් තිබුණා. ඒ විදිහට තමයි කොඩිගහයට ටෙලි නාට්‍යයේ කළුගේ චරිතයට මම සම්බන්ධ වෙන්නේ.


නලින්ට කළුගේ චරිතය අභියෝගයක්ද?


රංගන ශිල්පියෙක් යම් චරිතයක් නිරූපණය කිරීම තනි කාර්යයක් නෙමෙයි. ඒ සඳහා නිර්මාණයේ සියලු දෙනාගේ සහයෝගය කැපවීම බලපානවා. රංගන ශිල්පියෙක් චරිතයක් නිරූපණය කරද්දී ඒ චරිතය පරිපූර්ණ වෙලා පේන්න තවත් බොහෝ දේවල් ඒ චරිතයට එකතු විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. උදාහරණයක් හැටියට කළු කියන චරිතයම ගමු. පිටපත් රචකයා අධ්‍යක්ෂවරයා අනුශාංගික ශිල්පීන් සහ අනෙකුත් නළු නිළියන් සියලු දෙනාගේ මැදිහත්වීම තුළ ඇතිවන්නවූ ප්‍රතිඵලයක් තමයි කළු කියලා කියන්නේ. පිටපත් රචනාවෙත් අධ්‍යක්ෂවරයා සතුවත් ඉතාමත් හොඳ දැක්මක් තිබුණ නිසා මට කළු අභියෝගයක් වුණේ නැහැ. සියලු පාර්ශ්වයන්ගෙන් සම්පූර්ණ සහයක් ලැබෙන විටකදී චරිත නිරූපණයක නියැළීම නළුවෙක්ට අභියෝගයක් වෙන්නේ නැහැ. ඒක නළුවෙකුට තම කාර්ය හොඳින් කරන්නට ලැබෙන හොඳ අවස්ථාවක් කියලයි මම හිතන්නේ.


සංක්‍රාන්තික ලිංගික පුද්ගලයන්, සමරිසි පුද්ගලයන් සම්බන්ධයෙන් සමාජයේ විවිධ මතවාද තියෙනවා. ඒ ගැන නලින්ට මොකද හිතෙන්නේ?


සමාජයක් විදිහට අපිට එකිනෙකාට වෙනස්වූ යම් යම් විශ්වාසයන් තියෙනවා සහ ඇතිකර ගන්නවා. ඒ කියන්නේ, ජාති, ආගම්, ස්ත්‍රී, පුරුෂ ආදී වශයෙන් බෙදීම් ගැන අපි විශ්වාසය ඇති කර ගන්නවා. අපි දරන මතවාදයන් සංස්කෘතිකාංග අපිට උරුම වෙන්නේ කලින් පරම්පරාවේ අයගෙන්. ඒ විදියට පරම්පරාවෙන් පරම්පරාවට ලැබුණු මතවාදයන් තමයි අපි තාමත් මේ කර තියාගෙන යන්නේ. එවායේ හොඳ වගේම නරක දෙකම තියෙනවා.


මීට දශක දෙක හමාරකට විතර කලින් සමරිසි සහ සංක්‍රාන්තික ලිංගික පුද්ගලයන් සම්බන්ධයෙන් අපිට ඇහුණේ සුබවාදී අදහස් නෙමෙයි. සමරිසි බව සංක්‍රාන්තික ලිංගිකත්වය වරදක් හැටියට අපේ ඔළුවට දාලා තියෙනවා. නමුත් මේ එක් මනුස්ස ස්වභාවයක් කියලා විද්‍යාත්මකව පිළිගන්න තැනකට ලෝකය ඇවිදින් තියෙනවා. සමරිසි බව සංක්‍රාන්තික ලිංගිකත්වය කියන්නේ මාර වෙනස් දෙයක් කියලා දැන් බහුතරයක් මිනිස්සු හිතන්නේ නැහැ කියලා මම හිතනවා.


ඒත් සමහර මිනිසුන්ට තවමත් මේ කාරණා සාමාන්‍ය විදිහට දකින්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. පරම්පරාවෙන් උරුම වූ මතවාදයක් අපි මොන තරම් විශ්වාස කරනවද? ඒවා මොන තරම් ක්‍රියාවට නංවනවාද? එවැනි පුද්ගලයෙකුගේ චරිතයක් නිරූපණය කිරීම මාර දෙයක් හැටියට සමාජය දකින්නේ ඒ නිසයි.


මේ ලෝකේ ගැහැනු පිරිමි වගේම සමරිසි පුද්ගලයන් කියන්නෙත් සාමාන්‍ය මනුෂ්‍යයන්. තමන්ගේ මිත්‍රයෙක් පවුල කෙනෙක් දරුවෙක් සමරිසි කෙනෙක් නම්, සංක්‍රාන්තික ලිංගිකත්වයක් දරන කෙනෙක් නම් මොකද කරන්නේ කියන ප්‍රශ්නය ඒ අය ඉදිරියේ තියෙනවා. තමන්ගේ ළඟම කෙනාට තමන් සලකන විදිහට තමයි සමාජය තුළදී තමන්ට සැලකුම් ලැබෙන්නේ.


