මගේ ගීතවලට වගේම පුංචිගේ ගීතවලටත් විශාල ඉල්ලුමක් තියෙනවා - සෙව්වන්දි රණතුංග




අතුපතර විහිද ගිය දැවැන්ත වෘක්ෂයක් බඳු කලා පවුලක එක අත්තක් හෙවත් දෙවන පරම්පරාවේ ශිල්පිනියක් ලෙස ඈ හැඳීන්විය හැකිය. සිය ගේ දොර සංගීත කලා පසුබිම මෙන්ම ආදරණීය මවගේ හා පියාගෙන් ලද සංගීත ආභාසය මෙන්ම ගුරුහරුකම් හා මඟ පෙන්වීමද ඇය අද වන විට ජනප්‍රිය හොඳ මට්ටමේ ගායන ශිල්පිනියක් බවට පත්කළාය.බොහෝ අයගේ ජනප්‍රියත්වය තාවකාලික වුවද තම ජනප්‍රියත්වය එදා මෙන්ම අදටත් ඉදිරියටත් එක ලෙස රඳවා තබා ගැනීමට තරම් ඈ හැමවිටම සමත්ය. වයස අවුරුඳු දොළහක් ,දහතුනක් (12 - 13) තරම් කුඩා කාලයේ සිය මවගේ (ප්‍රවීණ ජනප්‍රිය ගායන ශිල්පිනි විශාරද නිර්මලා රණතුංග) කැසට් පටයක් වෙනුවෙන් ඇය ගායනා කළ සිනාමල් ගොඩක් නම් ප්‍රථම ගීතය කිසිදු භේදයකින් තොරව සෑම තරාතිරමකම පිරිස් අතර බෙහෙවින් ජනප්‍රිය වී සදාතනික මතකයක් බවට පත්වුවාය. අධ්‍යාපනය ලබන කාලයේ ආයුර්වේද වෛද්‍යවරියක් වීමට බලාපොරොත්තු වුවද දෛවය ඇයව ගායන ශිල්පිනියක් බවට පත්කළාය. වෙද නළාව ස්වාභාවික බෙහෙත් වෙනුවට මයික්‍ර‌ෆෝනය අතට ගෙන රස නහර පිනා යන සංගීත නාද රටාවන් හා මුසුවු ඇගේ සුමියුරු ළයාන්විත හඬ පෞරුෂයද මිනිස් සිත්සතන් සුවපත් කරන්නේ කිසිදු වෙනසක් නොමැතිවයි. ඇය පිළිබඳව හැදින්වීමට කරුණු කාරණා රැසක් වේ ‌මේ ඉන් බිදක් පමණි. මේ දිනවල දෙරණ සික්ස්ටිප්ලස් වැඩිහිටි ගායන රියැලිටි වැඩසටහනේ විනිසුරුවරියක් ලෙස ඇ කටයුතු කරන්නීය. දශක තුනකටත් වඩා වැඩි කාලයක් ගායන ලොව ජය කෙහෙළි නැංවු ප්‍රවීණ ජනප්‍රිය ගායන ශිල්පිනියක් බවට පත්ව ඇති ඇය සැබැවින්ම සෙව්වන්දියක් ලෙසින්ද හැඳීන්විය හැකිය. සෙව්වන්දි රණතුංග නම් ඈ අප සමඟ ප්‍රථම වරට මෙලෙසින් කතා බහට මුල පිරුවාය.


සෙව්වන්දි අම්මා, තාත්තා නිසාමද ගායනයට එන්නේ?


අම්මා, තාත්තා ගෙදර දොර සංගීත කලා පසුබිම නිසාම මං ගායිකාවක් වෙන්න ඕනේ කියලා හිතුවේ නැ. ඒ කාලේ මගේ දෙමාපියන් මට එහෙම කරන්න කියලා බලපෑම් කළෙත් නෑ. මං හිතන්නේ දෛවය විසින් තමයි මාව මේ දේට යොමු කළේ කියලා මම දෛවය පිළිබඳව ලොකු විශ්වාසයකින් පසු වෙන අයෙක්.


