යන්න ඕන තැන් ගැන මට ඉලක්කයක් නෑ-සමනලී ෆොන්සේකා




රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට තම රංගන දිවියේ ලැබිය හැකි උපරිම සහතිකය හොඳම නළුවා හෝ නිළිය සම්මානය යැයි කීවොත් ඔබ මා හා එකඟ වේවි. සමනලී ෆොන්සේකා ද එවන් සුවිශේෂී චරිතයකි. “ලෝකාන්තයට ආදරේ කරන්න“ නිර්මාණයෙන් වේදිකාව ද “අඩෝ“ ටෙලි නිර්මාණයෙන් පුංචි තිරය ද “ප්‍රේමය නම්“ සිනමා සිත්තමෙන් රිදී තිරය ද වර්ණවත් කළ ඇය මේ ත්‍රිත්වයේම හොඳම නිළිය ලෙසින් සම්මානිත වූවාය. ළමා නිළියක ලෙස කලාව හැඳින ගත් ඇය මේ වන විට රංගනයේ බොහෝ දුර ගෙවා ගොස් ගායනයේ ද නව මං සොයා යමින් සිටින්නීය. විසංගමනය සිනමා පටයෙන් මේ දිනවල ඔබ හමුවට එන ඇය සමඟයි අද කතාබහ


‘විසංගමනය‘ ඔබේ නවතම සිනමා අත්දැකීම මේ දිනවල තිරගත වෙනවා. කොහොමද ඒ අත්දැකීම?


විසංගමනය සිනමා පටය වෙනස්ම අත්දැකීමක්. රන්ජන් ප්‍රසන්න කියන්නේ අලුත් අධ්‍යක්ෂවරයෙක් වුණාට ඔහු මීට කලින් මාත් එක්ක සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කරලා තිබුණා. මේ නිර්මාණය ඇතුළෙ මූලික වශයෙන් කතාවෙන්නේ මිනිස් ජාවාරම ගැන. මිනිස් ජාවාරම කියන එක ලෝකයේ බොහෝ රටවල, නොයෙක් විදිහට සිදු වෙන දෙයක්. තුන්වැනි ලෝකයේ රටවල ඒක වැඩියෙන් සිද්ධ වෙනවා. ඒ වගේම ආදරය, විශ්වාසය සමඟ පවුල තුළ ඇති සම්බන්ධතා ගැනත් මෙහිදී කතා වෙනවා. ඊෂා කියන්නේ ඉහළ මධ්‍යම පාන්තික පවුලක තරුණියක්. එයා එයාගෙම ලෝකයක් හදාගෙන තනිවෙච්ච කෙනෙක්. අම්ම, තාත්ත හිටියට එයාල ඉන්නෙ එයාලගෙ ලෝකවල. මේ සිදුවීම් එක්ක තමයි මේක ගලාගෙන යන්නේ.


 

බයෝ කියන්නෙත් මේ දිනවල විකාශය වන ජනප්‍රියම ටෙලි නාට්‍යක්. ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරේ කරන රොෂානා ගැන කිව්වොත්?


රොෂානා අතපත්තු කියන්නේ කොහොමහරි තමන්ගේ අභිමතාර්ථය ඉෂ්ට කරගන්න ගැහැනියක්. එයා ඒ තත්ත්වෙට පත්වෙන්නේ පොඩි කාලෙදිම එයාගෙ මවුපියන් එයාව ප්‍රතික්ෂේප කිරීම නිසා. ඒ ප්‍රතික්ෂේප කිරීම ඇතුළෙ තමයි එයා හිතන්නේ මම එහෙම ප්‍රතික්ෂේප විය යුතු කෙනෙක් නොවෙයි. මම මීට වඩා ඉහළ තැනකට යන්න පුළුවන් කෙනෙක් කියලා. ඒ ඉලක්කය කරා තමයි ඇය යන්නේ. ඒ ගමනෙදි මොනවද කරන්නෙ කියන එකේ හොඳ නරක ගැන වගකීම එයා ගන්නෙ නෑ. බයෝ අධ්‍යක්ෂ ධනුෂ්ක රත්නායක එක්ක මං පළවෙනි වතාවටයි වැඩ කරන්නේ. දක්ෂයෝ පිරිසක් එක්ක හොඳ වැඩක් කළා.


 එතකොට ඔබ ක්ෂේත්‍රයට එන්නේ?


