අපි නිතර රණ්ඩු වෙන්නෙ ඇඳුම්වලට-පියුමාලි එදිරිසිංහ



මේ සොදුරු කතාබහට අපි එකතු කර ගත්තේ පුංචි තිරයට එන අලුත්ම රුවැත්තියකට. ඇය නමින් පියුමාලි එදිරිසිංහ. 2016 වසරේ අවුරුදු කුමරියක් ලෙස පාසල් යන වියේදිම අබිසෙස් ලබන්නට ඇය වාසනාවන්ත වුණත් පාසල් අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දුන් නිසා කලාවට නැවත සම්බන්ධ වෙන්නෙ 2022 වසරේ පටන්, ඒ වෙළෙඳ දැන්වීම් හරහා. මේ වෙද්දි ඇය ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අලුත්ම ටෙලි නාට්‍යය වන “ආලවන්තී“ හි ප්‍රධාන භූමිකාවට ජීවය දෙනවා. ළඟදිම පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් අතරට එන්න පෙරමං බලන පියුමාලි ඒ ගැන පුවත්පතකට ලබා දුන් මුල්ම ලිපියයි මේ.


 මුලින්ම පියුමාලි ගැන විස්තර ටිකක් කිව්වොත්


මගේ නම පියුමාලි ප්‍රසාදනී එදිරිසිංහ. ගම මල්වාන. මගේ පවුලේ ඉන්නෙ අම්මා තාත්තා සහ නංගිලා දෙන්නයි මමයි. තාත්තා යුද හමුදාවේ සේවය කරන්නෙ. ලොකු නංගි නම් උසස් පෙළ කරලා ඉවරයි. පොඩි නංගි අපිට වඩා ගොඩක් බාලයි. එයා තාම පාසල් යනවා.


පාසල් යන කාලේ පටන් කලාවට ලැදිද?


මම ඉගෙන ගත්තේ සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලයේ.


පුංචි කාලේ ඉඳන්ම නර්තනය හැදෑරුවා. පාසලේ තියෙන හැම ප්‍රසංගයකම වගේ නර්තන අංගවල මේන් ඩාන්සර් විදියට ඉදිරිපත් වෙලා තියෙනවා.


ඔබ කවදාහරි කලා ක්ෂේත්‍රයට එන්න ආස කළාද?


කලාවට කියන්නෙ මගේ කැමැත්ත තිබ්බෙ නර්තනයට. ඒ නිසා කවදා හරි නර්තන ක්ෂෙත්‍රයේ ඉදිරියට එන්න ආස කළා.


පියුමාලි ගෙදර ලොකු දුව, කොහොම චරිතයක් ද?


දඟකාර චරිතයක්. ලොකු නංගි එක්ක පොඩි කාලේ රණ්ඩු වෙන්නෙ ඇඳුම්වලට තමයි. දෙන්නටම එකම වගේ ඇඳුම් නැත්නම් රණ්ඩු වෙනවා. රණ්ඩු කරලා අම්මගෙන් ගුටි කාපු අවස්ථා තියෙනවා. තාත්තා යුද හමුදා නිලධාරියෙක් නිසා ගෙදර ඉන්න ලැබෙන වෙලාව අඩුයි. අම්මා එක්ක තමා අපි වැඩිපුරම ඉන්නෙ.


තාත්තා හමුදා නිලධාරියෙක් කිව්වනේ, කලාවට එනවට තාත්තා කැමැති වුණාද?


මගේ තාත්තා තමා ගොඩක්ම ආස කළේ අපි කලාවට සම්බන්ධ වෙනවට. මම පාසල් යන කාලෙම තමා 2016 රූපවාහිනී අවුරුදු කුමරිය තරගයට යන්නෙ. ඒ ඇප්ලිකේෂන් එක දැම්මෙත් තාත්තා. ඒ තරගයෙන් ඒ කියන්නේ 2016 රූපවාහිනී අවුරුදු කුමරිය තරගයේ ප්‍රථම ස්ථානය හිමිකරගන්න මට පුළුවන් වුණා.


2016 න් පස්සෙ ආයේ කලාවට එන්නෙ 2022දී ඇයි ඒ?


