ඒක මම කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ ඇත්තටම මම සර්ප්‍රයිස් - උමාරා සිංහවංශ



උමාරා සිංහවංශ. ඇය අප හොඳින් හඳුනා ගන්නේ ශ්‍රී ලංකාවේ නාමය අන්තර් ජාතික තලයේ දිදුලවන නිහතමානී ගායන තාරුකාවක් ලෙස. කලින් කලට වෙනස්ම ශානරයේ ජාත්‍යන්තර ප්‍රමිතිගත නිර්මාණ අපට තිළිණ කරන ඇය විවිධ නිර්මාණාත්මක පර්යේෂණ සිදු කරමින් දිනෙන් දින නව්‍යකරණයට ලක්වන සංගීත අත්දැකීම් අප සමීපයට ගෙන එන්නේ නොමැකෙන සිහිවටනද තබමිනි. සංගීතවේදිනියක ලෙස පමණක් නොව ඇය අපේ රටේ දරු පරපුර වෙනුවෙන් ඈ සතු පරිණත සංගීත දැනුම උමාරා මියුසික් ස්ටුඩියෝව හරහා තිළිණ කරමින් සිටී. එහි තවත් එක් සංධිස්ථානයක් ලෙස පසුගියදා ඇය එම දරුවන් සමඟ එකව BMICH හි ලෝටස් ශාලාවේදී පැවැත්වූ One Mic Phase 3 ප්‍රසංගය සාර්ථකව නිමවූයේ සුවහසක් සංගීත රසිකයනට කලකට පසුව නවමු අත්දැකීමක් එක් කරමින්.


One Mic Phase 3 ප්‍රසංගය සාර්ථකව අවසන් වුණා. කොහොමද දැනුණ හැඟීම?


අපි බලාපොරොත්තු වූ ආකාරයට ඉතාමත් සාර්ථකව One Mic Phase 3 ප්‍රසංගය නිම කරන්න අපේ කණ්ඩායමට අවස්ථාව ලැබුණා. මෙවර විශේෂත්වය වුණේ මගේ කටහඬ පුහුණු කිරීමේ පාසලේ 'Graduation Ceremony' එක දවල් කාලයේ පවත්වලයි අපි One Mic Phase 3 ප්‍රසංගය පැවැත්වූවේ. මම හිතනවා ඒ ජයග්‍රහණය කණ්ඩායමක් විදියට අපි හැමෝම ලද ජයග්‍රහණයක්. විශේෂයෙන් මම ස්තූතිය පිරිනැමිය යුතුයි අප ගැන විශ්වාසය තැබූ අනුග්‍රාහක ආයතන සහ එම කටයුතු සමඟ එක්වූ සියලු දෙනාට. අපට අවශ්‍යතාව තිබුණෙ දරුවන්ට වේදිකාවක් හදන්න. මම හිතනවා දරුවන් වෙනුවෙන් ශක්තිමත් වේදිකාවක් හදන්නට අපට හැකි වුණා.


 

ඔබේ සිසුන් වගේම මෙතුන්, රිද්ම, ෆැලන් ඇන්ඩ්‍රියා, දිනේෂ් ගමගේ, කයිසර් කයිස් මේ වේදිකාවේ ගීත ගායනා කළා. මේ ප්‍රසංගය හරහා ඔබ හොඳ සුසංයෝගයක් හදන්න උත්සහ කරනව නේද?


මම හිතනවා සංගීතය හෝ ඕනෑම දෙයක් සාර්ථක කර ගන්න නම් එකමුතුබව අත්‍යාථවශ්‍යයි. නව පරපුරට අභියෝගය ජය ගනිමින් ඉදිරියට යන්න ක්ෂේත්‍රයේ දැන් ඉන්න අයගේ සවිය අවශ්‍යයි. ඒක හදන්න ඕන අපිමයි. අපේ අලු‍ත් පරපුර ඉන්නෙ හොඳ ගමනක් යන්න බලාගෙන. ඔවුන්ට ඒ ශක්තිය තියෙනවා. මේ සුසංයෝගය ඒ ගමන තවත් ශක්තිමත් කරනවා. මට අවශ්‍ය ඒ ශක්තිමත් පාලම සකසන්න. මම හිතනවා ඒ උත්සාහය සාර්ථකයි කියල.


