එයා හොඳම හමුවීම ද කියන්න මම දන්නෙ නැහැ- දුලීකා මාරපන



ඇය වේදිකාව, පුංචි තිරය, රිදී තිරය අතික්‍රමණය කළ නිළියක්. ඒ වගේම නිෂ්පාදකවරියක් වගේම අධ්‍යක්ෂකවරියක්. ඔහු රංගන ශිල්පියෙක්, පිටපත් රචකයෙක් ,නිෂ්පාදකවරයෙක් හා අධ්‍යක්ෂක වරයෙක්. මේ අපූරු කිරිපැණි සුසංයෝගය ලෝරන්ස්ගේ මනමාලි, සුකිරි බටිල්ලෝ, සුපර්ණා ආදී දරු පැටවුන් සමාජයට දායාද කළේ එකී සුසංයෝගයේ අපූර්වත්වය පෙන්නුම් කරමිනුයි. මේ යුවළ ගැන තවත් අටුවා ටීකා අවශ්‍ය නොවන්නේ ඉහත කරුණු වලින්ම ඒ සිනාමුසු මුහුණු මැවී පෙනෙන නිසයි. අද  කතාබහ රසවත් කරන්නේ දුලීකා මාරපන හා සුජීව ප්‍රියලාල් ය.


කොහොමද මේ දවස්වල ජීවිතේ...අපි එහම ඇහුවේ මුලින්ම දුලිකාගෙන්?


මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ රූගත කිරීම් එක්කයි. ලෝරන්ස්ගේ මනමාලි හා සුකිරි බටිල්ලා වරින්වර වේදිකාගත වෙනවා. නමුත් කලින් තරම් වසන්තයක් තවම වේදිකාවට උදා වුණේ නැහැ. ඒ නිසා ඉස්සර තරම්ම වේදිකා නාට්‍ය සංවිධානය වෙනවා අඩුයි. කුඹුරු වැඩත් මේ දිනවල නැති නිසා තරමක් විවේක පාඩුවේ කාලය ගත කරනවා.


 

ඔබ මෑතකදී ටෙලි නාට්‍යය කිහිපයකින් ඉවත් වුණා. ඒ වගේම පුංචි තිර‍යේ දැන් ඉස්සර වගේ දකින්න ලැබෙන්නේත් නැහැ. ඔබ ටෙලි නාට්‍ය වලින් සමු ගත්තාද?


ටෙලි නාට්‍යවලින් සම්පූර්ණයෙන් ඉවත් වනවා කියලා කියනවට වඩා මම කැමැතියි එය වෙනත් විදිහකින් අර්ථකථනය කරන්න. අද වන වනවිට ටෙලිනාට්‍යවල ප්‍රමිතිය ඉතාමත් අඩු මට්ටමකයි තිබෙන්නේ.


නිෂ්පාදකවරයාට වැයවෙන වියදම පියවා ගැනීමට නොහැකි නිසා රංගන ශිල්පීන් ඉතා අසීරු තත්ත්වයන්ට මුහුණ දී තිබෙනවා. අඩුම තරමින් ටෙලි නාට්‍යයේ සම්පූර්ණ පිටපත වෙනුවට ලැබෙන්නේ දවසක් තුළ කරන කොටස් වල පීඩීඑෆ් පමණයි. ඒ වගේම රංගන ශිල්පීන්ට ආහාර ලබා දෙන සුළු කාලය සීමා කරන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. දවසට සීන් විස්සක් හෝ තිහක් කරන නිසා රංගන ශිල්පීන්ට රංගනය තුළින් උපරිමයක් දීමට නොහැකි වෙනවා වගේම නිර්මාණවල ගුණාත්මක බවත් අඩු වෙනවා. තිබ්බ ගැහුව වගෙ කරන ටෙලි නාට්‍යය නිර්මාණ ලෙස හැඳින්විය නොහැකියි. එසේ අනවශ්‍ය ගැටලුකාරී තත්ත්වයන් තුළින් පීඩනයක් ගන්නවට වඩා ටෙලිනාට්‍යවලින් ටිකක් ඈත් වෙන එක සුදුසුයි කියා මම හිතුවා.


 

එකපාරටම චරිතයකින් ඈත් වුණාම එකී චරිතය තුළින් ඔබව බලාපොරොත්තු වෙන ප්‍රේක්ෂකයන්ට එය අසාධාරණයක් නේද?


