මම තාම පෙම්වතියක් නෙවෙයි- සචින්තනි කෞෂල්‍යා



සචින්තනි කෞෂල්‍යා කියන්නේ සහන් රංවල ප්‍රමුඛ ‘රංවල බළකාය’ කණ්ඩායම හරහා කලා ක්ෂේත්‍රයට පැමිණි දක්ෂ රංගන ශිල්පිනියක්. සචින්තනී කියනවට වඩා බොහෝ දෙනා දන්නේ “කියා දෙන්න ආදරේ තරම්" දිගැසි ලෙසින්. දිගැසිට මොකද වෙන්නේ සහ සචින්තනීගේ මේ දවස් වල නිර්මාණ කටයුතු සහ වෘත්තීය කටයුතු ගැන  කළ සොඳුරු කතාබහයි මේ....


මේ දවස් වල මොකද වෙන්නේ


“කියා දෙන්න ආදරේ තරම්“ ෂූටින් යනවා. අලුත් වැඩක් ලබන මාසේ ගන්න තියෙනවා. තව මම රංගනයෙන් දායක වුණු ටිකිරි රත්නායක මහතාගේ නිර්මාණයක් රූපවාහිනියේ විකාශය වෙන්න නියමිතව තියෙනවා. ඊට අමතරව ආධුනික නීතිඥවරියක් විදියට අලුත් කඩේ උසාවියේ ප්‍රැක්ටිස් කරනවා. ඒ එක්කම මම උසස් පෙළ මිඩියා ක්ලාස් කරනවා. ඔය දේවල් එක්ක තමයි කාලය ගත වෙන්නේ.


සචින්තනි වැඩි කැමැත්තක් තියෙන්නේ කලාවට ද නීතියටද?


ඒ දෙකටම නෙවෙයි. මම කැමති ව්‍යාපාරික පැත්තට. මම පොඩි කාලේ ඉඳන්ම එක වැඩකට යොමු වුණු කෙනෙක් නෙවෙයි නිසා මට වැඩ කිහිපයක නියැළී ඉන්න ආසයි. කලාව කියන්නේ මම රසවිඳින දෙයක් සහ මම ආසාවෙන් කරන දෙයක්. නීතිය ගත්තත් එහෙමයි. මම උසස් පෙළින් විශ්වවිද්‍යාලයට ගිහින් ඉගෙන ගත් දැනුම එක්ක මගේ වෘත්තීය බවට පත්වෙලා තියෙනවා.


ව්‍යාපාර කිව්වම පැති ගොඩකට විහිදෙනවා, සචින්තනි තෝරා ගත්තේ මොන පැත්ත ද?


මම මේ වෙද්දී මගේම කියලා ක්ලෝතින් බෑන්ඩ් එකක් පටන් ගත්තා. මේ ටිකේ කාර්යබහුල නිසා පොඩි කාලයකට නතර කරන්න වුණා. මගේ තාත්තාත් ඇඳුම් ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිසා මමත් ඒ පැත්තට තමයි නැඹුරු වුණේ.


]නීතිඥවරියක් නිසා චරිත තෝරා ගනිද්දී මොන වගේ සීමාවන්ද තියෙන්නේ?


නීතිඥවරියක් කියන එකට එහා ගිහින් මම සචින්තනි විදියට මට ගැළපෙන සහ මට කරන්න පුළුවන් කියලා හිතෙන සහ දැනෙන චරිත විතරක් තෝරා බේරාගන්න බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම එකම චරිතයකට කොටු නොවී චරිතාංග කියන කැටගරි එකට යන්න ආසාවෙන් ඉන්නවා. මගේ පසුබිම සහ මට ගැළපෙන හොඳ නිර්මාණ තෝරා ගන්න තැනයි මම ඉන්නේ.


දිගැසි තමයි ඔබව ප්‍රේක්ෂකයන් අතරට ගෙනාවේ


අනිවාර්යෙන්ම. මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය තමයි දිගැසි කියන්නේ. සචින්තනි කියනවට වඩා ප්‍රේක්ෂකයන් මාව දන්නේ දිගැසි නමින්. ඒක රංගන ශිල්පිනියක් විදියට හැමෝටම ලැබෙන්නේ නැති අවස්ථාවක්. මම හිතන්නේ මහේෂ් රත්සරමද්දුමආරච්චි අයියා දාපු නමත් එක්ක හැමෝගෙම මතකයේ රැඳෙන නමක්. ඒ නිසා නාට්‍යය ඉවර වෙලත් කාලයක් යන තෙක් දිගැසි කියන නම මතකයේ ඉඳීවි කියන දේ මම විශ්වාස කරනවා. ඒක මගේ ජීවිතේ ලැබුණු ලොකු වාසනාවක්. ඒ ගැන නිහතමානී ආඩම්බරකමක් තියෙනවා.


දිගැසිට මොකද වෙන්නේ, ඉඟියක් දෙන්න පුළුවන්ද?


මටත් හිතාගන්න බැරුව ඉන්නේ. මහේෂ් අයියගෙන්ම තමයි ඒක නම් අහන්න ඕනේ. හිතන් හිටපු පැත්තට වඩා ලොකු වෙනසක් වෙයි කියලා හිතනවා. අපි බලමු ඉස්සරහට කතාවට මොකද වෙන්නේ කියලා.


