මම නම් කවදාවත් අලුත් දරුවන්ව විවේචනය කරන්නේ නැහැ-ගංගා ජීවනී




වේදිකා නාට්‍ය හරහා කලා ක්‍ෂේත්‍රයට පිවිසි ඇය ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකි. ජානු සහ ශක්ති වැනි ටෙලිනාට්‍ය තුළින් සහ බැංකු වීරයා වැනි වේදිකා නාට්‍ය තුළින් ඔබ හමුවට පැමිණෙන ඇය රංගන කෞෂල්‍යයෙන් සපිරි රංගන ශිල්පිනියකි. නමින් ඇය ගංගා ජීවනී වැලිවත්ත. 


කොහොමද ඉතින් ජීවිතේ?


සුපුරුදු පරිදි ටෙලිනාට්‍ය රූපගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. කාලයක ඉඳන් කරන්න හිතාගෙන හිටපු වැඩක් මේ දවස්වල ආරම්භ කරලා තිබෙනවා. මගේ කවි ඇතුළත් කරල කවි පොතක් නිර්මාණය කරන්න බලාපොරොත්තුවක් තිබුණා. මේ දිනවල ඒ වෙනුවෙන් කාලය ගතකරනවා. ඒ අතරතුර නිවසේ වැඩකටයුතුත් කරගෙන ඉන්නවා.


මේ දිනවල නිරතවෙන කලා කටයුතු ගැන කතා කළොත්?


ජානු ටෙලිනාට්‍යය සහ ශක්ති ටෙලිනාට්‍යයට සම්බන්ධවෙලා ඒ කටයුතු කරනවා මේ දවස්වල. ඊට අමතරව කපිල කුමාර කාලිංගගේ බැංකු වීරයා වේදිකා නාට්‍යය මේ දිනවල වේදිකාගත වෙනවා. තවත් වේදිකා නාට්‍යකට සහ නාට්‍ය වැඩමුළුවක් ආරම්භ කරලා තිබෙනවා. එයටත් ඉදිරියේදී සම්බන්ධවීමට බලාපොරොත්තු වෙනවා. මම නිර්මාණය කළ චිත්‍රපට තිර පිටපත් කිහිපයක් තිබෙනවා. ඉතින් මගේම චිත්‍රපටයක් නිර්මාණය කරන්නත් මේ දිනවල සූදානම් වෙමින් සිටිනවා.


ඔබ මෙතෙක් පැමිණි කලා ගමන්මඟ ගැන කෙටියෙන් ආවර්ජනය කළොත්?