ඔබ මෙයින් අදහස් කරන්නේ කොරෝනා සමයේ රූගත කිරීම් කළ එක් චරිතයක් සම්බන්ධයෙන් විය යුතුයි. එම නිර්මාණය තුළ මම ඉහත සඳහන් කළ හැම අඩුපාඩුවම තිබුණා. ඒ නිසා මගේ රුධිරයට විෂබීජ ඇතුළු වුණා. කාන්තාවක් ලෙස සෞඛ්‍ය සම්පන්නව සිටීමට අවම පහසුකම්වත් තිබිය යුතුයි කියා මම විශ්වාස කරනවා. මම ඒ වෙනුවෙන් ගොඩක් සටන් කළා. නමුත් ඊට විසඳුමක් ලැබුණේ නැහැ. මගේ පෙණහලු වලට විෂබීජ ඇතුළු වූ නිසා රෝහල්ගත වීමට සිදු වුණා. නියපොතුවලට විෂබීජ ඇතුළුවෙලා නියපොතු සියල්ලම නරක් වුණා. මිනිස්සු සතුටු කරන්න කලින් මම ජීවත් වෙලා ඉන්න ඕන. එක නිර්මාණයකින් මට මැරෙන්න බැහැ.


 

වේදිකාව තුළින් බිහිවන රංගන ශිල්පීන් වර්තමානය තුළ වේදිකාවටම කොටුවීමෙ ප්‍රවණතාවය ගැන ඔබ දකින්නේ කොහොමද?


කලාව තුළ දීර්ඝ කාලීනව රැඳී සිටින බහුතරය වේදිකාව තුළින් ගොඩනැඟුණු චරිතයි. රංගනය කියන්නෙ දෙබස් ටිකක් කියලා එහෙට මෙහෙට වැනෙන කාර්යයක් නෙමෙයි. රංගන කාර්යය තුළ හික්මීම, ඉවසීම, සංයමය වගේම විෂයානුබද්ධ දැනුමත් තිබිය යුතුයි. වේදිකාව දීර්ඝකාලීනව පරිශීලනය කළ අයෙකුට එය හිමි වෙනවා. වර්තමානයේ අප දකින තරු ජනප්‍රිය වන්නේ එක රැයින්. එම රංගන ශිල්පීන් අද පැවතුණත් හෙට හොයාගන්නවත් නැහැ. ඒ වුණත් වේදිකාව තුළින් ගොඩනැඟුණු රංගන ශිල්පීන් කුමන දුර්භික්ෂයක් ආවත් කලාව අත හරින්නෙ නැහැ. වේදිකාවේ සිටින අතිශය දක්ෂ දරුවන්ට රිදී තිරයෙ වගේම පුංචි තිරේ දොරගුළු විවෘත වෙලා නැහැ. හේතුව කැමරාව ඉස්සරහ ඉන්න අධ්‍යක්ෂවරුන් හා නිෂ්පාදකවරුන් හොයන්නේ පොත්ත සුදු එහෙමත් නැත්නම් බාහිර අලංකරණය පමණක් තියෙන උදවිය පමණයි. අප කලාවට පිවිසුණු අවධියේ වේදිකාවෙන් අලුත් මුහුණක් දකිනකම් අධ්‍යක්ෂකවරුන් මඟ බලාගෙන සිටියා. වර්තමානයේ එසේ නොවීම ඛේදවාචකයක්.


ඩිංගිරි අම්මගේ චරිතය ඔබගේ රංගනයේ වෙනස්ම පරාසයක් පෙන්නුම් කළ චරිතයක් කියා මං කිව්වොත්?