මම මේ කියන්නේ සමරිසි බව සංක්‍රාන්තික ලිංගිකත්වය හැමෝම පිළිගත යුතුයිද, නැද්ද කියන එක නෙමෙයි. එය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම තමන්ගේ කැමැත්ත. නමුත් කිසිම කෙනෙක් සමරිසි බව සංක්‍රාන්තික ලිංගිකත්වය වැනි කාරණා සමාජයේ කතාබහට ලක් කළ යුතු ප්‍රසිද්ධ මාතෘකා බවට පත් කරගත යුතු නැහැ කියලා මම හිතනවා. ඇත්තටම අපි සාමාන්‍ය දේවල් ගැන අසාමාන්‍ය විදිහට කතා කරන්නේ නැහැනේ. ඉතින් සමරිසි බව සංක්‍රාන්තික ලිංගිකත්වය කියන්නෙත් සාමාන්‍ය කාරණා. ඒවා අසාමාන්‍ය මාතෘකාවක් කරගත යුතු නැහැ. සාමාන්‍ය දේවල් විශේෂ කරලා කතා කරන්න ගියාම එය අසාමාන්‍ය මාතෘකාවක් බවට පත්වෙන්න පුළුවන්. මේ සමරිසි බව සංක්‍රාන්තික ලිංගිකත්වය කියන කාරණාවලටත් වෙලා තියෙන්නේ ඒ දේම තමයි.


කළුගේ චරිතයට නලින් කොහොමද හැඩ ගැහුණේ?


රංගන ශිල්පියෙක් චරිතකට හැඩගැහෙන්නේ කොහොමද කියන එක ඇත්තටම මම පැහැදිලි විස්තර කරන්න දන්නේ නැහැ. මොකද ඒක එක් එක් රංගන ශිල්පීන්ට විශේෂ වූ දෙයක් කියලයි මම හිතන්නේ. මම මේ චරිතේට හැඩගැහෙන්න කියලා අමුතුවෙන් දෙයක් කෙරුවේ නැහැ. කළු කියන චරිතයේ ස්වභාවය මොකක්ද? අඳින්නේ පලඳින්නේ කන්නේ බොන්නේ කතා කරන්නේ කොහොමද? කියන කාරණා සම්බන්ධයෙන් දවස් කිහිපයක යම් පුහුණුවීමක්, චරිත ස්වභාවය පිළිබඳව තේරුම් ගැනීමට උත්සාහයක් කළා. ඕනෑම චරිතයක් කරද්දී ඒ චරිතය පිළිබඳව මූලික තේරුම් ගැනීමක් අවශ්‍යයි. ඒ තේරුම් ගැනීම කළා. ඒ සාමාන්‍ය සුදානම් වීම විතරයි මම කරන්න දන්නේ.

වේදිකාවේ දස්කම් පෑ ඔබ කොහොමද පුංචි තිරයට එන්නේ?

ටික කාලයක් වේදිකාවේ ඉඳලා ඊට පස්සේ පුංචි තිරයට ඇවිත්, ඊට පස්සේ සිනමාවට යනවා වගේ අදහසක නෙවෙයි මම වැඩකරන්නේ. මම එහෙම ගමනක් ගැන හිතන්නේ නැහැ. මම කැලණිය විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව සම්බන්ධයෙන් උපාධිය හැදෑරුවා. ඊට පස්සේ විශ්වවිද්‍යාල දෙකක නාට්‍ය හා රංග කලාව පිළිබඳව බාහිර හා තාවකාලික කථිකාචාර්යවරයෙක් හැටියට කටයුතු කළා.


මගේ වෘත්තියට සම්බන්ධ කාරණා එක්ක තමයි මගේ ජීවිතයේ වැඩි කාලයක් ගෙවිලා ගියේ. වේදිකා නාට්‍යය නිර්මාණය, රංගනය, රචනය වගේ ඉගෙනගත්ත දේවල් එක්කයි මම වැඩ කළේ. වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළ මම දැන් අවුරුදු 18 ක වගේ කාලයක් වැඩ කරනවා. ඔය අතරතුර මම සිනමා නිර්මාණවලට සහ ටෙලි නාට්‍යවලටත් සම්බන්ධ වෙලා තියෙනවා. ඉදිරියේදීත් එහෙම වැඩකරන්න බලාපොරොත්තු වෙනවා.


වේදිකාව, පුංචි තිරය සහ සිනමාව අතරෙන් එකක් තෝරගන්න කියලා මම ඔබට යෝජනා කළොත්?


