ආදරණීය සීන් කරනකොට එයා පේන්නවත් ඉන්නෙ නෑ-මුතූ තරංගා



පුංචි තිරයේත් සිනමාවේත් ප්‍රේමවන්ත චරිත වලින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඇය මුතූ තරංගා. මවකගේ වගකීම් එක්ක හීන පසෙකලා පුංචි පවුල සම්පූර්ණ කළ පුතුට ඉඩ දුන් ඇය දැන් පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නේ නැහැ. රූපවාහිනී වැඩසටහන් වලට විතරක් ඉඩක් වෙන් කරන ඇය ගැනත් ඇගේ පුංචි පවුල ගැනත් මේ විදිහට කතා කරන්න හිතුවා.


මුතූ කොහොමද අලුත් තොරතුරු. දැන් අම්මා කෙනෙක් වුණාට පස්සේ දකින්නත් නැහැ නේද?


අපි රෙස්ටුරන්ට් එකක් ඕපන් කරනවා මේ මාසේ. සීදූව ද බංකර් කියලා. ඒක මගෙත් හස්බන්ඩ්ගෙත් හීනයක්. ඉතින් ඒ වැඩත් එක්ක හරිම කාර්‍යබහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. අනිත් එක බබා තවම පොඩියි. එයාගේ වැඩ කරන්න ඉන්නේ මමයි මහත්තයයි විතරයි. අම්මා කෙනෙකුගේ වගකීමෙන් මිදෙන්න ලේසී නැහැ. දරුවා ඉන්න නිසා ඒක දැනෙනවා වැඩියි. නමුත් සතුටින් හැමදේම කළමණාකරණය කරගෙන ජීවත් වෙනවා. ඒ වගේම නිර්මාණ බොහෝමයකට ආරාධනා ලැබුණා. ඒත් සම්බන්ධ වුණේ නැහැ බබාගේ වැඩ එක්ක. රූපවාහිනී වැඩසටහන්වලට විතරයි දැනට සම්බන්ධ වෙන්නේ.


 


කොහොමද පොඩ්ඩා එක්ක ගෙවන ජීවිතේ?


දරුවෙක් ඇස් දෙක වගේ රකින්න ඕන කියන එක මම දැන් අත්දැකීමෙන් විඳිනවා. පුතා හරිම දඟ වයසක ඉන්නේ. පරිස්සමින් බලා ගන්න ඕන. එයාගෙන් ඇස් දෙක අහකට ගන්නත් බයයි. සමහර වෙලාවට එයා කරන දඟ වැඩ එක්ක. මේ කාලේ එයා එක්කම ජීවත් වෙනවා කියන්නේ හරිම සුන්දර විදිහට ජීවිතේ ගෙවිලා යනවා. එයා එක එක ක්‍රියාකාරකම් කරනවා. මම දැන් ඒවා මිස් කර ගන්න ආස නැහැ .


 


වැඩවලට එළියට යද්දී යන්න එපා කියලා අඩන්නෙ නැද්ද?


මුලදි නම් එයාට ඒක තේරුණේ නැහැ. නමුත් එයාගේ අප්පච්චි එළියට යන හැම මොහොතකම අඬලා තියෙනවා. දැනුත් එහෙමයි. නමුත් ළඟදි දවසක මම යද්දී එයා ඇඬුවා. ඒ ඇයි කියන්න දන්නේ නැහැ. මම හිතන්නේ දැන් එයාට තේරෙනවා වෙන්න ඇති. ළඟදි දවසම මම සම්බන්ධ වුණු වැඩසටහනක් එයා බලලා මම සිංදු කියද්දි හොඳට අහගෙන ඉඳලා පස්සේ මාව දැකලා එයා හොඳටම අඬලා තිබුණා. ඒ මම ළඟ නැහැ කියලා දැනිලා වෙන්න ඇති.


ඔබ රඟන නිර්මාණ දකිද්දී ඇය දක්වන ප්‍රතිචාර කොයි වගේද ..?


රඟපාන නිර්මාණ දැකලා නැහැ. නමුත් මම යන වැඩසටහන් බලලා ප්‍රතිචාර එක එක විදිහට දක්වනවා. මම සම්බන්ධ වුණු පටිගත කර වැඩසටහනක් ගෙදර ඉඳලා මම එයා එක්ක බැලුවා. මම සිංදු කියද්දි හොඳට අහගෙන හිටියා. ටීවී එක දිහා මගේ දිහා සැරින් සැරේ බැලුවා. ළඟ ඉන්න අම්මව කොහොමද ටිවි එකෙන් පේන්නේ කියලා හිතන්න ඇති.