 


ඉගෙන ගන්න කාලේ අරමුණක් තිබුණද?


ඔව්, මම ආයුර්වේද වෛද්‍යවරියක් වෙන්න තමා හිටියේ. මම ඒ අංශයෙන් හැදෑරීම් කටයුතු පවා අවසන් කරලයි තිබුණේ. දුර පළාතක දුප්පත් අහිංසක රෝගීන් හට ඒ පළාතටම ගිහින් සේවය කරන්න ඕනේ කියලා මගේ හිතේ ආසාවක්, හීනයක් තිබුණා.


 


ඔබ පවුලේ එකම දියණිය ඒ වගේ දුර පළාතකට වැඩ කරන්න යනවට ඒ කාලේ ගෙදරින් අම්මයි, තාත්තයි කැමති වුණාද?


ඒ අය අකමැති වුණේ නෑ. මගේ තාත්තා ඒ වගේ දුර පළාතකට ගිහිල්ලා මට ඒ වෙනුවෙන් අවශ්‍ය ගොඩනැඟිලි ඉඩ කඩම් ගැන පවා සොයා බලලා ඊට අවශ්‍ය සියලු වැඩ කටයුතු කරලා දුන්නා.


 


නමුත් ඒ කටයුත්ත එහෙම සිදු වුණේ නෑ නේද?


ඔව්, ඒක එහෙමම නැති වෙලා ගියා. මම අර මුලින් කීවා වගේ දෛවය විසින් තමා එය වෙනස් කළේ.


 


සංගීත කණ්ඩායම්, ගායක" ගායිකාවන් ඇතුළු මුළු ප්‍රසංග කලාවටම පසු ගිය කාලයේ ඇති වූ කොරෝනා තත්වය සෘජු ලෙසම බලපෑමක් එල්ල කළා නේද දැන් ඔබට හිතෙන්නේ නැද්ද එදා ඔබ ආයුර්වේද වෛද්‍යවරියක් වුණා නම් හොඳයි කියලා?


ඒ ගැන එහෙමමත් හිතෙනවා නමුත් මං සතුටු වෙනවා ආයුර්වේද වෛද්‍යවරියක් ලෙස මිනිසුන්ව සුවපත් කිරීම වගේම මං අද සංගීතය පැත්තෙන් සින්දු කියලා සංගීත චිකිත්සාවෙන් පවා ඒ සිත් සතන් සුවපත් කිරීමට අද වන විට මට මේ වගේ අවස්ථාවක් ලැබීම ගැන මං හිතන්නේ මේක මගේ පිනට වාසනාවට ලැබුණු දෙයක් කියලයි.


ඔබ පසුගියදා සමාජ සත්කාරක වැඩකටයුත්තකුත් සිදු කළා නේද?