මම මේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ නිළියක් වීමේ බලාපොරොත්තුවෙන් නොවේ. මම ක්ෂේත්‍රයට ආවේ සහාය අධ්‍යක්ෂණය, තිර පිටපත් රචනය යනාදියෙන් ඉදිරියට යන්න හිතාගෙන. මොකද මම ඉගෙනගෙන තිබෙන්නෙත් ඒ පිළිබඳව. මට අවශ්‍ය වුණේ ගවේෂණාත්මක පසුව යොවුන් සේවා සභාව හරහා ටෙලිනාට්‍ය කලාව පැත්තට යොමුවුණා. පසුව සෝමවීර සේනානායක මහතා මාව සම්බන්ධ කළා නාලන් මෙන්ඩිස් මහතාගේ දූ දරුවෝ ටෙලි නාට්‍යයේ දෙවැනි සහාය අධ්‍යක්ෂණයට. එතැනින් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. නාලන් මෙන්ඩිස් මහතා යටතේ වැඩ කිරීමට ලැබීම භාග්‍යයක්. ඒ අතරවාරයේ මට උපාලි අත්තනායක මහතා මුණගැහෙනවා. ඔහු “මේක යස කතාවක්” වේදිකා නාට්‍යයට මට කතාකළා. නමුත් දූ දරුවෝ නාට්‍යයේ කාර්යබහුලත්වය සමඟ මට එයට සම්බන්ධ වෙන්න නොහැකිවුණා. පසුව රංජිත් ධර්මකීර්ති මහතාගේ “මේඝ” වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මට එහි ලැබුණ චරිතය වයස අවුරුදු අසූවක පමණ මහලු කාන්තාවකගේ චරිතයක්. මට ලැබුණු ඒ පළමු වැනි වේදිකා නාට්‍යම මට සාර්ථකව සිදුකරන්නට හැකිවුණා. ඒ වසරේ හොඳම සහාය නිළියට හිමි ඇගයීමටත්  ලක්වුණා. සමන් පුෂ්පකුමාර මහතාගේ මැක්බර්ත් වේදිකා නාට්‍යයට සම්බන්ධවෙලා ජූරියේ විශේෂ සම්මානයට පාත්‍ර වුණා. වේදිකා නාට්‍ය කලාවේ තවමත් කතාබහට ලක්වන වේදිකා නාට්‍යයක් වන රොජර් සෙනෙවිරත්න මහතාගේ “පස්වැන්නා” නාට්‍යයට සම්බන්ධ වීමට ලැබීමත් මා ලැබූ විශාල භාග්‍යයක්. එහි මුල් නිර්මාණය ඇල්බෙයා කැමූගේ කලිගියුලා වේදිකා නාට්‍යය. මෑතක තිරගත වූ කලිගියුලා නාට්‍යයෙත් ප්‍රධාන චරිතය මම රඟපෑවා. අශෝක හඳගම මහතාගේ අක්ෂරය සිනමා නිර්මාණයට සහභාගි වුණා. එහෙම ආපු ගමන් මග තමයි තවමත් ගලාගෙන යන්නේ.


ප්‍රවීණ රංගන ශිල්පිනියක් ලෙස ආධුනික කලා ශිල්පීන් සමඟ කටයුතු කිරීම ඔබට දැනෙන්නේ කොහොමද?


දැන් මට ගොඩක් වෙලාවට රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ ආධුනික දරුවොත් සමඟ. අපි හරිම සහයෝගයෙන් කටයුතු කරනවා. සමහරු මම දකිනවා අලුත් පරම්පරාවේ අයව විවේචනයට ලක්කරනවා. මම නම් කවදාවත් අලුත් පරම්පරාවේ තරුණ දරුවන්ව විවේචනය කරන්නේ නැහැ. මොකද මම තාමත් හිතින් ජීවත්වෙන්නේ මගේ තරුණ කාලයේ. මම හරිම ආදරෙයි මමත් සමඟ රඟපාන තරුණ දරුවන්ට.


කපිල කුමාර කාලිංග විසින් නිර්මාණය කළ බැංකු වීරයා ගැනත් කතා කරමු?


ඔව්. ඒ නාට්‍යයේ මගේ චරිතය බැංකු සේවිකාවකගේ චරිතයක්. එය ස්වතන්ත්‍ර නාට්‍යයක්. ඒ චරිතය සාමාන්‍ය ගැහැනියකගේ චරිතයක්. බැංකුවක් මංකොල්ලකෑමට ලක්වූ විට එහි සේවය කරන සාමාන්‍ය මිනිසුන් ක්‍රියාකරන ආකාරය තමයි ඒ නාට්‍යයෙන් නිරූපණය වෙන්නේ.


දේශපාලන ක්‍රියාකාරිනියක් ලෙස තවමත් ඔබ සක්‍රියව කටයුතු කරනවද?


ඇත්තටම නැහැ. ලංකාවේ දේශපාලනය ගැන තිබෙන්නේ ලොකු කලකිරීමක්. කිසිම කෙනෙක් තමන් පෙන්වන දේ නෙමෙයි ඇතුළතින් ක්‍රියාකරන්නේ. කියන තරමට වාමාංශික නම් මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට විස¾දුම් හොයන්න ඕන. එහෙමනම් රට මේ තරම් අගාධයකට පත්වෙන්නේ නැහැ. අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය වෙලාවට කටයුතු නොකිරීම සහ රට පාලනය කරන ප්‍රධානීන්ට සහයෝගය ලබාදීම නිසා තමයි මෙතරම් විශාල ඛේදවාචකයකට රට මුහුණ දී තිබෙන්නේ.


