මගේ හීනයට යන්න එයා උදවු කරනවා එයත් මම නිසා පුදුම කට්ටක් කනවා - ත්‍රිකලා ධරණී




මම කැමැතියි මම ප්‍රසිද්ධ කෙනෙක් කියනවට වඩා මම ජනයාට ප්‍රිය ජනප්‍රිය කෙනෙක් හැටියට හඳුන්වන්න. මෙහෙම කියන්නේ 2017 අවුරුද්දේ ශ්‍රී ලංකා මිසිස් යුනිවස් වූ ත්‍රිකලා ධරණී. සමාජ මාධ්‍ය ඔස්සේ තරමක් දුරට කතාබහ ලක් වෙන ඇය ප්‍රසිද්ධ වෙන්නේ රෝස පාට රෙන්ජ්රෝවර් එකක් තියෙන නිරූපිකාව හැටියටයි. දැන් නිරූපණ පාසලක් පවත්වාගෙන යන ඇය ලෝකේ වටේට යමින් නිරූපණ කටයුතුවල යෙදෙනවා. ඒ නිසා ධරණී එක්ක අපි කතාබහ කළා ඇය ගැන. නර්තනයට ගායනයට වගේම වාදනයටඑක සේ දක්ෂ ඇය ගැනයි මේ.


ත්‍රිකලා දැන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කෙනෙක් නේද ..?


ඇත්තටම මම කැමැතියි මම ප්‍රසිද්ධ කෙනෙක් කියනවට වඩා ජනයාට ප්‍රිය ජනප්‍රිය කෙනෙක් කියනවට. ඕන දෙයක් කරලා ප්‍රසිද්ධ වෙන්න පුළුවන් නේ. ජනතාවගේ ආදරේ ලබන්න හැමෝටම බැහැ, මට ආදරේ කරන පිරිසක් ඉන්නවා. ඒ නිසා තරමක් දුරට මම ජනප්‍රිය කෙනෙක් කියන්න පුළුවන්


 ඔය කියන ජනප්‍රියත්වය බලාගෙන ද දැන් නිරූපණ පාසලක් පවත්වාගෙන යන්නේ..?


එහෙම බලාපොරොත්තුවෙන් නෙමෙයි. මට ඕන වුණා නිරූපණය තුළ තියෙන කළු පැල්ලම අයින් කරලා මේ පැත්තට තරුණ තරුණියන් සම්බන්ධ වෙනවා බලන්න. නිරූපණය කියන්නේ අසභ්‍ය දෙයක් වගේ දැකපු කාලයක් තිබ්බා. ඒ නිසා තමයි මගේ මවුපියන් පවා මාව ඒ පැත්තට යොමු කරන්න බය වුණේ. ඒ වගේම මම ඉගෙන ගත් දෙයින් ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා හිතුවා. ඒ නිසා ගාල්ල, නුගේගොඩ, කුරුණෑගල කියන පැතිවල මම මගේ ඇකඩමි එක පවත්වාගෙන යනවා.


 ඔය මොනවා කිවුවත් පහුගිය කාලේ ත්‍රිකලා ට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාර ගියා නේද ..?


දිනන්න බැරි ක්ලාස් එකක් නැති මිනිස්සු මඩ ගහනවා. මාව කොපි කර කර මට මඩ ගහනවා කියලා තමයි කියන්න තියෙන්නේ. මාව එහෙම ලෙහෙසියෙන් කකුලෙන් ඇදලා දාන්න බැහැ. කවුරු කෑගැහුවත් මම මගේ ගමන නතර කරන්නේ නැහැ මම හරි දෙයක් කරනවා. මට චෝදනා එල්ල කරන්නේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි, මේ ෆීල්ඩ් එකේ ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් විතරයි.


පිං අතේ වැඩ කරන්න තරම් ත්‍රිකලා පොහොසත් ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් ..?


මම ව්‍යවසායිකාවක් වෙන්නේ මට අවුරුදු 16දී. හම්බ කරන්නෙත් දන් දෙන්නෙත් ඒ කාලේ ඉඳලා. මම හොයන මුදල්වලින් කොටසක් දනට පිනට දෙනවා. ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ දාගෙන ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. මම කරපු එක සමාජ සේවයක් මුහුණු පොතේ දාලා ඊට ගොඩක් අය ප්‍රතිචාර දක්වලා තිබ්බා. තව කෙනෙකුට ටොෆියක් හරි අරන් දෙන්න ඒ අය පෙලඹුණා කියලා. ඒක තමයි වෙන්න ඕන. 2017 වර්ෂයේ මම මිසිස් යුනිවස් වෙලා හිසට කිරුළක් දාගත්තේ ඒ වගකීම් ඉටු කරන්න තමයි. ඒක වගකීමක් අදටත් මම මට පුළුවන් විදිහට හැමෝටම සලකනවා.


 ත්‍රිකලා නිතරම ෆොටෝ ෂූට්වලට විදෙස් ගත වෙන්නේ තමන්ගේ මුදල් වියදම් කරලා කියනවා, සැමියා ගුවන් නියමුවෙක් නිසා ප්‍රතිලාභ හිමි වෙනවා ඇති ..?


