ඇය තරුවක් ලෙස හ¾දුන්වනවාට වඩා මෙරට සංගීත අඹරේ දිදුලන සෞම්‍ය සඳ කියා හැඳින්වීම වඩාත් උචිත යැයි සිතමි. දහසකුත් තාරකා මැද බබළන සෞම්‍ය සඳවතිය මීට දශක කිහිපයකට පෙර පායාවිත් තම එළියෙන් මුළු ලෝකය කටු කම්බි පවුරු නොපෙනෙන තනි යායක් බවට පත් කළාය. ඇය යුගයේ උන්මාදනීය කටහඬ හිමි ජනතාවගේ හදවතේ ගායිකාව ශෂිකා නිසංසලාය.
ඉතිං ශෂිකා කොහොමද මේ දවස්වල තොරතුරු?
බොහෝම හොඳින් ඉන්නවා. කාලයක් සංගීත ප්‍රසංග ගොඩාක් අඩුවෙලා තිබුණත් මේ දවස්වල ඒ කාලයටත් හරියන්න අති විශාල සංගීත ප්‍රසංග ප්‍රමාණයක් පැවැත්වෙනවා. ගෘහස්ථ හා එළිමහන් ප්‍රසංග දෙකම. ඒවටත් සහභාගි වෙන ගමන් මව, බිරිය, දුව කියන භූමිකාවේ වැඩ කටයුතු ටිකත් කරගෙන සතුටින් ඉන්නවා.
සමනල වැවට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
සතුටුයි, ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මට මේ ගීතය ගායනා කරන්න ආරාධනා කළේ කපිල අපරැක්කේ. ඔහුගේ තමයි තනු නිර්මාණය. මම ගීතයක් කරද්දි එහි වචන, තනුව මේ හැමදේම බලනවා. ඉතින් කපිල අපරැක්කේ කියන්නේ අපේ ක්ෂේත්‍රයේ දක්ෂයෙක්. ඔහු මුලින්ම මට මේක එව්වම මම කැමැති වුණා. මේකෙ පද රචනය ඩිශාන් නානායක්කාර. ඉතිං අපි තුන්දෙනාගේ එකතුවක් විදියට තමයි සමනල වැව ගීතය නිකුත් වෙන්නේ. මේ වෙද්දි ඒ ගීතය ට්‍රෙන්ඩින්ග් ලිස්ට් එකටත් ඇවිත්.
ඒ වගේම කියන්න ඕනි මේ ගීතය ට්‍රෙන්ඩින්ග් වෙන්න බලාගෙන කරපු එකක් නෙවෙයි. නමුත් ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර දැක්කම ඉඳලා හිටලා හරි මේ වගේ ගීතත් කරන්න ඕනි කියන වුවමනාව ඇති වෙනවා. ඉතින් මේ ගීතය වෙනුවෙන් දායක වුණු කපිල අපරැක්කේ, ඩිශාන් නානායක්කාර වගේම මෙහි සංගීත භාණ්ඩ වාදනයෙන් දායක වුණු හැම ශිල්පියෙක්ටමත් ස්තුතිවන්ත වෙනවා. මොකද අපි හැමෝගෙම දායකත්වයෙන් තමයි ඒ වගේ සාර්ථක නිර්මාණයක් බිහි වුණේ.
අද කාලේ ගීතයක් ජනප්‍රිය වෙන්න රූප රචනයක් අවශ්‍යමද?
ඒක ඔව් හෝ නෑ කියලා කෙටියෙන් කියන්න බෑ. මොකද ඉස්සර අපි ගීත වෙනුවෙන් රූප රචනා කළේ නෑ. රසිකයෝ ඒ ගීත රසවින්දේ තමන්ට ආවේණික චිත්ත රූප මවාගෙන. නමුත් අද වෙද්දි නිකුත් කරන හැම ගීතයකටම වගේ රූප රචනයක් නිර්මාණය වෙනවා. හොඳ නිර්මාණාත්මක රූප රචනා ගීතයේ ජනප්‍රියත්වයට බෙහෙවින් බලපානවා.
මම පෞද්ගලිකව මගේ මුල් කාලයේ ගීත සඳහා රූප රචනා නිර්මාණය කළේ නෑ. නමුත් පසු කාලීනව මගේ පාරමිතා ඇල්බමයේ ගීත කිහිපයක් සඳහා රූපවාහිනි නාළිකාවකින් රූප රචනා නිර්මාණය වුණා. ඒත් එක්කම ඒ ගීත තවත් ජනප්‍රිය වුණා.