මං කලාව හඳුනගන්නේ ළමා රංගන ශිල්පිනියක් විදිහට. අධ්‍යාපන කටයුතු නිසා ටික කාලයක් ඈත්වෙලා ඉඳලා සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉද්දි ආයෙමත් රංගනයට සම්බන්ධ වුණා. ඒ ස්වර්ණවාහිනියේ විකාශය වුණු සූර්ය විංශතිය ටෙලි චිත්‍රපටයෙන්. ඒක ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳ ගත්තා. ඊට පස්සෙ සැඩ සුළං, ඕලු වගේ ටෙලි නිර්මාණවලට දායක වුණා. චිත්‍රපටයක් විදිහට මුලින්ම දායක වුණේ හාර්ට් එෆ්.එම්. ඊට පස්සෙ ප්‍රේමය නම්, මෝටර් බයිසිකල්, නිම්නයක හුදෙකලාව, දැවෙන විහඟුන්, ඇවිලෙන සුළුයි වගේ චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වුණා. හොඳම සහාය නිළිය රයිගම් (රළ බිඳුණු තැන), හොඳම නිළිය සරසවි (ප්‍රේමය නම්), හොඳම රංගනය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානය සිග්නීස් (මෝටර් බයිසිකල්), හැම සම්මාන උලෙළකම හොඳම සහාය නිළිය (දැවෙන විහඟන්) වගේම හොඳම නිළිය සුමති (අඩෝ) ලෙසින් සම්මානයට පාත්‍ර වුණා. ඊට අමතරව ක්ෂේත්‍රයට වුණු දායකත්වය වෙනුවෙන් ජපානයෙන් පිදෙන බුන්කා සම්මානයත් හිමිවුණා. බයෝ රූපගත කිරීම් අවසන් වුණත් ඒක තාමත් විකාශය වන නිර්මාණයක්. අලුත් ටෙලි නිර්මාණයකට වගේම චිත්‍රපට දෙකකටත් ආරාධනා ලැබිලා තියෙනවා. මගේ අලුත් ගීත කිහිපයක් එළිදක්වන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.


 

සමනලී කියන්නේ දැවැන්ත කලා වෘක්ෂයක අත්තක්. ඒ ආභාසය, ඒ උරුමය ද ඔබව මේතාක් දුර ගෙනාවේ?


ඇත්තටම මං සහජ හැකියාව කියන එක විශ්වාස කරන කෙනෙක් නොවෙයි. තමන් තෝරගත්ත දේට අවංකව වැඩ කිරීම ඇතුළෙ තමයි ඕනම කෙනෙක් හැදෙන්නේ කියන එක තමයි මං විශ්වාස කරන්නේ. ක්ෂේත්‍රයට එන්න තිබුණු ආසාව වගේම පවුල නිසා තමයි අනිවාර්යයෙන්ම මට මේ ක්ෂේත්‍රයට එන්න අවකාශය ලැබුණේ. මාලනී ෆොන්සේකා කියන්නේ මගේ නැන්දා. ඒ දැවැන්ත චරිතය තුළින් තමයි මිනිස්සු මා දිහාත් බලන්නේ. එහෙම පවුල් පසුබිමක් ආවම හරි අමාරුයි. ඒකෙ අවාසිය කියන්නේ එතැනින් මිදිලා මං කොහොමද මාව හොයාගන්නෙ කියන එක. මං කොහොමද මගේ තුළ තියෙන දක්ෂතා එළියට ගන්නේ. මොකද හැමවෙලේම මිනුම් දණ්ඩක් තියෙනවා මගේ ඉස්සරහා. ඒකත් එක්ක ලේසි නෑ මේ වැඩේ කරන්න.


 

ඔබටත් ඉලක්කයක් තියෙනවද කවදහරි නැන්ද වගේ වෙනවා කියලා?


රංගනය කියන්නේ මගේ ජීවිතේ මං ආසාවෙන්ම කරන දෙයක්. මං ඒක ඉතාම අවංකව තමයි කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මං මෙතැනට යන්න ඕන, මේ වගේ කෙනෙක් වෙන්න ඕන කියන ඉලක්ක මට නෑ. මගේ එකම ඉලක්කය හොඳ මනුස්සයෙක් විදිහට ජීවත් වෙන එක. ඒ වෙනුවෙන් මං ගොඩක් දේවල් කරනවා. තීරණ ගන්නවා. මං ආසයි ප්‍රශ්නයක් වුණත් වෙනස් විදිහට දකින්න. හැමෝම ඒ දිහා බලනවට වඩා වෙනස් විදිහට ඒ දිහා බලලා ඒක විසඳන්න. ඔය වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි මගේ ජීවිතේ, මගේ ලෝකය වටේ කැරකෙන්නේ. මං කැමති මට ලැබෙන පොඩි චරිතෙ වුණත් ඒක අවංකව කරන්න.


 

කොහොමද ඉන්ද්‍රචාපගෙන් ලැබෙන සහාය?


ඉන්ද්‍රචාපයි මමයි ඉතාම සරලව, සතුටින් ජීවත් වෙනවා. අපි දෙන්නට දෙන්න උදවු කරගනිමින්, ජීවිතේ දකින විදිහ ෂෙයාර් කරගනිමින් මේ වෙද්දි සෑහෙන ලස්සන සම්බන්ධතාවක් ගොඩනඟාගෙන තියෙනවා. කාලෙක ඉඳන්ම අපි දෙන්න හොඳම යාළුවෝ. ඒ නිසා අපි, අපි ගැන හොඳට දන්නවා. අපේ දුර්වලතැන් හඳුනනවා. ඔහු මට නිදහසේ ජීවත්වෙන්න, කලා කටයුතුවල නියැළෙන්න අවකාශය හදල දෙනවා. හැම සහායක්ම ලබාදෙනවා. ඒ නිසා හරි පහසුයි ජීවත්වෙන්න.





Previous Post Next Post