අලුත් කලාවක් හින්දා ඉරාජ්ට හතර වටෙන්ම මඩ ප්‍රහාර-ඉරාජ් වීරරත්න




මේ දවස්වල සෝෂල් මීඩියාවල ඉරාජ් වීරරත්නගේ නම හරි හරියට කියැවෙනවා. ඒ ඉරාජ් සහභාගි වෙන අලුත් කලාවක් ප්‍රසංගය හේතුවෙනි. කොල්ලො කෙල්ලො අතර මෙච්චර ජනප්‍රිය වෙලා තියෙන අලුත් කලාවක් ප්‍රසංගයේ ඉන්න කිසිම තරුණ ගායකයෙකුට ගායිකාවකට ඉරාජ්ට තරම් මඩ ප්‍රහාර නම් එල්ල වෙන්නේ නැතිව ඇති. අරගෙලයෙන් පවා ගුටි කෑ ඉරාජ් ආයෙත් අලුත් කලාවෙන් නැගිටින්න හදන කොට මෙච්චර පහර පිට පහර එල්ල කරන්නේ ඇයි? ඉරාජ්ට මේචචර ප්‍රහාර එල්ල කරන්න ඉරාජ් මොනවා හරි කරලද දන්නේ නැහැනේ. ඒ හින්දම  ඉරාජ්ට කතා කළා.


ඉරාජ්ගේ අලුත් කලාවට හතර වටින්ම ප්‍රහාර එල්ල වෙනවානේ. ඇයි මේ?


ඒක තමයි ඕක මුලින්ම පටන් ගත්තේ ඔස්ටේ්‍රලියාවේ ඉන්න විවිධ සංවිධාන. මම එහේ එන එක නවත්වන්න ඕනෑ කියලා පෝස්ට් ප්‍රචාරය කරලා තියෙනවා. ඒ මගේ දේශපාලන මතය නිසා වෙන්න ඇති.


පසුගිය කාලයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මම සහයෝගය දැක්වූවාට එරෙහිව මගේ ඔස්ටේ්‍රලියා ගමන තහනම් කරන්න හදනවා. හරි අසාධාරණයි වැඩේ ඒත් මම මගේ ගමන යනවා.


පසුගියදා නෙළුම් කුලුන අසල තිබෙන ප්‍රසංගයත් වර්ජනය කරන්න කියලා පෝස්ට් දාලා තිබුණ නේද?


විශේෂයෙන් අරගලයේ හිටපු සමහර සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තමයි එවැනි ප්‍රකාශ කරලා තිබෙන්නේ මට ඉතින් සැකයක් තිබෙනවා. කවුරු හරි සල්ලි දීලා කරන කැම්පේන් එකක් ද කියලත් ඒත් මම බලාගෙන ඉන්නවා.


මේ වගේ වැඩවලින් ඉරාජ්ව වට්ටන්න අමාරුයි එහෙමද?


මෙහෙමයි දේශපාලන වශයෙන් මොකක් හරි මතවාදයක් තිබෙනවා නම් ඒක එතැනදී කතා කරමු. හැබැයි මේ කොන්සර්ට්වල මගේ කලාවට ගහන එක හරි අසාධාරණයි. අපේ රටේ මිනිස්සු හරි ගෝත්‍රිකයි වෙන රටවල්වල ඔහොම නැහැනේ.


අලුත් කලාවක් ප්‍රසංගය කරන්න හිතුවේ ඇයි?


අනෙක් ප්‍රශ්නය තමයි අරගලයේ හිටපු සමහර සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දන්නේ නැහැ. මේ අලුත් කලාවත් ෂෝ එක පිටිපස්සේ ඉන්නේ අලුත් කොල්ලො ටිකක් කියලා. ඔවුනුත් අරගලයේ හිටපු කොල්ලොම තමයි. දැන් ඔය අලුත් කලාවක් කියන ෂෝ එක කරන්නේ ජනියා කියලා මල්ලි කෙනෙක්. ඒකේ තව ගොඩක් කලාකරුවෝ ඉන්නවා. හැබැයි මාව ටාගට් කරලා මට තමයි ගහන්නේ.


මේක ඔබේ ප්‍රසංගයක් නෙමෙයිද?


