අපේ ගී ගැයුවට කමක් නෑ ඒත් ඒවගෙන් හම්බකරන්න එපා-චන්ද්‍රසේන හෙට්ටිආරච්චි



ඔබේ සංගීත දිවියේ හතළිස් පස්වසරක අභිමානය වෙනුනේ සංගීත ප්‍රසංගයක් පවත්වනවා. ඒ සම්බන්ධයෙන් අපි මුලින්ම කතා කරමු..?


ඔව්. මගේ කලා ජීවිතයට අවුරුදු හතළිස් පහක් සම්පූර්ණ වීම නිමිති කොටගෙන තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ මෙම ප්‍රසංගය චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ හතළිස් පස් වසරක අභිමානය ''සෙනෙහසේ ගී අසිරිය - ඔයා නිසා'' තමයි නම් කළේ. මෙය මේ මස 16 වැනිදා සවස හයයි තිහට මහරගම ජාතික තරුණ සේවා සභාවේ යොවුන් රඟහලේදී පැවැත්වෙනවා. (සමහරවිට ඔබ මෙය කියවද්දීත් ප්‍රසංගය අවසන් වී තියෙන්නට පුළුවන්) ජාතික තරුණ සේවා සභාව කියන්නේ අපේ මහගෙදරයි. අපි හැදුණේ වැඩුණේ එතනයි.


ප්‍රසංගයට කිසිදු ප්‍රවේශ පත්‍රයක් ඔබ නිකුත් කළේ නැහැ. ඒකත් සුවිශේෂී වුණා...?


ඔව්... මේ ප්‍රසංගය බලන්න කිසිදු රසික රසිකාවියකගෙන් මුදලක් අයකළේ නැහැ. ප්‍රවේශපත්‍ර නැහැ. සංදර්ශන, ප්‍රසංග මුදලට විකිණෙන යුගයක, හැමදෙයක්ම ටිකට් වලටම යටවුණ කාලයක මගේ ප්‍රසංගයට ටිකට් නිකුත් කළේ නැහැ. මේ රසික රසිකාවියන්ට අවුරුදු පහකට වතාවක් මම ලබාදෙන තිළිණයක්. මේ වසරේ දීපු තෑග්ග මේකයි. මගේ උපන් දිනය සැප්තැම්බර් 07 වෙනිදා යෙදිලා තිබුණා. ඒ හතරවෙනිදාට දෙන්න තිබුණ තිළිණය මම දාසය වෙනිදාට ලබලා දුන්නා. මේ ප්‍රසංගයට මගේ හිතමිතුරන් උදව් කළා. ප්‍රසංගයට වැයවන මුදල වෙනුවට ඒ මගේ හිතුවතුන් ඔවුන්ට පුළුවන් අන්දමට අනුග්‍රහය දැක්වූවා. ඔවුන්ගේ උදව්වෙන් මෙය නොමිලේ පවත්වන්නට මට අවස්ථාව ලැබුණා. එදිනට ලංකාවේ ජනප්‍රියම වාදන ශිල්පීන් පහළොස් දෙනෙක් එක්ව සංගීතය සපයනවා. තිළිණ තුෂාර ප්‍රමුඛ වාද්‍ය වෘන්දය සංගීතය සපයයනවා. කනට අපහසුවක් නොවන රහට සින්දු ටිකක් ලබල දෙන්න මම හැම මොහොතකම උත්සාහ දරනවා.


දශක හතරකට එහා ආපු මේ ගමනේදී මුල්ම ''තවලම'' අමතක කරන්න බැහැ නේද...?


කොහෙත්ම බැහැ. 1980 මුල් කාලයේදී තමයි තවලම මුලින්ම ගායනා කළේ මුලින්ම බෙල්වුඩ් රූපවාහිනී ගම්මානයේ තමයි මේ ගීතය නිර්මාණය වුණේ. බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේදී යොවුන් ගී කණ්ඩායමේ මුල්ම සාමාජිකයෙක් වුණ මම ගායනා කළ ''ඈත හමා යන මඳ සුළඟේ...'' කියන කවුරුත් දන්නා තවලම ගීතයේ රචකයා සංගීත අධ්‍යක්ෂවරයා වන්නේ ෂර්ලි වෛජයන්ත ගුණසිංහ මහතායි. ජාතික තරුණ සේවා සභාවේ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයෙන් සංගීතය හැදෑරූ මගේ මුල්ම සංගීත ගුරුවරුන් වන්නේද විශාරද නිහාල් ගම්හේවා මහතා සහ විශාරද ෂර්ලි වෛජයන්ත මහතායි.


