සෝෂල් මීඩියාවලට මගේ කිසිම කැමැත්තක් නැහැ- කසුන්




හිත සුවපත් කරන්නට ගීයකට ඇත්තේ අපූරු හැකියාවකි. එයත් හදවතට දැනෙන ගායනයක් නම් එය දිවඔසුවක් වනවා නොඅනුමානය. කසුන් කල්හාරගේ හඬට ඇත්තේ ද එවන් සුවිශේෂී ගුණයකි. ඔහුගේ ප්‍රේක්ෂකාගාරයට වයස් භේදයක් නැත. තමාටම ආවේණික රටාවකට ගයන කසුන්ගේ ගීයක් ඇසූවකු ඒ හඬට පෙම් නොබඳින්නේ නම් එය අරුමයකි. ඔහු අතින් නිමවෙන ගී තනුවට ඇත්තේ ද සුවිශේෂී ගුණයකි. කසුන් යන නැසී ගිය ප්‍රවිණ සංගීතවේදී එච්. එම් ජයවර්ධන සහ නැසී ගිය ප්‍රවීණ ගායන ශිල්පි මාලනී බුලත්සිංහයන්ගේ එකම පුතණුවන්ය.


කසුන් පහුගිය ටිකේ ගොඩක් කාර්යබහුල වෙලා හිටියා. අලුත් නිර්මාණයකින් හමුවෙන්න අදහසක් නැද්ද?


සිරස වොයිස් වැඩසටහනේ විනිසුරුවරයෙක් විදිහට කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. වොයිස් වැඩසටහන අවසන් වුණු නිසා දැන් ටිකක් නිදහස්. ඒ නිසා කොන්සට් එකක් කරන්න ප්ලෑන් කරමින් ඉන්නේ. ඒකෙ කන්ටෙන්ට් එක තාම හදාගෙන යනවා.


 

ඔබ ප්‍රසංග වේදිකාවෙ දකින්න නැත්තෙ ආරාධනා නැතුවද එහෙම නැත්නම් ප්‍රසංග වේදිකාවට ඔබ අකැමැති නිසාද?


මං වැඩිය ප්‍රසංග වේදිකාවෙ ගී ගයලා නැහැ. සංගීත ප්‍රසංග දෙක තුනකට වගේ තමයි සහභාගි වෙලා තියෙන්නේ. ඒක මගේ ඒරියා එක නෙවෙයි කියලා මම තීරණයක් ගත්තා. මට අවශ්‍ය විදිහට මගේ හඬවත් මගේ සංගීතයවත් මිනිස්සුන්ට ප්‍රක්ෂේපණය කරන්න අමාරුයි. එතැන තියෙන්නෙ ඝෝෂාකාරී සද්ද එක්ක හරිම කලබලයක්. ඒ නිසා මිනිස්සුන්ට වුණත් හඬ ෆෝකස් කරන්න අමාරුයි. ඒ නිසා ගීතයට අවධානය යනව අඩුයි. ඒ වගේ අවධානය නැති තැනක ප්‍රෆෝම් කරන්න මං කැමැති නෑ.


 ඔබ සමාජ මාධ්‍යවල දකින්න ලැබෙන්නෙ නැති තරම්?


ඇත්තටම මගේ කිසිම කැමැත්තක් නැහැ සෝෂල් මීඩියාවලට. ෂෝ එකක් ප්‍රමෝට් කරගන්න නම් කමක් නෑ. ඒත් මට හිතෙනවා එහෙමත් ඕන නෑ කියලා. තමන් හරියට තමන්ගෙ කලාව කරනව නම් ඒ අගය කිරීම, මිනිස්සුන්ගෙ කැමැත්ත ඉබේම ලැබෙනවා. ප්‍රසිද්ධිය කියන එකත් වළක්වන්න බෑ.


 


ඔබ ගායකයා සහ සංගීතඥයා කියන භූමිකා දෙකේම නිරතවෙනවා. වඩාත් කැමැති මොන පැත්තට ද?


දෙකම එකට යනවා. මේක කවද්ද කොහොමද ඇති වුණේ කියන්න නම් මතක නෑ. ඒත් සංගීතඥයා කියන තැන වැඩි කැමැත්තක් තියෙනවා.


 

ඔබේ මව ප්‍රවීණ ගායිකාවක්. පියා ප්‍රවීණ සංගීතඥයෙක්. ඔබ ඒ හැකියාවන් දෙකේ සංකලනයක්. ඒත් ඔබ ඔබේ සංගීත දිවිය වර්ණවත් කරගත්තෙ කේමදාස මාස්ටර්ගේ සංගීතයෙන් කියල කිවුවොත්?


ඇත්තටම මම කේමදාස මාස්ටර්ගෙන් පෞද්ගලිකව හෝ එතුමාගේ පදනමට බැඳිල එහෙම හැදෑරීමක් කරලා නැහැ. මං හිතන්නේ සාපේක්ෂව අනිත් අයට වඩා එතුමගෙ සංගීතය මං හොඳින් හඳුනගත්තා. මගේ සංගීත දිවියට ඒවා ගොඩක් ඉවහල් වුණා. අනිත් අයට වඩා වැඩි යමක් මං එතුමගෙ සංගීතය තුළ දැක්කා කිවුවොත් හරි.