ඇත්තටම ඒක මගේ උපන් දිනය තිබුණු අප්‍රේල් මස දෙවන (02) දින මුලික කරගෙනත් මගේ තාත්තගේ උපන් දිනයත් යෙදිලා තිබුණෙ අප්‍රේල් මස පස්වෙනිදා (05) ඉතින් ඒ අවස්ථා දෙකම අල්ලලා තමයි සංගීත ප්‍රසංගවලින් හම්බකරගත් මුදල් වලින් කොටසක් දැන් කාලයක් තිස්සෙම ඉඳලා එකතු කරලා ඉතිරි කරගත් ඒ මුදල් වලින් තමා මං මේ වැඩේ කළේ. දුෂ්කර පළාතක ආර්ථික අපහසුතා ඇති ස්ථිරව තමන්ටම කියා නිවසක් නැති එය ගොඩනගා ගැනීමටද හැකියාවක් නැති අයෙකුට මං සම්පූර්ණයෙන්ම වියදම් කරලා ගෙයක් හදලා දුන්නා. මම ඒ නිවස ඔවුන්ට භාර දෙන්න විවෘත කරන්න එතැනට යනකම්ම ඒ අය දැනගෙන හිටියේ නෑ මං කවුද කියලා. පස්සේ එයාලා මාව අදුර ගත්තා. එයාලට ඒ වෙලාවේ මං කීවා මෙවැනි නිවසක් මං ඔයාලට හදලා දුන්න බවක් කාටවත් කියන්න ඕනේ නෑ කියලා. මේ වගේ සමාජ සත්කාරක වැඩ කිරීමත් ආයුර්වේද වෛද්‍යවරියක් වෙලා දුර පළාතකට ගිහින් ඒ මිනිසුන්ට සේවය කරන්නත් මගේ හිතේ කාලයක් තිස්සේ ඉදලා තිබුණු ලොකු හීනයක්. ඉතින් මං ඒ වගේ සමාජ සත්කාරක වැඩ කිහිපයක්ම සිදු කළා. ඒවා මං මාධ්‍යයේ ප්‍රසිද්ධ කරන්නත් වැඩි කැමැත්තක් තිබුණේ නෑ. නමුත් මං මේ ගේ වැඩේ සමාජ මාධ්‍යට දැම්මා. එහෙම දාපු එකේ මගේ අරමුණ වුණේ මං මේ ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයක් තුළ උපයා ගත් මුදල් වලින් මට හැකි උපරිම අයුරින් විශාල මුදලක් නැති වුණත් මේ වගේ දෙයක් කරන්න මට පුළුවන් බව පෙන්වන්න ඕනේ වුණා. ඉතිං මං ඒ වැඩේ කරලත් දුන්නා. එතැනදී මට ඕනේ වුණේ ඕනෑම අයෙකුට මේ වගේ දෙයක් කරන්න පුළුවන් බව කියන්න. තව මේ අපේ ක්ෂේත්‍රයේ වෙනත් ක්ෂේත්‍රයක වුණත් බොහෝ අය ඉන්නවා තමන් හම්බකරලා ආර්ථික අතින් ශක්තිමත් වු අය. ඒ අය මං කරපු මේ වැඩේ දැකලා මීට වඩා හොඳට වියදම් කරලා ඒ අයත් මේ වගේ දේවල් දුප්පත් මිනිසුන් වෙනුවෙන් කරන්න පෙලඹෙයි කියලා මං විශ්වාස කරනවා. අද අපිට දකින්න ලැබෙන්නේ එහෙම එකිනෙකාව පරයා වැඩ කරන තත්වයක්නේ. ඉතින් ඒ වගේ අය මේක දැකලා අයියෝ සෙව්වන්දි මේ මොකද්ද කරලා තියෙන්නේ මං මීට වඩා වියදම් කරලා හොඳ ගෙයක් තව කෙනෙකුට හදලා දෙනවා කියලා හිතලා කවුරුහරි කෙනෙක් එවැනි වැඩක් කරනවා නම් ඒ සඳහා පෙලඹෙනවා නම් මං ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා.


 


සෙව්වන්දි මේ වගේ දේවල් කරලා අනාගතයේ දේශපාලනයටවත් එන්න අදහසක් තියෙනවද?


ඇය හඬ නඟා සිනාසෙයි.... අනේ නෑ මං අකමැතිම අප්‍රියතම දේ තමයි දේශපාලනය. මං ඒ වගේ තැනකට නම් කවදාවත්ම එන්නේ නැති වෙයි.


 


දැන් සංගීත ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල්ද?


