කැරලි ගැසුණු කොණ්ඩයත් මන බඳිනා රූ සපුවත් දඟකාරකමත් එක්ව කැටි කරගනිමින් රසික හදවත් සොරා ගත් ඇය උපතින් ගෙනා දායාද අතර හදවත සොරා ගන්නා කටහඬද ඇත. වසර කිහිපයක් පුරාවට විවිධාකාර නිර්මාණ හරහා රංගන ශිල්පිනියක් ලෙසින් ඔබේ ආලින්දයට ආ ඇය මේ වන විට ගායිකාවක් ලෙසින් ප්‍රසංග වේදිකාවද සරසන්නට පටන් ගෙන තිබේ. මේ දිනවල කාගෙත් ආදරයට, අවධානයට පාත්රව ඇති මේ සුන්දරිය නමින් ශෙහානි කහඳවලයි.
ඉතිං ශෙහානි, කොහොමද මේ දවස්වල විස්තර?
හොඳයි. ගොඩක් හොඳින් ඉන්නවා. මේ දවස්වල සල්ලි පොකුරු නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඊට අමතරව ඉතිං සංගීත ප්රසංගවලටත් සහභාගි වෙනවා.
මේ දවස්වල ඔබ අතිශය ජනප්‍රියයි?
ඔව්. සල්ලි පොකුරු නාට්‍යය නිසා මේ දවස්වල මම වැඩියෙන් රසිකයන්ට පේන්න ඉන්නවා. ඒ නිසා මේ දවස්වල වෙනදාට වඩා වැඩි රසික අවධානයක් ලැබිලා තියෙනවා.
නිතර පේන්න නොසිටියත් එකම විදිහට ජනප්‍රියව ඉන්නේ කොහොමද?
ඇත්තටම ඒක නම් මගේ වාසනාව වෙන්නත් ඇති. මොකද මම මේ වසර කිහිපයට දායක වුණු නිර්මාණ ප්‍රමාණය සීමිතයි. නමුත් එහෙම වෙලත් ආරම්භයේ ඉඳන් අද වෙනකම් මට වෙනසක් නැතිව ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබිලා තියෙනවා. ඒක දවසින් දවස වර්ධනය වුණා මිසක් අඩු වුණේ නෑ. සමහර කලාකරුවෝ එකපාරම ගොඩාක් ජනප්‍රිය වෙලා පස්සේ අමතකම වෙලා ගියත් මට පුළුවන් වෙලා තියෙනවා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිගටම දිනා ගන්න. නිර්මාණයකට කාලෙකින් දායක නොවුණු කාලවලදී පවා මගේ රසිකයන්ට මාව මතක තියෙනවා. ඔවුන්ගේ ආදරය මට ලැබෙනවා. ඒකට මම ඔවුන්ට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.
ශෙහානි කහඳවල කියන ගායිකාවට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම ගොඩක් හොඳයි, මට හිතාගන්නවත් බෑ. මමත් මුලදී මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා හිතුවේ නෑ. මෙච්චර කාලයකට රසිකයෝ මාව අ¾දුරගෙන හිටියේ නිළියක් කියන විදිහට. දැන් ඔවුන් මට ගායිකාවක් විදිහටත් ප්‍රතිචාර දක්වනවා.
ගායිකාවක් වෙන එක හදිසියේම ගත්ත තීරණයක්ද නැත්තම් පොඩි කාලේ ඉඳන් සැලසුම් කරපු දෙයක්ද?
ඇත්තටම මම පොඩි කාලේ ඉඳන්ම කලාවට බොහොම ළැදියි. මම දැනගෙන හිටියා මට කලාව පැත්තෙන් දක්ෂතා තියෙනවා බව. රංගනයට වගේම, නර්තනයටත් ඒ වගේම මට ගීත ගයන්න පුළුවන් කියන දේත් අ¾දුරගෙන හිටියේ. ගායනයට යොමු වීම හදිස්සියේ වෙච්ච දෙයක් නෙවෙයි, පොඩි කාලේ ඉඳන් මම මාව තේරුම් ගැනීම මත මගේ හැකියාවන් මා විසින් අවබෝධ කරගැනීම මත සිද්ධ වෙච්ච දෙයක්.
ශෙහානිට මේ තරම් පිරිමි ළමයින්ගේ ආකර්ෂණයක් ලැබෙන්නේ ඇයි?
අනේ මන්දා මටත් ඒක හිතාගන්න බෑ. එයාලට මගේ මොකක් හෝ විශේෂත්වයක් පේනවා ඇති. මගේ රසිකයන්ගෙන් ලැබෙන ආදරය මම බොහෝම සතුටින් භාර ගන්නවා. එයාලගේ ආදරය මාව තවත් නිර්මාණ කරන්න දිරිමත් කරනවා.
ඔබ වගේ තරුණ කලාකාරිනියකට ප්‍රතිරූපය නඩත්තු කිරීම මොන තරම් වැදගත්ද?