අම්මා කෙනෙකුට පුතෙක් කියන්නේ ලෝකයක්නේ. ඔහුව ලස්සන විලාසිතා වලින් සරසනවා ඇති..?


ඇත්තටම මට ඉන්නේ දුවක් වගේ ලස්සන පුතෙක්. කොණ්ඩේ වවලා නිසා එයා දුවෙක් වගේ. එයාගේ නම තියෝන් ජයවර්ධන. මම පුළුවන් උපරිම විදිහට එයාව ලස්සනට තියා ගන්න උත්සාහ කරනවා.


 


වසර ගණනාවක් ආදරේ කරලා විවාහ වුණාට පස්සේ පවුලේ බර දැනෙන්න පටන් ගන්න ඇති. නිදහස් ජීවිතේ භුක්ති විඳින්න නැහැ කියලා පසුතැවිමෙන්ද ඉන්නේ?


අපි දෙන්නා සෑහෙන කාලයක් යනකල් බබාලා හැදුවේ නැහැ. ඒ දෙන්නම කාර්‍යබහුල වෙලා හිටිය නිසා. ජීවිතේට හදාගන්න අවශ්‍ය දේවල් පිළිවෙළක් කරගෙනම බබාලා හදන්න හිතාගෙන හිටියා. දැන් හිතෙනවා අපරාදේ ඒ ගෙවලා දාපු කාලේ කියලා. ඒ දවස්වලම දරුවෙක් හදන්න තිබ්බා කියන පසුතැවීමක් දැන් තියෙන්නේ. ඒ කාලේ අපේ දෙමාපියන් ට ශක්තිය තිබ්බා අපිට උදව් කරන්න බබා බලාගන්න. දැන් ඉන්නේ මගේ අම්මා විතරයි. එයත් වයසයි. අපි දෙන්නා එදා ඉඳලම ජීවිතේ වින්ද දෙන්නෙක්. ලයිෆ් එක එන්ජෝයි කළා . දැන් සතුටින් ජීවත් වෙනවා. නමුත් නිදහස නැහැ. ඒත් ඒක සතුටින් දකින්නේ. අපේ පුතා අපේ වස්තුව නිසා . පුතා නිසා මම ගොඩක් දේවල් අත ඇරපු කෙනෙක් . ඒ කැපවීම අම්මා කෙනෙක් හැටියට මට කරන්න වෙනවා. ඒ නිසා පසුතැවීමක් නැහැ.


 


ඔබේ රූපය තිරයෙන් දකින ඔහු ඔබට ආදරේ කරන්න පටන් ගන්නේ රසිකයෙක් විදිහට. අවසානයේ ඔහු ඔබේ සැමියා වෙනවා. ඒ ආදරේ ගැනත් ඔහුව ඔබට මුණගැහෙන්නේ කොහොම ද කියලත් කියමු..?


ඔව්. නිශාන්ත මට කතාබහ කරන්න පටන් ගන්නේ මාව රූපවාහිනියෙන් දකින විසුවල් හා නාට්‍ය හේතුවෙන්. එයා මට යෝජනාවක් ගෙනාවා. ඒ වෙද්දී එයා මිස්ටර් ශ්‍රී ලංකා වුණු කෙනෙක්. මම ඒවා දැනගෙන හිටියේ නැහැ . මම ගණන් ගත්තෙත් නැහැ. එතකොට මට සම්බන්ධයක් තිබ්බ නිසා. ඊට පස්සේ එයත් එක්ක මොඩ්ල් සූට් එකක් කරන්න තිබ්බා. එයා නම් හරි ආසාවෙන් වැඩේට ඇවිත් තිබ්බා. එයා ආස කරන නිළිය එක්කනෙ මොඩ්ල් කරන්න තිබ්බේ. ඊට පස්සේ ඉඳ හිට කතා කළා. ආශ්‍රය කළා. පස්සේ ඉතින් ඒක ආදරයක් වුණා. අපි අන්තිමට විවාහ වුණා.


 


විවාහයෙන් පසුව ඔබට වාරණ වැටුණේ නැද්ද දැන් රඟපෑවා ඇති කියලා ..?


