දිනී ඇතුළේ ඉන්න වෙනස් කාන්තාවටයි මම කැමැති-සංගීත් සතරසිංහ




සංගීත් සතරසිංහ, දිනිති වල්ගමගේ කලා ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනක් යමින් සිටින දෙදෙනෙක්. ඔවුන් මේ වෙද්දි දිගු ජීවන ගමනකටත් අත්වැල් අල්ලාගත් කලා යුවළක්. ඒ වගේම ඔවුන් මේ දිනවල බොහෝ කතා බහට ලක් වෙන යුවළකුත් වෙලා. ඔවුන්ගේ ජීවිතේ සුවිශේෂි සැමරුම්, සුවිශේෂි අවස්ථා තමන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන් සමඟ බෙදාහදාගන්න උත්සාහ කරද්දි බොහෝ දෙනෙක්ගේ අවධානයට කතා බහට ලක්වීම මේ දිනවල වැඩි වැඩියෙන් සිද්ද වෙලා. ඒ නිසාම ඔවුන් ඒ ගැන කියන්නේ මොනවද කියලා දැන ගන්නත් එක්කම අපි ඔවුන්ට කතා කළා.


මේ දවස්වල දෙන්නම ගොඩක් කාර්යබහුලයි වගේ? 


ඇත්තටම ගොඩක් කාර්යබහුලයි. මැණිකයි මමයි රංගන කටයුතු එක්කත් කාර්යබහුල වෙලා ඉන්නවා. ඒ වගේම අපේ පෞද්ගලික ව්‍යාපාර කටයුතු එක්කත් කාර්යබහුල වෙලා ඉන්නේ.


විවාහ උත්සවය වෙනුවෙනුත් කාර්යබහුල වෙලා ඇති නේද?


ඒ වැඩ කටයුතු වෙනුවෙනුත් ගොඩක් කාලය වෙන් කරලා තියෙන්නේ. හැමදේටම එහේ මෙහේ දුවනවා අපි දෙන්නම.


දිනී එක්ක ඔබ වැඩි කාලයක් ගත කරනවා නේද?


මැණික එක්ක තමයි මම වැඩි කාලයක් ගත කරන්නේ. අපි අපේ අය වෙනුවෙන් කාලය වෙන් කරන්න ඕනේ. ඒක වැරැද්දක් නැහැනේ.


දිනී එක්කම කාලය ගත කරන්න ගිහින් යාළුවෝ නැති වෙලා නැද්ද?


මැණික එක්ක මම ඉන්න එක දරාගන්න බැරි අය ඉන්නවා නම් ඒ අයව ජීවිතයේ යාළුවෝ විදිහටවත් මම තියාගන්නේ නැහැ. මැණික එක්ක ගෙවන කාලය මට වටිනවා. ඒ නිසා එයා එක්ක ගෙවන කාලය මඟහැරගන්න මම කැමැති නැහැ. මම කවදාවත් මැණිකව දාලා විනෝද වෙන්න ගිහින් නැහැ. මට ඉන්නේ අඩු මිතුරන් පිරිසක්. එයාලා අපි දෙන්නව හරියට දන්නවා. ඇත්තටම මගේ ලොකුම සතුට තියෙන්නේ මැණික ළඟ. අපි දෙන්නම ගොඩක් වෙලාවට කැමැති එකම දේවල්වලට. අපි එහෙම එකම දේකට කැමැති නොවෙන අවස්ථාවල අපි අනෙක් කෙනා කැමැති දෙයට එකඟ වෙනවා. මැණික ගොඩක් වෙලාවට ඒ දේ කරනවා. ඒක පවුල් ජීවිතයක සාර්ථකත්වයට වුණත් ගොඩක් වැදගත්.


දිනී කියන්නේ ඔබේ හොඳම තීරණය කියලා හිතනවද?