ඒක කලාකාරිනියක් හෝ සාමාන්‍ය මනුස්සයෙක් කියලා වෙනසක් නෑ. මේ ලෝකේ හැමෝටම තම ප්‍රතිරූපය නඩත්තු කිරීම වැදගත් වෙනවා. මොකද අපි ජීවත් වෙන්නේ සමාජයත් එක්ක නිසා. ඒක ජනප්‍රිය පුද්ගලයෙක් වුණාම තවත් සංකීර්ණ වෙනවා. මොකද දහස් ගාණක් ඒ පුද්ගලයා දිහා බලන් ඉන්න නිසා. නමුත් පෞද්ගලිකව මම මගේ ප්‍රතිරූපය නඩත්තු කරන්නේ සමාජයට අවශ්‍ය නිසාවත් මගේ අම්මට, පවුලේ අයට, යාළුවන්ට අවශ්‍ය නිසාවත් නෙවෙයි. පෞද්ගලිකව ඒක මට අවශ්‍ය නිසා. මම ප්‍රතිරූපය නඩත්තු කරන්න කියලා විශේෂ දේවල් කරන්නේ නෑ. මට නොගැළපෙන, මට හානියක් වන දේවල්වලින් අෑත් වෙලා ඉන්නවා විතරයි. නමුත් ඔබ ඇහුව ප්‍රශ්නයට පිළිතුරක් දෙනවා නම් කලාකරුවෙක් විශේෂයෙන් සමාජය දන්න පුද්ගලයෙක් වුණාම, ඒ කෙනාව ආදර්ශයට ගන්නත් බොහෝ අය බලාගෙන ඉන්න නිසා ප්‍රතිරූපය නඩත්තු කිරීම වැදගත් වෙනවා.
එකම වගේ චරිතවලට කොටු වෙලා කියලා හිතෙන්නේ නැද්ද?
අපේ රටේ රසිකයෝ වේවා, නිර්මාණකරුවෝ වේවා කලාකරුවෙක්ව මුලින්ම දැක්කේ ගැමි චරිතයකින් නම් දිගටම ඒ පුද්ගලයාව දකින්න කැමැති ගැමි චරිතයකින්. වැරදිලාවත් ඒ කෙනා නාගරික දඟකාර චරිතයක් කළොත් රසිකයන් ඒක පිළිගන්න පවා කැමැති නෑ. මට වුණත් වෙලා තියෙන්නේ මාව මුලින්ම දැක්කේ දඟකාර තරුණ නාගරික චරිතවලින් නිසා රසිකයන් මාව දකින්න කැමැති ඒ වගේම චරිත හරහා. නිර්මාණකරුවෝ වුණත් තීරණය කරනවා මට ගැළපෙන්නේ එහෙම චරිත කියලා. ඉතිං ඔය දේ තමයි මට වෙලා තියෙන්නේ. කරලා පුළුවන්ද කියලා බලන්නවත් රාමුවෙන් පිට චරිත ලැබෙන්නේ නෑ. මගේ පෙනුම, සමේ පැහැය නිසා මාව තෝරගන්නේ නාගරික, දඟකාර, එහෙම නැත්තම් හුරතල් තරුණියන්ගේ චරිතවලට. ඉතිං මම උපරිම උත්සාහ ගන්නවා ඒ චරිත ඇතුළේ මගේ දක්ෂතාව උපරිමයෙන් පෙන්වන්න.
අද තරුණ ශිල්පිනියෝ බහුතරයක් රංගනයට අමතරව වෙනත් ව්‍යාපාරවලට යොමු වෙලා තියෙනවා. එහෙම ව්‍යාපාරයක් පටන් ගන්න අදහසක් නැද්ද?
මම මේ වෙද්දි වෘත්තීයමය කලාකාරිනියක්. තාම නම් එහෙම ව්‍යාපාරයක් ගැන අදහසක් නෑ. මම හිතනවා අදටත් කලාවෙන් පමණක් යැපෙන ඉතාමත් හොඳ ජීවත ගත කරන කලාකරුවන් බහුතරයක් ඉන්නවා. ඔවුන් කලාව තුළින් ලැබෙන මුදල් නිසි පරිදි ප්‍රයෝජනයට ගත්ත අය. නමුත් සුළුතරයක් හොඳට හම්බකරන්න පුළුවන් කාලේ හම්බකරපුවා නාස්ති කරලා අවසානයේ අපිට මුදල් නෑ කියනවා. ව්‍යාපාරයක් කරන්නම අවශ්‍ය නෑ. කලාව තුළින් ජීවත් වෙන්න හැකියාව තියෙනවා. නමුත් ඒ මුදල් භාවිත කරන අන්දම ගැන අවබෝධයක් තියෙන්න ඕන.
රංගන ජීවිතයේ අභියෝගයක් වුණු අවස්ථා තිබෙනවාද?
අභියෝග ගැන කිව්වොත් මට කියන්න තියෙන්නේ මගේ මුළු ජීවිතයම අභියෝගයක්. නමුත් මම අභියෝග, ප්‍රශ්න ආවා කියලා ඒ මත්තෙම ඉන්න කෙනෙක් නෙවෙයි. ඒවට මුහුණ දීලා ඒවා අමතක කරලා ඉදිරියට යන කෙනෙක්. වෙන ක්ෂේත්‍ර වගේම කලාව තුළත් ඉන්නේ සාමාන්‍ය මිනිස්සු. ඉතිං ඔවුන් අතර කැපිලි කෙටිලි, කකුලෙන් ඇදීම් තියෙනවා. මටත් ඕන තරම් ඒ වගේ අවස්ථාවන්වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒවා ඒ තැන්වලදීම අතහැරලා, අමතක කරලා දාලා ඉදිරියට යන එක තමයි මගේ පුරුද්ද.
දහස් ගාණකගේ ආදරය දිනා ගත්ත ඔයාගේ ආදරය කාටද කියලත් දැනගන්න කැමැතියි?
මම මට ආදරෙයි. ඒ හැරුණුවිට මගේ ආදරණීයයන් හැමෝටමත් ආදරෙයි. ඔය අහන්නේ පෙම්වතෙක් හෝ එහෙම විශේෂ කෙනෙක් ගැන නම්, ඇත්තටම මම තාම පෙම්වතියක් නෙවෙයි. මගේ ආදරේ තියෙන්නේ මගේ රසික රසිකාවියන් ගාව.