එයත් කලාවට සම්බන්ධයක් තියෙන කෙනෙක්-අනුරුද්ධිකා පාදුක්ක



 ඇයට බොහෝ දුරට හිමි වූයේ අහිංසකාවියගේ චරිතයයි. පෙම්වතිය, බිරිය, මව මේ සෑම භූමිකාවක්ම නිරූපණය කර ඇති ඇය වේදිකාව, රූපවාහිනිය, සිනමාව යන ත්‍රිත්වයේම දස්කම් පාන්නීය. ඇය කලාවට පිවිසෙන්නේ වේදිකාවෙනි. අනුරුද්ධිකා පාදුක්කගේ මේ දිනවල පුංචි ළමුන්ගේ ආදරය විඳිමින් සිටින්නීය. ඒ අකුරට යන වෙලාවේ ටෙලි නිර්මාණයේ ගුණයහපත් දරුවකු වන රුවන්ගේ මව ලෙසිනි.


අනුරුද්ධිකා මේ දවස්වල කාර්යබහුල චරිතයක් ද?


මේ දවස්වල අකුරට යන වෙලාවේ හිරු නාළිකාවේ විකාශය වෙනවා. තව චන්දන හේවාපතිරණගේ ටෙලි නාට්‍යයක රූගත කිරීම් කෙරෙනවා. ඒ වගේම සුනිල් කොස්තාගේ පණම් බඳින ගස් ටෙලි නාට්‍යයේ රූගත කිරීම් මේ දිනවල කෙරෙනවා. ඊට අමතරව කෙටි චිත්‍රපට, පෝය කතාවලටත් සම්බන්ධ වෙනවා. තව චිත්‍රපටයකටත් ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඔය කටයුතුත් එක්ක තමයි මේ දවස්වල මම කාර්යබහුල වෙලා ඉන්නේ.


අකුරට යන වෙලාවේ කියන්නේ මෙගා නාට්‍යයක් නේද... ඔබ සාමාන්‍යයෙන් දීර්ඝ ටෙලි නාට්‍යවල රඟපාන කෙනෙක් නොවෙයි?


ඔව්, මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන අකුරට යන වෙලාවේ කියන්නේ දීර්ඝ ටෙලි නාට්‍යයක්. මම සාමාන්‍යයෙන් කොටස් සීයකට වැඩි දීර්ඝ ටෙලි නාට්‍යවල මෙතෙක් රඟපාල නෑ. මේක ප්‍රවීණ අධ්‍යක්ෂ සුදත් දේවප්‍රියගේ නිර්මාණයක්. ඔහුගේ අඹ යහළුවෝ ටෙලි නාට්‍ය අදටත් අමතක නොවන නිර්මාණයක්. වයස් භේදයක් නැතුව හැමෝම ආදරෙන් වැලඳගත්ත ටෙලි නිර්මාණයක්. ඔහු මටත් ආරාධනා කළා අකුරට යන වෙලාවේ නිර්මාණයට. මේක ඔහු ගොඩක් කාලෙකට පස්සෙ කළ වැඩක්. අධ්‍යක්ෂණය වගේම තිර පිටපතත් ඔහුගේමයි. මේ තිර පිටපත කියෙව්වම මටත් ආස හිතුණා. ඒ නිසා මම ඊට සම්බන්ධ වුණා.


අකුරට යන වෙලාවේ නිර්මාණයේ අන්තර්ගතය ගැන කතා කළොත්?


අවුරුදු 10 වගේ වයසෙ ළමයි ගැන වගේම ඔවුන් මුහුණ දෙන ගැටලු ගැන තමයි සාකච්ඡා වෙන්නේ. රුවන් සහ සඳුන් කියන දරුවො දෙන්න වටා තමයි ප්‍රධාන වශයෙන් කතාව ගලාගෙන යන්නේ. මම රුවන්ගේ මව. දරිද්‍රතාවයෙන් පෙළෙන ඔවුන්ගේ ජන ජීවිතය ගැන, ඇයගේ සැමියා ඉහළ පැළැන්තියක බේකරි සේවකයෙක් විදිහට තාඩන පීඩන, ඔවුන් මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න එක්ක එදිනෙදා දේවල් කරගන්න විඳින දුක් වේදනා වගේම තමන්ගෙ දරුවට දිළිඳුකම නිසා අත්විඳින්න සිද්ධ වෙන නින්දා, අපහාස වගේ දේවල් එක්ක ගැටෙමින්, සංවේදී වෙමින් තමයි මේ චරිතය ගලාගෙන යන්නේ.


පොඩි ළමයි එක්ක රූගත කිරීම්වලදි ලබපු අත්දැකීම් ගැන කිව්වොත්?


ඒක නම් හරියට මම නැවතත් මගේ පුංචි කාලෙට ගියා වගේ හැඟීමක් දැනෙන්නේ. දරුවන්ගේ ලෝකෙ හරිම සුන්දරයි. පුංචි දරුවො විස්සක් තිහක් වගේ සම්බන්ධ වුණා. රූගත කරන මුළු කාලයම අපිත් ඉන්නෙ එයාලගෙ ලෝකයේ. ඔවුන්ගේ සිතුම් පැතුම්, විහිළු කතා හරිම සුන්දරයි. කෙළිලොල් බව, සෙල්ලම් අපේ ළමා කාලෙ වගේ වුණාට නවීණ තාක්ෂණයත් එක්ක ඔවුන්ට ඒක බලපාන විදිහ වෙනස්.


