මං පුළුවන් තරම් උත්සාහ කළා හිරිමලාම වෙන්න -රවීන් කණිෂ්ක



මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ක්ෂීර සාගරය කැලඹිණ නවතම සිනමාපටයේ සුවිශේෂී රංගනයක යෙදෙන රවීන් කණිෂ්ක මේ දිනවල ප්‍රේක්ෂක අවධානය දිනාගත් නව පරපුරේ රංගන ශිල්පියෙකි. රියැලිටි වැඩසටහනක් ඔස්සේ කලාවට පිවිසි රවීන් ගායනය, රංගනය, නර්තනය මෙන්ම නිවේදනයේ ද දස්කම් පාමින් කලාවේ සියලු පැතිකඩ ස්පර්ශ කරමින් සිටියි. දෙවෙනි ඉනිමේ අනුහස් ලෙසින් වසර ගණනාවක් තිස්සේ ජනප්‍රියම නළුවා වූ ඔහු අද අපේ කතාබහට එක්කර ගත්තේ “හිරිමලා” ගැන විමසීමේ අදහසිනි.


 රවීන් කණිෂ්ක කියන්නෙ මේ දවස්වල විශේෂයෙන් කතාබහට ලක්වන චරිතයක්. මොකක් ද මේ හිරිමලාගෙ කතාව?


හිරිමලා කියන්නේ මේ දවස්වල ප්‍රදර්ශනය වන මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ක්ෂීර සාගරය කැලඹිණ සිනමාපටයේ මට ලැබුණු චරිතය. ඇත්තටම ඒක විකල් හිරිමලා. ඒ කියන්නේ මනස අවුල් වෙච්ච තරුණයෙක්. පොඩි කාලෙදි මොකක් හරි මානසික ප්‍රශ්නයක් නිසා කැලේ අතෑරලා දාල ගිහින් ඉන් පස්සේ හමුවන තෙරුණ් වහන්සේ කෙනෙකු නිසා තරමක් සුවපත් වන චරිතයක්. ලොකු කාලයක් දුවන්නෙ නැති වුණත් ඒ ලැබුණු කාලය තුළ හිරිමලාට යම් කිසි දෙයක් කරන්න පුළුවන් වුණා කියලයි මට හිතෙන්නේ. විකල් හිරිමලා ලෙසින් අධිරාජයා හමු වන අවස්ථාව වගේම සුව වූ පසුව අධිරාජයා හමු වන අවස්ථාව විදිහට කොටස් දෙකකටයි මේක රූගත කළේ. දුනුකාර කුලේ දුනුකාර පරපුරකින් පැවත එන දඟකාර, කෙළිලොල් ඒ වගේම සංවේදී, කවිය, නැටුම එක්ක නිතර ගැවසෙන අමුතුම කෙනෙක් තමයි හිරිමලා. එයත් එක්ක මට කරන්න ගොඩක් දේවල් තිබුණා. ඒක නරඹද්දි මට හිතුණා තවත් මට ඒකට දේවල් කරන්න තිබුණා නම් හොඳයි කියලත්.


ඒ කියන්නේ විකල් හිරිමලා සාමාන්‍ය චරිතයක් නෙවෙයි. මේක ඔබේ කුලුඳුල් සිනමා අත්දැකීම. ඒක ඔබට මේ වගේ අභියෝගයක් වෙද්දි බයක් හිතුණෙ නැද්ද?


