අදටත් මට මිනිස්සු කතා කරන්නේ බන්ධනා කියලා-චතූ රාජපක්‍ෂ




චතූ රාජපක්‍ෂ කියන්නේ අපිට ඉන්න තරුණ, දක්‍ෂ රංගන ශිල්පිනියක්. මෑතකදී විකාශය වූ බන්ධනා ටෙලිනාට්‍යයේ බන්ධනා චරිතය හරහා නොමඳව ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය, විටෙක ප්‍රවෘත්ති කියූ නිළිය ලෙසද ප්‍රකටය.  අප සමඟ අද කතාබහට එක්වුණේ ඇයයි. 


කොහොමද මේ දවස්වල ජීවිතේ?


ජීවිතේ ගොඩක් හොඳයි. අපි තමයි තීරණය කරන්න ඕනේ, අපි ජීවිතේ සතුටින් ඉන්නවද, දුකින් ඉන්නවද නැත්නම් පසුගිය දේවල් මතක් කර කර ජීවිතේ විඳව විඳව ඉන්නවද කියලා. ඉතින් මම නම් ජීවිතේ දිහා හරිම සුබවාදීව බලන කෙනෙක්. මොන දේ වුණත් මම හිතන්නේ අද දවසේ සතුටෙන් ඉන්න ඕනේ කියලා. ඒ නිසා හැම දවසකම හිනාවෙලා බොහෝම සතුටින් ඉන්න තමයි මම කැමැතිම.


ඉතිං චතූ, ආදරණීය සැමියාගෙන් ඔයාට ලැබෙන්නෙ මොන වගේ සහයෝගයක්ද?


ඔව්, ඇත්තටම මගේ ආදරණීය සැමියගෙන් ලැබෙන සහයෝගය නිසා තමයි මට මේ තරම් දුර ගමනක් එන්න පුළුවන් වුණේ. ගොඩක් අය කියනවා බැන්දට පස්සෙ රංගන කටයුතුවලින් සමුගන්න ඕනේ, එහෙම නැත්නම් කරන බ්ධඡ එකෙන් අයින් වෙන්න ඕනේ, නැත්නම් පවුල් ජීවිතේ සාර්ථක වෙන්නේ නෑ කියලා. හැබැයි මට හම්බවුණේ මාව තේරුම් ගත්ත කෙනෙක්. එයා කොහොමත් දන්නවා වැඩ තෝරලා බේරලා අරගෙන ගැළපෙන එක තමයි මම කරන්නෙ කියලා. කවදාවත් නීති රීති දාලා බැඳලා තියාගන්නෙ නැහැ. එයා මේ දවස්වල මගෙන් අහනවා ඔයා ගෙදරට වෙලා නේද ඉන්නේ මේ දවස්වල වැඩ මොකුත් දාගෙන නැද්ද කියලා. ඒ තරමට දර්ශන මගේ කලා කටයුතු ගැන හොයලා බලනවා.


NEWS කියපු චතූ කොහොමද නිළියක් වුණේ කියලා ඇහුවොත්?


ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න කලින් මම රඟපාලා තිබෙනවා. හැබැයි ප්‍රවෘත්ති නිවේදිකාවක් වුණාට පසුව රංගනය කියන පැත්ත පොඩ්ඩක් අතහරිනවා. මට හිතෙන්නේ ප්‍රවෘත්ති නිවේදනය කරපු කාලය ඉතාමත් සුන්දරයි. සමාජයේ ලොකු පිළිගැනීමක් ලැබුණා. ප්‍රවෘත්ති නිවේදනය කියන්නෙ මට අමතක කරන්න බැරි දෙයක්. ගොඩක් අය මාව දන්නේ ඒ කාලේ නිවුස් කියන චතූ කියලා, මම රංගන ශිල්පිනියක් විධියට හිටියට තාමත් ආසාවෙන් ඉන්නවා නිවුස් කියන්න. අවස්ථාවක් ලැබුණොත් ආයෙමත් අනිවාර්යයෙන්ම නිවුස් කියනවා.


චතූ කොහොමද නිළියක් වෙන්නේ?


