නොදන්න දේවල් කරලා ජනප්‍රිය වෙන්න ඕනෑ නෑ– සුධීක්‍ෂා සමාධි



ඇය නමින් සුධීක්‍ෂා සමාධි. රාජිනී සහ දිවිතුරා සමග පුංචි තිරයෙන් ඔබ හමුවට පැමිණි ඇය රැඩිකල් ප්‍රේමයක් හරහා පසුගිය දවස්වල වේදිකාවේදීත් දැකගන්නට ලැබුණා. ඔය අතර සිනමාවටත් සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණ සුධීක්‍ෂා මේ අළුත් අත්දැකීම් ගැන මීවිත පාඨකයන්ට කියන්න අකමැති වුණේ නැහැ.


පසුගිය දවස්වල සුදීක්‍ෂා ගැන වැඩිපුර කතා කළේ රැඩිකල් ප්‍රේමයක් නිසා?


රැඩිකල් ප්‍රේමයක් කියන්නෙ මගේ පළමු වැනි වේදිකා නාට්‍ය. මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ සහ ටවර් හෝල් රඟහලේ අපි දර්ශන වාර දෙකක් පැවැත්වුවා. ඉතිං ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුණා. මගේ පළමු අත්දැකීම නිසා ඒ ප්‍රතිචාර ලොකු ශක්තියක් වුණා. මේ දවස්වල අපි යෞවන සම්මාන උළෙලට සූදානම් වෙනවා.


කොහොමද මේ ආරාධනාව ලැබෙන්නෙ?


මගේ මිත්‍රයෙක් ඉන්නවා නිලංක කියල. ඔහු ටෙලි නාට්‍ය සහ වේදිකාව යන ක්‍ෂේත්‍ර දේකේම ඉන්නවා. ඔහු හරහා තමයි මට මේ ආරාධනය ලැබෙන්නෙ. මම මෙහි රඟදක්වන්නෙ හේරා දෙවඟන කියන චරිතය. ටෙලි නාට්‍යවලට වගේ නෙමෙයි” වේදිකාවට සම්බන්ධ වෙනවා කියන්නෙම වෙනම කැපකිරීමක්. මම මේ නාට්‍ය වෙනුවෙන් මාස තුනක් පුහුණුවීම් කළා.


ටෙලි නාට්‍ය සහ වේදිකාව අතර වෙනස කොහොමද දැණුනෙ?


වේදිකාව කියන්නෙ සජීවී මාධ්‍යයක්. ටෙලි නාට්‍යයක් දැන් තමන්ට පහසු වෙලාවක යූ ටියුබ් හරහා වුණත් බලන්න පුළුවන්. වේදිකා නාට්‍යයේ ප්‍රේක්‍ෂකාගාරය කියන්නෙ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. සජීවී ප්‍රේක්‍ෂකාගාරයෙක් ලැබෙන ප්‍රතිචාර ඇස්පනාපිටම අපිට දකින්න පුළුවන්.


රැඩිකල් ප්‍රේමයක් නැවත වේදිකාවට ගොඩවෙනවද?


අපි මේ දිනවල යෞවන සහ රාජ්‍ය නාට්‍ය උළෙල දෙකටම සූදානම් වෙනවා. ඒවා අවසන් වන තුරු මහජන දර්ශනයකට සූදානම් නොවෙන්නයි තීරණය කළේ.


යෞවන නාට්‍ය උළෙලේ හොඳම නිළිය වෙන්නද මේ සූදානම?


එහෙම කියන්න දන්නේ නැහැ. වාසනාව තිබුණොත් සම්මාන ලැබෙයි. කලාව කියන්නේ වාසනාවත් අවශ්‍ය දෙයක්. මම මගේ දක්‍ෂතා උපරිමයෙන් පෙන්වනවා. සුදුසුකම් තිබුණොත් ඒ සම්මානය වුණත් ලැබෙයි.


ටෙලි නාට්‍ය වැඩකටයුතු කොහොමද?


කාලය බොහොම අපහසුවෙන් කළමණාකරණය කරගෙන වැඩ ටික කරගන්නවා. ඇත්තටම විවේකීව ඉන්න වෙලාවක් නැති තරම්. මම රඟ පෑ කාසි ටෙලි නාට්‍ය අවසන් වුණා. ඊට අමතරව රාජිනී” දිවිතුරා විකාශනය වෙනවා. මේ අතර තවත් ටෙලි නාට්‍ය දෙකක රූගතකිරීම් සිදු වෙනවා.


චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා නේද?