මීට කලින් මට සිනමා නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒත් මොකක්දෝ හේතුවකට මෙතෙක් කරපු චරිත එක්ක ඊළඟ චරිතය මොන වගේ වෙයිද කියන අනාරක්ෂිත හැඟීම මට තිබුණා. ඒත් මං පොඩි කාලෙ ඉඳන්ම හොයපු, දැනගෙන හිටපු සිනමාකරුවො කිහිප දෙනෙක් තමයි මහාචාර්යතුමා, ජැක්සන් සර්, හේමාල් අයියා කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රිය කියන්නේ. මේ අයගෙ වැඩ කරපු නිර්මාණ එක්ක එයාල කොතරම් සාර්ථකව මේ කලාව තුළ නියැළෙනවද කියන එක මං දැනගෙන හිටියා. ඒ නිසා ඒ අය එක්ක වැඩ කරන්න ලැබීමම ප්‍රමාණවත්. ඒක ඇතුළෙ කරන්න තියෙන්නෙ මොකක්ද කියන එකවත් මට කාරණාවක් වුණේ නැහැ. එයාල එක්ක නම් මේ වැඩේ කරන්නෙ මේ චිත්‍රපටය සාර්ථක වෙනව කියන විශ්වාසය මට තිබුණා. ඒ නිසා මං කිසි බයක් නැතුව මේකට ගියා



ඔබේ ප්‍රථම සිනමා අත්දැකීම විකල් හිරිමලා කියන්නෙ වෙනස්ම චරිතයක්. කොහොමද ලැබෙන ප්‍රතිචාර?


මෙතෙක් කල් හැමෝම මාව දැක්කෙ හොඳ අම්ම කෙනෙක්ගෙ හොඳ පුතෙක් විදිහටනේ. නමුත් විකල් හිරිමලා තුළින් රසිකයන්ට දැකගන්න ලැබෙන්නේ රවීන්ගේ වෙනස්ම රංගන පරාසයක්. රූගත කිරීම් පටන් ගත්ත දවසෙ ඉඳන් අපේ මහාචාර්යතුමා, ජැක්සන් සර් වගේම අපේ තාක්ෂණික අංශයේ ශිල්පීන්ගේ ඉඳන් අද එළියෙ මේක බලන අය දක්වා මට ලැබුණෙ හොඳ ප්‍රතිචාර විතරයි. මේක මගෙත් පළමු අත්දැකීම. ඒකත් මං හිටපු පසුබිමත් එක්ක මට අත පොවන්න පුළුවන් සීමාවෙ කට්ටිය එක්කත් නෙවෙයි. ඒ ගැන හරිම සතුටුයි. චිත්‍රපටය තුළ මං මොකක් හෝ යමක් කරල තියෙනව කියන එක තේරෙනව ලැබෙන ප්‍රතිචාරවලින්.


සයිමන් නවගත්තේගමයන්ගේ නව කතාවක් ඇසුරෙන් කළ නිර්මාණයක්. චිත්‍රපටය තුළ හිරිමලා සුවිශේෂී චරිතයක්. තිර පිටපත රචනා වෙද්දි දෙබස් ගී යොදමින් හිරිමලාගෙ චරිතයට නව ජීවයක් දීලා වර්ණවත් කළා කියලත් ආරංචියි?


ඒකෙ සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕන සුනිල් සර්ටයි ජැක්සන් සර්ටයි. එයාල තමයි නිර්මාණශීලි විදිහට, දැනෙන විදිහට මේක නිර්මාණය කළේ. මං පුළුවන් තරම් උත්සාහ කළා ඔවුන්ගේ හිතේ ඉන්න හිරිමලා වෙන්න. වෙන නමකින් වෙන විදිහකට මෙහෙම චරිතයක් නියෝජනය වෙනව කියන එක විතරයි නවකතාවෙ තියෙන්නේ. මනෝ රූපයක් මවලා තිර රචනය සහ දෙබස් යොදලා ඒ චරිතය වරනැඟුවේ ජැක්සන් සර්. ඒ සඳහා මාව තෝරගත්තට ඔවුන්ට මං ස්තුතිවන්ත වෙනවා. මං ළඟින් ම ඇසුරු කරන අය ඒත් කියනව මේ චිත්‍රපටියෙ ඔයාට විශේෂයෙන් කරන්න දෙයක් තිබිලම නෑනෙ කියලත්.


ඔබට විකල් හිරිමලා වෙන්න අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?