දැන් අවුරුදු තිහක් (30) වෙනවා. ඒත් මං ප්‍රසංග වේදිකාවට නම් ඇවිත් අවුරුදු හතරක් (04) විතර වෙන්නේ. ඇත්තටම මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕ‌නේ මාව එළිමහන් ප්‍රසංග වේදිකාවට හඳුන්වාදෙමින් මුලින්ම ඒ සඳහා මාව යොමුකරමින් අතහිත ලබාදුන් චරිත් වැලිවත්ත මහතාව. ඒ වගේම සුමිත් කරුණාරත්න මහතාවත්. ඒ මගේ මුල්ම ප්‍රසංගයේ මට සින්දු කියන්න තිබුණේ කිරිල්ලවලදි පැවති සංගීත ප්‍රසංගයක ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම සමඟ. ඊට පස්සේ වෙජිටබල් නයිට් කියලා තවත් සංගීත ප්‍රසංගයක ඒ සඳහා සංගීතය සැපයූවේ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම. එදා මං මගේ ගීත වගේම පුංචි අම්මාගේ (ප්‍රවීණ ජනප්‍රිය ගායන ශිල්පිනී නිරංජලා සරෝජනී මහත්මිය) ගීතත් ප්‍රසංග වේදිකාවේ ගායනා කළා. එදා මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මගේ සිනාමල් ගොඩක් ඇතුළු ගීත වලටත් ඒ වගේම පුංචිගේ ගීත වලට පවා වැඩි ඉල්ලුමක් ති‌යෙන බව දැනුණා. මගෙන් අදටත් ප්‍රසංග වේදිකාවේදී මගේ ගීතත් පුංචිගේ ගීතත් ඉල්ලනවා. ඒදා ඉදලා මම අද දක්වාම පුංචිගේ ගීතත් ඒ විදිහටම ගායනා කරන නිසා වෙන්න ඇති අදටත් ඒ ගීත මගෙන් ඉල්ලන්නේ. ඉතිං මම කෙටි කාලයක ඉදලා ඉහළ ජනප්‍රියත්වයක් ලබමින් අදටත් එළිමහන් ප්‍රසංග වේදිකාවේ රැඳිලා ඉන්නවා. මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න කෙටි කාලය ඇතුළත ගීත ගායනය තුළින් මිනිසුන්ට හැකි උපරිමයෙන් රසාස්වාදයක් ලබාදීමට තමයි මං බලාපොරොත්තු වෙන්නේ.


මේ දවස්වල ඔබ ගායන රියැලිටි වැඩසටහනක විනිසුරුවරියක් ලෙස කටයුතු කරනවා නේද?


ඔව් මට ආරාධනාවක් ලැබුණා දෙරණ රූපවාහිනි නාළිකාව දියත් කරන වැඩිහිටියන් සඳහා වන දෙරණ සික්ස්ටිප්ලස් ගායන රියැලිටි වැඩසටහනේ විනිසුරු මඩුල්ල නියෝජනය කරන්න වැඩිහිටියන් එක්ක කටයුතු කරන්න ඒ විදිහට අවස්ථාව ලැබීම ගැනත් මං ලොකු සතුටක් ලබනවා. මේ දිනවල ඒ වැඩකටයුත්තත් එක්ක තමා වැඩිපුර කාලය ගෙවෙන්නේ.


 


මේ වෙනකොට සෙව්වන්දිගේම ගීත කීයක් විතර තියෙනවාද?


මගේ ගීත තිස්පහක් (35) විතර තියෙනවා. මං ඒ ගීතත් ගායනා කරනවා. හැබැයි ප්‍රසංග වේදිකාවේදී මගෙන් වැඩියෙන්ම ඉල්ලන්නේ පුංචිගේ ගීත. අබේ බාප්පා (නැසීගිය ප්‍රවීණ ජනප්‍රිය ගායන ශිල්පී අබේවර්ධන බාලසූරිය මහතා) නැති වුණාට පස්සේ මගේ පුංචි ප්‍රසිද්ධ වේදිකාවේ ගීත ගායනා කිරීම මුළුමනින්ම නැවැත්වුවා. ඉතිං ඊට පස්සේ පුංචි මට අවසර දීලා තියෙනවා එයාගේ ඒ ගීත ප්‍රසංග වේදිකාවේදී ගායනා කරන්න. මං මුලින් කිව්වා වගේ මගේ ප්‍රථම ප්‍රසංගයේදීත් ඒ ගීත ගායනා කළාම පුදුම විදිහේ ප්‍රතිචාර ලැබුණා. වැඩි ඉල්ලුමක් මගේ ජනප්‍රිය ගීත වලට වගේම පුංචිගේ ඒ ගීත වලට අදටත් තියෙනවා. ඉතිං එදා ඉදලා අද දක්වාම මං මගේ ගීත වලට වඩා පුංචිගේ ඒ ගීත තමා ප්‍රසංග වේදිකාවේදී ගායනා කරන්නේ රසිකයන්ගේ ඉල්ලීම මත.


