විසංගමනයේ ඊශා හුදෙකලා තරුණියක්-සමනලී ෆොන්සේකා



මොකද්ද මේ ‘විසංගමනය’ කියන්නේ..? විසංගමනය කියන්නේ මීට අවුරුදු 06, 07කට විතර පෙර රූගත කිරීම් කළ සිනමා නිර්මාණයක්. එය අධ්‍යක්ෂණය කරන්නේ රංජන් ප්‍රසන්න. මා ඔහුව කාලයක ඉඳන්ම දැනහඳුනගෙන හිටියේ. ඔහු මට විසංගමනයේ ‘ඊශා’ගේ චරිතයට ආරාධනා කළා. ඒ ආරාධනයත් එක්ක තිරපිටපත කියවලා බලලා නිර්මාණයට දායකවුණා. මෙය ඉහළ මධ්‍යම පාන්තික පවුලක් වටා ගෙතෙන කතාවක්. මිනිස් ජාවාරම ගැන මේ නිර්මාණයෙන් කතාබහට ලක් කෙරෙනවා. අලුත් තේමාවක් යටතේ නිර්මාණය වූ විසංගමනය ප්‍රේක්ෂකයාටත් අලුත් අත්දැකීමක් වේවි.


විසංගමනයේ ඔබේ චරිතය ගැන කතා කළොත්...?


එහි ‘ඊශා’ කියන චරිතය මම රඟපාන්නේ. ඉහළ මධ්‍යම පාන්තික පවුලක තනිවුණු තරුණියකගේ චරිතයක්. අම්මා සහ තාත්තා වෙනවෙනම තනිවුණු ජීවිතගත කරනවා. ඇය වෙනම තනිවුණු ජීවිතයක් ගතකරනවා. මිනිස් සබඳතා අහිමිවුණු පවුලක් කිව්වොත් නිවැරදියි. මෙහි මුළු පවුලම අවසානයේ ඛේදාන්තයකට ලක්වෙනවා.


ඔබට විසංගමනයේදී අනිකුත් ශිල්පීන්ගෙන් ලැබුණු සහය ගැන මතක් කළොත්..?


ඔව්, අපි ඔක්කොම ඊඥචථ එකක් විදිහට සාකච්ඡා කරලා වැඩකළේ. ප්‍රවීණයන් පිරිසක් සමඟ රංගනයේ යෙදුණා. ඔවුන්ගෙන් හොඳ සහයක් ලැබුණා. අශාන් ඩයස්, සේමිණී ඉද්දමල්ගොඩ, ඩග්ලස් රණසිංහ, හයසින්ත් විජේරත්න, චරිත් අබේසිංහ වැනි දක්ෂ ප්‍රවීණ පිරිසක් එක්ක වැඩකරන්න ලැබුණා. හැමෝගෙම හොඳ කැපවීමක් වැඩේට තිබුණා. විසංගමනය බලන ප්‍රේක්ෂකයා තීරණය කරාවි මෙහි සාර්ථකභාවය කොතෙක්ද කියලා.


ඔබ නිර්මාණයක් භාරගනිද්දි මූලික වශයෙන් සලකා බලන කරුණු මොනවාද..?


මූලිකවම තිරපිටපත සහ කතාව හොඳීන් අධ්‍යයනය කරනවා. ඊටපසුව මගේ චරිතය කොතෙක්දුරට පිටපත පුරාවට ලියවිලා තියේද යන්නත් සලකා බලනවා. එම චරිතයේ වපසරිය කොතෙක්දුරටද කියා සලකා බලනවා. ඒ වගේම එයට දායකවන අනෙකුත් රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන් කවුද කියාත් බලනවා.


‘ඇවිළෙන සුලුයි’ චිත්‍රපටය කොවිඩ්වලට අහුවුණා. එය ප්‍රේක්ෂකයා අතරට ගියේ නැහැ. ඒ ගැන සඳහන් කළොත්....?