සාමාන්‍යයෙන් මගේ ගීතයකට රූප රචනයක් නිර්මාණය කරද්දී ඒක ගීතයට ගැළපෙන නිර්මාණාත්මක රූප රචනයක්ද කියන එක ගැන මම සැලකිලිමත් වෙනවා. මගේ ‘ඇසි පිය නොහෙළා’ ගීතය, ඒ වගේම ‘චන්ද්‍රා පායන්න’ වගේ ගීතවල රූප රචනා ගීතය තරම්ම ජනප්‍රිය වුණා.
කොහොමද හැමදාම එක වගේ ජනප්‍රියව ඉන්නේ?
ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනි මගේ ආදරණීය රසික රසිකාවියන්ට. එයාලා තමයි මගෙ නිර්මාණවලට හැමදාම එක වගේ ආදරය කරන්නේ. ඒ නිර්මාණ වැලඳ ගන්නේ. ඒ වගේ මම විශ්වාස කරනවා මගේ කටහඬත් ජනතාවගේ මේ විශාල ආදරයට බලපානවා කියලා. මගේ කටහඬ ඔවුන්ගේ හිතට වදිනවා කියන දේ මම විශ්වාස කරනවා. ඒ නිසා ඔවුන් මගේ හ¾ඩින් ගැයෙන ගීතවලට, මට ආදරය කරනවා. අවුරුදු ගණනක් පුරාවට මම ජනතාවගේ ගායිකාව වුණා. මේ වෙද්දී සම්මාන 26ක් පමණ මට හිමි වෙලා තියෙනවා. ඒ හැම සම්මානයක් පිටිපස්සෙම ඉන්නේ මගේ ආදරණීය රසික රසිකාවියෝ සහ මගේ නිර්මාණවලදි මගේ සහායට හිටපු තනු නිර්මාණ ශිල්පියෝ, පද රචකයෝ වගේම සංගීත භාණ්ඩ වාදන ශිල්පියෝ. ඒ වගේම මේ ජනප්‍රියත්වයට, ආදරයට මගේ ගීතවල ගුණාත්මක බවත් බලපානවා. ඒ නිසා මම නිතරම උත්සාහ කරන්නේ මගේ රසිකයන්ට හොඳම නිර්මාණ ලබා දෙන්න.
කලාකරුවෙක්ට කලාවේ රැඳී ඉන්න ප්‍රතිරූපය මොන තරම් බලපානවද?
ඒක පුද්ගලානුබද්ධයි. මම ගමක හැදී වැඩුණු කෙනෙක් නිසා මම පුරුදු වෙලා ඉන්නේ ඇඟ නිරාවරණය නොවුණු ඇ¾දුම් අඳින්න. සමහර විට කොළඹ හැදුණු වැඩුණු කෙනෙක්ගේ තත්ත්වය ඊට වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම පෞද්ගලිකව විශ්වාස කරනවා අපේ රටේ සංස්කෘතියට ගැළපෙන ඇ¾දුම් තමයි මට ගැළපෙන්නේ කියන දේ. මම කියන්නේ නෑ අපි විලාසිතා නොකළ යුතුයි කියලා. මමත් කලාකාරිනියක් විදියට, කාන්තාවක් විදියට විලාසිතාවලට බොහෝම කැමැතියි. ඒ වගේම මම ලස්සනට අඳිනවා පලඳිනවා. මේකප් කරනවා. ලස්සන විලාසිතා කරනවා. නමුත් ඒ හැම අවස්ථාවකදීම මම ඒ දේවල් කරන්නේ මට ගැළපෙන විදියට. මම හිතනවා මගේ අඳින පලඳින ආකාරය නිසාත් රසිකයන්ගේ ගෞරවය මට හිමි වෙනවා කියන දේ. අපි ජීවත්වෙන්න අවශ්‍ය අපි ඉන්න පරිසරයට ගැළපෙන විදියට. ඇතැම්විට අවස්ථාවට නොගැළපෙන හැසිරීම්, ඇ¾දුම් පැලඳුම් නිසා ප්‍රතිරූපයට හානියක් වෙන්න පුළුවන්. ඒක නිසා අවස්ථාව අවබෝධ කරගෙන තමන්ගේ ගෞරව ආරක්ෂාවෙන පරිදි වැඩ කිරීම තමයි හොඳම දේ.