නැහැ ඒක නම් කවදාවත්ම කියපු නැති දෙයක් . දැන් වුණත් කියන්නේ මම බබාව බලාගන්නම් ඔයා වැඩ වලට යන්න කියලා. ඔයාට කරදරයක් නැත්තම් මම බබාව අරන් ලොකේෂන් එකට එන්නම් ඔයා වැඩ භාර ගන්න. රඟපාන එක අත අරින්න එපා කියලා එයා කියන්නේ. එයා කැමතියි මාව රංගනයෙන් දකින්න. මම තමයි මට වාරණ දාගෙන නිර්මාණ භාර නොගෙන ඉන්නේ.


 


ආදරේ කරන ඔබේ ප්‍රේමාන්විත රංගනයට ඊර්ෂ්‍යාවෙන් ඔබත් එක්ක රණ්ඩු කරපු අවස්ථා එහෙමත් ඇති..?


නිශාන්ත කවදාවත් රණ්ඩු කරලා නැහැ, නමුත් මාත් එක්ක ලොකේෂන්වලට ගියාම මම ආදරණීය සීන් කරනකොට එයා පේන්න ඉන්නේ නැහැ. හිමින් සීරූවේ මෙයා පැත්තකට ගිහින්. මම ඒක දැකලා තියෙනවා එයා එහෙම හැසිරෙනවා. ඒ ගැන මම අහල තියෙනවා . එතකොට එයා කියන්නේ හිත රිදිම් නිසා එහෙම හැංගිලා හිටියා නෙමෙයි ඔයා හරියට රඟපාන්නේ නැති වෙයි කියලා මට දැනෙන නිසා මම එතැනින් ඉවත් වුණා කියලා. මම අඬන දර්ශන දකින්න නම් එයා කොහොමත් කැමති නැහැ. ටිවී එකේ යන නාට්‍යක මම අඬන දර්ශනයක් තිබ්බත් එයා වෙනස් වෙනවා.


 


ගායිකාවක් හැටියට ලංකාවෙ වටෙටත් ලෝකේ වටෙත් යන නිසාද සැමියාට රැකියාවෙන් ඉවත් වෙන්න සිදු වුණේ?


නිශාන්ත කවදාවත් රස්සාවක් කරපු කෙනෙක් නෙමෙයි. එයාගේ වතුපිටින් වලින් එන ආදායම තමයි එයාගේ ආදායම් මාර්ගය වුණේ. වෙන කිසිම රස්සාවක් කළේ නැහැ. නමුත් රට ගියා. එයා රට ගිහින් ආවේ මාව නැතුව එහේ ඉන්න බැහැ කියලා.


 


මුතූගේ ලස්සන හා රංගන හැකියාව පුංචි තිරයට විතරක් සීමා වෙලා, රිදි තිරයට ඇරයුම් නැද්ද දැන් ..?


මම සිනමා නිර්මාණ දහයක් කරලා තියෙනවා, දහවෙනි නිර්මාණය ළඟදි තිරගත වෙයි. පළමු නිර්මාණය සෙව්වන්දි. සිනමාවට ගොඩක් ඇරයුම් ලැබුණත් මම භාර ගත්තේ නැහැ. නාට්‍ය වගේ නෙමෙයි සිනමා නිර්මාණ භාර ගනිද්දි මම පිටපත හොඳට බලනවා. මට ගැළපෙන්නේ නැත්තම් මම අකමැති වෙනවා. තවම නම් ඇරයුම් ලැබෙනවා සිනමාවට වගේම පුංචි තිරයට.


 

රඟපාලා ගන්න මුදල් ඇතිද දැන් රටේ තිබෙන ආර්ථිකයත් එක්ක ජීවිතේ ඉදිරියට ගෙන යන්න ..?


දැන් තියෙන ආර්ථිකයත් එක්ක කොහොමත් රඟපාලා ගන්න මුදල්වලින් ජීවත් වෙන්න බැහැ. ඒ නිසා තමයි අමතර ආදායම් මාර්ගවලට යොමු වෙන්නේ. අපිත් අලුත් ව්‍යාපාරයක් පටන් ගත්තේ ඔය හේතූ නිසා. දැන් ගොඩක් කලාකරුවන් ව්‍යාපාරවලට යොමු වෙලා ඉන්නේ ඒකයි. සයිඩ් බිස්නස් එකක් තියෙන්න ඕන. ඒක ඇත්තටම හයියක්. නැත්තම් කොහොමද රඟපාලා විතරක් ගන්න මුදල්වලින් ජීවත් වෙන්නේ. ඒක කාටත් අමාරු අවස්ථාවක් කියලයි මම හිතන්නේ.






Previous Post Next Post