මම අවුරුදු කුමරිය වෙන්නෙ පාසල් යන කාලෙම. අවුරුදු කුමරිය වීමත් එක්ක නිවේදනයට රංගනයට ඇරයුම් ලැබුණා. නමුත් මට පාසලෙන් අවසර දුන්නෙ අවුරුදු කුමරිය තරගයට යන්න විතරයි. ඒ නිසා එතැනින් පස්සෙ ආයේ ඉගෙනුමට කාලය වෙන් කළා. ආයෙත් කලාවට එන්නේ 2022දි වෙළෙඳ දැන්වීම් හරහා.


නංගිලා දෙන්නත් කලාවට ආසයි ද?


පොඩි නංගි නම් තවම චූටියි. ලොකු නංගි නම් මේ අවුරුද්දෙ හිරු අවුරුදු කුමරිය තරගයේ තුන්වෙනි ස්ථානය ලැබුවා. ලොකු නංගි ආසාවෙන් ඉන්නව මේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න.


මේ වෙද්දි මුල්ම ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් සිදුවෙනව. අපි ඒ ගැනත් කියමු…


මට මේ අවස්ථාව ලබා දුන්නෙ චාමර සමරවික්‍රම අයියා. මේ නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නෙ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා. එතුමාගේ සහ චාමර අයියාගෙ එකතුවෙන් මේ කාලයේ නිර්මාණය වෙන නාට්‍ය ජනප්‍රියම නාට්‍ය බවට පත්වෙලා තියෙන කාලයක්. එවන් යුගයක ඔවුන්ගේ අලුත්ම නාට්‍යයේ ප්‍රධාන චරිතයක් මට ලැබුණු එක ගැන සතුටුයි. කොහොමත් මම ආසවෙන් හිටියේ නාඩගම්කාරයො, පාරදිගේ වගේ නාට්‍යයකට ඇරයුම් ලැබෙන වානම් භාරගන්නවා කියලා.


කොහොමද අනෙකුත් අයගෙන් ලැබෙන සහයෝගය?


නාට්‍යයේ මම හැර අනෙකුත් සියලුම දෙනා මේ ක්ෂෙත්‍රයේ ඉන්න අය. ඒ වගේම ප්‍රවීණ අය බොහොමයක් එක්ක වැඩ කරන්න තියෙනව කියන එක දකිද්දි මුලින්ම බය හිතුණා. නමුත් ඒ හැමෝගෙන්ම මට හොඳ සහයෝගයක් ලැබෙනවා.


අමතක නොවන අත්දැකීම් ඇති,


මේ නාට්‍යයේ මට තියෙන්නේ හිතුවක්කාර චරිතයක්. දුවන්න පනින්න තියෙනවා. එක තැනකදි මම තාප්පෙන් පනින්න ගිහින් දණිස්ස තුවාල වුණා. ඒ සිදුවීම මට අමතක වෙන්නේ නැහැ.


ආලවන්ති හි නෙතුලි සහ පියුමාලි අතර සමානකම් තියෙනවා ද?


ඔව්. නෙතුලි දඟකාර හිතුවක්කාර චරිතයක්. මමත් එහෙමයි. මේ චරිතය මට පහසුවෙන් කරගන්න පුළුවන් වුණෙත් ඒ සමානකම් නිසා තමයි.


දැන් යෞවනියක්, ආදරවන්තියක් ද?


ඔව්.


ඔහුගෙන් ලැබෙන සහයෝගය කොහොමද?


මේ වෙද්දි ඔහු විදෙස්ගතව ඉන්නෙ. කලාවට ඔහු සම්බන්ධ නැතත් කලාවට ආදරේ කරන කෙනෙක්. ඒ නිසා ඔහුගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා.


අවසාන වශයෙන් කියන්න දෙයක් ඇති,


ස්තුතිවන්ත වෙන්නයි ඕනේ චාමර අයියාට සහ ශිවා සර්ට මට ආලවන්තී හි නෙතුලි වෙන්න දුන් අවස්ථාවට. ඒ එක්කම මට මේ ගමන එන්න ගෙදරින් ලබාදෙන සහයෝගයට ස්තූතිවන්ත වෙනවා. ළඟදිම ආලවන්තී පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් අතරට ඒවී.





Previous Post Next Post