අපි බලාගෙන ඉන්නෙ එයා ඉක්මනට අපේ පවුලට එකතු වෙනකන් -දිනක්ෂි ප්‍රියසාද්




දිනක්ෂි ප්‍රියසාද් කිවුවම නොදන්නා කෙනෙක් නැති තරම්ය. එක් අතකින් ඇය ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණියයි. අනෙක් අතින් ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකරගේ ජීවන සහකාරියයි. ස්වර්ණවාහිනී නාළිකාවේ සති අන්තයේ විකාශය වන අළු පාට දේදුණු ටෙලි නිර්මාණයෙන් මේ දිනවල ඔබ හමුවන ඇය හිරු නාළිකාවේ ඇගේ කතාව වැඩසටහන මෙහෙයවමින් නිවේදිකාවකගේ භූමිකාවෙහි ද නියැළෙන්නීය. කලා ශිල්පිනිය, ගෘහිණිය, මව යන විවිධ අංශයන්හි කාර්යබහුල වන ඇය විරාමයක් ලද ඇසිල්ලේ අප හා කතාබහට එක් වූවාය.


දිනක්ෂි කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?


ඇත්තටම ගොඩක් කාර්යබහුලයි. වාසවබදුගේ ‘විසල් ආදරේ‘ චිත්‍රපටයේ එකදිගටම රූගත කිරීම් කෙරෙනවා. ඊට අමතරව තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණය කරන අලුත් චිත්‍රපටයකත් වැඩ කරගෙන යනවා. ඒක හැත්තෑව දශකයේ ෆිල්ම් එකක්. ඊට අමතරව නැවතත් මං නිවේදනය පැත්තටත් යොමු වුණා. කාන්තාවන් බේස් කරගෙන ඔවුන් මුහුණ දෙන ගැටලු, සමාජයේදී මුහුණපාන්න වෙන සිද්ධීන් එක්ක මේ දවස්වල සමාජයේ වෙන්නෙ මොනවද කියන එක ගැන තමයි මේකෙන් කතා වෙන්නේ. නාට්‍යානුසාරයෙන් ඒක ඉදිරිපත් කරන්නත් අපි උත්සාහ කරනවා. දැනටමත් ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම හසුන් සමීරගෙ අලුත් ටෙලි නාට්‍යයකටත් සම්බන්ධ වුණා. පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් වේදිකා නාට්‍යය එක්කත් සම්බන්ධ වෙලා ඉන්නවා. මේ හැමදේම අතරේ ගෙදර වැඩ, දෝණිගෙයි, සාරංගගෙයි වැඩ ගැනත් බලන්න ඕනෙ. ඒ නිසා දවස ගොඩක් කාර්යබහුලයි.


දිනක්ෂි මේ දවස්වල වේදිකාවෙත් දකින්න ලැබෙනවා. ඒ ගැනත් කතා කරමු?


කපිල රස්නායකගේ පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් වේදිකා නාට්‍යයට සාරංගයි මායි දෙන්නම සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමාජයේ තියෙන මිථ්‍යා විශ්වාස ගැන කතා වෙන ගමන් ඒක එහෙම වෙන්න ඕන නෑ කියන තැන ඉඳන් කතා කරන නිර්මාණයක්. ජීවිතේ අවධි කිහිපයක් නියෝජනය කරමින් මගේ චරිතය නාට්‍ය පුරාම මුහු වෙනවා. මේ වෙද්දි හොඳ ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වෙලා තියෙනවා. මීට කලිනුත් මං වේදිකා නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වෙලා තියෙනවා.


හදිසියෙම දිනක්ෂිගෙ පෙනුම වෙනස් කරගන්න හිතුවෙ ඇයි?


ඒක නම් මේ චිත්‍රපටයක අවශ්‍යතාව මත කරපු දෙයක්. ඒකට කොණ්ඩෙ කලර් එක වෙනස් කරන්න වුණා.


දිනක්ෂි මොනවා කළා කිවුවත් මඩ ගහන්න බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා නේද?


