කලාකරුවෝ දේශපාලනය කරන්න ඕනා කලාවෙන් මිසක පාර්ලිමේන්තුවට ගිහින් නෙවෙයි -කලණ ගුණසේකර




ඔහු ලාංකික කලා කෙතෙහි තම අනන්‍යතාව රැකගත් රංගන ශිල්පියෙක්. එමෙන්ම තම රංගන කාර්ය සඳහා සම්මාන රාශියක් දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පියෙක්. එකිනෙකට වෙනස් චරිත නිරූපණය කරමින් තම රංගන පරාසයෙහි ශක්‍යතාව විදහා දක්වන මොහු ප්‍රේක්ෂක ආදරය නොමඳව දිනාගත් කලාකරුවෙක්. අද එක්වන්නේ ප්‍රවීණ රංගන ශිල්පි කලණ ගුණසේකර. 


මේ දවස්වල වැඩකටයුතු ගැන කතා කරමු?


මේ දවස්වල අක්ෂි ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේම සිසිරි ෆ්‍රනෑන්ඩුගෙ චිත්‍රපටයක් වන රණ මොනරු කියන සිනමාපටයේ වැඩකටයුතුවලට සහභාගි වෙනවා. එහි සංස්කරණ කටයුතු මේ දවස්වල සිදු කරනවා. මේ සිනමාපටයෙහි රූගත කිරීම් සිදු කරලා මේ වන විට වසර දෙකක් විතර ගත වෙනවා. මේ වැඩකටයුතු නිසාම වෙන වැඩ භාරගත්තෙත් නැහැ. ඔහොම තමයි මේ දවස් ගෙවෙන්නේ.


ඔබ කතුවරයෙක් ලෙස ප්‍රේමණීය සරාගිනිය සහ මූසිලය යන නමින් කෘති ද්වයක් එළි දක්වා තිබෙනවා. අලුත් පොතක් ලියන්න අදහසක් නැද්ද?


ඇත්තටම මම තවම පොතක් ලියන්න උත්සාහ කළේ නැහැ. මූසිලය කියන කවි පොත රචනා කර අවසන් කළාට පසුව තමයි මම ප්‍රේමණීය සරාගිනිය රචනා කළේ. මූසිලය පොතෙහි කවි දෙසීය ගණනක් තිබෙනවා. ප්‍රේමණීය සරාගිනිය කෘතියෙන් පසුව මට ඇත්තටම පොතක් ලියන්න අවශ්‍යතාවක් පැමිණියේ නැහැ. අනික මට ලියන එකට මූඩ් එකක් ආවෙ නැහැ. මට ලියන්න මූඩ් එකක් නිරායාසයෙන් මගේ ඇතුළෙන් ආවොත් විතරක් පොතක් ලියවෙයි.


වාණිජමය රංගන ශිල්පීන් සහ කලාත්මක රංගන ශිල්පීන් කියා බෙදීමක් තිබෙනවාද?


ඇත්තටම ඒක දෙකක්. Commercial Actorsලා සහ Art House Actorsලා කියන්නේ විශේෂයෙන්ම දකුණු ආසියාව කේන්ද්‍ර කරගත් සිනමාව තිබෙන රටවල බෙදීමක්. ඉන්දියාව සහ ලංකාව තුළ මේ බෙදීම ගොඩාක්ම තිබෙනවා. වාණිජමය රංගන ශිල්පීන් කියන්නේ භාවාත්මක රංගන කාර්යයක නිරත වනවාට වැඩියෙන් නර්තනය සහ සටන් ජවනිකාවලට තම රංග කාර්යයෙන් වැඩි බරක් යොදන පිරිසක්. රජිනි කාන්ත්, විජේ, ශාරුක් ඛාන් කියන රංගන ශිල්පීන් මේ ගණයට වැටෙනවා. මනෝජ් බජ්පායි, ශෂීන් සිද්දික් කියන රංගන ශිල්පීන් මෙහි අනෙක් ගණයට වැටෙනවා. බොහෝ තෙලිඟු සහ මලයාලම් රංගන ශිල්පීන් මේ කොටස් දෙකම සමබරව කරගෙන යනවා. ලංකාව තුළත් ඒක දෙකක් විධියට තිබෙනවා. නමුත් ලංකාවෙ හරියට වාණිජමය සිනමාපටයක් ඇවිල්ලා නැහැ. ලංකාව තුළ රංජන් රාමනායක, හේමාල් රණසිංහ, පුබුදු චතුරංග වගේ වාණිජමය රංගන ශිල්පීන් කිහිපදෙනෙක් සිටිනවා. මම තවමත් විශ්වාස කරන දෙයක් තමයි ලංකාව තුළ උන්මාදයෙන් මිනිසුන්ව සිනමාපටයක් වෙතට ගෙන්වා ගන්න පුළුවන් තරමේ සිනමාපටයක් නිර්මාණය වෙලා නැහැ. ඒක තිරපිටපත් රචකයන්ගෙ සහ අධ්‍යක්ෂවරුන්ගෙ වැඩක්.


