මගේ රඟපෑම් දකින ගොඩක් අය මම රෞද්‍රයි කියලා හිතනවා-බුද්ධික ජයරත්න



ඔහු ශ්‍රී ලාංකික සිනමාව තුළ තම අනන්‍යතාව රැකගත් රංගන ශිල්පියෙකි. ඔහුගේ රංග පෞරුෂය ලාංකික කලාව තුළ ඉහළින්ම කතාබහට ලක්වේ. ඔහු ඉපැරැණි දෙයට නව අර්ථයක් ගෙනා ව්‍යවසායකයෙකි. දේදුනු වැස්ස නම් සිනමාපටය තුළින් තම අධ්‍යක්ෂණ ශක්‍යතාව පිළිබිඹු කළ අධ්‍යක්ෂවරයෙකි. ඔහු චණ්ඩි පුතණ්ඩියා නම් සිනමාපටයේ තිරපිටපත රචනා කරමින් තම රචනාවේ පරිචය විදහා දැක්වූ විශිෂ්ටයෙකි. අද  එක්වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධික ජයරත්න. මේ දවස් ගෙවෙන්නේ කොහොමද?


මේ දිනවල ‘මිදුණු විශ්වය’ සිනමාපටයේ වැඩකටයුතු සමඟ කාලය ගෙවෙනවා. මීට දින කිහිපයකට  පෙර ‘මිදුණු විශ්වය’ චිත්‍රපටය තිරගත වීම ඇරඹුණා. එහි ප්‍රචාරණ කටයුතු සඳහා තරමක් කාර්යබහුල වෙලා ඉන්නේ. ඔය විධියට තමයි කාලය ගෙවී යන්නේ. ඒ වගේම තවත් සිනමාපට දෙකක් සඳහා රංගනයෙන් දායක වීමට ආරාධනා ලැබිලා තිබෙනවා.


‘මිදුණු විශ්වය’ සිනමාපටයේ ඩන්කන්ගේ චරිතය ගැන කතා කරමු?


ඩන්කන් කියන චරිතය පිළිබඳව බොහෝ දෙනා කතාබහ කරනවා. එම චරිතයට බොහෝ දෙනා ආකර්ෂණය වෙලා තිබෙනවා. ඒක සාපේක්ෂ දෙයක්. අපි රඟදක්වන චරිතයක් සම්බන්ධයෙන් යම්කිසි අර්ථකථනයක් සිදු කරන්නෙ ආදරණීය ප්‍රේක්ෂකයා. ප්‍රේක්ෂක හරසර මේ අයුරින් ලැබීමට ඩන්කන්ගේ චරිතය ජයන්ත චන්ද්‍රසිරි මහතා නිසි අයුරින් ලියා තිබුණා. තිර පිටපතකින් ඩන්කන් කියන චරිතය පරිපූර්ණ ලෙස ඉටු කරලා තිබුණා. මට එම චරිතය සාර්ථකව රඟදැක්වීමට හැකියාව ලැබෙන්නෙ ඒ නිසා. ඩන්කන් කියන චරිතයට මගෙන් යම්කිසි දායකත්වයක් ලැබී තිබෙනවා. ඒ චරිතය ඔප්නැංවීමට සංගීතයෙන්, වේශ නිරූපණයෙන්, තිරපිටපතින්, කැමරාකරණයෙන්, අධ්‍යක්ෂණයෙන් මට විශාල සහායක් ලැබුණා. යම්කිසි චරිතයක් නිසි අයුරින් ඉටු කිරීමට මේ සියලු දෙනාගේ සහාය ලැබිය යුතු වෙනවා. ලෝක මට්ටම දෙස බැලුවත් ඩන්කන් කියන්නේ රංගන ශිල්පියෙක් රඟපෑමට ඉතා කැමැති චරිතයක්. එය ඉතා අභියෝගාත්මක චරිතයක්. තමන්ගෙ හැකියාවන්, තමන්ගෙ දක්ෂතාවන් පෙන්වීමට මෙය ඉතා අගනා චරිතයක්. මට මගේ දිවිය තුළ සැබෑ ඩන්කන්ලා ඕනෑ තරම් මුණගැසිලා තිබෙනවා. නමුත් ඒ චරිතයේ පිට පෙනුමෙන් තමයි ඔහුව හඳුනා ගන්නේ.


ඒ දෙය මගේ සැබෑ දිවියටත් සමීපයි. බොහෝ දෙනා මගේ රඟපෑම් දැකලා මම රෞද්‍ර පුද්ගලයෙක් කියලා සිතනවා. සමහරු කියන කතාවක් තමයි මම ඇඳලා ඉන්නෙ කියන එක. මට සමාජයේ ඒ විධියේ කතාන්දර ඕනෑ තරම් ඇහෙනවා. නමුත් අද වන විට මාව බොහෝ දෙනා හඳුනාගෙන. ඩන්කනුත් එහෙමයි. ඔහුව නිවැරදිව හඳුනාගත් ප්‍රේක්ෂකයා සිනමා ශාලාවෙන් එළියට එන්නේ ඩන්කන් සොඳුරු පුද්ගලයෙක් කියන එක හඳුනාගෙන. ඔහු තමාගේ බිරියගේ දියුණුව දකින සිහිනෙකින්වත් වෙනත් ගැහැනියකට පෙම් නොකරන චරිතයක්. මේ පැය එකහමාරක චිත්‍රපටය තුළ ගලාගෙන යන ඩන්කන්ගේ චරිතය ගැන අද බොහෝ දෙනා කතා කරනවා. ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්, විචාරකයන් මට මේ පිළිබඳව අගයකින් යුතුව කතා කළා. අධ්‍යක්ෂවරයාගේ මඟපෙන්වීම සහ මගේ අත්දැකීම් ඒ චරිතය බිහිවීමට විශාල බලපෑමක් කළා.