 


අලුතින් ඔබේම ගීත මේ කාලේදී නිර්මාණය කළේ නැද්ද?


අලුතින් නිර්මාණ කිහිපයක්ම කරලා මං ළඟ තියාගෙන ඉන්නවා. නව සංගීත අධ්‍යක්ෂක උදාර සමරවීර සමඟ මගේ ගීත රූප රචනා සහිතව වැඩ නිම කරමින් අවශ්‍ය කටයුතු කරගෙන ආවා. මේ කොරෝනා නිසා ඒ වැඩේ සම්පූර්ණ කර ගන්න බැරිව අතර මඟ නවතා දමන්න සිද්ධ වුණා.


 


ගීත අලුතින්ම නිර්මාණය කරලා ඔහොම ඔයා ළඟ තියාගෙන ඉදලා හරියනවද?


ඇත්තටම මං කාගෙවත් පස්සෙන් ගිහිල්ලා මගේ ගීත ප්‍රචාරය කරලා දෙන්න කියලා ඉල්ලන්නේ නෑ. මගේ මහත්තයා වැඩ කරන්නෙ මාධ්‍ය ආයතනයක සංගීත අංශයේ ඉහළ තනතුරක. ඉතිං මං ඔහුටවත් කියලා නෑ මගේ ගීත එහෙම ප්‍රචාරය කරලා දෙන්න කියලා.


 


ඇත්තටම ඔබට එවැනි සහයෝගයක් මහත්තයාගෙන් ලැබෙන්නේ නැද්ද?


මං විවිධ නිර්මාණ කරද්දි ඒවායේ යම් යම් අඩුපාඩු පෙන්වා දෙමින් ඔහු මට උදව් කරනවා. හැබැයි මෙහෙම ගීත එයාගේ මාධ්‍යයෙන් ප්‍රචාරය කරලා දෙන්න කටයුතු කරන්නේ නැ. මම එහෙම කරලා දෙන්න කියලා ඉල්ලලත් නෑ. කොටින්ම මට ඒ ආයතනයේ වෙනත් අයෙක් එහි වැඩසටහනකට හරි කතා කළොත් ඒ ඉතාම කලාතුරකින් නමුත් ලංකාවේ තියෙන වෙනත් මාධ්‍ය ආයතනවලින් නම් වැඩසටහන්වලට පවා මට බොහෝ ආරාධනා ලැබෙනවා.


 


අපි ඔබේ මහත්තයා සහ පවුල් ජීවිතේ ගැනත් විස්තර කියමු.


ඔහු නමින් නිහාල් වික්‍රම එදිරිසූරිය. සිරස මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස තමයි ඔහු වැඩ කරන්නෙ. ඒවගේම ඔහු නිවේදකවරයෙකු ලෙසත් කටයුතු කරනවා. මට වයස අවුරුදු විසි එකේදී (21) තමයි ඔහුව කසාද බැන්‌‌‌දේ. දැන් මට පුතෙකුයි දුවෙකුයි ඉන්නවා. පුතා තමා බාලම අවුරුදු දාහතයි (17). පසුගිය දා සාමාන්‍ය පෙළ කළා. දුව තමා වැඩිමලා ඇයට අවුරුදු විසි තුනයි. (23). මනෝ විද්‍යා අංශයට අදාළව උපාධියෙන් උසස් අධ්‍යාපනය හදාරමින් ඉන්නවා.


 


ඒ දෙන්නා කලාවට යොමු වෙන්නේ නැද්ද?


ඒ දෙන්නටම හොඳට සංගීතය, ගායනය, නිවේදනය වගේ කටයුතු කරන්න පුළුවන්. දුවත් මං වගේම උත්තරභාරතීය සංගීතයත් හැදෑරුවා. නමුත් ඒ දෙන්නම මේ වෙනකොට වෙනත් ක්ෂේත්‍රයන් තෝරගෙන ඒ ඔස්සේ ඉදිරියට යනවා.


