මම රඟපෑවේ කතරගම දෙවියන් ගැන බොහෝ භක්තියෙන් - සොනක්ෂි සිං රාවට්



 සොනක්ෂි සිං රාවට් මේ දිනවල ජන හද බැඳගත් නිළියක් ලෙසින් හඳුන්වා දීමට අපට හැකිය. අපේ රටට අල්ලපු රටේ නිළියක වන සොනක්ෂි අපට හමු වන්නේ මේ දිනවල තිරගත වන කදිරදිව්‍යරාජ චිත්‍රපටය හරහාය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද කදිරදිව්‍යරාජ චිත්‍රපටය හරහා මෙරට ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනූ සොනක්ෂි සමඟය මේ සොඳුරු කතාබහ.


සොනක්ෂි ඔබ අපේ රටට ආගන්තුක කෙනෙක්. අපිට ඔබ ගැන හඳුන්වලා දෙනවා නම්?


මම සොනක්ෂී සිං රාවන්. මම උපන්නේ මුම්බායිවල. පොඩි කාලේ අධ්‍යාපනය ලැබුවේ රාජස්ථාන්වල. පසුව උසස් අධ්‍යාපනය ලැබුවේ මුම්බායිවල. මම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරිනියක්. මගෙ පවුලේ සාමාජිකයෝ අම්මයි තාත්තායි සහෝදරියෝ තුන්දෙනෙක් ඉන්නවා. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක් . අම්මා ගෘහනියක්.


සොනක්ෂි ඔබට කොහොමද මේ චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ?


මුම්බායිහි හෝටලයක කදිරදිව්‍යරාජ චිත්‍රපටය සඳහා ඔඩිෂන් එකක් තිබුණා. මහාචාර්ය සුනිල් ආරියරත්න හා කැමරා අධ්‍යක්ෂතුමා තමයි එදා ඔඩිෂන් එකේ හිටියේ. මමත් එදා එ්කට සහභාගි වුණා. පැය දෙකකට විතර පස්සේ දැනුම් දුන්නා මාව තෝරා ගත්තා කියලා. එදා නම් මට පුදුම සතුටක් දැනුණේ. ඉන් පස්සේ චිත්‍රපටයේ රඟපාන්න අපි ලංකාවට ආවා. ඒ ඇවිල්ලා මාසයක් විතර අපි ලංකාවේ හිටියා. චිත්‍රපටයේ හිටපු හැමෝගෙන්ම මට හොද සහායක් ලැබුණා. ඒ වගේම මගේ සහාය නළු සමර්ගෙන් මට ලොකු සහායක් ලැබුණා.


කතරගම දෙවියන් ගැන ඔබ මොනවද දැනගෙන හිටියේ?


ඇත්තම කිවුවොත් මම කතරගම දෙවියන් ගැන හුඟක් දේ දැනගෙන හිටියේ නැහැ. නමුත් චිත්‍රපටයේ රඟපාන්න ලංකාවට ආවට පස්සේ තමයි බොහෝ තොරතුරු දැන ගත්තේ. මම හින්දු භක්තිකයෙක්. ඇත්තම කිවුවොත් මම මේ චරිතයට බොහෝම ආදරයෙන් කතරගම දෙවියන් ගැන බොහෝ භක්තියෙන් චිත්‍රපටයේ රඟපෑවා.


ඔබ රඟපෑ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


පහුගිය කාලේ මම එක දිගට දින දහයක් ලංකාවේ හිටියා. මටම පුදුමයි. චිත්‍රපටයට බොහෝම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ගැන හරිම සතුටුයි.


නිළියක් ලෙස ලංකාවට එන විට ඔබ මොනවද මේ රට ගැන දැනගෙන හිටියේ ?


මම ලංකාවට මීට පෙර කිහිප වතාවක් ආවා. ඒත් ලංකාව ගැන මහ ගොඩක් දේවල් දැනගෙන හිටියේ නෑ. ඇත්තම කිවුවොත් මම ලංකාවේ ක්‍රිකට් ගැනවත් මහ ලොකුවට දන්නේ නැහැ.


ඔබ ලංකාවේ කෑමවලින් වැඩිපුරම කැමති කෑම මොනවද?


මම ලංකාවේ හුඟක් කෑමවලට කැමැතියි. අපේ කෑමයි ලංකාවේ කෑමයි අතර ලොකු වෙනසක් නෑ වගේ.. ඒත් මම චිකන් කොත්තුවලට හරිම කැමැතියි.


ඔබ ශ්‍රි ලංකාවේ වැඩිපුර සංචාරය කරන්න කැමැති කොහෙද?


චිත්‍රපටය රූගත කරන කාලේ හම්බන්තොට රන්මිණිතැන්න ප්‍ර ‍ෙද්ශයේ තමයි අපි වැඩිපුරම හිටියේ. මම ඒ පැත්තට හරි කැමැතියි. ඒ හැරුණම නුවරඑළිය ප්‍ර ‍ෙද්ශයටත්, දකුණු වෙරළ තීරයටත් හරිම කැමැතියි. ඒ වගේම මෙවර ලංකාවට පැමිණි විට මහනුවර දළදා මාළිගයට යන්න අවස්ථාව ලැබුණා. ඒ ගැන නම් මට හරිම සතුටුයි.


ඔබගේ පළමු සිනමා අත්දැකීම ගැන සිහිපත් කළොත්?


මගේ පළමු චිත්‍රපටය තෙලිඟු චිත්‍රපටයක්. ඒ චිත්‍රපටය රූගත කළේ තායිලන්තයේ. මම ඒ කාලේ තෙලිඟු භාෂාව දැනගෙන හිටියේ නැහැ. ඒ කාලේ මට තෙලිඟු වචනයක්වත් කතාකරන්න බැහැ. අපේ අනිත් අයට නම් පුළුවන්. ඒත් අපේ කණ්ඩායමේ අනිත් අය නිසා මට චිත්‍රපටයේ කටයුතු කිසි ප්‍රශ්නයක් නැතිව කරගෙන යන්න පුළුවන් වුණා.


ලංකාවේ නළු නිළියන් සමඟ රඟපෑමේදි ඔබට දැනුණේ මොනවගේ හැඟීමක් ද‍ ?


ලංකාවේ නළු නිළියන් හරි දක්ෂයි. ඔවුන් රඟපාන්නේ හරිම සරලව. මම ඔවුන්ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ වගේම ඔවුන් හරිම ස්වාභාවික විදිහට රඟපානවා. ඔවුන් මට මම නොදන්නා දේ කියලා දෙමින් බොහෝම හොඳට සැලකුවා.


සුනිල් සර් ගැන ඔබට මොකද හිතෙන්නේ?


ඔහු බොහෝම හොඳ කෙනෙක්. ඒ වගේම ඔහු බොහෝම දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. එවැනි අධ්‍යක්ෂවරයෙක් යටතේ රඟපාන්න ලැබීම මගේ භාග්‍යයක්.


නැවත සිංහල චිත්‍රපටයක රඟපාන්න ලැබුණොත්?


අනිවාර්යයෙන්ම මම ඒ ආරාධනය පිළිගන්නවා. ඒක මට හරි ආඩම්බරයක්.


ඉදිරියේදි දකින්න පුළුවන් ඔබ රඟපෑ චිත්‍රපට මොනවද?


කදිර දිව්‍යරාජ කියන්නේ මම රඟපෑ දෙවන චිත්‍රපටය. ඉන් පස්සේ දමිළ චිත්‍රපටයක රඟපෑවා. ඊට අමතරව මම නිරූපිකාවක් විදිහටත් කටයුතු කරනවා.


 





Previous Post Next Post