ඒක මේ ක්ෂේත්‍රයෙ හැටි ද මන්දා. හොඳ කළත් මඩ ගහනවා. නරක කළත් මඩ ගහනවා. දැන් නම් මං ඒක තේරුම් අරන් තමයි ජීවත් වෙන්නේ. අපේ හෘද සාක්ෂියට එකඟව අපි ඉන්නෙ කොතැනද කියන එක තමයි වැදගත්. මිනිස්සු කරන කියන ඒවට උත්තර බඳින්න ගියා නම් මෙච්චර කල් මං කරගෙන තියෙන දේවල් කරගන්න වෙන්නෙත් නැහැ. ඉස්සරහට යන්න වෙන්නෙත් නැහැ. මම කවදාවත් මිනිස්සුන්ට ඕන විදිහට වෙනස් වෙච්ච කෙනෙකුත් නෙවෙයි. එයාලට ඕන විදිහට ජීවත් වෙච්ච කෙනෙකුත් නෙවෙයි. මං ඉන්න විදිහට මට හැමදාම ආදරේ කරපු ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඒ ආදරේ මට ඇති.


සාරංගගෙ චිත්‍රපටයෙ වැඩකටයුතු කොහොමද?


මේ දවස්වල ඒකෙ පෝස්ට් ප්‍රොඩක්ෂන් එකේ කටයුතු කෙරෙනවා. එඩිටින්, මියුසික් වගේ දේවල්. ලබන අවුරුද්දෙ මුල වගේ රිලීස් කරන්න පුළුවන් වේවි. සාරංගගෙ ඒ වැඩේට උදවු කරන ගමන් මං ඒකෙ ආරාධිත රංගනයක නියැළෙනවා.


සාරංග නම් කියන්නෙ දිනක්ෂි එයාගෙ කෑම බීමවල ඉඳල හැමදේම හොයල බලනවා, ලොකු සහායක් දෙනවා කියලා. දිනක්ෂිට සාරංගගෙන් ලැබෙන සහාය මොන වගේද?


මට කැමැති විදිහට ජීවත් වෙන්න දීපු එක තමයි එයා මට දෙන ලොකුම සහයෝගය. කිසිදේකට නීති දාල නෑ. තහංචි දාල නෑ. මං කැමැති විදිහට ජීවත්වෙන්න මට නිදහස දීල තියෙනවා. ඒක තමයි එයාගෙන් ලැබෙන ලොකුම සපෝට් එක. හැමවෙලේම හොයල බලනවා. කිසිම අඩුපාඩුවක් නෑ. ඒ වගේම මගේ වැඩවලටත් සහාය දෙනවා. නිවාඩුවක් ලැබුණ ගමන් චූටි දෝණිත් එක්ක අපි තුන්දෙනා ඇවිදින්න යනවා. විනෝදෙන් සතුටින් ඉන්නවා.


ත්‍රී සිස්ටර්ස්ලට දැන් එකට ඉන්න තියෙන කාලය අඩුයි නේද?


අපි වෙන්වෙලා හිටියත් හැමවෙලාවෙම බලන්නෙ එකට සෙට්වෙලා මොනවහරි කියව කියව ඉන්න. එදා හිටිය වගේම තමයි. ඒකටම හරියන හස්බන්ඩ්ල දෙන්නෙකුයි සනූට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙකුයි හම්බවෙලා තියෙනවා. පුළුවන් හැමවෙලාවෙම අම්මලගෙ ගෙදරට එකතු වෙලා චැට් එකක් දාගෙන විහිළු කරගෙන විනෝදෙන් ඉන්නවා.


නංගිල දෙන්නම දැන් මියුසික් වීඩියෝවලින් ජනප්‍රිය වෙලා ඉන්නෙ. දිනක්ෂි කැමැති නැද්ද මියුසික් වීඩියෝවක් කරන්න?


ශේෂාද්‍රි නංගි ගත්තෙත් දිනේෂ් මල්ලිනෙ. මල්ලිගෙ ඊළඟ මියුසික් වීඩියෝවට එන්න කියනකන් තමයි මං මේ බලාගෙන ඉන්නෙ. දිනේෂ් මල්ලි කියන්නෙ හරිම හොඳ, දක්ෂ කෙනෙක්. අපි බලාගෙන ඉන්නෙ එයා ඉක්මනින් අපේ පවුලට එකතු වෙනකල්.






Previous Post Next Post