ප්‍රේක්ෂකයන් දිගැසිට ගළපන්නේ ලොකූ ද දෙවැනිද .., ඒ ආදරේට මොකද වෙන්නේ


දිගැසිගේ ආදරේ නිර්වාන් (ලොකූ) එක්ක තිබුණේ. නමුත් කතාවේ යම් යම් සිදුවීම් එක්ක නිර්වාන්ගේ චරිත ස්වභාවය සහ දිගැසිට වුණු දේවල් එක්ක දිගැසි ආයේ නම් නිර්වාන්ව හොයන් යාවි කියලා හිතන්න ආමාරුයි. හැබැයි ඒක එහෙම වුණා කියලා දිගැසි දෙවැනිගේ පැත්තට හැරෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒක ඉතින් හරියටම දන්නේ මහේෂ් අයියා.


සැබෑ ජීවිතේ යෂ් එක්ක ආදරයක් තියෙනවද?


අනේ නැහැ. බොහෝ දෙනා මම සහ යෂ් අයියා පෙම්වතුන් විදියට දකිනවා. මම හිතන්නේ ස්ක්‍රීන් කපල් වලට ප්‍රේක්ෂකයන් හරි ආදරෙයි. සමහර තැන් වලදී ඔය දෙන්න යාළුද ඇහුවම, යාළු නැහැ කිව්වම අනේ ඔය දෙන්නා යාළු වෙන්න, අපි හරි ආසයි ඔය දෙන්නට කියනවා. ස්නේහා - නිර්වාන් කියන ස්ක්‍රීන් කපල් එක නිසා ශලනි සහ සචින්ට මිනිස්සු ආදරේ කළා. ඒ හා සමානව මිනිස්සු දිගැසි - දෙවැනිට හරි ආදරෙයි. සැබෑ ජීවිතේ යෂ් අයියා කියන්නේ මගේ හොඳ යාළුවෙක් විතරයි. නාට්‍යය වෙනුවෙන් කරපු ප්‍රමෝෂන් නිසාම හඳුනන කටකතාවක්. කෂේත්‍රයේ මට ගොඩක් යාළුවො නැහැ. ඒ නිසා මම ගැවසෙන්නේ මේ නාට්‍යයේ පිරිසත් එක්ක. ඒ නිසාම මිනිස්සු එහෙම හිතනවා වෙන්න ඇති. නමුත් මම තාම පෙම්වතියක් නෙවෙයි.


සචින්තනි කලාව, නීතිය සහ ව්‍යාපාර මේ ක්ෂේත්‍ර තුනේම ඉන්නවා, සහකරු මොන ක්ෂේත්‍රයේ කෙනෙක් වෙනවටද කැමැති?


ගොඩක් දෙනෙක් ඔය දේ අහනවා. හැබැයි මම එහෙම කැමති ක්ෂේත්‍රයක් කියලා නැහැ. ඉස්සරහ ඉඳන්ම මට තිබුණේ නැහැ මම බඳින්නේ මෙන්න මේ ක්ෂේත්‍රයේ කෙනෙක් කියන දේ. මම හැමතිස්සෙම හිතන්නේ මට ආදරේ කරන මාව තේරුම් ගන්න පුළුවන් අනාගතයක් වෙනුවෙන් මහන්සි වෙන කැපවෙන කෙනෙක්. ඒ නිසා ඒ දේවල් තියෙනවා නම් මොන ක්ෂේත්‍රයේ කෙනෙක් වුණත් කමක් නැහැ කියන තැන මම ඉන්නේ.


අනාගත බලාපොරොත්තු මොනවද?


නීතිඥවරියක් විදියට දිවුරුම් දෙන එක තමයි මෑතකම තියෙන ලොකුම බලාපොරොත්තුව. අවුරුදු හයක් විතර මේ වෙනුවෙන්ම වැය වෙලා තියෙන නිසා. ඊට අමතරව හොඳ කලා නිර්මාණ වලට සම්බන්ධ වෙන ගමන් මගේම ව්‍යාපාරයේ කටයුතු දියුණු කරගෙන ක්ලාසස් පැත්තත් දියුණු කරගෙන ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තුව.


දිගැසිට ලැබෙන ප්‍රේක්ෂක ආදරේට මොකද කියන්න තියෙන්නේ


නාට්‍යය පටන් අරගෙන දැන් අවුරුදු දෙකහාමාරක් වෙන්න එනවා. මේ කාලය තුළදී සචින්තනිට වඩා දිගැසිට ආදරේ කරන පිරිස වැඩියි. ඒ නිසාම ක්ලාස් වලදී දිගැසි ටීචර් කියලා තමයි ළමයි කියන්නේ. ඒ ලැබෙන ආදරේ සහ මිනිසුන්ගේ පිළිගැනීම එක්ක තමයි අද මම මේ තැන ඉන්නේ. ඕනෙම කලාකරුවෙක්ගේ අනාගතය තීරණය කරන්නේ ප්‍රේක්ෂකයන්. ඒ පැවැත්ම හදාගන්න උදව් කරන හැමෝටම මම හිස නමා ආචාර කරනවා.


 





Previous Post Next Post