ඔබටත් ඉන්නෙ පුතාල දෙන්නෙක්. කොහොමද ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?


මගේ පුතාල දෙන්නත් නාට්‍යයේ ඉන්න දරුවන් හා සමාන වයසේ. එයාලත් ගොඩක් ආසාවෙන් රසවිඳිනවා. මටත් බය නැතුව එයාල ඉන්න තැන බලන්න පුළුවන් කතාවක්. එයාලගෙ ප්‍රතිචාරත් හරිම සතුටුයි. ඊළඟට මොකද වෙන්නෙ අම්මා කියල අහනවා. මං ඉතින් කතාව වැඩිය කියන්නෙ නෑ. විහිළුවට කියනවා ඔයාල කරදර කරන නිසා අම්මා ළඟදි ඒකෙන් අයින් වෙනව කියලා. අනේ එපා ඔයා යන්න කියනවා. එකෙ තියෙන ලස්සන ඇළවල් කොහේද තියෙන්නෙ. අපිත් යමු කියනවා. ඔවුන්ගේ ප්‍රතිචාරත් එක්ක මටත් ගොඩක් සමීප නිර්මාණයක්. මාත් හරිම ආසාවෙන් සම්බන්ධ වෙන නිර්මාණයක්.


අනුරුද්ධිකාට දැන් ලණු අඹරන්නත් පුළුවන් කියල ආරංචියි?


අකුරට යන වෙලාවේ නිසා මට ඒ හැකියාවත් ලැබුණා. දරිද්‍රතාවෙන් පෙළෙන පවුලට ශක්තියක් වෙන්න රුවන්ගේ අම්ම ගෙදර ඉඳන් කරන ලණු අඹරන රැකියාව සඳහා යොමු වෙනවා. අතින් කරකවන පොඩි මැෂින් එකක් තියෙනවා. කොහු එකතු කරමින් ඒ මැෂින් එක කරකව කරකව දිගට ඇදගෙන යන්න තියෙන්නේ. ඒක මට පුහුණු වෙන්න වුණා. ටික දවසක් යද්දි හුරු වුණා. දැන් මට ලණුවක් අඹර ගන්න පුළුවන්. අලුත් රැකියාවකට හුරුවෙන එකත් අලුත් අත්දැකීමක් වුණා.


ඔබත් වේදිකාව, රූපවාහිනිය, සිනමාව යන ත්‍රිත්වයම ස්පර්ශ කරපු කෙනෙක්. වඩාත් කැමැති මොකකට ද?


මං ක්ෂේත්‍රයට එන්නෙ වේදිකාව හරහා. ඒ ලූෂන් බුලත්සිංහලගේ 1617 කියන වේදිකා නිර්මාණයෙන්. ඒක තමයි මගේ කලාවේ පළමු අත්දැකීම. වේදිකාවෙන් හොඳ පෞරුෂත්වයක් ගොඩනැඟෙනවා. සාමූහිකව වැඩ කිරීමේ පුහුණුව ලැබෙනවා. ඊට පස්සේ මහේන්ද්‍ර පෙරේරාගේ රංගන වැඩමුළුවට සහභාගි වුණා. ඒකෙන් ගොඩක් ලොකු පන්නරයක් ලැබුවා. රංගනයට අවශ්‍ය ශාරීරික, මානසික යෝග්‍යතාව, නම්‍යශීලිත්වය හදාගන්නෙ කොහොමද කියන එක ඉගෙන ගත්තා. ඒ ඒ තාක්ෂණය අනුව තමයි අපි වේදිකාවෙද රූපවාහිනියෙ ද සිනමාවෙද හැසිරෙන්නෙ කියලා තීරණය කෙ‍රෙන්නේ. ජයලත් මනෝරත්නයන්ගේ මගේ කවිය මට දෙන්න කියන ටෙලි නිර්මාණය මාව රූපවාහිනියට සම්බන්ධ කළා. ඒ වගේම තුෂාර පීරිස්ගේ ප්‍රභාකරන් චිත්‍රපටය හරහා සිනමාවටත් පිවිසුණා. අත්දැකීමක් හෝ ජීවිත විවරණයක් සිනමාව තුළ පුළුල්ව කතා කරන්න පුළුවන්. ඒ නිසා මගේ වැඩි කැමැත්ත තියෙන්නේ සිනමාවට.


කොහොමද සැමියාගෙන් ලැබෙන සහාය?


එයත් කලාවට සම්බන්ධයක් තියෙන කෙනෙක්. අපි දෙන්න හමු වුණෙත් ඒකාංගික ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා කටයුතු කරද්දි. එයා ඒ දවස්වල විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්. ඒ හමුවීම තමයි විවාහය දක්වා දුර ගියේ. එයත් වාර්තා චිත්‍රපට කරනවා. මට ලැබෙන චරිත ගැන අපි දෙන්න සාකච්ඡා කරනවා. මගේ චරිතයට අවශ්‍ය තොරතුරු ඔහු හොයලා දෙනවා. ඔහුගෙන් මට ලොකු සහායක් ලැබෙනවා.





Previous Post Next Post