මිනිස්සු දැන් සිනමාවෙන් විතරක් නෙවෙයි රූපවාහිනියෙනුත් ඈත් වී ගෙනයි යන්නේ -දමයන්ති ෆොන්සේකා




දශක පහකට වැඩි කාල සීමාවක් පුරාවට වේදිකාව, සිනමාව හා පුංචි තිරය හරහා මෙරට කලා කෙත පෝෂණය කළ ඇය හෙළ නිළි රැජන සෙවණේ වැඩෙමින් පසුව අක් මුල් විහිදා මහා වෘක්ෂයන් බවට පත් වූ ශ්‍රී ලාංකේය කලාවේ සක්‍රීය සලකුණක්ය. රංගනයෙන් නොනැවති නිෂ්පාදනය හා අධ්‍යක්ෂණයට අත තබමින් මෙරට කලාවේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කරන ඇය මෙරට සිනමාවට අලුත් තරු බොහෝමයක් හදුන්වාදීමේ පුරෝගාමිත්වය දරන්නේ ලංකාවට අලුත් වූ කාස්ටින් ඩිරෙක්ටර් එසේත් නැතහොත් නළු නිළිවරණ අධ්‍යක්ෂ යන කාර්යයද සිදු කරමිනුයි. නමින් හා රුවෙන් කවුරුත් දන්නා ඇය දමයන්ති ෆොන්සේකාය.


ඉතිං කොහොමද මේ දවස්වල තොරතුරු?


මේ දවස්වල ඉතිං අලුත් ටෙලි නාට්‍යයක රංගන කටයුතුවල යෙදෙනවා. ඒ වගේම පුරුදු පරිදි මගේ ක්ලාස් එක කරනවා. ඒ වගේම ප්‍රසන්න විතානගේ අලුත් චිත්‍රපටයක් කරන්න සූදානම් වෙනවා. ඉතිං ඒ චිත්‍රපටවල කාස්ටිං එක එහෙමත් නැත්තම් නළු නිළියන්ව තේරීම කරන්නේ මමනේ. ඒ වැඩකටයුතුත් කරනවා. ඒ වගේම වැව් බැඳි රාජ්‍යය ගැන වාර්තා චිත්‍රපටයක් කරනවා. ඒ කටයුතු සේරම එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ.


ඔබ පවත්වාගෙන යන රංගන පාසල ගැනත් කතා කරමු?


මම කැමැතියි එතැනට රංගන පාසල කියනවටත් වඩා රංගන අභ්‍යාස මධ්‍යස්ථානය කියලා කියන්න. ඒකට හේතුව තමයි පාසලක නම්  විදුහල්පතිවරයෙක්ගේ ඉඳලා සියල්ලම අංගසම්පූර්ණ විය යුතුයි. මගේ තැන මම  කරන්නේ අභ්‍යාස සිදු කිරීම. මොකද මනුස්සයෙක්ට යම්කිසි දෙයක් සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණත්වයට පත්වෙන්න නම් අඛණ්ඩව අභ්‍යාසවල නියැළෙන්න වෙනවා. ඉතිං මම මගේ තැනින් දරුවන්ට කරන්නේ අභ්‍යාස සිදු කරවීම.


මගේ පන්තිය ගැන කතා කළොත් මට 2013දී වගේ කිහිප දෙනෙක්ගෙන් ඉල්ලීමක් එනවා රංගනය සම්බන්ධයෙන් කියලා දෙන්න කියලා. එයාලත් එක්ක ඔය විදිහට අභ්‍යාස කරගෙන යද්දි එයාලා තමයි කිව්වේ කියලා දෙන එක ගොඩක් තේරෙනවා පුළුවන් නම් පන්තියක් පවත්වන්න කියලා. ඒ විදිහට පටන් ගත්ත ගමන තමයි අද වෙනතුරු මේ කරගෙන එන්නේ.


එතැනදි මට අවස්ථාව ලැබෙනවා මගේ ගෙදර චිත්‍රපට නිෂ්පාදන කටයුතු සිදුවෙන නිසා  මගෙන් ඉගෙනුම ලබන දක්ෂයන් බොහෝමයකට චිත්‍රපටවල රංගනයට ඉඩකඩ සලස්වා දෙන්න. මේ වෙද්දි එහෙම අවස්ථාව ලබා දීලා සාර්ථක වුණු බොහෝමයක් දෙනා ඉන්නවා.