ඒක ඇත්තෙන්ම ප්‍රේක්ෂකයන් අතරට නොගියේ ෆිල්ම් එක රිලීස් කළදාට පසුවදාම කොවිඩ් නිසා සිනමාශාලා වහන්න වුණා. ඇවිළෙන සුලුයි ලොක්ඩවුන් එකට අහුවුණා කිව්වොත් හරි. ඒ අතරමැදදී ලොක්ඩවුන් එක නැවැතුණත් කොවිඩ් භීතිකාව සමඟ ප්‍රේක්ෂකයා සිනමාශාලා කරා ගියේ නැහැ. චිත්‍රපටය ප්‍රේක්ෂකයා කෙසේනම් භාරගනීද කියාවත් බලන්න බැරිවුණා. සෝමරත්න දිසානායක මහතාගේ ‘සුනාමි’ චිත්‍රපටයටත් බලපෑවේ ඔය සිද්ධියයි.


‘ඇවිළෙන සුලුයි’ ඉදිරිපත් කරන්න වුණෙත් සිග්නිස් සම්මාන උලෙළට පමණයි නේද....?


ඔව්, රටේ තිබුණ කොවිඩ් භීතිකාව එක්ක සිනමා සම්මාන උළෙල රැසක්ම පවා නැවතුණානේ. සරසවිය, ජනාධිපති, දෙරණ සම්මාන උලෙළයන් පවා තියාගන්න බැරිවුණා. සිග්නිස් සිනමා සම්මාන උලෙළ විතරයි එවර තිබ්බේ. එම සිග්නිස් උලෙළේදී මට හොඳම නිළිය සම්මානය ලැබුණා. ශ්‍යාම් ප්‍රනාන්දු හොඳම නළුවා වුණා. හොඳම සංගීත අධ්‍යක්ෂණයට මගේ සැමියා වන ඉන්ද්‍රචාප ලියනගේ සම්මානයට ලක්වුණා.


‘දැවෙන විහඟුන්’හි ඔබේ චරිතයත් සම්මානයට ලක්වුණා ..?


ඔව්, එහි ප්‍රධාන චරිතය අනෝමා ජනාදරී අක්කා කළේ. මට කරන්න තිබුණේ සහය චරිතය.සිග්නිස්,ජනාධිපති, දෙරණ යන සම්මාන උලෙළ තුනේදීම හොඳම සහය නිළිය සම්මානය මට හිමිවුණා.


ඔබ සිනමාවට පැමිණි අයුරු විස්තර කළොත්...?


මම සිනමාවට ආවේ ළමා කාලයේදීමයි. මගේ ලොකු නැන්දි මාලිනී ෆොන්සේකා මහත්මිය නිසා තමයි මට රංගනයට එන්න අවස්ථාව ලැබුණේ. මුලින්ම රඟපෑවේ පාරාදීසේ, ප්‍රතිරාවය, ප්‍රතිඥා, රජකෙල්ලෝ වගේ චිත්‍රපටවල. ලොකු නැන්දි තමා මාව ඒවාට එක්කගෙන යන්නේ. එයාගෙ දුව විදිහටත් මම රඟපාලා තියෙනවා. එහෙම ආව ගමනේදී වෘත්තිය මට්ටමේ නිළියක් වෙනවා කියන තීරණයට මම ආවා.


අද වන විට සිනමා ක්ෂේත්‍රයට අලුතින් එන රංගන ශිල්පීන්, ශිල්පිනියන් ගැන ඔබ දකින්නේ කොහොමද..?


අලුතින් එන අයට මේක ගැන කුතුහලයක් තියෙනවා. ඔවුන්‍ යාවත්කාලීන වෙලා වැඩකරන බව පේනවා. ඒ වගේම ඉතා දක්ෂ තරුණ පිරිසක් අද අපට ඉන්නවා


අද අඩු මුදලට නිර්මාණ කෙරෙන බවට චෝදනාවක් තිබෙනවා....?


අඩු මුදලට කෙරෙන නිර්මාණත් තිබෙනවා තමයි. මෙහිදී වැදගත් වෙන්නේ අන්තර්ගතයයි. ලොකුවට වියදම් කරගෙන චිත්‍රපට කරලා වැඩක් නැහැ. ඒවාගේ අන්තර්ගතය දුර්වලනම්. ප්‍රේක්ෂකයා අතරට යන හොඳ අන්තර්ගතයකින් යුතු නිර්මාණයි කෙරෙන්න ඕන.


ටෙලිනාට්‍යවලට ඔබේ දායකත්වය කෙසේද....?


