ගොඩක් වෙලාවට මිනිස්සු මම දිහා බලන්නේ වෙනස් කෝණයකින්-හස්ත කළණ



කාලයෙන් කාලයට කරළියට පැමිණෙන විවිධ කාන්තා චරිත අනුකරණය කරමින් මුවඟට සිනහව නංවන කෙල්ලෙක් වගේ රඟපාන අපූරු කොල්ලෙක් ගැන රස තොරතුරු ඔබට කියන්නට අප හිතුවා. ඔහු වඩාත් සුවිශේෂ වන්නෙ ඇතැම් කාන්තා චරිත සමඟ ඔහුගෙ මුහුණත් මැවී පෙනෙන තරමටම ඔහු එකී රංගනය සජීවීව ඉදිරිපත් කරන නිසයි. ඔහු හස්ත කළණ කොළඹගේයි.


 

ඔබ වෘත්තිමය යූ ටියුබර් කෙනෙක්ද? නැත්නම් වෙනත් වෘත්තිකයෙක් ද?


මම මේ වන විට ව්‍යාපාර දෙකක් කරගෙන යනව‍. ඒ වගේම රූපලාවණ්‍ය පිළිබඳ වැඩිදුර හැදෑරීමට මම මේ දිනවල විදේශගත වී සිටිනවා. එකී ව්‍යාපාර කටයුතු කරන අතරවාරයේදීයි මම වීඩියෝස් කරන්නේ.


යූ ටියුබර් කෙනෙක් ලෙස ගොඩනැඟීමට මුල් වස්තුබීජය පැළ වෙන්නෙ කොහොමද?


නව නර්තන ශිල්පියෙක් ලෙස 2014 සිරස ඩාන්සින් ස්ටාර් සීසන් 3 තරගාවලියට සහභාගි වෙලා අවසන් 40 දෙනා දක්වාම පැමිනුණා. එහිදී විවිධ ප්‍රවීණ නර්තන ශිල්පීන් සමඟ උරෙනුර කටයුතු කිරීමට මට අවකාශය ලැබුණා. ඒ අතරතුර උසස් පෙළ නිම කිරීමෙන් පසුව මම රැකියාවක් කළා. 2017 දී පමණ මම වීඩියෝ කරන්න පටන් ගත්තා. 2018දී කුඩා කාලයේ සිට හැකියාවක් තිබූ අනුකරණය කිරීමේ හැකියාව තුළින් වීඩියෝස් කරන්න පටන් ගත්තා. පිරිමියෙක් විදියට තව පිරිමියෙකු අනුකරණය කිරීමට මට හැකියාව තිබුණා. ඒ වගේම ඉන් එහාට මගේ හැකියාව ප්‍රසාරණය කර කාන්තාවන් අනුකරණය කිරීමටත් මම පෙලඹුණා. 2018දී අරා ඇන්ඩ් පැස්බරා වැඩසටහනේ හඬපටයක් අනුකරණය කිරීමෙන් එය වෛරල් වුණා. එකී මුල් වස්තු බීජයයි මේ තරම් දුරකට මාව රැගෙන ආවේ.


 

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බොහෝමයක් අතරින් හස්ත කොළඹගේ කැපී පෙනෙන්නේ කොහොමද?


යූ ටියුබර්ස්ලා බොහොමයක් අනුකරණය කරනවා වගේ ප්‍රහසන කාර්යයට යොමු වී තිබෙනවා. නමුත් ඒ අතරින් මගේ වීඩියෝස් කැපී පෙනෙන්නේ මගේ අනුකරණයන් යථා ස්වභාවයට හොඳින් ගැළපෙන නිසයි. මම කරන දේ හරියට කරන කෙනෙක්. ඒ නිසා මට ගොඩක් දෙනෙක් කැමතියි. ඒවගේම ආදරෙයි.


 

ඔබ ලංකාවේ ප්‍රබල කාන්තා චරිත හරි අපූරුවට අනුකරණය කරනවා. ඔවුන්ගෙන් බලපෑම් තර්ජන ඔබට එල්ල වී තිබෙනවා ද?


මේ වන තෙක් කාගෙන්වත් තර්ජන එල්ල වෙලා නැහැ. බොහොමයක් දෙනා මා සමඟ බොහොම සුහදශීලියි. ඒත් එකී ප්‍රබල චරිතවලින් පරිබාහිර යම් යම් කණ්ඩායම් මඟින් විවිධ තර්ජන මට එල්ල කර තිබෙනවා. යම් කොටසකට මගේ ප්‍රසිද්ධිය නුහුලන නිසා විවිධ අපහසුතාවයන්ට මම පත්වුණා. එකී බලපෑම් කණ්ඩායම් හා කාන්තා චරිත අතර කිසිදු සම්බන්ධයක් නැහැ.


 

ගීතා කුමාරසිංහ මහත්මියව ඔබ හරි අපූරුවට අනුකරණය කරනවා. ඇයව යම්දිනක ඔබට සජීවීව මුණගැසී තිබෙනවා ද


ගීතා කුමාරසිංහ මහත්මියට මම පෞද්ගලිකව ලොකු ප්‍රියත්වයක් දක්වනවා. මට ඇයව ළඟින් ඇසුරු කිරීමට අවස්ථාව ලැබිල නැහැ. නමුත් ඇයව මුණගැසීමට තිබූ අවස්ථා කිහිපයක්ම විවිධ වැඩ කටයුතු නිසා මට මඟ හැරුණා.