නැහැ. මේක මගේ ප්‍රසංගයක් නෙමෙයි. ජනියා කියලා මල්ලි කෙනෙක් පටන් ගත්තු එකක්. හැබැයි මම මේකට ගොඩක් ප්‍රමෝට් කරලා මාර්කට් කරලා උදව් කළා. මොකද මේක අලුත් වැඩක්. මම කොහොමටත් ලංකාවේ කොල්ලො කෙල්ලො අලුත් වැඩක් කරනකොට ඕනෑම සහයෝගයක් ලබා දෙනවා.


මේ වෙන දේවල් දැක්කහම සින්දු කියන එක නතර කරලා දාන්න හිතෙනවාද?


නැහැ. එහෙම හිතන්නේ නැහැ. සමාජයේ දිගටම සංවිධානාත්මකව පේජ්වලින් ගහනකොට ඒවට සැලෙන්නේ නැහැ. මගේ ඔස්ටේ්‍රලියානු සංචාරය නවත්වන්න උද්ඝෝෂණයක් පවා ලෑස්ති කරලා තිබෙනවාලු. ඔස්ටේ්‍රලියානු රජයට ඔය සංවිධාන එකතු වෙලා පන්දහසක් විතර සහභාගි කරලා පෙත්සමක් පවා අත්සන් කරලා තියෙනවාලු. මට ඒක වෙලාවකට හිතෙනවා මම මාර පොරක් වෙන්න ඇති කියලත්.


ඉරාජ්ට මෙච්චර තරහකාරයෝ ගොඩක් හැදුණේ කොහොමද?


ඒක තමයි මම මේ කියන්නේ. මම මේ ප්‍රසංගවල කරන්නේ දේශපාලන රැස්වීමක් නෙමෙයිනේ. අපේ ප්‍රසංගවලට යන්න එපා කියලා මෙහේ කැම්පේන් කරනවා.


ඉරාජ්ට වීසා දෙන්න එපා කියලත් ෆේස්බුක් පෝස්ට් ෂෙයාර් වෙනවා?


ඒක තමයි ඒක හරි අසාධාරණයි මොකද මම මේ යන්නේ දේශපාලන රැස්වීමක් කරන්න නෙමෙයි. මම යන්නේ සින්දුවක් කියලා එන්න. ඒකත් අපේ ශ්‍රී ලාංකිකයන්ට. තවත් ගොඩක් අය මෙම ප්‍රසංගයට සහභාගි වෙනවා. අපේ රටට ඩොලර් කීයක් හරි අරගෙන එන්න තමයි මේ ගමන යන්නේ. කමක් නෑ අපි බලාගෙන ඉන්නවා.


ඉරාජ්ගේ කලාව අපේ රටේ මිනිස්සු ප්‍රතික්ෂේප කරනවාද දන්නේ නැහැනේ?


එහෙම කියන්නත් බැහැනේ. පසුගිය මාස කිහිපය ඇතුළත මම ලංකාව වටේම කොන්සර්ට් කළා. ගාල්ල, මාතර, නුවර, අනුරාධපුර, මීගමුව වගේ හැම තැනකම. ගිය හැම තැනකම කොන්සර්ට් සෝල්ඩ් අවුට්. ඉතින් මගේ නම ෂෝ එකකට දැම්මොත් අනිවාර්යයෙන්ම ටිකට් ටික ඉවර වෙනවා.


පසුගිය දවස්වල චුලාගේ ෆැෂන් ෂෝ එකට ගිය ඉරාජ්ට හොඳ ප්‍රතිචාර ලැබුණා නේද?


අනේ ඔව්. මට මේ ෂෝ එකට ගහන්නෙත් අරගලකාරයෝනේ. චූලා කියන්නෙත් අරගලයේ හිටපු කෙනෙක්නේ. මට එයාගේ දේශපාලන මතය වැඩක් නැහැ. අලුත් වැඩක් කරන කොට මම ගිහිල්ලා එයාට උදව් කරනවා. පසුගිය සෙනසුරාදා තිබුණ ප්‍රසංගයටත් ඇය සහභාගි වුණා. අපේ දේශපාලන මතයට විරුද්ධ වුණා කියලා අපේ අනෙක් වැඩවලට ගහන එක වැරදියි කියලයි මම කියන්නේ. ඒක හරි ගෝත්‍රිකයි.


ඇත්තටම මේකත් ඉරාජ් මාර්කට් වෙන්න කරන කැම්පේන් එකක් වෙන්න බැරිද?