 


නමෙහි අර්ථයෙන්ම ඔබ ඇත්තටම රෝස මලක් වගේ අදටත් හරිම ලස්සනයි. ඔයාගේ ඔය ලස්සන හැඩරුව ඔහොම එකම විදියට කාලයක් තිස්සේ ඉදලම තියාගෙන ඉන්නේ කොහොමද?


ඇත්තටම මං හිතින් පිරිසිදු අයෙක්. මම කාටවත් ඊර්ෂියා, ක්‍රෝධ, වෛර කරන්නේ නෑ. මගේ ආගම වන බුදු දහමට අනුව තමයි මම ජීවත් වෙන්නේ. අනිත් දේ තමයි මම කිසිදු රූපලාවණ්‍ය බාහිර ආලේපන වර්ග පාවිච්චි කරන්නේ නැ. හැමදාම උදේට තැඹිලි ගෙඩියක් බොනවා. අලුත් නැවුම් එළවළු‚පලතුරු කනවා. ඒවගේ දේවල් තමා ඉතිං.


 


සෙව්වන්දිගේ ඔය ලස්සන හැඩරුව නිසා රංගනයට ආරාධනා ලැබිලා නැද්ද?


මුල් කාලයේදීත් මෑතකදීත් ඒ සඳහා බොහෝ ආරාධනා ලැබුණා. මම ඒ අවස්ථා එකකටවත් යන්න එකඟ වුණේ නැහැ. මොකද රංගනය කියන දේ මම දන්නේ නැහැ. මට කරන්න බැහැ. ඉතිං බැරි දේවල් මම කරන්න යන්නෙත් නැ.


 


සංගීත ලෝකයේ සෙව්වන්දි රණතුංග මෙතෙක් ආ ගමන් මඟ දෙස ආපසු හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?


ඇත්තටම සංගීතය පැත්තෙන් ගායන ශිල්පිනියක් ලෙස ඉහළ ජනප්‍රියත්වයක් ලබමින් මේ දක්වා ආපු ගමන් මඟ ගැන නම් මං නිහතමානීව සතුටු වෙනවා. මගේ වාසනාවට, පිනට තමා මේ අවස්ථාව මට ලැබිලා තියෙන්නේ මිනිසුන්ගේ සිත්සතන් ගීත ගායනයෙන් සුවපත් කිරීමට. ඇත්තටම අපිට ජීවත්වෙන්න තව ලොකු කාලයක් නැ. හැමදාම මෙහෙම ඉන්නත් බෑනේ. ක්ෂේත්‍රයේ ඉන්න කාලය තුළ මේ දේ ඔවුන් වෙනුවෙන් තව දුරටත් කරගෙන යන්නත් රසාස්වාදය මිනිසුන්ට උපරිම අයුරින් ලබා දෙන්නත් තමයි මගේ බලාපොරොත්තුව වෙන්නේ. මගේ අම්මටත් (ප්‍රවීණ ජනප්‍රියතම ගායන ශිල්පිනි විශාරද නිර්මලා රණතුංග මහත්මිය) ඒත් එක්කම මටත් ලොකු දුකක් කනගාටුවක් තියෙනවා මගේ පියා අද මං මේ ඉන්න තත්ත්වය සියැසින්ම දැක බලා ගන්නට අද මමයි මගේ අම්මයි ළඟ නැතිවීම පිළිබඳව. මගේ පියා ඒ කාලෙත් ගොඩාක් සතුටින් හිටියා මං මේ වගේ තැනකට එයි කියලා. තාත්තයි, අම්මයි හැම පැත්තෙන්ම ඒ සඳහා මට විශාල සහයෝගයක් ලබා දුන්නා. (ඇය පියා ගැන කියමින් සංවේදී වී හඬයි. ඇගේ පියා‌ වන්නේ තබ්ලා වාද්‍ය විශාරද දර්ශනපති සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිවංගත විජේරත්න රණතුංග මහතාය.)





 

Previous Post Next Post