 

ඔබේ “සුවඳ නෑවිලා“ ගීතය අලුත් වෙලා එළිදැක්වුණා. ඒ ගීතය ගැන විස්තර කළොත්?


“සුවඳ නෑවිලා“ ගීතය මම අවුරුදු 13කට කලින් කරපු ගීතයක්. තනු නිර්මාණය ක‍ළේ මමමයි. ගීතය ලිව්වේ ශෙහාන් ගලහිටියාව. ඒ ගීතය මට හිතුණා Daddy සංගීත කණ්ඩායම එක්ක එකතු වෙලා අලුත් වර්ෂන් එකක් කරන්න. මෙහි සංගීත සැකසුම කළේ ඩැඩී සංගීත කණ්ඩායම, මික්ස් ඇන්ඩ් මාස්ටර් කළේ විරේෂ් කුරේ. මෙහි විෂුවල් එක කළේ සංදේශ් බණ්ඩාර. අපිට ඕනේ වුණේ ඉතාම සරල විදියට විෂුවල් එක කරන්න. ඒ නිසා රේකොඩින් එකේදී ගත්ත කට් ටික තමයි විෂුවල් එකට යොදා ගත්ත.


 


Freeze බෑන්ඩ් එක තමයි ප්‍රසංගයේ ප්ලේ කළේ, එහි නායකයත්වය දරන්නෙ ඔබේ මියුසික් පාසලේ මුල් බැජ් එකේ ගෝලයෙක්, අද ඔවුන්ගේ සංගීත කණ්ඩායම ඉන්න තැන ගැන කියන්න දෙයක් ඇති‍?


මිගන්ත විජේදාස කියන්නේ උමාරා මියුසික් ස්ටුඩියෝව (UMS) ආරම්භ කරද්දී මුලින්ම ආව ගෝලයෙක්. ඉතින් අදටත් අපි ඉතාම සමීපව වැඩ කරගෙන යනවා. ඔහු තමයි Freeze බෑන්ඩ් එකේ නායකත්වය දරන්නේ. ඒනිසා මට හිතුණා ඔහුගේ බෑන්ඩ් එකට මේ සැරේ One Mic Phase 3 ප්‍රසංගයට බැක් කරන්න දුන්නොත් හොඳයි කියලා. ඒ එක්කම ඔවුන්ගේ ඩයස්ගේ නංගි ද මියුසික් වීඩියෝ එක ඉතාම සාර්ථකව යූ ටියුබ් විව්ස් මිලියන 5 ඉක්මවලා ප්‍රචාරය වෙනවා. ඒ එක්කම කියන්න ඕනේ One Mic කියන කන්සෙප්ට් එක ඉදිරිපත් කළෙත් මිගන්ත විජේදාස. වැඩ කරන්න ලේසි බෑන්ඩ් එකක්. මෙවර One Mic Phase 3 ප්‍රසංගය ගැන මම ගොඩක් ආඩම්බරයි. මේක පිටුපස ගොඩක්ම හිටියේ ඇකඩමි එකේ දරුවන්.


 

නොසිතූ මොහොතක ගෝලයෝ ටික වේදිකාවේ ගැයූ ගී පෙළට උමාරාව අඬවන්න පුළුවන් වුණා. ඒ ගැන මොකද දැනෙන්නේ?


ඒක මම කවදාවත් බලාපොරොත්තු වුණේ නැහැ. මට හොරෙන් මේ අය පුහුණු වෙලා මේ දේ කරලා තිබ්බා. ඇත්තටම මම සර්ප්‍රයිස්. ඒ වගේම මා එක්ක ඉඳලා හැම රේකොඩින් වල ඉඳලා මගෙන් මොනවම හරි දෙයක් ඉගෙන ගත්තා කියන දේ එදා මට හොඳටම වැටහුණා. ඒක මට ලොකු ශක්තියක්. එදා ඒ තෝරාගෙන තිබුණ ගීත ටිකත් විශේෂයි. මම සංගීත ක්ෂේත්‍රයට ආව මුල් අවදියේ ගැයූ ගීත කිහිපයක් තෝරාගෙන තිබුණේ. දරුවන් ගැන ආඩම්බර වෙනවා වගේම ඒ දරුවන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.





Previous Post Next Post