මම මොකටද මම යන ෂෝවලට එන්න එපා කියලා පෝස්ට් දාලා කැම්පේන් කරන්නේ. එහෙම කැම්පේන් කරලා සෙනඟ ගෙන්වන්න මට වුවමනා නැහැ. මගේ ෂෝ වලට කොහොමත් සෙනඟ එනවා බොරු පෝස්ට් දාලා. බොරු කැම්පේන් කරන්න වුවමනා නැහැ. මේ වැඩේ කරන්නේ මගේ දේශපාලන මතයට විරුද්ධ පිරිසක්.


මොනවද අලුත් සංගීත වැඩ කටයුතු?


දැනට මේ කොන්සර්ට් ටික කරගෙන යනවා. ඒ වගේම සමිතා මුදුන්කොටුව එක්ක ගීතයක් නිර්මාණය කළා. ඒ ගීතය ලිව්වේ වසන්ත දුක්ගන්නාරාල. ඒ වගේම මගේ පැරණි මිත්‍රයා රනිදු ලංකා එක්ක ගීත කිහිපයක් හැදුවා.


කොච්චර කාලෙකට පස්සෙද රනිදු එක්ක සින්දුවක් කළේ?


අවුරුදු දහයකට වැඩියි. මම හිතන්නේ අවුරුදු පහළොවක් විතර වෙනවා. ඒ කාලේ අපි කරපු නින්ද නොයන හැන්දෑවේ. මධුමතියේ වගේ නිර්මාණ හරි ජනප්‍රිය වුණා.


ඇත්තටම දැන් රනිදු කෝ?


රනිදු ඉන්නේ ඇමරිකාවේ. ඔහුත් එක්ක ඉතාම ලස්සන සින්දු ටිකක් කළා. ඊට අමතරව මම ඉස්සරහට ලස්සන වැඩ ටිකක් කරනවා ලොකු ලොකු වෙනස් වැඩ ටිකක් ඉතින්. හැමෝටම බලාගෙන ඉන්න කියලා තමයි කියන්නේ. මඩ පෙත්සම් සියලුම දේවල්වලින් නොසැලී මම ඉස්සරහට ගමන යනවා.


කවදද ඔස්ටේ්‍රලියා යන්නේ?


ඔක්තෝම්බර් මාසයේ තමයි ඔස්ටේ්‍රලියා සංචාරය තියෙන්නේ.


මඩ ප්‍රචාර හින්ද ගමන නවත්වනවද?


මම බය වෙන්න කිසිම වරදක් කරලා නැහැනේ. කවුරු මට මඩ ගැහැව්වත් මම මගේ සංගීත වැඩ කටයුතු දිගටම කරගෙන යනවා.


ගාල්ලේ තිබුණ අලුත් කලාවක් ප්‍රසංගයට ලැබුණු ප්‍රතිචාර එහෙම කොහොමද?


අපොයි ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. ගාල්ලේ ප්‍රසංගයේ ටිකට් ටික පැය ගණනින් ඔන්ලයින් හරහා විකුණුනා. කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ.


අලුත් කලාවක් ප්‍රසංගය කරන්න කොච්චර විතර වියදමක් යනවාද?


ඇත්තටම මේකට ලොකු වියදමක් යනවා. අපි මේක කරන්නේ ප්‍රොෆිට් බලාගෙන නෙමෙයි. ලංකාවට අලුත් වැඩක් ගෙන එන්න තමයි අපේ ජනියා මල්ලිට ඕනෑ කරලා තියෙන්නේ. මේක කොහොමත් පොඩියට කරන වැඩකුත් නෙමෙයි. මේක වෙනස් වැඩක් හින්දයි මෙච්චර සෙනඟත් මේකට එන්නේ.


ඇමරිකාවේ ගිහින් කරපු මධ්‍යපානෙ බීම ජොලිය ගෑනු නොදන්නේට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඉතාමත් හොඳයි. රූප රචනාවට වගේම ගීතයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. මේ ගීතය ගැන මුලින්ම ලිපියක් ගියේ මීවිත පුවත්පතෙන්. මට සහයෝගය දක්වපු නැති මාධ්‍ය ආයතන පවා ඒ මියුසික් වීඩියෝ එකට සහ මට සහයෝගය දැක්වූවා.


සමාජ මාධ්‍යවලින් දිගට හරහාට පහර වදින කොට මාධ්‍ය ආයතනවලින් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?


