මම කවුරු වෙයිද කියලා මටත් හිතාගන්න බෑ- රුක්මල් නිරෝෂ්

 


රුක්මල් නිරෝෂ් කියන්නේ ශ්‍රී ලාංකීය ටෙලි සහ චිත්‍රපට ක්ෂේත්‍රයේ අති දැවැන්ත චරිතයක්. අධ්‍යාපන කටයුතු සඳහා ඔස්ට්‍රේලියාවට ගිහින් ඉන්න රුක්මල්, මේ දවස්වල ලංකාවට ඇවිත් එයාගේ අලුත් වැඩක් පටන් අරගෙන. ඒ තොරතුරුත් දැන ගන්නත් එක්ක අපි කතා කළා රුක්මල්ට.


රුක්මල් කියන්නේ ප්‍රතිභා පූරණ රංගන ශිල්පියෙක්. ඒත් දැන් නිර්මාණවල පෙනී සිටිනවා අඩුයි නේද?


එ්කට හේතුව තමයි මම පසුගිය කාලයේ ලංකාවේ හිටපු නැති එක. මම හිටියේ ඔස්ට්‍රේලියාවේ. ඒ නිසා නිර්මාණවලට දායක වෙන්න ලැබුණේ නෑ.


ඔබ ඔස්ට්‍රේලියාවට යන්න හේතුව මොකක්ද


මම මගේ අධ්‍යාපන කටයුතු සඳහා තමයි එහාට ගියේ. චිත්‍රපට හා රූපවාහිනි කලා උපාධිය ලබා ගත්තට පස්සේ මම ගිය අවුරුද්දේ මගේ මාධ්‍ය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තා. ඔය නිසා තමයි මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න හේතු වෙන්නේ.


ඔබ විසින් නිර්මාණය කල “ද නිවුස්පේපර්“ චිත්‍රපටය ජාත්‍යන්තර ඇගයීමට ලක්වුණා. අපට ඒ ගැන යමක් කිව්වොත්


“ද නිවුස්පෙපර්“ එකේ සරත් සහ තිරිමාදුර රංගනයෙන් දායක වෙන නිසා මට සිද්ධ වුණා ඒ අය එක්ක ඒ ලොකේෂන් එකෙත් ඉන්න. ඒ අත්දැකීම වචන වලින් කියන්න බැරි තරම් සුන්දරයි. මම හිතනවා ඒ වගේ නිර්මාණයකට මගෙන් දායකත්වය දෙන්න ලැබුණ එකත් විශේෂ දෙයක් කියලා. අනික මම දෙවැනි වතාවට ඔස්ට්‍රේලියාවට යන්නේ 2019දී. ඒ “ද නිවුස්පේපර්“ චිත්‍රපටයේ සංස්කරණ කටයුතු නිම කරලා.


කොහොමද රංගන කලාවට එන්නේ.


මගේ පළමු වේදිකාව වෙන්නේ පාසැල. මොරටුව වේල්ස් කුමර විදුහල. එතැන්දී මට හමුවෙනවා අපූරු ගුරුවරයෙක්. ඒ තමයි තිස්ස ගුණවර්ධන සර්. ඉස්කෝලේ කලා උලෙළක නාට්‍ය තරඟයක් තිබුණා. මම ඒක නාට්‍යක එක් චරිතයක් නිරූපණය කලා. ඒක දැකලා තමයි සර් මාව එයාගේ නාට්‍යවලට ගන්නේ.එතැනින් තමයි මගේ මුළු ජීවිතයම වෙනස් වෙන්නේ. ඒක ලොකු හැරවුම් ලක්ෂ්‍යයක්. ඇත්තටම අහම්බයකින් තමයි මම රඟපාන්න එන්නේ. මට ඒ දවස්වල රඟපාන්න ලොකු ආසාවක් තිබුණේ නෑ. හැබැයි ඒ වෙච්ච වෙනසට මම කැමතියි. ආපු දුර දිහා හැරිලා බලනකොට අපි යමක් කලා නේද කියලා සතුටු වෙන්න පුළුවන්.


ඔබේ රූපවාහිනී ආගමනය ගැන මතක් කළොත්?


1990 දී තමයි මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට එකතු වෙන්නේ. මුලින්ම මම රඟපාන්නේ ඒකාංගික ටෙලි නාට්‍යයක. ඊට පස්සේ තමයි මට අශෝක හඳගම අයියාව හමුවෙන්නේ. එයාගේ ප්‍රභාතය ටෙලිය තමයි මගේ ප්‍රථම ප්‍රාසාංගික ටෙලි නාට්‍ය වෙන්නේ. එතැනින් පටන් ගත්ත මගේ රංගන ජීවිතය “දුන්හිඳ අද්දර, දියකැට පහණ, සඳ අමාවකයි, සින්තටික් සිහින, තට්ටු ගෙවල් “ වගේ නිර්මාණ දක්වා ගෙනියනවා.


