සම්මානය නොලැබුණත් කමක් නෑ නිර්දේශ වීමම වටිනවා-කසුනි කාවින්දි




කසුනි කාවින්දි කියන්නෙ බලාපොරොත්තු තබා ගත හැකි, දිගු ගමනක් යා හැකි නව පරපුරේ නිළියක්. ඇය රංගනයෙන් දායක වූ ‘සිහින සමීකරණ’ චිත්‍රපටය වෙනුවෙන් අන්තර්ජාතික සම්මාන උළෙලක හොඳම නිළිය සම්මානයට නිර්දේශ වී තියෙනවා. එම සම්මාන උළෙල ගැන සහ කසුනිගේ රංගන දිවියේ ඉදිරි කටයුතු ගැනත්  කතා කිරීමට අද කසුනි කාවින්දි එකතු වෙනවා. 


කසුනි කොහොමද, මොනවද අලුත් විස්තර?


විශේෂයක් නෑ ඉතින්. සුපුරුදු පරිදි මගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්නවා. වෘත්තීය කටයුතු ගැන කතා කළොත් මේ දවස්වල වේදිකා නාට්‍යයක පුහුණුවීම් කරගෙන යනවා. ඒක මේ අවුරුද්දෙ අග භාගයේ වේදිකාගත වෙයි. “අප අතර උෟ” කියන මේ වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ සම්මානනීය වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වන චාමර ගුරුගේ. මෙහි මාත් සමඟ රඟපාන්නේ අපේ පරම්පරාවේ දක්ෂ රංගන ශිල්පියෙක් වන අකලංක ප්‍රභාෂ්වර. මම ටෙලිනාට්‍ය භාරගන්නේ අඩුවෙන්නේ. ටෙලිනාට්‍ය කිහිපයක් සාකච්ඡා මට්ටමේ තිබෙනවා. මම රංගනයෙන් දායක වුණු සිනමා නිර්මාණ කිහිපයක් ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. කෙටි චිත්‍රපට කිහිපයකටම පසුගිය කාලේ සම්බන්ධ වුණා. තව කෙටි චිත්‍රපට සහ ගීත රූප රචනා කිහිපයකුත් සාකච්ඡා මට්ටමේ තියෙනවා.


ඔබට ටෙලි නාට්‍ය හෝ සිනමාව තුළ නිතරම ලැබෙන්නේ  එකිනෙකට වෙනස් චරිත. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?


මම  හිතන්නේ මගේ තෝරා ගැනීම තමයි ඒකට හේතුව. ඇත්තටම දැන් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන එක සීමා කරලා වුණත් නාට්‍ය ගොඩක රඟපාපු සුන්දර කාලයක් මට තිබුණා. වේදිකාවේදී තමයි මගේ රංගන පරාසයේ විවිධ පැතිකඩයන් එළියට දාන්න හොඳටම මට අවස්ථාව ලැබුණේ. ටෙලිනාට්‍ය,  සිනමාව සහ කෙටි චිත්‍රපට ගැන කතා කළොත් මම මට ලැබෙන පිටපතේ ලියැවිලා තිබෙන චරිතය ගැන ගොඩාක් පැතිවලින් හිතල බලනවා. ඒ වැඩේ භාරගන්නවද නැද්ද කියලා තීරණය කරන එක සාධකයක් ඒක. මගේ චරිත නිරූපණයන් දැකලා ඒ හා ළඟින් යන චරිතවලට නැවත ආරාධනා ලැබුණ අවස්ථාවන් බොහොමයක් තිබෙනවා. එහෙත් මම ඒවා භාරගත්තේ නෑ. එහෙම භාරගත්තා නම් මාව එකම ආකාරයේ චරිතවලට කොටු වෙලා බව ප්‍රේක්ෂකයාට පෙනෙන්නට තිබුණා. මම එක ගොඩේ වැඩ ගොඩක් කරන්නේ නැති නිසා මට ලෙකු වාසියකුත් තිබෙනවා. ඒ නිසා මම නිරූපණය කරන චරිතය වෙනුවෙන් 100%ක් කැපවෙන්න මට පුළුවන්කම තියෙනවා.


වේදිකාවේ ආභාසය කොහොමද සාර්ථකත්වය සඳහා යොදා ගන්නේ?