අනිවාර්යෙන්ම. එයට හේතු කීපයක් තිබෙනවා මුලින්ම මලී ටෙලි නාට්‍ය පටන් ගත්තෙ ප්‍රේම වෘතාන්තයක් විදියටයි. ඒ නිසා එය තරගකාරී නාලිකාවන් සමඟ ඉහළට එසවීමට අපහසු වුණා. මම පිටපත රචනා කළ මහත්මයා සමඟ කතා කරලා හෙළ වෙදකම අංගම්පොර වැනි ගුප්ත විද්‍යාවන් එයට එක් කරන්නට යෝජනා කළා. එසේ කරනවා නම් මගේ සම්පූර්ණ සහාය ඔහුට ලබා දෙන බවටත් පොරොන්දු වුණා. එසේ පොරොන්දු වීමට සාධනීය සාධක මා සතුව තිබුණා. මගේ පරම්පරාවේ එකගෙයි කෑම තිබුණා. ඒ නිසා මට මුත්තලා දෙන්නෙක් හිටිය. මගේ එක මුත්ත කෙනෙක් කෝරලේ වසම කරනකොට අනිත් මුත්තා පාරම්පරික වෙද මහත්මයෙක් විදියට කටයුතු කළා. මට ඒ මුත්තලා ඇසුරු කරන්න මුණගැහිලා නැහැ. නමුත් මගේ අත්තා මුත්තාගේ පොත් පත් මට ලබා දීලා තිබුණේ කුඩා අවධියේදී. පොඩි කාලේ පටන් මම පුංචි පුංචි වෙදකම් කළා. ඒ වගේම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් අත්හදා බලමින් සිටියා. ඒ වල හුරුවත් මට තිබුණා. ඒ නිසා එකී චරිතයට මගේ සහයෝගය උපරිමයෙන් ලැබුණා. එයත් සමඟම ඩිංගිරි අම්මා වෙනස් වුණා. මලී ටෙලි නාට්‍යයේ අප කිව්ව එක බෙහෙතක්වත් එක මන්තරයක් වත් බොරු නෙමෙයි. විශේෂයෙන් එම ශාස්ත්‍රයෙන් හදාරා සිටි මිනිසුන් එම යන්ත්‍ර මන්ත්‍ර බොරුවක් නොවන බව දැන සිටි නිසා එම නාට්‍යය සමඟ මිනිසුන් බැඳුණා. මිනිස්සු ඩිංගිරි අම්මට අසාමාන්‍ය විදිහට ආදරේ කළා. ඒ කාලේ මම කලිසමයි ටී ෂර්ට් එකයි ඇදගෙන පාරේ යනවටවත් මිනිස්සු කැමැති වුණේ නැහැ. ඔවුන් මගෙන් බලාපොරොත්තු වුණේ ඩිංගිරි අම්මව පමණමයි. තව කාටවත් ආයෙ වෙදහාමිනේගේ චරිත කරන්න නම් ඩිංගිරි අම්මාගේ චරිතය ඉඩ තිබ්බෙ නැහැ.


 3rd bell production , Co Co production , northwest film ගැනත් අපි කතා කරමු


3rd bell production එකේ නිර්මාණකරණය ආරම්භ කළේ ලෝරන්ස්ගේ මනමාලි හරහායි. මේ වන විට තර්ඩ් බෙල් එකෙන් ඉතා විශාල නිර්මාණ ප්‍රමාණයක් කර තිබෙනවා. ඒ අතර ටෙලිනාට්‍ය, චිත්‍රපට, ගීත ,වේදිකා නාට්‍ය, රූප රචනා බොහෝමයක් කර තිබෙනව. මීට අමතරව සුබසාධන වැඩ කටයුතු බොහොමයක් එයින් සිදු කළා. සම්මාන උළෙලවල්, අධ්‍යාපන වැඩසටහන් නාට්‍ය හා රංග කලාව පිළිබඳ වැඩමුළු එයින් සංවිධානය කළා. කො කො ප්‍රඩක්ෂන් එකේ ලොකු කණ්ඩායමක් සමඟ ආරම්භ කළ නිසා ලප් තැනම ලොප් වුණා. north west film කළෙ සුපර්ණා චිත්‍රපටිය වෙනුවෙනුයි.


 

සුජීවගේ හමුවීම ඔබගේ ජීවිතයේ හොඳම හමුවීම කියලා ඔබ හිතනවද?


එයා හොඳම හමුවීම ද කියන්න මම දන්නෙ නැහැ. ඊට වඩා හොඳ කට්ටිය ඉන්නවද කියලා මම දන්නෙත් නැහැ. නමුත් මම විශ්වාස කරනවා මට මේ තරම් පහසු ගමනක් ලැබුණෙ සුජීව අයියා නිසා කියලා. සුජීව අයියා කියන්නේ මාව හොඳින්ම තේරුම් ගත් කෙනෙක්. ඔහු නිර්මාණකරණය තුළ වගේම ජීවිතය තුළත් ලොකු නිදහසක් මට ලබා දී තිබෙනවා. ඒ නිසා මට අතපය දිග ඇරලා හුස්ම ගන්න පුළුවන්. සුජීව අයියා කිසිවිටෙක මගෙන් සම්ප්‍රදායික චරිතයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.