වර්තමාන ආර්ථික, සමාජ තත්ත්වය කලාකරුවන්ට බලපා ඇත්තේ කෙසේද?


ඒ තත්ත්වය කලාකරුවන්ට තමයි වැඩිපුරම බලපාන්නේ. හඬකැවීම් ශිල්පීන්ට විශාල ලෙස මේ ආර්ථික කඩාවැටීම බලපානවා. මොකද අපි සිදුකරන හඬකැවීම් නිර්මාණවලට ගෙවීම් ලැබෙන්නේ තැපෑලටත් වඩා මන්දගාමීව. අවුරුදු දෙකකට විතර කලින් සිදුකළ නිර්මාණවලට අපට දැන් තමයි ගෙවීම් ලැබෙන්නෙත්. මිනිස්සුන්ට රුපියල් දාහක් වියදම් කරල වේදිකා නාට්‍යයක් නරඹන්න යන්න හැකියාවක් නැහැ. මොකද ඊට වඩා වියදම් කළ යුතු දේවල් මිනිස්සුන්ට තිබෙනවා. අපිට සිදුකරන ගෙවීමට වඩා වැඩි කාර්යභාරයක් අපි කරනවා. දැන් මේ කර්මාන්තය සඳහා ගෙවීම් කරන්නේ කම්කරුවන්ට ගෙවන ආකාරයෙන්. වෙළෙඳ දැන්වීම්වලදී පවා අපට ගෙවන ගෙවීම් දැන් හරිම අඩුයි. එයාලා විශාල ලෙස ලාභ ලැබුවත් ඇයි අපට තුට්ටු දෙකක් ගෙවන්නේ? මෙවැනි තත්ත්ව නිසා තමයි කලාව මේ තරමට පිරිහෙමින් තිබෙන්නේ. වෙළෙඳ දැන්වීම් කලාව තුළ අපට විශාල ගරුකිරීමක් අතීතයේ ලැබීම ගැන ඇත්තටම සතුටුයි. නමුත් මේ වනවිට ඒ තත්ත්වය ගිලිහී ගොස් තිබෙනවා. වර්තමානයේ කිසිම හැදෑරීමක් නැතුව ක්ෂේත්‍රයට එන පිරිසක් ඉන්නවා. අවුරුදු කුමාරයෙක් කුමාරියක් වුණ නිසා රංගන ශිල්පියෙක් ශිල්පිනියක් වෙන්න බැහැ. ඒකට හොඳ හැදෑරීමක් තිබිය යුතුමයි. ආර්ථිකයක් නැති රටක කලාව විතරක් රැඳිල තිබේවිද කියන ප්‍රශ්නය මතුවෙනවා. කලාව රසවිඳින්න නම් මිනිසෙක් ආර්ථික අතින් ශක්තිමත් විය යුතුයි. කලාව රැඳිල තිබෙන්නේ ධනපතියන් අතර යනුවෙන් කාල් මාක්ස් සඳහන් කරල තිබෙනවා. ඒකට හේතුව ධනපතියන්ට ආර්ථික ප්‍රශ්න නැහැ. ඔවුන්ට නිදහස් මනසකින් ඕනෑම නිර්මාණයක් රසවිඳීමේ හැකියාව තිබෙනවා.


මොනවද ඔබේ ඉදිරි බලාපොරොත්තු?


මගේ හීනයක් තිබුණා දවසක මම රචනා කළ තිර පිටපතකින්  සිනමා නිර්මාණයක් කරන්න. ඒ හීනය කොහොමහරි සැබෑ කරගැනීම තමයි බලාපොරොත්තුව.


චතුරිකා රාජපක්ෂ




Previous Post Next Post