ඇත්තටම ඒක ලස්සන කතාවක්. මගේ පළමුවැනි නිර්මාණය තමයි වී සිවදාසන් සර්ගේ පාටක් නැති ආදරය කියන FILM එක. ඇත්තටම ඒක තාම තිරගත වෙලා නැහැ. තිරගත වුණේ නැති වුණාට මම මුලින්ම කැමරාවක් ඉස්සරහ රංගනයෙන් දායක වුණේ ඒ චිත්‍රපටය හරහා. එතැනදී තමයි රංගන ශිල්පීන්ගේ අත්දැකීම් ලබාගත්තේ. මම ආධුනික රංගන ශිල්පිනියක් වුණාට සිවදාසන් සර්ගේ කරුණාවන්තකම නිසාම මට සුපුරුදු රංගන ශිල්පිනියකට ලැබෙන හැම දෙයක්ම ලැබුණා. ඒ විධියට මගේ මූලාරම්භය හොඳ නිසා තමයි ඉදිරියටත් මම රඟපාන්න ඕනා කියන තීරණය ගත්තේ. ඊට අමතරව “ආදරේ ගින්දරක්, කොළඹ අපි ආවා, රතුපිච්ච” කියන ටෙලිනාට්‍යවලට දායක වුණා. ඊට පස්සෙ සිරස Film star කියන රියලටි වැඩසටහනකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. එතැනදී මමවත් දන්නේ නැති මගේ සැඟවුණු දක්ෂතා එළිදක්වන්න අවස්ථාවක් ලැබෙනවා.


හොඳම නිළිය විදිහට සම්මාන 03කුත්, අවසාන රාත්‍රියෙදී දෙවැනි තැනත්, හොඳම රුවැත්තියට හිමි සම්මානයත් මට ලැබෙනවා. ඊට පස්සෙ තමයි ප්‍රවෘත්ති නිවේදිකාවක් විධියට වැඩකරන්න සිරසෙන් ආරාධනා ලැබෙන්නේ. ඇත්තටම මම මුලින්ම රංගන ශිල්පිනියක්. ඊට පසුව තමයි ප්‍රවෘත්ති නිවේදිකාවක් වුණේ. ඊට පස්සේ මගෙ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයට යන්න මම වාසනාවන්ත වුණා. ඒ තමයි බුද්ධිනී ජයවර්ධනගේ බන්ධනා කියන ටෙලිනාට්‍යය. අදටත් මිනිස්සු මට කතා කරන්නෙ බන්ධනා කියලා. කිඩ්නැප්, ගිරිවැසිපුර, ද ගේම් කියන චිත්‍රපටවලටත් මම සම්බන්ධ වුණා.


ආදරවන්තයන්ගේ දිනය ඔබේ ජීවිතයට ආදරයක් ලැබුණු දවසක් කිව්වොත්?


ඔව්. ඒ දවසේදි තමයි මට මගේ ආදරණීය සැමියව හම්බවෙන්නේ. ඒ 2022 ආදරවන්තයන්ගේ දිනය දවසේ හරිම අහම්බෙන්  තමයි හම්බෙන්නෙ. ඉවෙන්ට් එකකදි. ඉතිං ටික කාලයක් ගිහින් අපි හොඳම යහළුවන් බවට පත් වුණා. එහෙම ඉන්නකොට එයා මගෙන් එක පාරටම ඇහුවා අපි දෙන්නා මැරි කරමුද කියලා. ඒ එක්කම අපි කතා කර ඉඳලා ඉක්මනින්ම මාස 06ක් ඇතුළත හැමොගේම ආශීර්වාදයෙන් විවාහ වුණා. දැන් අවුරුදු 03ක් වෙන්නත් ළඟයි. දෙන්නම සතුටින් ජීවිතේ ගෙවනවා.


රංගන ශිල්පිනියක් විධියට විවාහ ජීවිතේ කොහොමද සාර්ථකව පවත්වාගෙන යා යුත්තේ?


රංගන ශිල්පිනියක් කියන තැනට ආවම පවුල් ජීවිතේට දෙන අවධානය අඩු කරන්න හොඳ නැහැ. ඒ වගේම පවුල් ජීවිතේ නිසා රංගන ජීවිතේ අඩාල කරගන්නත් හොඳ නැහැ. පවුල් ජීවිතය, රංගන ජීවිතය කියන දෙකම සමබර කරගෙන යන්න ඕනේ. ඒක තමයි රංගන ශිල්පිනියකට ලබන්න පුළුවන් ඉහළම ජයග්‍රහණය.