එදා මුලින්ම තවලම ගායනා කරද්දී මේ තරම් දුරක් ඔබට තවලම අරගෙන යාවි කියන විශ්වාසයක් තිබුණාද...?


එහෙම මහ ලොකු හීනයක්, බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හැබැයි තවලම ගීතය මුලින්ම ගුවන්විදුලියේ බදාදා පිළිසඳරෙන් ප්‍රචාරය වුණාට පස්සේ මට ලැබුණ ප්‍රතිචාර හරියට තිබුණා. ඒ නිසා තවලමේ නැගලා මට ගොඩක් දුර යන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා. ඒ තවලමේ නැගලා දැන් මම අවුරුදු හතළිස් පහක් වෙනවා. අදටත් මම තවලමේ යනවා. ඒක සතුටුයි.


චන්ද්‍රසේන මුලින්ම ගීත ගායනා කළේ 1978 අවුරුද්දේ? ඒ මතකයන් කොහොමද..?


එදා මම මුලින්ම 1978 අවුරුද්දේ ගායනා කළේ මගේ ගීතයක් නෙමෙයි. එදා මම මුලින්ම මොහිදීන් බෙග් මාස්ටර්ගේ ගීතයක් ගායනා කළා. ඉස්සර ආධුනික තරග තිබුණා. මම ඒවාට සෝමතිලක ජයමහ මහතාගේ, ජෝතිපාල මහතාගේ ලස්සන ගීත ගායනා කළා. හැබැයි එහෙම ගායනා කළ ගීතවලට, කලාවට තිබුණ ආසාව නිසා මිසක් මුදල් හම්බ කරන්න නෙමෙයි. අපි පිටිසර ගම්වල හිටපු මිනිස්සු. සර්පිනාවක්, ඩොල්කිය ගහලා, පොල්ගහක ස්පීකර් දෙකක් බැඳලා ගමේ තිබුණ සංගීත සංදර්ශන මට තාම මතකයි. අපි ඒවායේ පෝලිම්වල ඉඳලා සින්දු කියාගන්න බැරිවුණ අවස්ථා තියෙනවා. අපි සංදර්ශන සංවිධායකවරුන්ට රුපියලක් දීලා සල්පිල්වල සින්දු කියපු යුගයක් තිබුණා. ඒවා හරි සුන්දර කාලයක්. කොට කලිසම ඇඳලා වේදිකාවේ සින්දු කියද්දී අපේ ගමේ යාළුවෝ කෑගහපු අවස්ථා තිබුණා. ඒවා හරි සුන්දර කාලයක්.


ඒ සුන්දර කාලය ගෙවුනේ කොහේද...?


මම හැදුනේ යටියන්තොට ගරාගොඩ කියන ගමෙයි. මගේ ගෙදර ඉස්සරහ තමයි මගේ පාසල තිබුණේ. ඒ ගරාගොඩ සිංහල කනිෂ්ඨ විදුහලෙන්. ඊටපස්සේ මම යටියන්තොට මධ්‍ය මහා විදුහලට ඇතුළත් වුණා. ඉස්සර ගරාගොඩ සිංහල කනිෂ්ඨ විද්‍යාලය මට ගෙදර වගෙයි. ඒ වගේම ගෙදරත් මට පාසල වගෙයි. ඒ කාලේ පාසල් කාලය වගේම අපේ ගමේ ගෙවුණු ජීවිතයත් හරි සුන්දරයි. අද කාලේ දරුවන්ට නොලැබෙන හරි අපූරු සුන්දර ළමා කාලයක්, පාසැල් කාලයක් ඒ කාලේ අපිට තිබුණා.