මම රංගනයෙන් දායක වුණ චිත්‍රපටයක් නුදුරේදීම තිරගත වීමට නියමිතයි. මම කැමැත්තෙන් ආසාවෙන් කරන එකම දේ රංගනය.


විලන් චිත්‍රපටය ගැන නේද මේ කියන්නෙ?


ඔව්” ලස්සන ජයසේකරගේ අධ්‍යක්‍ෂණයක් වන මේ චිත්‍රපටය කැළුම් ආරියරත්නගේ නිෂ්පාදනයක්. මේක වෙනස්ම කතාවක්. පවුලේ සැමට එකට සිට නරඹන්න පුළුවන් තෙළිඟු සම්භවයක් තියෙන චිත්‍රපටයක්.


සුධීක්‍ෂාට 2023 සුබයි?


ඔව්” 2023 මට සුබයි. මුලින්ම ජනවාරි මාසයේ සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය කාණ්ඩයේ අවසාන මොහොත දක්වාම ඉන්නවා. මගේ පළමු සිනමා අත්දැකීම” වේදිකා අත්දැකීම වගේම සම්මානයකට නිර්දේශ වීමත් සිදු වුණේ මේ වසරේදී. මේ නිසා 2023 කියන්නේ මට ජයග්‍රාහී වසරක්. වසර අටක් පුරා කරපු කැපකිරීම්වල ප්‍රථිපලය ලැබුණා.


 ජනප්‍රියත්වය කරදරයක්ද?


ඇත්තටම කරදරයක් නෙමෙයි. මොකද අපි ජනප්‍රියත්වයට පත් වෙන්නේ ප්‍රේක්‍ෂකයන් නිසාමයි. ඔවුන් අපිව වැළඳගන්න වාර අනුවයි ජනප්‍රියත්වය තීරණය වෙන්නෙ. ඒ නිසා මේ වන තුරු ජනප්‍රියත්වය මට කරදරයක් වෙලා නැහැ.


රංගන ක්‍ෂේත්‍රය මොන වගේද?


මේ ක්‍ෂේත්‍රයට දක්‍ෂතාව වගේම වාසනාවත් බලපානවා. ඒ වගේම නිර්මාණ තෝරාගැනීමේදී හොඳ කළමණාකාරිත්වයක් තියෙන්න ඕන. නිර්මාණ මොන තරම් ලැබුණත් ලැබුණත් වැඩක් නැහැ රංගන කාර්යය හරියට කරගන්න බැරිනම්. ඔය අතර වාසනා ගුණය නැති වුණොත් අපිව ජනප්‍රියත්වනයට පත්වෙන්නෙත් නැහැනෙ. මේක මේ කරුණු ඔක්කොම එකතු වෙලා යන ගමනක් කියලයි මම හිතන්නෙ.


ගීත ගායනයට අදහසක් නැද්ද?


සමහර වැඩසටහන්වලට සහභාගී වුණාම ගීත ගායනා කරන්න සිදු වෙනව. කලා ක්‍ෂේත්‍රයේ ඉන්නකොට ගායනයට” රංගනයට වගේම නර්ථනයටත් අපි යම් දක්‍ෂතාවක් දක්වන්න ඕන. නමුත් ගීතයක් එළිදක්වන්න මගේ අදහසක් නැහැ.


නොදන්න දේවල් කරන්න සූදානමක් නැහැ?


නොදන්න දේවල් කරලා ජනප්‍රිය වෙනවට වඩා දන්න දේ කරලා ජනප්‍රිය වෙන එක හොඳයි.


විලාසිතාවලට තිබෙන නැඹුරුව?


මම තැනට සුදුසු විදිහට විලාසිතා කරනව. නමුත් පෞද්ගලික ජීවිතයේදී මම මටම යම් යම් සීමාවන් පනවගෙන ඉන්නවා.


ටැටූ විලාසිතාවත් හරි ජනප්‍රියයි?


මම ටැටූ වලට කැමතියි. දැනටත් දෙකක් තියෙනවා. ඒක බොහොම පරිස්සමට මගේ වැඩ කටයුතුවලට බාධාවක් නොවෙන විදිහට හසුරුවාගන්නවා. තවත් නම් ටැටූ ගහන්නෙ නෑ.


ඉදිරියේදී දකින්න ලැබෙන චරිත?


මේ දවස්වල දකින්න ලැබෙන චරිතවලට වඩා සමාජයේ බොහෝ දෙනා කතාබහ වෙන හාත්පසින්ම වෙනස් ගැහැනු චරිතයකින් දකින්න ලැබෙයි.


මහේෂ් එදිරිසිංහ





Previous Post Next Post