ඉතිං චතූ ඔයාගේ අනාගත බලාපොරොත්තු මොනවාද?


ඇත්තටම ඉස්සර ඉඳන් ලොකුවට මට බලාපොරොත්තු තිබුණේ නැහැ. අද සතුටින් ජීවත්වුණොත් ඇති. මං හිතන්නේ හෙට දවසක් අපිට තියෙයිද නැද්ද කියලා මම දන්නෙ නැහැ. හැමෝම එක්ක අද සතුටින් හිටියොත් ඒ ඇති.


ඔයා, ඔයාව හඳුන්වලා දෙන්න කැමැති කවුරුන් විධියටද?


මෑත කාලීන රංගන ශිල්පිනියක් විධියට හඳුන්වලා දෙන්න කැමැතියි.


රඟපානවට ගෙදරින් මුලින්ම කැමැති වුණේ නැහැ නේද?


ඔව්, ඇත්තටම රඟපාන්න එනකොට අම්මා මුලින්ම කැමැති වුණේ නැහැ. මොකද රංගන ශිල්පිනියක් කිව්වම, මිනිසුන්ගෙ හිතේ මැවෙන්නේ වෙනමම ප්‍රතිරූපයක්නේ. හැබැයි මම රංගනයට ඇවිත් මම ඉන්න හැටි දැක්කම, මම දවසින් දවස ඉදිරියට යනවා දැකලා ගෙදර අය ඉබේම කැමැති වුණා. ඊට පස්සේ සිරස FilmStar කියන එකට සියලුම වියදම් කටයුතු කළේ අපේ අම්මා. මම හිතන්නෙ මගේ ගෙදර අයට විතරක් නෙවෙයි ගමේ අයටත් ලොකු ආඩම්බරයක් වෙලා තියෙනවා මම. මගේ අප්පච්චි කියන විධියට ගමේ හැමෝම මං  ගැන  ආඩම්බරයෙන් කතා කරනවා. ඉතිං මගේ ආදරණීය සැමියා දර්ශනගේ අම්මයි තාත්තත් ඉන්නෙ හරිම සතුටින් මං ගැන. මගේ අම්මා ළඟ නැති නිසා මම වැඩසටහන්වලට යද්දි දර්ශනගේ අම්මව තමයි එක්කගෙන යන්නේ.


ඉදිරියට කලාවට එන්න ඉන්න අයට කියන්න තියෙන්නෙ මොනවද?


මම හිතන්නෙ රංගන ශිල්පිනියක් වෙන්න අවස්ථාව හම්බවෙන්නෙ මොකක්ම හරි වාසනාවකට. මොකද අපි දන්නවා කොච්චර ලස්සන වුණත්, කොච්චර දක්ෂ වුණත් සමහරවිට රංගන ශිල්පිනියක් වෙන්න අවස්ථාව ලැබෙන්නෙ නැහැ. හැබැයි කවුරුම හරි කෙනෙක්ට ඒ අවස්ථාව අහම්බෙන් හරි ලැබෙනවා නම් ඒක එයාගේ පෙර ආත්මේ වාසනාවක්. මොකද තව කෙනකුගේ ආදරයක් ලැබීම හෝ තව කෙනෙක්ගේ හිතේ පැළවෙලා ඉන්න ලැබෙන එක හරි අහම්බයක්. ඉතිං ඒ නිසා මම කියන්නෙ කාටහරි මේ අවස්ථාව ලැබුණොත් ඒක රැකගන්න. තමන්ගේ නම කැත කරගන්නෙ නැතුව, නොකළ යුතු දේවල් කරන්නේ නැතුව අවශ්‍යම දේ පමණක් කරලා නම හොඳ විධියට රැකගන්න ඕනි කියලා තමයි මම හිතන්නෙ. තමන්ගේ ආත්ම ගරුත්වය විශේෂයෙන් රැක ගන්න.


දුලී සමන්මලී නැලිගම


Previous Post Next Post