සිංහල සිනමාවට බුද්ධික ජයරත්න කියන අධ්‍යක්ෂවරයා මඟහැරුණේ ඇයි?


මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ මේ ක්‍ෂේත්‍රයට පැමිණි මුල්ම කාලයේ. ඒ, මට තිබුණු ඇම්ම සහ අමාරුව නිසා. පස්සෙ මම හිතුවා මම ඒ දෙය කළයුතු නැහැ කියලා. අධ්‍යක්ෂණය කියන දෙය තව හදාරන්න අවශ්‍යයි. ඒ දෙයට මම තවම සුදුසුයි කියා සිතන්නෙ නැහැ. මම නැවතත් චිත්‍රපටයක් නිර්මාණය කරන්න කැමැතියි. ඉදිරියේදී මගේ අතින් චිත්‍රපටයක් නිර්මාණය වෙයි. මම අධ්‍යක්ෂණයට වැඩියෙන් රංගනයට ප්‍රිය කරනවා. අනෙක් දෙය අධ්‍යක්ෂණය වැනි දෙයකට යොමු වීමේදී විශාල කැපකිරීමක් සිදු කළ යුතු වෙනවා. එය වෙහෙසකර දෙයක්. අධ්‍යක්ෂණයට මම ගියොත් රංගනය මගෙන් අෑත් වේවිද කියන බිය තිබෙනවා.


ඔබ ‘පුතණ්ඩියා’ චිත්‍රපටයේ තිර පිටපත් රචකයා ලෙස කටයුතු කරනවා. මේ ගැන කතා කරමු?


මම මගේ ජීවිතේටම නවකතා දෙකයි නැත්නම් තුනයි කියවලා තිබෙන්නේ. ගොළු හදවත වගේ නවකතාවක් හැරෙන්න මම නවකතා කියවලාම නැහැ. මම කියවන්න හරිම කම්මැළි පුද්ගලයෙක්. මම කියවන්නෙ තිර රචනයක් විතරයි. මම පත්තරයක් පොතක් කියවන්නෙම නැහැ. ඒක නරක පුරුද්දක්.


පසුකාලීනව ෆේස්බුක් එකේ ලියන්න පුරුදු වුණා. ගොඩක් අය ඒ පිළිබඳව මට හොඳ කිව්වා. මට ඒ තුළින් ලිවීමේ හැකියාවක් තිබෙන බව තේරුම් ගියා. එහෙම තමයි පුතණ්ඩියා ලියැවෙන්නේ.


‘අර්ථ’ ගැන කතා කරමු?


‘අර්ථ’ නිර්මාණය කිරීමට බලපෑවේ කොවිඩ් යුගයේදී අපි මුහුණ දුන් ඛේදවාචකය. මට සිතුණා කොරෝනාවෙන් නොමැරී සිටියොත් අනාගතයේදී බඩගින්නේ නොමැරී ජීවත් වන්නේ කොහොමද? කියන දෙය ගැන. මට ගෘහභාණ්ඩ පිළිබඳව ලොකු ඇල්මක් තිබුණා. මට කවුරුත් නොකරන දෙයක් කිරීමේ ආශාවක් තිබුණා. ඒක මගේ උද්ධච්චකම වෙන්න ඇති. ලංකාවේ දැකපු දෙයක් තමයි කොටස් ගොඩගහලා තිබෙන එක. ගහක් කපලා ගස් සියයක් සිටුවලා වැඩක් නැහැ. ඒක බොරු ප්‍රෝඩාවක්. අරටුවක් තිබෙන ගහක් හැදෙන්න වසර විස්සක්-තිහක් යනවා. ගහක් කපන්න යන්නෙ විනාඩි විස්සයි. කපන ප්‍රමාණයට වඩා වවන එක බොරුවක්. මට අවශ්‍ය වුණා සොබාදහමට සහනයක් ලබාදෙන්න. අපේ රටේ තිබෙන පරණ ලී බොහෝ ශක්තිමත්. පරණ ලීත් යොදාගෙන අලුත් ලීත් යොදාගෙන තමයි මම ගෘහභාණ්ඩ නිර්මාණය කරන්නෙ. ඒ ගෘහභාණ්ඩය කොපමණ යුනික්ද කියනවා නම් ඒ වර්ගයේ වෙන ගෘහ භාණ්ඩයක් නැවතත් නිර්මාණය කරන්නෙ නැහැ. ඒක තමයි අර්ථ බ්‍රෑන්ඩ් එකේ අරුත. දැන් වසර දෙකක් විතර ගෙවිලා අර්ථ සාර්ථකයි. අර්ථ සමඟ සිටින විශාල පිරිසක් ලංකාවේ සිටිනවා.


බුද්ධික ජයරත්න කියන්නෙ සදාකාලික දුෂ්ටයෙක්ද?


මම තමයි ලංකාවේ පළමුවැනියටම ප්‍රතිවීරයාට ලැබුණු සම්මානයෙන් පිදුම් ලැබුවේ. ලෝකයේ දැන් දුෂ්ටයෝ නැහැ. දුෂ්ටයො වෙලා සිටිමින් බොහෝ අකටයුතුකම් සිදුවුණු රංගන ශිල්පීන් සිටිනවා. තවදුරටත් විසි පහකට තිහකට ගහන වීරයා කියන්නේ Fantacy එකක් විතරයි.


ගිහාන් සචින්ත





Previous Post Next Post