අපි අඳින පළදින ඇඳුම් ගැන තීරණය කරන්න සමාජයට අයිතියක් නෑ-ආදිත්‍යයා වැලිවත්ත



කෙටි කාලයක් ඇතුළත ශ්‍රී ලාංකීය සංගීත ලෝලීන් අතර ජනප්‍රියවුණ ගායන ශිල්පිනියක් තමයි ආදිත්‍යයා වැලිවත්ත කියන්නෙ. ඇයගේ ගායන හැකියාව නිතරම රසික ඇගයීමට ලක්වනවා වගේම ඇයගේ ඇඳුම් විලාසිතාවක් ගැනද පහුගිය කාලයේ රසිකයො අතර කතාබහට ලක්වුණා. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත් විස්තර දැනගන්න ආදිත්‍යයා එක්ක කතා කරන්න අපි හිතුවා.



වෘත්තීයමය වශයෙන් ඔබව හඳුන්වන්න පුළුවන් කවුරු කියලද ?



නිවේදිකාවක් සහ ගායිකාවක් විදිහට මේ වෙද්දි මම කටයුතු කරනවා. ඒ අතරින් ප්‍රධාන වශයෙන් කරන්නෙ සිංදු කියන එක නිසා ගායිකාවක් විදිහට මාව හඳුන්වන්න කැමැතියි.



ගායන ක්ෂේත්‍රයට එන්නෙ කොහොමද ?



මම පුංචි කාලෙ ඉඳලා සිංදු කියනවා. හැබැයි මිනිස්සු අතරෙ ගායිකාවක් විදිහට ප්‍රසිද්ධ වෙන්නෙ වොයිස් ටීන් වැඩසටහන හින්දා.



නවක ගායිකාවක් විදිහට ක්⁣ෂේත්‍රයේ වැඩ කරනකොට බාධක ආවෙ නැද්ද ?



ගායන ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ හුඟක් බාධක ආවා. තාමත් බාධක තියනවා. හැකියාව සහ උත්සාහය තමයි ඒ බාධක ජයගන්න මම හැමදාමත් පාවිච්චි කෙරුවේ.



කෙටි කාලයකදි රටක් හඳුනන ජනප්‍රිය ගායිකාවක් වුණ එක ගැන මොකද හිතන්නෙ ?



තාම මම ජනප්‍රිය ගායිකාවක් කියලා හිතන්නෙ නැහැ. රසික ප්‍රතිචාර ලැබෙනවා. ඒ හැම ප්‍රතිචාරයකටම ගොඩක් ස්තූතියි. හැබැයි ඒ වුණාට මම තාම හිතන්නෙ ජනප්‍රිය කියන ඉලක්කයට යමින් ඉන්න ගායිකාවක් කියලා.



වෘත්තීය වශයෙන් ගායිකාවක් විදිහට ඉදිරියට යන්නද බලාපොරොත්තුව ?



ඒක ඉදිරියෙදි බලමු. සමහරවිට සිංදු කියන එක විනෝදාංශය වෙලා වෙනත් දෙයක් මගේ ප්‍රධාන වෘත්තීය වෙන්නත් ඉඩ තියනවා. හැබැයි මම කවදාවත් සිංදු කියන එක අතාරින්නෙ නැහැ.


මේ දවස්වල වැඩකටයුතු මොනවද වෙන්නෙ ?


මේ දවස්වල අලුත් සිංදුවක් නිර්මාණය කරන ගමන් ඉන්නෙ. ප්‍රසංග වේදිකාවල සිංදු කියන වැඩකටයුතුවලට සහභාගි වෙනවා. ඒ වගේම රූපවාහිනී වැඩසටහනක නිවේදන කටයුතු කරනවා.


නිවේදිකාවක් වෙන්න හිතුවෙ ඇයි ?


නිවේදන කටයුතු කරන්න ආසාවක් මට තිබුණෙ නැහැ. හැබැයි මට හිතුණා උත්සාහ කරලා බලන්න. වෘත්තීයමය වශයෙන් මම නිවේදිකාවක් නෙමෙයි. විශේෂ උත්සව සහ රූපවාහිනී වැඩසටහන්වල විතරක් මම නිවේදන කටයුතු කරනවා.



නිවේදන කටයුතු කරනකොට වැරැදිලා තියනවද ?


ඕන තරම් වැරැදිලා තියනවා. හැබැයි මම හිතන්නෙ හැම වැරැද්දකින්ම අපිට ඉගෙනගන්න දේවල් තියනවා. ඉතින් ඒ විදිහට ඉගෙනගන්න ගමන් ටික ටික ඉස්සරහට යනවා.



ඔබ එක වෘත්තියකට කොටුවෙන්නෙ කැමැති කෙනෙක් නෙමෙයි කියලා ආරංචියි ?


