ඇත්තම කතාව මෙන්න සායි පල්ලවී හදිස්සියේම කසාද බැන්දද?



ප්‍රේමම්හි මලර් වෙමින් දකුණු ආසියානු තරුණයන්ගේ හදවත් වටහාගත නොහැකි හැඟුමකින් කම්පනය කළ ඇය අන් කිසිදු ඉන්දීය නිළියක් හා සම නොවන්නේ ඇයටම අන්‍යන්‍ය වූ රූපය නිසාම පමණක් නොවේ. ලොව ප්‍රබලම විනෝදාස්වාද කර්මාන්තයක් වූ ඉන්දියානු සිනමාව තුළ පවා හදවතට එකඟ නොවන තැන්වල අලෙවි වී නොසිටීමට තරම් ධෛර්යයක් ඇය සතු වූ නිසාමය. රංගනය හා නර්තනය විෂයෙහි ඇය සතු වූ හැකියාව ෆිල්ම් ෆෙයාර් ඇතුළු සම්මානය 20ක් ලබා ගනිමින් ඔප්පු කළ මේ සුන්දරිය පසුගිය දිනවල වඩාත් කතාබහට ලක්වූයේ ඇයගේ විවාහ මංගල ඡායාරූපය ලෙසින් හැඳින්වෙන ඡායරූපයක් සමාජ මාධ්‍ය හරහා වේගයෙන් සංසරණය වීමත් සමඟයි.


“සායි පල්ලවීගේ විවාහය” ලෙසින් දක්වමින් ගෙවුණු දින කිහිපය පුරාවට සාමාජ මාධ්‍ය හරහා ඇය හා තවත් කඩවසම් තරුණයෙක් ගෙලෙහි මල් මාලා සහිත ඡායාරූපයක් වේගයෙන් සංසරණ වූ අතර, ඒ සමඟම ඉන්දියාවේ පමණක් නොව, මුළු මහත් දකුණු ආසියාවෙම වාසය කරන තරුණයන් බහුතරයකගේ හදවත බිඳී ගියේ තම සිහින කුමරිය පෙර ඉඟියක් හෝ නොදීම විවාහ වීම හේතුවෙනුයි.


මෙම ඡායාරූපය දුටු බොහෝ දෙනා විමතියට පත්වූයේ විවාහයක් තබා ඇගේ පෙම්වතෙක් ගැන හෝ කිසිදු තොරතුරක් වාර්තා වී නොතිබීම නිසාවෙනුයි.


ඒ අනුව ඇගේ රසිකයන් දහස් ගණනක්  ඇයට සුබ පතන්නට කටයුතු කළ අතර, ඒ අතරින් පිරිසක් ඇගේ විවාහය පිළිබඳව පුවත අසා හදවත රිදවා ගනිමින් ඒ පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුම්වලද දුක් මුසු සටහන් තබන්නට කටයුතු කළහ.


කෙසේ වෙතත් මේ පිළිබඳව කළ වැඩිදුර සොයා බැලීම්වලදී වැටහී ගියේ සමාජ මාධ්‍ය කැලඹූ මෙම ඡායාරූපය සායි පල්ලවීගේ සැබෑ විවාහ ඡායාරූපයක් නොව එය SK 21 චිත්‍රපටයේ මුහුරත් උළෙලේදී ගත් එකක් බවයි.


සායි පල්ලවී මෙම චිත්‍රපටයේ ශිවකාර්තිකේයන් සමඟින් ප්‍රධාන භූමිකා රඟදැක්වීමට නියමිත බව වාර්තා වේ. කෙසේ වෙතත් ඉහත සඳහන් කළ පරිදි මුහුරත් උළෙලේදී ඇය සහ එම  චිත්‍රපටයේ අධ්‍යක්ෂ රාජ්කුමාර් පෙරියසාමි සමඟ ලබාගත් ඡායාරූපයක් ඔහු විසින් සාමාජ මාධ්‍ය වෙත එක් කිරීමට කටයුතු කර ඇත. එහිදී කිසිවකු හෝ එය සායි පල්ලවීගේ විවාහ ඡායාරූපය වශයෙන් දක්වමින් සමාජ මාධ්‍ය හරහා බෙදා ගැනීම හේතුවෙන් මෙම කැලඹීම සිදුව තිබේ.


සායි පල්ලවී යනු හුදෙක් ඕපාදූප මත පදනම්ව සිය ජනප්‍රියත්වයේ රැඳී සිටින නිළියක් නොවන අතර, ඇය සිය තොරතුරු සමාජ මාධ්‍ය හරහා බෙදා ගන්නා ප්‍රමාණය අතිශය සීමිත බැවින් ඇය පිළිබඳව පුවත් මැවෙන්නේ කලාතුරකිනි.


මීට මාස කිහිපයකට පෙර ඇය සිය පවුලේ සාමාජිකයන් සමඟ අමරානාත් ආශ්‍රමය වෙත ගිය ගමන සාමාජ මාධ්‍ය හරහා බෙදා ගැනීමට කටයුතු කිරීමත් සමඟ ඒ පිළිබඳවද රසිකයන්ගේ අවධානය වැඩි වශයෙන් යොමු විය.


කෙසේ වෙතත් අමරනාත් ආශ්‍රමයට ගිය ගමනින් අනතුරුව ඇය පිළිබඳව විශාල වශයෙන් රසිකයන්ගේ අවධානයට යොමු වූ හේතුව වන්නේ මෙම ඡායාරූපයි.


නමුත් ඇයට සිතින් පෙම් කරන තරුණයන් හට දැන් දුක්වීමට හේතුවක් නැත. 31 හැවිරිදි මෙම සුරූපිනිය මතු යම් දිනක විවාහ වුවද එම දිනය මෑතකදී උදා නොවන බව සිතා ඔවුන්ට සිත සාදා ගැනීමට අවස්ථාව උදාවී තිබේ.


අක්ෂි මාපා වීරසිංහ





Previous Post Next Post