දශක පහක කාලයක් පුරාවට මෙරට කලාවේ ඔබ දුටු වෙනස්කම් මොනවාද?


විවිධ වෙනස්කම් දැක්කා. මොකද ලොකු කාලයක්. සමහර වෙනස්කම් හොඳ විධියට සිද්ධ වුණා. සමහර වෙනස්කම් නරක විධියට සිද්ධ වුණා. උදාහරණයක් තමයි, ඉස්සර අපි රංගනයක් කරාම අපිට අපි කරපු රංගනයේ හොඳ නරක බලන්න පුළුවන් වෙන්නේ නෙගටිව් පටය ආවම. නමුත් ඩිජිටල් තාක්ෂණයත් එක්ක අපිට අපි කරන රංගනය ඒ මොහොතේම තිරයේ නරඹන්න හැකියාව ලැබුණා. මේ පහසුකම යොදාගෙන වැඩි වැඩියෙන් හොඳ නිර්මාණ කරන පුද්ගලයන් වගේම, ඕනෑම ආකාරයකට අමුණන්න පුළුවන්කම තිබෙන නිසා ඕනෑවට එපාවට නිර්මාණයන්ට දායකවන අයත් බිහි වුණා.


ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් විදිහට නවක පරපුර ගැනත් කතා කරමු?


 ලෝකේ තිබෙන සියලුම දේවල්වල වගේම අපේ තරුණ පරපුර අතරෙත් හොඳ සහ නරක දෙක තිබෙනවා. ඔවුන් අතරත් දක්ෂයන් ඉන්නවා. ඒ වගේම දක්ෂ නොවන වෙන මොකක් හෝ හේතුවක් නිසා ජනප්‍රියත්වය ලබාගෙන රැඳිලා ඉන්න අයත් ඉන්නවා.


මෙතැනදි ඔවුන් අපිට චෝදනාවක් කළොත් ඔයාලා මොනා ඉගෙනගෙනද රඟපාන්න ආවේ කියලා, එතැනදි මට කියන්න තියෙන්නේ උපතින් දක්ෂතා අරගෙන එන අය ඉන්නවා. නමුත් අපේ අලුත් ළමයින්ට තිබෙන ලොකුම අඩුව තමයි ඔවුන්ට වේදිකාව තුළ පුහුණු වෙන්න අවස්ථාවක් නෑ. ඒ හරහා උපතින් දක්ෂතා අරගෙන එන ළමයි හිටියත් ඔවුන්ටත් තමන්ගේ හැකියාවන් ඔපමට්ටම් කරගන්න අවස්ථාව අඩු වෙලා තිබෙනවා.


නමුත් ඒ වෙනුවට අද වෙද්දි රංගන අභ්‍යාස සිදුකරන ඕනෑ තරම් තැන් තිබෙනවා. ඉතිං ඒ වගේ තැන්වලට ගිහින් තමන්ගේ හැකියාවන් ඔපමට්ටම් කරගෙන එන බොහෝ දක්ෂ දරුවෝ ඉන්නවා. ඒ වගේම මුලින්ම සඳහන් කළා වගේ ඔහේ ඉන්නවට ඉන්න දරුවොත් ඉන්නවා.


මෙරට සිනමාවට සුවිශේෂ දායකත්වයක් දැක්වූ පවුල් දෙකක නියෝජනයක් විදිහට අපේ සිනමාව ගැන ඔබේ අදහස?