මගේ ජීවිතේ මේ වෙනකල් සහ ඉදිරිය ගැන හිතද්දිත් මම ගත්ත හොඳම තීරණය තමයි දිනී මගේ ජීවිතයට ළංකර ගැනීම. මීට කලින් මගේ ජීවිතේ හැලහැප්පීම් තිබිලා තියෙනවා. ගොඩක් අය මගේ ජීවිතේට ආවේ, එන්න උත්සහ කළේ සල්ලි නිසා. මට හරියනවා දකින්න ආසාවෙන් කවුරුවත් මගේ පස්සෙන් ආවේ නැහැ. මට වංචා කරලා මගේ ඇගේ එල්ලෙන්න බලන් ආපු අය තමයි හිටියේ. මම වැරැදි කරලා නැහැ. මම මගේ ජීවිතේ තනියෙන් ගත්ත හොඳම තීරණය මැණික. මැණික වගේ කෙනෙක් මගේ ජීවිතයට ආපු එක මාර දෙයක්. මැණිකව ලැබීම වාසනාවක් මට.


එහෙම කියන්නත් හේතු ඇති?


මම ක්ෂේත්‍රයට එන්නේ 2012දී. මම ක්ෂේත්‍රයට ආපු කාලේ සහ දැන් බලද්දි දිනී මාව සෑහෙන්න වෙනස් කරලා තියෙනවා. මාව උඩට ගත්තේ මගේ මැණික. මාව හැම තිස්සෙම හරි දෙයට මෙහෙයුවේ ඇය. මම සාර්ථක වෙනවා දකින්න එයා ඇත්තටම කැමැති වුණා. මම ඒකයි දිනීට ගොඩක් ගෞරව කරන්නේ. මම ඇය එක්ක ගොඩක් සන්තෝසෙන් ඉන්නේ. ඒකයි මම කියන්නේ මම තනියෙන් ගත්ත තීරණවලින් මම ගත්ත හොඳම තීරණය මැණික කියලා.


ගුවන් සේවිකාවක් වුණ දිනී මේ වෙනකොට සේවයෙන් ඉවත් වෙලා. ඒක දිනීම ගත්ත තීරණයක්ද? නැත්නම් එය ඔබේ යෝජනාවක්ද? 


ඒක මැණික ගත්ත තීරණයක්. ඇය ශ්‍රී ලංකා ගුවන් සේවයේ අවුරුදු 8ක් වැඩ කළා. දිනී හරිම ස්වාධීන කෙනෙක්. එයා කවදාවත් වෙන කෙනෙක්ගෙන් යැපෙන්න උත්සහ කරන කෙනෙක් නෙමෙයි. උපාධි කරලා, රැකියා කරලා ,එයාටම කියලා දේවල් උපයගෙන තනියෙන් ගොඩනැගුණ කෙනෙක් ඇය. හරි වෙලාවේ හරි තීරණය ඇය ගන්නවා.


සංගීත්, දිනීට කරන්න එපා කියලා බල කරපු දේවල් ඇත්තෙම නැද්ද?


මට එහෙම එයාට කියන්න ඕන වෙලා නැහැ. එකට ජීවිතයක් ගත කරද්දි එකිනෙකා ගැන අවබෝධය හරිම වැදගත්. දිනී ඒ අවබෝධයේදී ඉදිරියෙන්ම ඉන්නවා. එයා හරි තීරණ හරි වෙලාවේ ගන්නවා.


දිනීව දැනෙන,දිනීව වඩාත් දන්න කෙනා ඔබ. ඔබට ඇය දැනෙන්නේ කොහොමද?


මම හිතන්නේ ජීවිතයක් සාර්ථක වෙන්න හරි ගැහැනියක් පිටිපස්සෙන් ඉන්න ඕනේ. දිනී මම කරන හැම දෙයකටම සහයෝගය දෙන කෙනෙක්. මාව අගය කරනවා. වැරැද්දක් දැක්කොත් ඒකත් කෙලින්ම කියනවා. ඒක හරි ආදරණීයයි. එයා කොච්චර ආදරණීය චරිතයක් ද කියලා දන්නේ මම. පිට කවරය බලලා සම්පූර්ණ පොත තේරුම් ගන්න බැහැනේ. දිනී කියන්නේ හරි වෙනස් චරිතයක්. එයාගෙ ඇතුළේ සුමට කාන්තාවක් ඉන්නවා.