වේදිකාව කියන්නේ රූපණ ශිල්පියකුට රූපණය කියන විෂය විතරක් නෙමෙයි ආනුශංගික අංග සම්බන්ධයෙනුත් බොහෝ දේවල් ඉගෙනගන්න පුළුවන් සහ අත්දැකීම් ගන්න පුළුවන් තැනක්. වේදිකා නාට්‍යයක් බොහෝ කාලයක් පුහුණුවීම් කරනවා. සමහර නාට්‍ය අවුරුද්දකටත් වැඩි කාලයක් පුහුණුවීම් කරනවා. ඒ නිසා අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා ගොඩනඟාගන්න, සහෝදර නළු නිළියන් සමඟ සම්බන්ධතාව ගොඩනඟාගන්න මේ සියලු දෙනා සමඟම ඵලදායි කාලයක් ගත කරන්න ඇති තරම් අවකාශය තිබෙනවා. එතැනදී අපිට ඉගෙනගන්න ලැබෙන දේවල් බොහෝමයි. වැඩේ හොඳට ඔපමට්ටම් කරගන්න, තමන්ගේ චරිතය හරියටම හොයාගන්න ලොකු කාලයක් ලැබෙනවා. ඒ වගේම විවිධ රංග අභ්‍යාසවල නිරත වෙන්න අවස්ථාව ලැබෙනවා. සජීවී ඉදිරිපත් කිරීමක් කියන්නේ


අභියෝගාත්මක වැඩක්. ඒ නිසා අපේ confidence හැදෙනවා. පෞරුෂත්වය වර්ධනය වෙනවා. ඕනෑම නිර්මාණයක් සාර්ථක වෙන්න සාමූහිකත්වය කොයි තරම් බලපානවාද කියලා ඉගෙන ගන්න, විනයානුකූලව වෘත්තීයමයභාවයකින් වැඩ කරන්නේ කොහොම කියලා ඉගෙනගන්න, ශරීරය, හඬ, මනස පුහුණු කරන්න වේදිකාව තරම් හොඳ තැනක් තවත් නෑ. වේදිකාවෙන් බිහිවෙන නළුවා එකී සියලු පුරුදු අරගෙන තමයි අනෙකුත් ක්ෂේත්‍රයන්ට පිවිසෙන්නේ. ඒ නිසා ඔහුගේ පෞරුෂත්වය, හැකියාව කැපිලා පේනවා. වේදිකා රංගන ශිල්පියෙක්ට කැමරාව ඉස්සරහට ආවට පස්සේ ඒ තාක්ෂණික කෑල්ලත් එක්ක කොහොමද තමන්ව හසුරවාගන්නේ, අඩුවැඩිය අවබෝධ කරගන්නේ කොහොමද  කියන එක අවබෝධ කරන්න අධ්‍යක්ෂවරයාට අමුතු මහන්සියක් දරන්න අවශ්‍ය නෑ. 


මෙගා නාට්‍යවල ධනාත්මක සහ ඍණාත්මක බලපෑම ගැන පොදුවේ යමක් කිව්වොත්?


දීර්ඝ ටෙලිනාට්‍ය හරි විධියට කෙරෙනවා නම් මට ඒ ගැන විරෝධයක් නෑ. විදෙස් TV series එකක් ගත්තත් episodes ටික අපේ system එකට අනුව ගණන් හදලා බැලුවොත් දීර්ඝ ටෙලි නාට්‍යයක් වගේ තමයි Coronation street බි්‍රතාන්‍ය කතාමාලාව අවුරුදු 63ක් තිස්සේ තවමත් විකාශය වෙනවා. ඒ වගේ ගොඩක් ඉස්සර ඉඳන් දශක ගණනාවක් තිස්සේ විකාශනය වෙන, විකාශනය වූ කතා මාලාවන් තව ගොඩක් තිබෙනවා. ඒවා ඉවර වෙනකන්ම මිනිස්සුන්ට එපාවෙන්නෙ නැතුව සාර්ථකව විකාශනය වෙන්නේ හොඳින් සැලසුම් කරල කරන නිසා.


 ලංකාවේ ගැටලුව තියෙන්නේ දීර්ඝ ටෙලි නාට්‍යවල, හරි විධියට සැලසුම් කරන්නේ නැති නිසා සහ ඒ වැඩේ වෙනුවෙන් අවංකව කැපවෙන්නෙ නැති නිසා සහ නාළිකාවලින් අනවශ්‍ය විධියට බලපෑම් කරන නිසා සහ පසුකාලීනව පිටපත් රචකයාට ලියන්න දේවල් නැතිවෙලා යෑම වගේ හේතු නිසා කතාව එක එකම තැන කැරකෙන්න ගන්නවා. ඒ වැඩේ හැමෝටම වදයක් වෙන්න ගන්නවා. සමහර වැඩවල පුළුවන් සීමාව ඇතුළේ දෙන්න පුළුවන් පහසුකම් ටිකවත් කණ්ඩායමට දෙන්නේ නෑ. නළු නිළියන්ට එපාවෙනවා. ආනුශංගික ශිල්පීන්ගේ උනන්දුව නැතිවෙනවා. ඉතින් මුලදී තිබුණු ගුණාත්මක බව, නිර්මාණාත්මක බව, quality එක නැතිවෙලා යනවා. ඒක ප්‍රේක්ෂකයන්ට දැනෙන්න ගත්තාම ඔවුන් කලකිරෙනවා. ඒකයි එදා සිට අද දක්වා මෙගා රැල්ලට විරෝධයක් හැදිලා තියෙන්නේ.