ටෙලිනාට්‍යයකදී වුණත් මට ලැබෙන චරිතයේ වපසරිය සහ කතා තේමාව ගැන බලනවා. ටෙලිනාට්‍ය කිහිපයකම රඟපෑවා. මුල්ම කාලයේ මම කළා ‘සූර්ය විංසතිය’ කියලා ටෙලි චිත්‍රපටයක. එය අධ්‍යක්ෂණය කළේ අරුණ ගුණරත්න මහතා. ඒක බොහෝ ප්‍රේක්ෂකයන්ට තවමත් මතකයි. ‘ඕඪධ’ ටෙලිනාට්‍යය පසුගිය දිනවල විකාශනය වුණා. සුපුන් රත්නායකගේ ‘අඩෝ’ ටෙලිනාට්‍යයත් හොඳ ටෙලිනාට්‍යයක්. එහි රංගනය වෙනුවෙන් සුමති ටෙලි සම්මාන උලෙළේදී මම හොඳම නිළිය බවට පත්වුණා.


අපේ සිනමාව අන්තර්ජාතික තලයේ කතාබහට ලක්වෙනවා. ඒ ගැන ඔබ දරන අදහස...?


අන්තර්ජාතික තලයට යන්න නෙවෙයි නිර්මාණ කළ යුත්තේ. තමන්ට අවංක තැනකින් සිනමා නිර්මාණ කරන්න ඕන. අලුත් දෙයක් අලුත් විදිහට හිතලා නිර්මාණ කරන්න ඕන. අලුත් වැඩක් වෙන්න ඕන. එවිට එය නිරන්තරයෙන්ම ඇගයීමට ලක්වේවි. සිනමාව කියන්නේ භාෂාවක්. එම භාෂාව හඳුනාගත යුතුයි.


ඔබ ගුරුකොටගත් සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සිනමා නිර්මාණ තිබේද...?


නැහැ. එහෙම ගුරුකොටගත් කියලා එකක් නැහැ. චිත්‍රපටයක් නරඹද්දී පළමු විනාඩි 30 තුළ මාව රඳවාගත හැකි නිර්මාණයක් නම් එය නරඹනවා. මුල්ම විනාඩි 30 තමයි එතැනදී වැදගත් වෙන්නේ. හොඳයි කියා හිතෙන සිනමා නිර්මාණ නරඹනවා. ප්‍රංශ සිනමාකරුවාගේ සිට මලයාලම් සිනමාකරුවාගේ නිර්මාණ දක්වා මම නරඹනවා.


අද වනවිට සිනමාශාලාවලින් ප්‍රේක්ෂකයා ගිලිහී ගොස් තිබෙනවා. මෙය ඔබ දකින්නේ කෙසේද...?


ප්‍රේක්ෂකයෝ සිනමාශාලාවලින් ගිලිහෙන්නත් රටක තිබෙන දේශපාලනය සහ සංස්කෘතිය බලපා තිබෙනවා. ඒ වගේම සිනමාශාලාවලට අමතරව වෙනත් මාධ්‍ය රැසක් අද වෙද්දී විවෘත වෙලා තිබෙනවා. අද සිනමාව ප්‍රේක්ෂකයාගේ අත උඩට ඇවිත්. ඒ කියන්නේ ජංගම දුරකතනය දක්වා සිනමාව ඇවිත්.දුරකතනයෙන් චිත්‍රපට නරඹන, චිත්‍රපට හදන තැනට අද ඇවිත් තියෙනවා. ප්‍රේක්ෂකයා සිනමාශාලා සංස්කෘතිය තුළ සිරවිය යුතු නැහැ. දැවැන්ත තිරයක් තුළින් ප්‍රේක්ෂකයාට ජීවිතය බලන්න දෙනඑක ලස්සනයි. එහෙත් අද වෙද්දි නවීන තාක්ෂණය සමඟ සිනමාව බොහෝ දුර ගිහින් තිබෙනවා. කාලයත් සමඟ එවැනි වෙනස්කම් සිදුවෙන්න ඕන. අධ්‍යක්ෂවරයාට තමන්ගේ නිර්මාණය, ප්‍රකාශනය ගෙනයන්න ඕනතරම් නවීන ක්‍රම අද වෙද්දී හැදිලා තිබෙනවා.


ඉදිරි නිර්මාණ කටයුතු ගැන කතා කළොත්...?


ඉදිරියේදී චිත්‍රපට 02ක් සඳහා ආරාධනා ලැබී තිබෙනවා. තවම ඒවා සාකච්ඡා මට්ටමේ තියෙන්නේ.

Previous Post Next Post