දිනී සංගීත්ගේ අම්මගෙයි, තාත්තගෙයි හිතත් ගොඩක් දිනා ගෙන නේද?


පවුල් ජීවිතයක් ඉදිරියට ගෙනියන්න නම් දෙන්නට දෙන්නා එකිනෙකාව සමබර කරගෙන ජීවත් වෙන්න ඕනේ. දිනී කියන්නේ එහෙම කෙනෙක්. එයා මගේ අම්මවයි තාත්තවයි ආදරයෙන් බලාගන්න කෙනෙක්. මගෙන් එයාලට වෙන්න ඕන දේවලුත් දිනී හොයලා බලලා කරනවා. මගේ අම්මයි තාත්තයි දිනීට ගොඩක් ආදරෙයි.


මේ දවස්වල ගොඩක් අය ඔය දෙන්නා කරන කියන ගොඩක් දේවල් විවේචනය කරනවා අපි දකිනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?


ඕන කෙනෙක්ට ඕන දෙයක් ගැන තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. ඕනෑම තැනක සුදු කළු චරිත, හොඳ, නරක චරිත ඉන්නවානේ. තව කෙනෙක්ට මඩ ගහන, තව කෙනෙක්ව විවේචනය කරන අය ඒ එළියට පෙන්වන්නේ තමන්ගේ ඇතුළාන්තය. තමන්ගේ අයටත් මේ වගේ දේවල් වෙන්න පුළුවන්නේ කියලා හැඟීමක්, දැනීමක් තියෙනවා නම් කිසිම මනුස්සයෙක් කිසිම කෙනෙක්ට මඩ ගහන්නේ නැහැ. තමන්ගේ ඇඟේ මඩ තියෙන මිනිහා තමයි තවත් කෙනෙක්ට මඩ ගහන්නේ. තමන්ගේ ඇඟේ රත්තරන් තියෙන අය කවදාවත් ඒවායෙන් දමලා ගහන්නේ නැහැනේ. ඒ යථාර්ථය තේරුම් අරගෙන තියෙන්නේ මැණිකයි මමයි දෙන්නම. ඒ නිසා අපි ඒ විවේචන ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. 


ඒ කියන්නේ විවේචනවලට ඔය දෙන්නා සැලෙන්නේ නැහැ කියලද?


අනිවාර්යයෙන්ම. අපි අපේ යූ ටියුබ් චැනල් එකේ කොච්චර හොඳ දේවල් කරලා දානවද? කොච්චර පුණ්‍ය කටයුතු කරනවද? මැණික තමයි මාවත් ඒවගේ වැඩවලට පෙළඹුවේ. ඇය තමන් උපයන මුදලින් කොටසක් පුණ්‍ය කටයුතුවලටත් වෙන් කරනවා. ඒවගේම ශ්‍රී ලංකා ගුවන් සේවයට ගුවන් සේවිකාවන් බඳවා ගනිද්දි දිනී ඒ සම්බන්ධ දැනුම්වත් කිරීමේ වීඩියෝ කරලා දැම්මා. ඒවා කොච්චර ප්‍රයෝජනවත් වුණ අය ඉන්නවද? අපි කරන හොඳ දේවල් කවුරුවත් වීඩීයෝ කොටස් කපලා උලුප්පලා පෙන්නුවේ නැහැනේ. නමුත් වෙන දෙයක් කළොත් ඒවායේ කොටසක් කපලා අරගෙන මඩගහනවා. ඒ අය තාවකාලික තෘප්තියක් ලබන්නේ. තව කෙනෙක්ට මඩ ගහන්න, විවේචනය කරන්න කාලය වෙන් කරන වෙලාවේ ඒ අය තමන් වෙනුවෙන් දෙයක් කරගත්තනම්, කොච්චර හොඳද. ඒ අය අපිව විවේචනය කර කර ඉන්න වෙලාවේ, අපි ආරම්භයට වඩා සෑහෙන හොඳ තැනකට ඇවිත් ඉන්නවා. අපි කරන හොඳ වැඩ අපි තව කාට හරි ආදර්ශයක් වෙන්නත් එක්ක දිගටම කර ගෙන යනවා. ඇත්තටම අපි දෙන්නම සමාජ මාධ්‍යවල දාන කමෙන්ට් කියවන්නේ නෑ. මම කියන්නේ මඩ ගහ ගහා ඉන්නේ නැතුව තමන්ගේ ජීවිතය සාර්ථක කර ගන්න දෙයක් කර ගන්න එක තමයි වටින්නේ. අපේ යූ ටියුබ් එකට අපි විනෝදාස්වාදය ගෙන දෙන දේවල්, අධ්‍යාපනයට වැදගත් දේවල්, පුණ්‍ය කටයුතු , චාරිකා, ඉවුම් පිහුම්, මේ හැම දෙයක්ම දානවා. ඇද හොයා හොයා ඉන්න වෙලාවේ කෙනෙක්ට පුළුවන් තමන්ට අකැමැති දේවල් මඟ හැරලා ඉන්න. අපිට ආදරය කරන පිරිසට පුළුවන් අපි දාන දේවල් කැමැත්තෙන් බලන්න.