 

අනුකරණය කිරීමේ සහජ හැකියාව නිසා වැඩ වැරදුණු අවස්ථාත් තියෙන්න ඇති නේද?


වැඩ වැරදුණු අවස්ථාත් බොහොමයක් තිබුණා. බොහෝමයක් එවැනි අවස්ථා සිදුවුණේ පාසල් කාලයේදී ‍යි. ගුරුවරුන්ට අගෞරව කිරීමේ පරමාර්ථයෙන් නොවුණත් යම් විනෝදජනක අවස්ථාවල ඔවුන්ව අනුකරණය කරලා ගුටිකාපු අවස්ථා වගේම දණගහපු අවස්ථාත් තිබුණා.


 

නර්තන ශිල්පියෙක් ලෙස ඔබ කලාවට පිවිසුණත් එකී අපූරු නර්තන ශිල්පියාව දැන් ඔබෙන් ගිලිහිලා නේද?


මං මගේ භූමිකාව ගොඩනඟා ගන්නේ නර්තන ශිල්පියෙක් විදිහටයි. නර්තනය පාසල් කාලය තුළ මං ගොඩනඟාගත් වගේම වැඩිදියුණු කරගත් දක්ෂතාවයක්. යූ ටියුබර් කෙනෙක් ලෙස දිගු ගමනක් යෑමට මට හැකි වේවි යැයි මං හීනෙකින්වත් හිතුවේ නැහැ. මං වෙස් බැන්ද නර්තන ශිල්පියෙක්. රූපවාහිනිය තුළ බොහෝ දෙනෙකුගේ නර්තන හැකියාවන් දකිනකොට මට මාව මතක් වෙනවා. ඒ වගේම සියුම් දුකක් සිතට දැනෙනවා. නමුත් ඉදිරියේදී මගේ දක්ෂතාවලින් ඉදිරියට යෑමට සැලසුමක් තිබෙනවා. මේ දිනවල මම ඊට සූදානම් වෙනවා.


 

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පුද්ගලයෙකු ලෙස ඔබ සැබෑ කරගත්තේ රංගන ශිල්පියකු වීමේ ආසාව ද?


රංගන ශිල්පියෙක් වෙනවට වඩා හොඳ නර්තන ශිල්පියෙක් වීමේ ආසාවයි මට තිබුණේ. දක්ෂ වගේම කැපී පෙනෙන නර්තන ශිල්පියෙකු ලෙස ඉදිරියට ඒමට සිහිනයක් මට තිබුණා. ඒ නිසා ජාත්‍යන්තරයේ දක්ෂ නර්තන ශිල්පීන්ගෙ නර්තන වින්‍යාස ගොඩනඟාගත් ආකාරය වගේම ඔවුන් ජනප්‍රිය වූ ආකාරය පිළිබඳව වැඩි විස්තර මම නිතරම සොයා බැලුවා. නමුත් නොසිතූ ලෙස සමාජ මාධ්‍ය තුළින් ජනප්‍රිය වූ නිසා ඒ ඔස්සේ මම ගමන් කළා.


 

ටෙලිනාට්‍යවලට හෝ චිත්‍රපටිවලට ඔබට ආරාධනා ලැබි තිබෙනවා ද?


ටෙලි නාට්‍යයකට වගේම චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. චිත්‍රපටය රූගත කිරීම් අදාළ කාලසීමාවේ සිදු නොවී තරමක් කල් ගියා. ආරාධනා කළ චරිතය පිළිබඳ පැහැදීමක් නොමැති නිසා ටෙලි නාට්‍යයට ලැබුණු ආරාධනාව බැහැර කළා.


ඔබ කාන්තා භූමිකාවන් වැඩි වශයෙන් සිදු කරන නිසා ලිංගිකත්වය පිළිබඳ යම් යම් ගැටලු පැනනැඟුණේ නැද්ද?


ඔව්, ගොඩක් වෙලාවට මිනිස්සු මං දිහා බලන්නේ වෙනස් කෝණයකින්. ඔවුන් යම් විනිශ්චයන්වලට එළැඹෙන්නේ මම වීඩියෝවල රඟ දක්වන ස්වරූපය අනුවයි. මම වීඩියෝ කළ මුල් කාලෙදි මිනිස්සු බොහොමයක් කටකතා පැතිරුවා. ඒ වගේම විවිධ ප්‍රශ්න කිරීම් කළා. කාලයක් සමඟ එකී තත්ත්වය යම් තරමකට සමනය වී තිබෙනවා. නමුත් තවමත් එකී ගැටලුකාරී තත්ත්වය සුළු වශයෙන් හෝ තිබෙනවා.


 

හස්ත දැන් පෙම්වතෙක් ද?


තවම නම් නැහැ.


 

ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?


මගේ ව්‍යාපාර දියුණු කරගෙන, සමාජයේ දුක් විඳින අසරණ මිනිසුන්ට උදවු කරගෙන මේ ඉන්න විදියටම සතුටින් සිටීමයි එකම බලාපොරොත්තුව.


 


 





Previous Post Next Post