මට දැන් මාධ්‍ය ආයතනවලින් සහයෝගය ලැබෙනවා. මාත් එක්ක තරහා වෙලා හිටපු මාධ්‍ය ආයතනත් දැන් මට උදව් කරනවා. සමහර විට මට ගිය අවුරුද්දේ වුණ ප්‍රශ්නත් එක්ක සහ දිගින් දිගටම සමාජ මාධ්‍යවලින් ගහලා අපේ ස්ටුඩියෝ කඩලා දාලා තිබුණ වෙලාවල තරහ වෙලා හිටපු මාධ්‍ය ආයතනත් හිතන්න ඇති කලාකාරයෙක් වැටෙන්න ඕනෑ නැහැ කියලා. දැන් මට ඔක්කොම චැනල් උදව් කරනවා.


අරගලයෙන් දැවැන්ත පාඩුවක් සිද්ධ වුණානේ?


ඔව්. දැවැන්ත පාඩුවක් වුණා. මගේ ස්ටුඩියෝ එක කැඩුවා. කැමරා බඩු කුඩු කළා. මගේ අම්මගේ ගෙදර කුඩු කළා. විශාල විනාශයක් වුණා. මම ඒ විනාශය ගන්නේ පොසිටිව් විදිහට. මම ඒකෙන් වැටුණේ නෑ. මොකද අද වෙනකොට මම ගහන හැම ෂෝ එකකම සෙනග පිරිලා. මම ඒක ලබපු විශාල ජයග්‍රහණයක්. මම එහෙම මානසිකව වැටිලා හිටියොත් කවදාවත් මට උඩට එන්න වෙන්නේ නැහැනේ.


අරගලයේදී ඉරාජ්ට ගහපු යාළුවෝ දැන් ඉරාජ්ට කතා කරනවා?


දැන් ඉතින් ඒ ඔක්කොම ඉවරයි. එහෙම දෙයක් වුණාද කියලා ඒ ගොල්ලන්ට මතකත් නෑ. ඒ ගොල්ලන්ට මම ගැහැව්වා බැන්නා කියලවත් මතක නෑ. මමත් දැන් ඒක අමතක කරලයි ඉන්නේ. අපි සාමාන්‍ය විදිහට යනවා.


දේශපාලනය කරන්නේ නැතිද?


අරගලයෙන් මට ගහද්දිත් විශාල පාඩුවක් වෙද්දිත් මම හිටියේ මගේ මතයේ. ගහද්දි ගොඩක් කලාකරුවෝ බය වුණානේ. සමහර කලාකරුවෝ පෝස්ට් දැම්මා මට සමාවෙන්න අපි ආපහු මෙහෙම සින්දු හදන්නේ නැහැ. ඒ ගොල්ලන්ගේ ෂෝ වලට නගින්නේ නැහැ කියලා. මම නම් එහෙම නෑ මගෙත් එක්ක මිලියන ගණනක් විරුද්ධ වුණා. මම ඉන්නේ මගේ මතයේ. මම දන්නවා මොකක්ද එතැන වුණේ කියලා. අරගලකාරයෝ බොරුවට ලයිව් ගිහිල්ලා කෝටි ගණන් හම්බ කර ගත්තා. ඒ හම්බ කර ගත්තු ඒවා මම දන්නවා. ඒ දේවල් මිනිස්සු ඉස්සරහට දැන ගනීවි. ඒ දවසට කියාවි අයියෝ අපි ඉරාජ්ට ගහලා දේපළ කුඩු කළේ කියලා.


තවමත් එහෙමද?


තාමත් එහෙමයි. මගේ මගේ මතය වෙනස් කරන්නේ නැහැ. හරි දේ වෙනුවෙන් මම පෙනී සිටියේ. මම කවදාවත් පසුතැවෙන්නේ නැහැ. හිටපු ජනාධිපතිතුමාට සහයෝගය දැක්වූවා කියලා. හැබැයි එතැනින් එහාට මගේ කිසිම දේශපාලනයක් නැහැ. මම දැන් කාටවත් සහයෝගයක් දක්වන්නේ නැහැ. මම සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් ඉවත් වෙලා ඉන්නේ. හැබැයි මම අයින් වෙලා ඉන්නේ අරගලකාරයෝ මට දාපු පාර්ට් එකට බයේ හින්දා නෙමෙයි. මම තවමත් මගේ මතයේ ඉන්නවා.


දිනේෂ් විතාන





Previous Post Next Post