පුංචි කාලේදී ඔබට වාදනයටත් හැකියාවක් තිබුණා කියලයි ආරංචිය...?


ඔව්. මම එහෙම වාදනය ඉගෙන ගෙන තිබුණේ නැහැ. මගේ තාත්තා වාදනය කරන හැටි පුංචි කාලේ ඉඳන් මම ආසාවෙන් බලාගෙන හිටියා. මගේ තාත්තා ඉස්සර රූට අපි කට්ටියව ළඟින් තියාගෙන ගීත ගියනා කළා. මට සහෝදරියන් හතර දෙනෙක් සහ එක් සහෝදරයෙක් ඉන්නවා. මම පවුලේ දෙවැනියා. ඉතින් තාත්තා අපි කට්ටියවම ළඟින් තියාගෙන සර්පිනාව, ඩොල්කිය වාදනය කරමින් ගීත ගායනා කළා. ඒවා බලාගෙන ඉඳලා මටත් ඒවා වාදනය කරන්න හැකියාව ලැබුණා. තාත්තා එහෙම සර්පිනාව, ඩොල්කිය වාදනය කරද්දී මම ජපන් මැන්ඩලීනය වාදනය කළා.


වර්තමානයේදී රූපවාහිනි නාලිකාවල විකාශනය වන සංගීත රියැලිටි වැඩසටහන්වල බොහෝ තරගකරුවන්, තරගකාරියන් ඔබේ ගීත ගායනා කරනවා. ඒවා ඇහෙද්දී ඇත්තටම ඔබට මොකද හිතෙන්නේ...?


ඇත්තටම එවැනි තරගවලට මගේ ගීත ගායනා කරද්දී මම හරියට සතුටු වෙනවා. සමහර එවැනි තරගකරුවන්, තරගකාරියන් ඉතා දක්ෂයි. මමත් ආධුනිකව ඉන්න කාලේ, ආධුනික තරගවලට ඉදිරිපත් වෙලා තිබෙනවා. හැබැයි අද තරගවලට ඉදිරිපත්වන තරගකරුවන් අපේ ගීත ගායනා කරමින් ඒවායින් මුදල් ඉපයීමේ තත්ත්වයට පත්වෙලා ඉන්නවා. අපි නම් මුදල් උපයන්න අනුන්ගේ ගීත ගායනා කළේ නැහැ. වර්තමානයේදීත් මුදල් උපයන්නන් අනුන්ගේ ගීත ගායනා කරන යුගයක් පැමිණ තිබෙනවා. රියැලිටි තරගවලට මගේ ගීත ගායනා කළාට කමක් නැහැ. නමුත් ඒ ගීත ඔවුන්ගේ ජීවනෝපාය කරගන්න එපා. ඔවුන් අපේ ගීතවලින් ජයගෙන ඔවුන්ගේ ගීත හදාගෙන මේ ගමන එන්න. ඒක තමයි වටින්නේ.


අද මේ ගමනට ඔබේ බිරිඳගෙන්, දරුවන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?


ඒ සහයෝගය ඉතා විශාලයි. මගේ ජීවිතේ මුල්ම ශක්තිය මට මගේ අම්මගෙන් තාත්තගෙන් ලැබුණා. ඊටපස්සේ මගේ ගුරුවරුන්ගෙන් ලැබුණා. මගේ විවාහයෙන් පස්සේ මගේ ළඟින්ම ඉඳලා හැමදේම හොයලා බලන්නේ මගේ බිරිඳ මංගලිකායි. අපිට දරුවන් දෙන්නෙක් ඉන්නවා. පුතා ගයන හෙට්ටිආරච්චි වගේම ලිහිණි විහංගා හෙට්ටිආරච්චි දුවත් මගේ මේ ගමනට ලොකු හයියක් වෙනවා. ඉතින් මේ හතළිස් පස් වසර පුරාවට මගේ ගමනට ශක්තියක් වුණු හැම දෙනෙක්ම, මගේ ආදරණීය රසික රසිකාවියන්ට ගොඩක් ස්තූති කරනවා.


දිශානි ජයමාලි





Previous Post Next Post