ළඟදී නිර්දේශ වුණු සම්මානය සහ එම නිර්මාණය ගැනත් යමක් කියමු?


සසික හේරත්ගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන “සිහින සමීකරණ” සිනමා පටය නයිජීරියාවේ බයෙල්සා අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ අවසන් වටයට තේරී පත් වුණා. රටවල් 127ක 3800කට අධික සිනමා පට අතරින් තමයි තේරුණේ. සිහින සමීකරණ වෙනුවෙන් නිර්දේශ නාම 6ක් ලැබිලා තියෙනවා. මම නිරූපණය කරපු මේ චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය “රිද්මි” ගේ රංගනය වෙනුවෙන් මාව හොඳම නිළිය වෙනුවෙන් නිර්දේශ වෙලා කියලා දැනගන්න ලැබුණා. කාලයකට කලින් මට වේදිකාවේ හොඳම නිළිය සම්මානය ලැබුණා සහ හොඳම නිළිය වෙනුවෙන් මාව නිර්දේශ වුණා. නමුත් ස්ක්‍රීන් ඇක්ටිං වෙනුවෙන් ඇගයීමක් මේ වන තුරු ලැබුණේ නෑ.


ඉතින් මේ තමයි පළමු ඇගයීම. ඒක සිනමා රංගනය වෙනුවෙන් ලැබීම ගැන සහ එයත් ජාත්‍යන්තරයෙන් ලද ඇගයීමක් වීම ගැන නිහතමානී සතුටක් තියෙනවා. ඒ නිසා සම්මානය නොලැබුණත් මට කිසිම ගැටලුවක් නෑ. මේ නිර්දේශ වීමම මට ගොඩක් වටිනවා. රිද්මි කියන්නෙත් මම මේ වනතුරු සියලු platforms වල කරපු සියලු චරිත වගේම ගොඩක් මහන්සි වෙලා, අවංකව කැපවෙලා මගේ පැත්තෙන් 100%ක් දෙන්න පුළුවන් උපරිමය දීලා නිරූපණය කරපු චරිතයක්. සසික අයියා, සහෝදර රංගන ශිල්පීන් ඇතුළුව සිහින සමීකරණ කණ්ඩායමේ සියලු දෙනාටම මේ නිර්දේශ වීමේ ගෞරවය හා ස්තූතිය යන්න ඕනි.


නිළියක් විධියට සහ නාට්‍ය හා රංග කලාව පිළිබඳ උපාධිධාරිනියක් විදිහට මේ ක්ෂේත්‍රයට එන්න ඉන්න අයට දෙන්න තියෙන පණිවුඩය මොකක්ද?


රූපණය කියන්නේ රංග පාසලකින් හදාරලා ඉවරයක් කරන්න පුළුවන් විෂයක් නෙමෙයි. ඒ වගේම පොතපතින් විතරක් ඉගෙනගන්න පුළුවන් විෂයකුත් නෙමෙයි. මේ විෂයත් එක්ක මුළු ලෝකෙම බැඳිලා තිබෙනවා. ඒ නිසා මුලින් පොළොවට බහින්න කියවන්න, හොයන්න, බලන්න, දකින්න, ගැවසෙන්න, අත්විඳින්න, අත්හදා බලන්න, ගබඩා කරගන්න, විවෘත වෙන්න, හැකියාවන් දියුණු කරගන්න, පුහුණු වෙන්න, මානුෂීය වෙන්න. අවංකව මේ ඔක්කොම කරන කෙනෙක්ට ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි. මේ මුකුත්ම නැතුව වෙන කරන්න වැඩක් නැති නිසා හෝ රඟපාන්න ආස නිසා හෝ ප්‍රසිද්ධ වෙන්න ආස නිසා පමණක් රඟපාන්න ඇවිත් හරවත් ගමනක් යන්න බෑ. උත්පත්තියෙන් ලැබෙන හැකියාවෙන් යන්න පුළුවන් දුර සීමාසහිතයි. ඒ නිසා යාවත්කාලීන වීම කළ යුතුමයි.


සංඛ රඹුක්වැල්ල





Previous Post Next Post