ඔබ සම්මානිත අධ්‍යක්ෂවරයෙක් වන අල්හන්ද්‍රෝ ගොන්සාලිස්ට වැඩි කැමැත්තක් දක්වනවාද?


ඇත්තටම මම කැමැති අධ්‍යක්ෂවරයා කලින් කලට වෙනස් වෙනවා. මම යම් කාලෙකදි ඔහුට ආස කළා. මම ඔහු විසින් නිර්මාණය කළ Babel කියන සිනමාපටය සිය පාරකට වඩා බලලා තිබෙනවා. ඒ වගේම 21 Grams, Birdman, Amores Perros කියන සිනමාපටවලට මම දැඩිව ආශා කරනවා. අල්හන්ද්‍රෝ ගොන්සාලිස්ට වගේම සන්ජේ ලීලා බන්සාලි, අනුරාග් කාශප් කියන ඉන්දියානු අධ්‍යක්ෂවරුන්ට දැඩි කැමැත්තක් දක්වනවා. ඒ වගේම කොරියානු අධ්‍යක්ෂවරයෙක් වන කිම් කී දුක්ටත් මම දැඩි කැමැත්තක් දක්වනවා. මම ක්වන්ටින් ටැරැන්ටිනෝටත් කැමැතියි.


වත්මන් ලාංකික ටෙලිවිෂන් සහ සිනමා නිර්මාණ බොහෝමයක් නිර්මාණය වන්නෙ ත්‍රාසජනක ශානරය ආභාසයෙන්. මේ පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද?


ඇත්තටම ඒකට බලපාන්නේ ප්‍රේක්ෂකයාගෙ කැමැත්ත. ලාංකික ප්‍රේක්ෂකයාගෙ කැමැත්ත මොහොතින් මොහොත වෙනවා. ඔවුන් නිර්මාණ තුළින් විවිධ රස ඉල්ලා සිටිනවා. හොලිවුඩ් සිනමාව ගත්විට අපිට සහ ඉන්දියාවටවත් අත තියන්න බැරි විධියෙ ෆැන්ටසියක් ඔවුන් තම නිර්මාණ තුළ මවනවා. අපිට ඒවා සමඟ හැරෙන්නවත් බැහැ. මෙහෙම ට්‍රෙන්ඩ් එකක් හැදෙන්න මූලිකවම බලපා තිබෙන්නෙ ප්‍රේක්ෂකයාගෙ ඉල්ලීම. මේක හරි ලස්සන කර්මාන්තයක්. ඉන්දියානු සිනමා කර්මාන්තයට වගේ අපේ සිනමාවට මුදල් පොම්ප වෙන්නේ නැහැ. එහෙම වුණා නම් ත්‍රාසජනක ශානරයේ නිර්මාණ මීට වඩා ගුණාත්මකව අපිට නිර්මාණය කරන්න පුළුවන්.


කලාකරුවා දේශපාලනික විය යුතුද?