 

ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද


මට සිනමා නිර්මාණයක් බලාපොරොත්තුවක් තිබෙනවා. සිනමාකරණයට පැමිණීමේ අවශ්‍යතාවය මට පැන නැඟුණේ 2019 අග භාගයේ දීයි. පසුගිය කාලයේ නැවත ඒ පිටපත ලියලා ඊට සූදානම් වුණා ඒ කලාත්මක නිර්මාණයකට සුදුසු නිෂ්පාදකවරයෙක් මුණ ගැසුණොත් වැහි නැති කාලෙක දී ඒ නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ අපි හැරුණෙ සුජීව දිහාවට..


 

මොනවද මේ දවස්වල අලුත් වැඩ?


මේ දවස් වල හිරු නාලිකාවේ දිවි තුරා ටෙලි නාට්‍යයේ රඟපෑම් කටයුතු කරනවා. ඊට අමතරව සෝ ලෝ ටවුන් කියලා චිත්‍රපටයක රඟපානවා. එය සංගීත කණ්ඩායමක් ආශ්‍රය කරගෙන නිර්මාණය වූවක්. ඊට අමතරව සුකිරි බටිල්ලා, ලෝරන්ස්ගේ මනමාලී වැනි නිර්මාණවලට රංගනයෙන් දායක වෙනවා.


 

ලෝරන්ස්ගේ මනමාලි වේදිකා නාට්‍ය කලාව හොල්ලපු වේදිකා නාට්‍ය බවට පත් වෙනවා ඒ මතකය අලුත් කළොත්..


2014දී ලෝරන්ස්ගේ මනමාලි ආරම්භ කළා. එහිදී ඉතා වේගයෙන් අඛණ්ඩව දර්ශන වාර දහයක් දොළහක් පෙන්නපු අවස්ථාත් තිබුණ. ලසිත් මාලිංග ලෝරන්ස්ගේ මනමාලි බලලා දිගටම නාට්‍ය බලනව කියල කමෙන්ට් කරලා තිබුණා. ඒ වගේ අලුත් ප්‍රේක්ෂකාගාරයක් ගොඩනඟන්න අපට හැකියාව ලැබුණා. කවදත් ලෝරන්ස්ගේ මනමාලි නාට්‍යයට සෙනඟ අඩු වුණේ නැහැ. ලංකාවේ දර්ශන වාර පන්සියයකට වඩා ප්‍රදර්ශනය කර තිබෙනවා ඊට අමතරව ඔස්ට්‍රේලියාව, ඩුබායි, ඉතාලිය, ඔස්ට්‍රියා ප්‍රංශය වගේ බොහෝ රටවල්වල ලෝරන්ස්ගේ මනමාලි සැරිසැරුවා.


 

ඔබගේ කොණ්ඩ මොස්තර ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් බවට පත් වුණා නේද?


මම සුපර්ණා චිත්‍රපටියට කොණ්ඩය මුඩු කළා. ඒ වෙනකොටත් මම කොණ්ඩෙ කලර් කරමින් හිටියේ. ඉන්පසු මුඩු කිරිමෙන් පස්සේ මගේ කොණ්ඩේ වැවුණේ මේ විදියටයි. ඕක සල්ලි දීලා මිනිස්සු කරන දෙයක්. ඒනිසා ඕක ඔහොමම තියාගන්න කියලා දුලීකා කිව්වා. ඉන්පස්සෙ යුරෝපා සංචාරයක දී තරුණ කොල්ලෝ මේ වර්ණයෙන් කොණ්ඩේ පාට කර තිබෙනවා දැක්කා. අද වෙනකොට අපේ රටේ බොහොමයක් දෙනා කොණ්ඩෙ කළු නොකර නිදහසේ ඉන්නවා ඒක ගොඩක් හොඳයි ඒ වගේම කාලෙත් ඉතුරුයි.


 

ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද


අපේ ගෙදර හිටපු බල්ලො දෙන්නම නැති වුණා. මම දැන් සැලසුම් කරන්නේ අලුත් බලු පැටියෙක් ගන්න.





Previous Post Next Post