ඔව්. මම හිතන්නෙ අපි එකම දේකට කොටුවෙලා ඉන්නෙ නැතුව විවිධ දේවල් කරලා ජීවිතයට අත්දැකීම් එකතුකරගන්න ඕන කියලා. කාලයක් මම ත්‍රිකලා ධරණීගේ නිරූපණ ඇකඩමියට සම්බන්ධවෙලා නිරූපණ කටයුතු කළා. 



ඉදිරියෙදිත් වෙනස් විදිහෙ අත්දැකීම් සොයා යන්න මගේ බලාපොරොත්තුවක් තියනවා.


චන්දිමාල්ගේ උපන්දින සාදයට ඇඳගෙන ගිය ඇඳුම ගැන තාමත් ගොඩක් දෙනෙක් කතාබහ වෙනවා. ඇයි ඒ වගේ විලාසිතාවක් කරන්න හිතුවෙ ?



මගේ අදහසකට අනුව මමම නිර්මාණය කරපු ඇඳුම් විලාසිතාවක් ඒක. මට හිතුණා ඒ වගේ ඇඳුමක් ඇන්දොත් මාව ලස්සනට පෙනෙයි කියලා. සමහරු ඒ ඇඳුමට මාව ලස්සනයි කියලා තිබුණා වගේම තවත් සමහරු කියලා තිබුණා ඇඟ ඕනෑවට වැඩිය පේන ඇඳුමක් මම ඇඳලා කියලා. ඇත්තටම ඒ අඳුම අඳිනකොට මම හිතුවෙ නැහැ ඒ ගැන මිනිස්සු එච්චර කතාබහ වෙයි කියලා. 



හැබැයි මම නොහිතපු විදිහට ඒ ඇඳුම මිනිස්සු අතර මාතෘකාවක් වුණා. ම⁣ම නම් හිතන්නෙ ඒක ලස්සන ඇඳුමක් කියලා. මිනිස්සු කියන විදිහෙ වැරැද්දක් අඩුපාඩුවක් මම ඒ ඇඳුමෙ දකින්නෙ නැහැ.


විලාසිතාවලදි සරාගීකම ගැන සැලකිලිමත්වෙනවද ?



සරාගීකමම නෙමෙයි මම කැමැතියි මාව අනිත් අය අතරේ ලස්සනට පේන කවුරුත් නොකරන විදිහෙ වෙනස් විලාසිතා කරන්න.


සමාජයේ ගොඩක් දෙනා පුරුදුවෙලා තියෙන්නෙ තව කෙනෙක් අඳින පලඳින ඇඳුම් විනිශ්චය කරන්න. ඒ විදිහට විනිශ්චයට ලක්කිරීම ගැන මොකද හිතන්නෙ ?


තමන්ගෙ ඇඟ අයිති තමන්ට මිසක සමාජයට නෙමෙයි. ඒ නිසා අපි අඳින ඇඳුම් පැලඳුම් හරිද වැරැදිද කියලා තීරණය කරන්න සමාජයට අයිතියක් නැහැ. අඳින ඇඳුම් පැලඳුම් තමන්ටයි තමන්ගෙ පවුලෙ අයටයි ප්‍රශ්නයක් නැත්තන් සමාජය ඒ ගැන ප්‍රශ්නයක් කරගන්න ඕන නැහැ.


පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?


මගේ පවුලෙ ඉන්නෙ අම්මයි අක්කයි මල්ලියි. මගේ පවුලේ අය නැත්නම් අද ආදිත්‍යයා වැලිවත්ත කියලා කෙනෙක් නැහැ. ඒ තරමට මට පවුලේ අයගෙන් ලොකු සහයෝගයක් ශක්තියක් ලැබෙනවා. ජීවිතයේදි සමහර දේවල් අපිට මගහැරෙනවා වරදිනවා. ඒ හැම දෙයක්ම පෙන්නලා දීලා හරි විදිහට ජීවිතය සකස්කරගන්න උදව් කරන්නෙ අපේ දෙමව්පියො.


තරුණියක් විදිහට ආදරය ගැන මොකද හිතන්නෙ ?


ලෝකය සුන්දර වෙන්න නම් ඊර්ෂ්‍යාව වෛරය අත්හැරලා හැමෝම හැමෝටම ආදරය කරන්න ඕන. ආදරය නැත්තන් මේ ලෝකය පවතින්නෙ නැහැ.



මේ වෙද්දි ආදරවන්තියක්ද ?


ඒක කියන්න බැහැ. ඉස්සරහදි බලමු .



ඒ කියන්නෙ ඔබේ ආදරය ගැන රසිකයො දැනගන්නවට කැමැති නැද්ද ?


අනේ නැහැ. මම තාම ආදරවන්තියක් නෙමෙයි. හැබැයි ඉදිරියෙදි ආදරවන්තියක් වෙන්න පුළුවන්. එහෙම ආදරවන්තියක් වුණදාට අනිවාර්යෙන් පිනිපලසට කියන්නම්. 





Previous Post Next Post