ඔබ මේ වන විට අති දැවැන්ත නිර්මාණ කටයුත්තකට මුල පුරලා තියනවා. ඒ ගැනත් කියමු.


චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන එක මගේ ලොකු හීනයක්. ඉතිං ඒ සිහිනයේ සැබෑ වීමක් තමයි මේ දවස්වල සිදු වෙන්නේ. චිත්‍රපටයේ රූගත කිරීම් මේ දවස්වල හන්තානයේදී සිදු කරනවා. චිත්‍රපටයේ නම තමයි “අවාළු පැහැ වලාකුළක්“. එකේ නිෂ්පාදනය හසිත බස්නායක. තිර රචනය මංජුල වෙඩිවර්ධන සහ මම. මෙහි ප්‍රධාන චරිත විදිහට බිමල් ජයකොඩි, ඩිනාරා පුංචි හේවා සහ මහේන්ද්‍ර පෙරේරා රඟපානවා. සංගීතය කසුන් කල්හාර, කැමරාකරණය චන්න දේශප්‍රිය, අධ්‍යක්ෂණය සහ සංස්කරණය මම සිදු කරනවා. ඉතිං ඔය විදිහට වැඩේ කරගෙන යනවා. ඇත්තටම මේක දැවැන්ත කාර්‍යක්. මට ඉතාම හොඳ, දක්ෂ සහ වැඩේට ආදරය කරන ටීම් එකක් ඉන්නවා. ඒ ටීම් එකත් එක්ක හොඳ නිර්මාණයක් කරන්න පුළුවන් කියන විශ්වාසය මත තමයි මම වැඩේට අතගැහුවේ.


ලංකාවේ චිත්‍රපට කර්මාන්තය අවදානමක තියන මේ වගේ කාලෙක ඇයි දැවැන්ත නිර්මාණයකට දායක වෙන්න හිතුණේ.


නිර්මාණ කරන්න කිසිම කාලයක් එන්නේ නෑ හොඳ කාලය කියලා. මම හිතන්නේ අපි අවදානමක් අරන් නිර්මාණයක් කළේ නැත්නම් වැඩක් නෑ. ඊට හොඳයි නිර්මාණ නොකර ඉන්නවා. ඕනෑම දෙයක අවදානමක් තියනවානේ. හොඳට තිබුණ කාලයක් කියලා එකක් මේ ක්ෂේත්‍රයේ ඉන්න අපිට මෑත කාලීනව තිබුණෙම නෑ. එහෙම කියලා නිර්මාණ බිහිවීම නතර කළොත්, මොනවද ප්‍රේක්ෂකයන්ට බලන්න තියෙන්නේ. ඒ නිසා ඒ රිස්ක් එක ගැන දැනගෙන හොඳ නිර්මාණයක් කිරීමේ අවශ්‍යතාවය හා ආදරය නිසා තමයි මේ වැඩේට අත ගැහුවේ. මම ඇතුළු මේ මුළු කණ්ඩායමම ඒ ගැන ඉතාම හොඳින් දැනුවත්. ඒ නිසා බය වෙලා බෑ…


ඔබේ මේ නව චිත්‍රපටය ජාත්‍යන්තරයට ගෙනයන්න ද සූදානම?


අනිවාර්යෙන්ම. නමුත් ලාංකික ප්‍රේක්ෂකයන් මේ චිත්‍රපටය නැරඹිය යුතුම එකක්.


ඔබ දිගටම පදිංචි වෙන්න හිතන් ඉන්නේ ඔස්ට්‍රේලියාවේද ?


එහෙමම නෑ. මම ඔස්ට්‍රේලියාවට ගියේ මගේ අධ්‍යාපනය කටයුතුවලට. දැන් ඒක ඉවරයි. මගෙත් බලාපොරොත්තුවක් තියනවා ලංකාවේ ඉඳන් තව නිර්මාණ කීපයක් කරන්න.


මොනවද අනාගත හීන?


ලොකුම හීනයක් තමයි මේ හැබෑ වෙන්නේ. මගේ තව චිත්‍රපටයක් එන්න තියනවා “අයිස් ක්‍රීම්“ කියලා. ඒක තමයි මම අවසානයට රඟපෑ චිත්‍රපටය. ඔස්ට්‍රේලියාවේදී තව චිත්‍රපටයක් කිරීමේ අදහසක් තියනවා. ඒක ලබන අවුරුද්දේ මුල වෙනකොට රූගත කිරීම් පටන් ගන්න පුළුවන්.


අහම්බයෙන් කලාව පැත්තට වැටුණේ නැත්නම් රුක්මල් නිරෝෂ් කියන්නේ ඇත්තටම අද කවුරුද ?


ඒක මට හිතා ගන්නත් බෑ.





Previous Post Next Post