මම ලෝකේ වටේට නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙනවා. මට මුදල්වලින් වියදම් කරන අයත් ඉන්නවා. ගමන් පහසුකම් සපයන අයත් ඉන්නවා. ඒ වගේම සැමියා ගුවන් නියමුවෙක් නිසා වාසි ලැබෙන අවස්ථාත් තියෙනවා. නමුත් අතේ මුදල් වියදම් කරගෙන ආයතනයක සන්නාමයක් ප්‍රවර්ධනය කරන්නේ නැහැ. මම පුද්ගලිකව කරන දේවල්වලට මම වියදම් කරනවා හැරෙන්න.


 

ගුවන් සේවයට යොමු වෙන්න උත්සාහ කළ අවස්ථාවක ද ඔබේ ගුවන් නියමු සැමියා ඔබට මුණගැහෙන්නේ ..?


ඉනෝක පෙරේරා කියන්නේ ගුවන් නියමුවෙක්. එයා වැඩකරපු ආයතනයට බැඳෙන්න මට උදවුවක් අවශ්‍ය වුණා. මට හිතවත් කෙනෙක් මට ඉනෝකගේ දුරකතන අංකය දීලා මට කිවුවා මෙයාට කතා කරන්න හොඳ මහත්තයෙක්. ඕන උදවුවක් කරයි කියලා. මම ඔහුට කතා කළා. එහෙම කතා කළේ අප්‍රේල් 8 වෙනිදා. එදා කවදාවත් අමතක නොවන දවසක්. ඔහු මගේ ඇමතුමට සම්බන්ධ වුණා. මම කතා කරද්දී කිවුවා අද නම් මම හරිම බිසී දවසක්. අද මගේ උපන්දිනේ. ඒ නිසා මම ඔයාට කෝල් එකක් දෙන්නම් කියලා. ඒ මොහොතේ මට නම් හිතුණේ මහ ලොකුකම තියෙන කෙනෙක් කියලා. මම මගේ අම්මටත් කිවුවා. දවස් දෙක තුනකට විතර පස්සේ කතා කරලා මොකක්ද කෙරෙන්න ඕන කියලා ඇහුවා. ඒ තමයි පටන් ගැන්ම. එදා ඉඳලා තවම උදවු කරනවා. අපි කතාබහ කරලා ආදරේ කරලා මාස අටකට පස්සේ විවාහ වුණා. දැන් විවාහ වෙලා අවුරුදු අටක් වෙනවා.


 

අම්මා තාත්තා දැම්ම දැඩි නීතිරීති සැමියා වුණු ඉනෝක ලිහිල් කරා නේද ..?


මගේ මවුපියන් හරියට විරුද්ධ වුණා නිරූපණය ට සම්බන්ධ වෙනවට. මිස් යුනිවස් වෙලා හිටියා. විවාහ වුණාට පස්සේ මිසිස් යුනිවස් වෙන්න එයා උදව් කළා. තිබ්බ සියලු නීතිරීති නැති වුණා. මගේ හීනයට යන්න එයා උදවු කරනවා අදටත්. එයා නිවාඩු දාගන්නේ මට වැඩ දවස්වලට කොහේ ගියත් මම යන්නේ ඉනෝක හා මගේ දූ සිඟිත්තිය එක්ක. එයත් මම නිසා පුදුම කට්ටක් කනවා.


 

රසට උයන්න පුළුවන් කෙනෙක් කියලා කියනවා ඔබ..?


ගෙදර වැඩට ඉන්න කෙනෙක් උයන කෑම හදිස්සියක් වුණත් කන්නෙ නැහැ ඉනෝක එයාට ඕන මම උයන කෑම කන්න. මම ඉවුවේ නැත්නම් බඩගිනි නැහැ කියලා ඉන්නවා. මට ඉතාලි, ඉන්දියන්, තායි ඕනම කෑමක් හදන්න පුළුවන් රසට. මම කොච්චර බිසී වුණත් පවුල ගැන හොයනවා. දුව හා ඉනෝක තමයි මගේ ජීවිතේ


 

නටන්න ගයන්න වයන්න දන්න ත්‍රිකලා ඇයි හැංගිලා ඉන්නේ..?


මගේ කටහඬ දැන් අබලන් වෙලා. ආයෙමත් හඬ හදාගන්න ඕන. මම ඉන්දියාවේ ලක්නව් ගිහින් සංගීතය ඉගෙන ගන්නේ අවුරුදු 15දී. අඩු වයසින් විශාරදවරියක් වුණු කෙනෙක් මම , මම තමයි ලංකාවේ ඉන්න ලාබාලම විශාරදවරිය. නර්තනයත් පුළුවන්. තබ්ලා, වයලින්, ඩ්‍රම්ස්, සර්පිනා, පියානෝ, සිතාරය මට වාදනය කරන්න පුළුවන. මම ගීත දෙකක් ගායනා කරල තිබෙනවා. ඒ පැත්තට යොමු වෙන්න ඕන. කටහඬ ලස්සනයි කියන අය ගොඩක් ඉන්නවා. බලමු. දැන් මුල් තැන නිරූපණයට.





Previous Post Next Post