මම කලාකරුවෙක් විධියට පෙනී සිටිනවා මිසක දේශපාලනඥයෙක් විධියට පෙනී සිටින්නේ නැහැ. නමුත් කලාකරුවා දේශපාලනිකයි. කලාව කියන්නේ මිනිස්සු එක්ක කරන වෙන ගනුදෙනුවක්. අපි කරන කලාව තුළ දේශපාලනය තිබෙනවා. අපේ මිනිස්සුන්ට දේශපාලනය සහ දේශපාලනඥයා කියන දෙය පැටලිලා. අපේ කලාකරුවන් ඒක කුණු වුණ කේක් කෑල්ලක්, කුණු වුණ බිත්තරයක් ගානට වට්ටගෙන තිබෙන්නේ. කලාකරුවෙක්ගේ කලාව තුළ තිබෙන්නෙම යම් කිසි විධියක දේශපාලනයක්. දේශපාලනයෙන් තොර කලාවක් ලෝකෙ කොහේවත් නැහැ. නමුත් ලංකාවෙ දේශපාලනඥයෙක් වෙන්න ගිය හැම කලාකරුවම කලාකරුවෙක් විධියට අසාර්ථකයි. ඒක විෂයන් දෙකක් කියන එක ඔවුන්ට වැටහෙන්නෙ නැහැ. ජනප්‍රියත්වය කියන දෙය අප වෙත පැමිණෙන්නේ පාර්ලිමේන්තුවෙන් නවතින්න කියලා ඔවුන් සිතනවා නම් ඒක වැරදියි. මම අරගලය තුළ පවා කළේ ඒ දෙය. ඒක කුණුහරපයක් නෙවෙයි. ඒක තමා කලාව තුළ Performing Art කියන්නේ. ඒක ලංකාවට අලුත් දෙයක්. කලාකරුවා දේශපාලනය කළ යුත්තේ කලාව තුළින් මිසක් පාර්ලිමේන්තුව ඇතුළෙන් නෙවෙයි. එහෙම කලාව තුළින් පාර්ලිමේන්තුවට ගිය අය කලාව වෙනුවෙන් කිසිම දෙයක් කරලා නැහැ.


අද ඔබේ පරපුරේ රංගන ශිල්පීන් බොහෝ ප්‍රමාණයක් ඉතා ගුණාත්මක නිර්මාණ අධ්‍යක්ෂණය කරනවා. මේ පිළිබඳ මොකද සිතෙන්නේ?


මේක ඉතාම හොඳ ප්‍රවණතාවක්. අධ්‍යක්ෂවරුන්ට ඉතා හොඳට රඟපාන්න පුළුවන් ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. රංගන ශිල්පියාට තිබෙනවා යම්කිසි දේශපාලනික දෘෂ්ටියක්. ඒ තුළ ඔහු රචනය සහ අධ්‍යක්ෂණය කියන දෙය ප්‍රගුණ කරලා තිබෙනවා නම් ඒ දෙය කිරීමේ කිසිදු ගැටලුවක් නැහැ. එවැනි නිර්මාණ ශිල්පීන් කිසිදු අයුරකින් අසාර්ථක වෙලා නැහැ. උදාහරණයක් විධියට ප්‍රදීප් ධර්මදාස, ජගත් මනුවර්ණ, රොෂාන් රවීන්ද්‍ර වැනි රංගන ශිල්පීන් පෙන්වා දෙන්න පුළුවන්. ජැක්සන් ඇන්තනි සහ මහේන්ද්‍ර පෙරේරා පවා මේ කාර්යය ඉටු කරල තිබෙනවා. මේ අයුරින් රංගන ශිල්පීන් අධ්‍යක්ෂණය කළ බොහෝ නිර්මාණ තුළ ඉතා රස තැන් ස්පර්ශ කරලා තිබෙනවා. අධ්‍යක්ෂණය කියන්නේ බරපතළ කාර්යයක් වුණත් මොවුන් ෆ්‍රේම් එක ඇතුළේ කතා කරනවාට වඩා ඇක්ට් එක තුළ කතා කරන්න පෙලඹිලා තිබෙනවා. ලංකාව තුළ මේ දෙය අසාර්ථක දෙයක් නෙවෙයි.


ඔබ තිරපිටපත් රචකයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. ඒ ගැන කියනවා නම්?


මම අම්මා කියන ටෙලි නාට්‍යයේ තිරපිටපතේ කොටස් හතළිහක් රචනා කළා. මම මේ වන විට සිනමාපට 12කට පමණ තිරපිටපත් රචනයෙන් දායක වෙලා තිබෙනවා. ඉක්කා, තම්බපණ්ණි, සූස්ති, මන්කි මෑන්, අයිස් ක්‍රීම් යන නිර්මාණ ඒ අතර වෙනවා.


ඉදිරි වැඩකටයුතු ගැන කතා කරමු?


මම රංගනයෙන් දායක වුණු නිර්මාණ බොහෝ ප්‍රමාණයක් තිරගත වීමට නියමිතයි. මම සිනමාවට දායක වෙන ගමන්ම වාණිජමය සිනමාපටයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මම නර්තනය සහ සටන් කලාව කියන විෂයයන් දෙකම හදාරලා තිබෙනවා. පට්ට රොමෑන්ස් ඇක්ෂන් ෆිල්ම් එකක් මට කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබෙනවා. ඒක මගේ පොඩි ආසාවක්. ඇත්තටම කිව්වොත් කිචියක්.





Previous Post Next Post