මහාචාර්යතුමා මීට කලින් රූගත කළ කදිර දිව්‍ය රාජ චිත්‍රපටයේ යුග ගීතයකට මට කතා කළ වෙලේ තමයි මං කිව්වෙ “සර්ගෙ අලුත් වැඩක් එන්නෙ නැද්ද? මං හරි ආසයි සර් එක්ක වැඩක් කරන්න” කියලා. ඒක මතක තිබිලද කොහෙදෝ දවසක් සර් මට කතා කරලා කිව්වා මගේ අලුත් චිත්‍රපටියේ ඔයාට චරිතයක් තියෙනවා කියලා. ඒ වෙලාවෙ සතුටටම මං කිව්ව චරිතෙ ගෝරිල්ලෙක් වුණත් කමක් නෑ සර්, මං එනව කියලා. ඒ වගේම තමයි ඔය කදිර දිව්‍ය රාජයා චිත්‍රපටයෙ යුග ගිතයට කතා කළෙත්. එදා මං පිටරට සංචාරයක් ගිහින් එන ගමන් එයාර්පෝට් එකේදි තමයි සර්ගෙන් කෝල් එක ආවෙ. “රවීන් මගේ අලුත් චිත්‍රපටියෙ සිංදුවක් කියා ගන්න තියෙනවා පුළුවන් ද?“ ඇහුවා. මං කිව්ව අනිවාර්යෙන් කියන්නම් සර් කියලා. ඒ පාර සර් ඇහුව කීයක් ඕන ද? කියලා. මං ඇහුවා සර්ට කීයක් ඕනද? මාව මේකට ගන්නවට කියලා. ඒ වගේ හරි සුන්දර මනුස්සයෙක් එක්ක වැඩ කරන්න ලැබීම මගේ වාසනාවක්. මං හැම වෙලේම ප්‍රවීණයන්ගේ ඇසුර, ආශීර්වාදය ප්‍රිය කරපු කෙනෙක්. අද මං යම්තැනක ඉන්නව නම් එහෙම අයගේ ඇසුර ආශීර්වාදය ලැබුණු නිසා. ඒක මගේ වාසනාවක්.


මහාචාර්යතුමා වගේම ජැක්සන් සර් තමයි ඔබේ චරිතය ගොඩනැඟුවේ. දර්ශන තලයෙදි ඔවුන්ගෙන් ලැබුණු සහාය කොහොමද?


මේ චිත්‍රපටය බලද්දි මට තිරය පිටුපස වුණු පුංචි සිදුවීම පවා මතක් වුණා. එක චිත්‍රපටයක් මගෙ ඇස් ඉස්සරහ ප්ලේ වෙද්දි තව චිත්‍රපටියක් මගේ මනසෙ ප්ලේ වෙන්න පටන් ගත්තා හැම දර්ශනයක් ගානෙම. දර්ශන තලයේ වුණු හැම දෙයක්ම දන්නෙ අපි. ඒක හරි සතුටක්. වැඩි හරියක්ම මට මඟපෙන්නුවේ ජැක්සන් සර්. “හිරිමලා මෙන්න මෙහෙම හැඩයක් තියෙන මෙන්න මෙහෙම එකෙක්” කියන එක ඔහු මට ඔළුවට දුන්නා. ඒක ක්‍රමානුකූලවයි කළේ. එක තැනකදි ඔහු මාව අතාරිනවා. ඒ බොහොම හොඳ විදිහට. ඔහුට තේරුණා ඔහුගේ මඟ පෙන්වීම අරගෙන මං මාව ගොඩනඟා ගන්නව කියන එක. ඔහු ඈතින් ඉඳන් මා දිහා බලාගෙන හිටියා. මේ චරිතය ගොඩනඟන්න මං ගොඩක් අත්හදා බැලීම් කළා. වෙලාව ගත්තා. ඒත් ඔවුන් මට වචනයකින්වත් බාධා කළේ නෑ. ඔවුන් මා ගැන තිබ්බ විශ්වාසය ගැන මං අගය කරනවා






Previous Post Next Post