පසුගිය දිනවල ඔබේ කටහ¾ඩින්ම ගීත ගයන පුද්ගලයෙක් කරළියට ආවා?
ඔව්… බණ්ඩාර මහත්මයා. ඔහු ඉතාම දක්ෂයෙක්. ඔහුගේ ඒ ගීතය අහලා මටත් ගොඩාක් සතුටු හිතුණා. මගේ ගීත ගායනා කරන ගොඩාක් අය ඉන්නවා. නමුත් ඔහු මගේ අලංකාරයන් පවා හරිම ලස්සනට ගායනා කරනවා. අනාගතයේ ඔහුව හමුවෙන්න පුළුවන් වුණොත් මම කැමැතියි හමුවෙලා ඔහුට සුබ පතන්න.
වෙනත් අය ඔබේ ගීත ගායනා කරනවාට අකැමැත්තක් නැද්ද?
නෑ. මම හරිම කැමැතියි ආධුනික ශිල්පීන් වේවා, මගේ රසික රසිකාවියෝ වේවා මගේ ගීත ගායනා කරනවට. මොකද මම විශ්වාස කරනවා කෙනෙක් ගායනා කරන්නේ ඔවුන් කැමැතිම ගීත. ඉතින් මම හිතනවා ඔවුන් මගේ ගීතවලට කැමැති නිසා තමයි ඒවා ගායනා කරන්නේ කියන දේ. ඒ වගේම මමත් ආධුනික ශිල්පිනියක් වෙලා ඉන්න සමයේ බොහෝ ප්‍රවීණ ගායිකාවන්ගේ ගීත ගායනා කළා. සුජාතා අත්තනායක මහත්මියගේ, නිරෝෂා විරාජිණි අක්කගේ වගේ. ඒ අවස්ථාවේ ඔවුන් මට ප්‍රශංසා කළා. මාව අගය කළා. කවුරුහරි ආධුනික ශිල්පියෙක්, ශිල්පිනියක් මගේ ගීත ගායනා කරනවා නම් මම ඔවුන්ට ආශීර්වාද කරනවා. නමුත් කලාව තුළ රඳා පවතින්න නම් කාලයත් එක්ක තමන්ගේ නිර්මාණත් එළියට දාන්න අවශ්‍යයි.
මගේ පළමු වැනි ගීත ඇල්බමය පාරමිතා කරලා ඉවර වුණාම මට ඉස්සෙල්ලම ඇමැතුම ආවේ සමිතා මුදුන්කොටුව මහත්මියගෙන්. එදා ඇය මාව බොහෝම අගය කළා. ඒ අගය කිරීම මගේ හදවතටම වැදුණා. එහෙම අගය කිරීම් නිසා තමයි තව තවත් නිර්මාණ බිහි කරන්න ශක්තිය ලැබුණේ. ගැටලුත් මතු වුණා. නමුත් ඒ වගේ අගය කිරීම් මාව දිරිමත් කළා.
යුගයේ ගායිකාව වෙන්න ශක්තිය වුණු පවුල ගැනත් මතක් කරමු?
මගේ මවුපියෝ දෙන්නා. මාව ගායිකාවක් කරන්න ඔවුන් කරපු කැප කිරීම් ලියන්න පොතකුත් මදි. අදටත් මගේ දරුවෝ දෙන්නව පවා බලා ගන්නේ ඔවුන්. ඒ වගේම මගේ ආදරණීය සැමියා. ඔහු තමයි මේ ගමනේ හැම මොහොතකම මාත් එක්ක සිටිමින් මට ශක්තියක් වෙන්නේ. මගේ හෙවණැල්ල තමයි ඔහු. ඊළඟට මගේ දරුවෝ දෙන්නා. ඔවුන්ගෙන් ලැබෙන ආදරය මාව දිරිමත් කරනවා. මගේ සහෝදරයා අද වෙන රටක ජීවත් වුණත් දවසකට එක පාරක් අනිවාර්යෙන් කතා කරනවා. ඒ තරම් තද බැඳීමක් අපි අතර තියෙනවා. ඉතින් ශෂිකා නිසංසලා පිටිපස්සේ හරිම ආදරණීය පවුලක් ඉන්නවා. ඒ පවුලේ හයියෙන් තමයි මම අද මෙතැන ඉන්නේ.
අක්ෂි මාපා වීරසිංහ