ඔබ දිනීට විවාහ යෝජනාව ගෙනාව වීඩීයෝව, ඇත්තටම දිනීව පුදුම කිරීමක්ද? නැත්නම් මේක යූ ටියුබ් එකටම කළ වැඩක්ද?


දිනී සප්‍රයිස් වුණා ඒකට. අපි එකිනෙකා කරන්න කැමැති දේවල් තියෙනවානේ. මේවගේ වැඩක් කරන්න අපි ආසාවෙන් හිටියා. කිහිප දෙනෙක්ව එකතු කරගෙන අපි ඒ ආස කළ දේ ලස්සනට කළා. අපි කරපු දේ බලන්න ආස නැති අයට පුළුවන් ඒ දේ නොබලා ඉන්න. එහෙම නැතුව ඒක බලලා ඒක මහ ලොකු දෙයක් කරගෙන ව්වේචනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ආදරය කරන පිරිස ඔය විවේචනය කරන පිරිසට වඩා වැඩියි. අපි ඒක දන්නවා. ඒකනේ අපේ යූ ටියුබ් චැනල් එක ලක්ෂ 6කට වඩා සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නේ. අපිට ආදරය කරන පිරිස අපේ දේවල් විඳිනවා. අපි කළා වගේ එයාලට ආස දේවල් කරන්න උත්සහ කරන පිරිසක් ඉන්නවා. කෙනෙක් සතුටු වෙද්දි ඒක දැකලා සතුටු වෙන්න පුළුවන් හදවතක් තියෙන අයට ඕකේ ලොකු කරගෙන විවේචනය කරන්න මඩ ගහන්න දෙයක් නැහැ කියලා අපිට හිතෙන්නේ. අපි අපේ ජීවිතයට ධනාත්මක දේවල් ළං කර ගන්න ඕනේ. අපි අපේ ගමන යන්නේ ඒ ධනාත්මක දේවල් ළං කරගෙන.


රංගන කටයුතුවලදි දැන් සංගීත්ට වෙනදට වඩා වැඩි ඉල්ලුමක් ඇති වෙලාද?


ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. චණ්ඩි කුමාරිහාමි නාට්‍ය මේ දවස්වල විකාශය වෙන නිසා තව වැඩවලට ආරාධනා ලැබෙනවා.


මොනවද දෙන්නගේ ජීවිතේ ඉදිරි සැලසුම්?


සැලසුම් ගොඩක් තියෙනවා.අපි ඒ සැලසුම්වලට ගිහිල්ලම ඊට පස්සේ ඒ දේවල් කියන එක හොඳයි. සැලසුම් මුලින් කියන්න ගියොත් ඒවට මිනිස්සු හූල්ලන්න පුලුවන්.


අපි අපේ ගමන නිශ්ශබ්දව ගිහින් හරි වෙලාව ආවම හැමදේම කියන්නම්. දැනටත් මැණිකයි මමයි අපේ ඉලක්කවලට ගොඩක් ගිහින් තියෙන්නේ. ඉතුරු ටිකත් අපි සාර්ථක කරගෙන හරි වෙලාවෙදි එළියට ගේන්නම්.





Previous Post Next Post