කලාකරුවෙක් විදිහට මම වේදිකා නාට්‍යවලට කැමැතියි. සිනමාවටත් කැමතියි. පුංචි තිරයටත් කැමතියි. ඉදිරියේදී සිනමා නිර්මාණයක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඇත්තටම ලංකාවේ ටෙලි නාට්‍ය තුළ කලා ප්‍රකාශනයක් හරියට නිර්මාණය වෙන්නෙ ඉතාමත් අඩුවෙන්. බොහෝ ටෙලි නාට්‍ය නිර්මාණවලට තියෙන්නේ මූල්‍යමය අරමුණක්. නමුත් වේදිකාවේ හා සිනමාව තුළ තවමත් යම්තාක් දුරට කලා ප්‍රකාශනයන් කරන්න තියෙන අවකාශය ඉතුරු වෙලා තියෙනවා කියලා මම හිතනවා. තවත් විදියකට කියනවා නම් වේදිකාවේදී හා සිනමාවේදී කලා ප්‍රකාශනයක් කරන්න තියෙන ඉඩකඩ ටෙලි නාට්‍යයට සාපේක්ෂව වැඩියි කියලා මම හිතනවා. කලා ප්‍රකාශනයක් කරන්න ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබෙන අවස්ථාවන් අඩුයි.


නලින්ගේ ඉදිරි කලා කටයුතු මොනවාද?


ඉදිරි කාලයේදී සිනමා නිර්මාණයක් සමග කටයුතු කරන්න බලාපොරොත්තුවක ඉන්නවා. මම සහ ශ්‍යාම් ප්‍රනාන්දු සිනමා නිර්මාණයකට පිටපතක් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිර්මාණය පිළිබඳව මේ දවස්වල අපි නිෂ්පාදකවරුන් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මීගමුව සහ වෙන්නප්පුව ආශ්‍රිත ප්‍රදේශවල තරුණ ජිවිත පිළිබඳව ලියවුණු කතාවක් තමයි අපි මේ සිනමාවට ගේන්න උත්සාහ කරන්න හිතන්නේ. ඒ සඳහා කැමැත්තක් දක්වන නිෂ්පාදකවරුන් සමග කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.


පුංචි කාලෙ ඉඳලම කලාවට සම්බන්ධ වෙන්න නලින්ට හීනයක් තිබුණද?


මගේ ගම මීගමුව. කලාවට සම්බන්ධ පවුල් පසුබිමක් නෙමෙයි මට තිබුණේ. මගේ තාත්තා ධීවරයෙක්. මම මුලින්ම පාසල් ගියේ මාංකුලිය ශාන්ත අන්තෝනි විද්‍යාලයට. පාසලේදී ගුරුවරුන් ඉතිහාසය ගැන ආගම ගැන කලාව ගැන කියපු කතා මම ආසාවෙන් අහගෙන හිටියා. ගුරුවරු වගේ කතා කියන්න මටත් ආසාවක් ඇති වුණා. මටත් මගේ කතා කියන්න. ඒවා කරලා පෙන්නන්න ආශාවක් ඇති වුණා. හතර පහ වසරවලදී ඇති වුණු ඒ ආසාව හේතුවෙන් තමයි මේ දක්වා මම වැඩ කරන්නේ. ඊට පස්සේ උසස් පෙළ හැදෑරූ මීගමුව සාන්ත පීතර විදුහලේදීත් විශ්වවිද්‍යාලයේදීත් කලාවට සම්බන්ධ වෙනත් කලාකරුවන්ගේ ආශ්‍රය කරන්න අවස්ථාවක් ලැබෙනවා. රඟපාන්න තියෙන ආසාවට කලාව ගැන අවධානය යොමු කළාට ඉන් පසුව බොහෝ දේවල් ගැන මම ඉගෙන ගන්නවා සහ ඉගෙන ගනිමින් ඉන්නවා.


ඔබ කලාවට සම්බන්ධ නොවුණා නම්?


මම ඒක ගැන හිතලා නැහැ.


වේදිකාවත්, සිනමාවත්, පුංචි තිරයත් සමග ගතවුණු කාලය ගැන මොකද හිතෙන්නේ?


මම කලාව ඇතුළේ වැඩ කරලා තියෙන්නේ අවුරුදු දහ අටක් වගේ කාලයක්. ඇත්තටම මම මාර සාර්ථක දේවල් තාම කරලා තියෙනවා කියලා මට හිතෙන්නේ නැහැ. අලුතෙන් තවත් දේවල් කරන්න මම උත්සාහ කරනවා. මට තව දේවල් ගොඩක් කරන්න තියෙනවා කියලා මම නිතරම හිතනවා. ආවා වගේම දුරක් යන්න තියෙන නිසා අතරමග නතර වෙලා ඒ ගැන හිතන්න ඕනේ නැහැ කියලා මම හිතනවා.





Previous Post Next Post