අම්ම ඉඳිද්දි මං ලයනල් වෙන්ට් එකේ ෂෝ එකක් කළා. ඒක පිට පිට දවස් දෙකක් තිබුණා. ප්‍රධාන ආරාධිතයා විදිහට ආවේ කේමදාස මාස්ටර්. ඒකෙ ටිකක් සංකීර්ණ සංගීතය තමයි තිබුණේ. මාස්ටර් සෑහෙන්න අගය කළා. මට හොඳටම මතකයි එදා මාස්ටර් මං ගැන පොඩි කතාවක් කළා. අන්තිමට එතුමා කිවුවෙ මට මේ වගේ සංගීතය ඇහෙනකොට කියන්න තියෙන්නෙ “ජීවත් වෙන්න ආසයි - හැමදාම හිමිදිරිය සේ“ කියල එතුමගෙම සින්දුවක කොටසක් තමයි කිවුවේ. ඒක මගේ හිතට සෑහෙන්න ඛාදනය වුණා. එදා තමයි මගේ සංගීත දිවියේ විකාශය සිදු වුණේ. අම්ම ඉන්න කාලෙ මියුසික් කරල තිබුණත් මං එච්චර ප්‍රසිද්ධ වෙලා හිටියෙ නෑ‍.


 

ක්ෂේත්‍රයට ආපු විදිහත් මතක් කරමු නේද?


අම්මයි තාත්තයි දෙන්න තමයි උදවු කළේ. අම්ම ගොඩක්ම උදවු කළා. පොඩි කාලෙ ඉඳන්ම අම්මට තේරිලා තිබුණා මං ටිකක් වෙනස් විදිහට මියුසික් කරන කෙනෙක් කියලා. ගායකයෙක් වෙන්න නම් අදහසක් තිබුණෙ නෑ. තාත්ත වගේ මියුසික් කොම්පෝසර් කෙනෙක් වෙන්න තමයි අදහස තිබුණේ. ඉන්ද්‍රචාප එක්ක කළ අනන්තයට යන පාර දිගේ සින්දුවෙන් තමයි අහම්බෙන් වගේ ගායනයට යොමු වුණේ.


 

ගායකයෙක් විදිහට ඔබ ගී පද රචනය ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවද?


මුල් කාලෙ නම් මට එච්චර ඒක ගැන දැනිලා තිබුණෙ නෑ. ප්‍රබල වචනත් එක්ක සංගීතයත් ප්‍රබල වෙනව කියල එකක් තියෙනවා. ඒ නිසා මේ වෙද්දි මම පද රචනය ගැන සෑහෙන්න හිතනවා.


 

ගී පදවලට මෙලඩි එක දානව වගේම මෙලඩි එකට පද ගළපන ක්‍රමයත් දැන් ප්‍රසිද්ධයි. සංගීතඥයෙක් විදිහට ඔබට ඒක දැනෙන්නෙ කොහොමද?


මට නම් ඔය දෙකම පහසුයි. ඇතැම් ගීත රචකයොන්ට මෙලඩි එක කලින් කම්පෝස් කරල ඒකට වචන යොදන එක ටිකක් අමාරුයි. ඒකට සෑහෙන කාලයක් යනවා. මං කියන්නෙ වචන ටිකක් හරියට ලියාගෙන ආවොත් ඒකට මෙලඩි එක දාල දෙන එක පහසුයි. මේ දෙකම හරියට කළොත් දෙකම සාර්ථකයි.


 

සංගීතය පැත්තෙන් දැන් රටේ දියුණුවක් තියෙනව කියල හිතෙනවා. ඔබේ අත්දැකීම් එක්ක ඔබ කොහොම ද ඒක දකින්නේ?


සමස්ත කලාව කියන එකම නිකන් ඉවට කරල වැඩක් නෑ. මේක ශාස්ත්‍රීය මට්ටමින් කෙරෙන්න ඕන. ප්‍රැක්ටිකල් පැත්ත විතරක් නොවෙයි කලාවෙ ඉතිහාසය දැනගන්නත් ඕන. ඒක හොඳට විෂයක් විදිහට ඉගෙන ගන්නත් ඕන. ඊට පස්සෙ තමයි සාර්ථක නිර්මාණයක් කරන්න පුළුවන් වෙන්නේ. ලංකාවෙ සංගීතයේ පොඩි හැරවුම් ලක්ෂ්‍යයකට දැන් අපි ඇවිත් ඉන්නවා. ඉස්සරට වඩා දියුණු ආකෘතීන්වල නිර්මාණ කෙරෙන යුගයක් මේ. ඒ සම්බන්ධයෙන් මට සතුටක් තියෙනවා. ඒ වගේම ඒක දිගටම පවත්වාගෙන යන්න උදවු කරන්න කියන එක තමයි මට තරුණ සංගීතඥයොන්ට කියන්න තියෙන්නේ.







Previous Post Next Post