ලිහිණිට ලොක්කිට දෙන ආදරේට මමත් ගොඩක් ආදරෙයි-ශලනි ප්‍රනාන්දු



කලා ලොවේ තවත් මංගල උත්සවයක් පසුගියදා පැවැත්වුණා. එලෙස විවාහ දිවියට එළඹුණේ රංගන ශිල්පී ශලනි ප්‍රනාන්දු සහ චිත්‍රපට සහ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂක හර්ෂ උඩකන්ද. මේ මංගල දිනය පවත්වා තිබුණේ විශේෂ දිනයක් මුලික කරගෙන ඒ නිසාම ඒ ගැන අපි අලුත විවාහ වූ යුවළ සමඟින්ම කතාබහ කළා.


ඔය ආදර කතාව මුලින්ම කිව්වෙත් සිළුමිණට, ඒ නිසාම මංගල්‍යය ගැනත් කියමු?


ආදරේ කරන්න පටන් ගත්ත කාලෙම තීරණය කළා අපි විවාහ වෙනවා නම් ශලනිගේ උපන්දිනය දවසෙම විවාහ උත්සවය ගන්න. සැප්තැම්බර් මස 11 කියන්නේ ශලනිගේ උපන්දිනය. ඉතින් අපි අපේ විවාහය 11 වෙනිදා සිදු කළා.


කොහොමද විවාහ කටයුතු සැලසුම් කළේ?


අපි විවාහ කටයුතු එක දවසකට සීමා කළා. උදේ කාලයේ කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ විවාහ මංගල්‍යය පවත්වලා එදාම හවස ක්ෂේත්‍රයේ සමීපතමයින් එක්ක බොල්ගොඩ පැරඩයිස් හිදී උත්සවය පැවැත්වුවා.


අපි මතක් කළොත් මංගල දිනය දා කොහොමද හැඩවුණේ කියලා


ශලනි – මගේ මංගල දිනය තුළ මාව ලස්සන කළේ අමිල ලියනගේ අයියා. ඒ එක්කම මට ලස්සනට ඇඳුම් නිර්මාණය කරලා දුන්නේ නයෝමා විජේසිංහ අක්කා. අපේ මංගල දිනයේ සැලසුම් කටයුතු කළේ අශාන් ද සිල්වා. අපි දෙන්නගෙම සපත්තු Walk To Glow වෙතින්. මංගල දිනයේ අලංකාර මල් සැරසිලි කළේ පැරඩයිස් ෆ්ලෝරා. ඒ වගේම කියන්න ඕනේ හර්ෂ අයියාගේ ඇඳුම් Grooms Art සහ එයාගේ කොණ්ඩය සකස් කළේ Salon PR වෙතින්. ඒ එක්කම අපේ මංගල දිනය හැමදාම සුන්දරව මතකයේ රැඳෙන්න ඡායාරූප ගත කළේ ධනුෂ්ක සේනාධීර. මේ හැමෝගෙම එකතුවෙන් තමා ලස්සන මංගල දිනයක් අපිට සිදු කරන්නට හැකි වුණේ.


හර්ෂ අපි කතා කළොත් නිර්මාණ පැත්තෙන් මොනවගේ දේවල් ද එන්න තියෙන්නේ?


ලොක්කි 2 අවසන් අදියරේ ඉන්නේ. ඉතාම ඉක්මනින් ලොක්කි 2 නාට්‍යය අවසන් වෙලා අලුත් ටෙලි නාට්‍යයක් පටන් ගන්නවා. නොවැම්බර් මාසයේ මගේ අලුත් චිත්‍රපටයේ රූපගත කිරීම් පටන් ගන්නවා.


ඔබේ නිර්මාණවල ශලනි ඉන්නවද?


ඒක තාම තීරණය කරලා නැහැ. බොහෝදුරට චිත්‍රපටයේ නම් රංගනයෙන් දායක නොවුණත් නිෂ්පාදන අංශයෙන් දායක වෙයි. ඇයගේ සහයෝගය මගේ හැම නිර්මාණ කටයුත්තකටම ලැබෙයි. අලුත් ටෙලි නාට්‍යයේ නම් තවම චරිතවල‍ට කාස්ටින් කරලා නැහැ. ඇයට ගැළපෙන චරිතයක් තිබ්බොත් එයට ශලනි සම්බන්ධ වෙයි.


විවාහයෙන් පස්සේ ශලනි රංගනයෙන් සමුගනීද?


අනේ නැහැ. එහෙම කිසිම සමුගැනීමක් වෙන්නේ නැහැ. එයා වෙන නිර්මාණවල දකින එක තමයි මගේ කැමැත්ත. එයා ගොඩක් දක්ෂ කෙනෙක්. එයාට වෙනත් අධ්‍යක්ෂවරු යටතේ රඟපාන්න ලැබිලා ප්‍රේක්ෂකයෙක් විදියට ඒ නිර්මාණ මට බලන්න තියෙනවා නම් ඒක තමා මගේ සතුට. ඒ නිසා එයා ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්නේ නැහැ.


ප්‍රේක්ෂකයින්ට කියන්න දෙයක් ඇති


ශලිනි – මුලින්ම ලිහිණිට, ඊට පස්සෙ ලොක්කිට දෙන ආදරේට ආශිර්වාදයට මමත් ගොඩක් ආදරෙයි. ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ. දිගටම අපිත් එක්ක අපේ නිර්මාණත් එක්ක ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා.


හර්ෂ – අද වෙද්දි හර්ෂ උඩකන්ද කියලා සිනමාකරුවෙක් හෝ නිර්මාණකරුවෙක් ඉන්නවා නම් ඒක පිටුපස ඉන්නෙ මේ ආදරණීය ප්‍රේක්ෂකයන්. ප්‍රේක්ෂකයන් තමයි මේ ක්ෂේත්‍රයේ මෙච්චර දුරක් ගෙනාවේ. ඒ නිසා ඒ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මම හැමදාමත් ආදරෙයි.


අනුෂා රණසිංහ





Previous Post Next Post