සිනමාව ගැන කතා කරද්දි තිබෙන ලොකුම චෝදනාවනේ අපේ සිනමාවට රසිකයෝ අඩුයි කියන එක. නමුත් මෙතැනදි මම කියන්න ඕනි අපිට විතරක් නෙවෙයි බටහිර සිනමාවට පවා රසිකයෝ අඩු වුණා. ලෝකය ඉදිරියට යද්දි රූපවාහිනිය වගේ අයිතම තමන්ගේ ගෙදර සාලයට එද්දි මිනිස්සු එළියට ගිහිං චිත්‍රපට බලන එක අඩු වුණා. හොලිවුඩය සහ බොලිවුඩය නම් ඔවුන් දැවැන්ත කර්මාන්ත නිසා තවමත් කෙසේ හෝ රැඳිලා ඉන්නවා. නමුත් ඒවාගෙත් අර්බුද තිබෙනවා. විශේෂයෙන් රූපවාහිනියේ ආගමනයත් එක්ක සීතල රටවල්වල මිනිස්සු තමන්ගේ ගෙදර සාලේ ඉඳන් රූපවාහිනි බලන්න පුරුදු වුණා. එළියට යන එක අඩු කළා. ඒ වගේම ඉස්සර අපිට විනෝද වෙන්න තිබ්බේ හරිම සීමිත දේවල් ටිකක්. කාලෙකට පස්සේ හෝල් එකට එන සිනමාපටයක්. එහෙමත් සතියකට දවසක් ගුවන්විදුලියේ යන ටෙලි කතාවක්. ඉඳල හිටලා පැවැත්වෙන සැණකෙළි, සංගීත සන්දර්ශන වගේ ඒවා විතරයි. නමුත් අද වෙද්දි මිනිස්සුන්ට විනෝද වෙන්න තිබෙන ආකාර වැඩියි. කොටින්ම කිව්වොත් මිනිස්සු දැන් සිනමාවෙන් විතරක් නෙවෙයි ක්‍රමයෙන් රූපවාහිනියෙනුත් අෑත් වේගෙන යන්නේ.


මේකට විකල්පයක් විදිහට බොහෝ රටවල් එයාලගේ සිනමා නිර්මාණ ඇමසන් ප්‍රයිම්, නෙට්ෆිල්ක්ස් වගේ OTT ජාලා හරහා රසිකයන් වෙතට අරගෙන එනවා. ඒ අනුව ඔවුන්ට ඔවුන්ගේ නිර්මාණ තවමත් රසිකයන්ට ළං කරන්න අවස්ථාව තිබෙනවා.


ඇත්තටම ඇයි අපේ රටේ  සිනමා හා නාට්‍ය නිර්මාණ නෙට්ෆිල්ක්ස් හරහා හෝ ඇමසන් ප්‍රයිම් හරහා රසිකයන් වෙතට ගෙන යෑමට උත්සාහ නොදරන්නේ?


මෙතැනදි සඳහන් කරන්න ඕනි ඉඟිළෙන මාළුවෝ චිත්‍රපටය ඇමසන් ප්‍රයිම් හරහා විකාශනය වුණා. නමුත් ඒක විතරයි. අපේ රටේ ඔය සම්බන්ධයෙන් තිබෙන ගැටලුව තමයි අපිට මේ ආයතනවල නියෝජිතයෙක් නොමැති වීම. අපිට නෙට්ෆ්ල්ක්ස් හා සම්බන්ධ විය හැකි නියෝජිතයෙක් රටට නැහැ. මම දන්නේ නැහැ එතැන වරද කාගෙද කියන එක. නමුත් එහෙම නියෝජිතයෙක් සිටිනවා නම් ඒ හරහා විකාශනය කරවන්න පුළුවන් හොඳ ගුණාත්මක සිනමා හා ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයක් අපිට තිබෙනවා. සමහරවිට කවුරු හෝ පෞද්ගලික මට්ටමේ නියෝජිතවරයෙක් සිටිනවාද දන්නේ නැහැ මම නොදන්න. නමුත් මම හොයලා බලපු විදිහට නම් මට ලැබුණු තොරතුර අනුව නෙට්ෆිල්ක්ස් හරහා අපේ නිර්මාණයක් එළියට දාන්න අපිට ඉන්දියාව හරහා තමයි අවස්ථාව ලබා ගන්න වෙන්නේ.


ඉදිරි වැඩකටයුතු ගැනත් මතක් කරමු?


අලුතෙන් නිර්මාණ කිහිපයක් එන්න තිබෙනවා. ඒ වගේම ප්‍රසන්නගේ සිනමා පටයක නළු නිළියන් තේරීමේ කටයුතුත් මම විසින් සිදු කරනවා. ඒ වගේම හැකි ඉක්මනින් මගේ උතුරු මැද පළාතේ නියඟය සම්බන්ධයෙන් කරන වාර්තා චිත්‍රපටයේ වැඩකටයුතුත් අවසන් කරන්න උත්සාහ දරනවා.


අක්ෂි මාපා වීරසිංහ





Previous Post Next Post