අපි හැමෝටම පෞද්ගලික ජීවිතයක් තියෙනවා-දිල්හාරා ජයසිංහ




දිල්හාරා ජයසිංහ කියන්නේ මේ දිනවල විකාශය වන නීල පබළු ටෙලි නාට්‍යයේ බට්ටීගේ චරිතය වගේම පියවදනී ටෙලි නාට්‍යයේ යශෝදා. ඒ එක්කම මැයි 29 වේදිකාගත වෙන ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල සූරින්ගේ සෙක්කුව නාට්‍යයේ පැඟිරා ලෙස රංගන දායකත්වය ලබා දෙන්නේ ද දිල්හාරා ජයසිංහයි. වේදිකාවෙන් පුංචි තිරයෙන් සිය රංගන හැකියාව පෙන්නුම් කරන දිල්හාරා ජයසිංහ සමඟයි අද සොඳුරු කතාබහ.


දිල්හාරා කොහොමද කලාවට සම්බන්ධ වෙන්නෙ?


මුලින්ම පාසල් ගියේ බෙම්මුල්ල පිටියෙගෙදර ප්‍රාථමික විදුහලට. ශිෂ්‍යත්වය සමත් වෙලා වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විදුහලට ඇතුළත් වුණා. ඇත්තටම සාමාන්‍ය පෙළ කාලයේ දී සංගීත අංශයෙන් අධ්‍යාපනය ලැබුව. පාසල් තූර්ය වාදක කණ්ඩායමේ සහ ගායන කණ්ඩායමේ සාමාජිකාවක් විදියට කටයුතු කළා. පාසලේ ජනප්‍රිය ක්‍රීඩිකාවක්. උස පැනීම තමයි මගේ ඉසව්ව. එම ඉසව්වෙන් සමස්ත ලංකා මට්ටම දක්වා දක්ෂතා දැක්වූවා. නමුත් උසස් පෙළ කළේ ජීව විද්‍යා අංශයෙන්.


 


රංගන දායකත්වය දැක්වූ මුල්ම නිර්මාණය?


ප්‍රසිද්ධ නිර්මාණයකට කියල මුලින්ම දායක වෙන්නෙ Beauty and the beast ඇසුරෙන් ප්‍රවීණ නාට්‍ය ශිල්පී කිත්සිරි මෙවන් ජයසේන නිෂ්පාදනය කළ ලස්සන මුර්ගයා වේදිකා නාට්‍යයට. ඒක ඇත්තටම සංගීතමය නාට්‍යයක්. ඒ තුළින් මගේ රංගන හැකියාව වගේම ගායන හැකියාව ඔප්නංවා ගන්න ලැබුණු සහය අතිශය අගය කළ යුතුයි.


 

වේදිකාවට ද මුල් තැන?


ඇත්තටම වේදිකාව කියන්නෙ රංගන ක්ෂේත්‍රයේ තියෙන තවදුරටත් කලාව උපරිමයෙන් ආරක්ෂා වෙලා තියෙන තැන කියල මට හිතෙනවා. ඒක දවසක දෙකක වැඩක් නෙවෙයි. ඒ වගේම ඒක සාමූහික ප්‍රයත්නයක්. ඒ තුළ ගොඩනැඟෙන සහෝදරත්වය අපි වගේ අංකුර, රංගනයේ මුල් අකුරු කියවන අයට මහා සාගරයක් වගේ. ඉතින් ඒ නිසා වැඩි කැමැත්තක් දක්වන්නෙ වේදිකා රංගනයට. ඒ වගේම ගායිකාවක් විදියට මට තියෙන හැකියාව වේදිකා රංගනයේ දී අතිරේක සුදුසුකමක් වෙනවා. ඉතින් මා තුළ තියෙන හැම හැකියාවක්ම දක්වන්න පුළුවන් තැන වේදිකාව නිසා මම ඒකට වඩාත් කැමැතියි.


 

කලාවට ඇවිත් මේ ගත කරන කාලය තුළ ලැබුණු අත්දැකීම් කොහොමද?


අවුරුද්දක එක හමාරක වගේ කෙටි කාලයක් තුළ වේදිකාව, ටෙලි නාට්‍ය වගේම සිනමාවටත් සම්බන්ධ වෙන්න ලැබීම භාග්‍යයක් කියල හිතනවා. ලස්සන මුර්ගයා වේදිකා නාට්‍යයෙන් පස්සෙ සුනිල් සමරකෝන්ගේ සුදු ලිහිණියෝ, බිමල් ජයලංකා මහතාගේ 32 වත්ත වගේ වේදිකා නාට්‍ය රැසකට දායක වෙන්න අවස්ථාව ලැබුණ. ඊට අමතරව පියවදනී, කෝපි කඩේ, ගගන පියවර සහ නීල පබළු ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වුණා. මංගල මඩුගල්ලගේ රුවන් තාරකා චිත්‍රපටයට ද රංගනයෙන් දායක වුණා.


 

මේ දිනවල ඔබ ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල සූරින්ගේ සෙක්කුව සමඟ වේදිකාවේ, සෙක්කුව නාට්‍යයේ ඔබේ චරිතය ගැන කතා කළොත්.


ඇත්තටම නිරිඇල්ල සූරීන්ගේ සෙක්කුව වේදිකා නාට්‍යයේ හතරවෙනි නිෂ්පාදනය මේ දිනවල වේදිකාගත වෙනවා. මම එහි පැඟිරා කියන චරිතයට පණ පොවනවා. හැත්තෑව දශකයේ ආරම්භ වුණ මේ නාට්‍යයේ ඉන්න ගවයන් දෙදෙනාගේ චරිතය සඳහා මෙතෙක් රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ රංගන ශිල්පීන්. මෙවර ඒ අභියෝගය නිළියන් දෙදෙනෙකුට ලබා දෙන්න නාට්‍යවේදී එම්. සෆීර් ඇතුළු නිෂ්පාදන කණ්ඩායම අභියෝගාත්මත තීන්දුවක් ගත්ත. එය රංගන ශිල්පිනියක් ලෙස මා ලබපු අභියෝගාත්මකම චරිතය. විශේෂයෙන්ම නිරිඇල්ල සූරින් වැනි දැවැන්තයකු සෙවණේ ලැබෙන ගුරුහරුකම් සහ පුහුණුව ඇත්තටම කෙනෙකුට කලාතුරකින් හමුවන අවස්ථාවක්.


 

මේ දිනවල පුංචි තිරයේ ඔබේ චරිතවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඇත්තටම නීල පබළු ටෙලි නාට්‍යයේ බට්ටීගේ චරිතය වගේම පියවදනී ටෙලි නාට්‍යයේ යශෝධා චරිතයට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. කෙටි කාලයක් තුළ ලැබෙන ප්‍රතිචාර සම්බන්ධයෙන් සතුටුයි.


 


ලැබුණු නිර්මාණ එක්ක තෘප්තිමත් ද?


ඇත්තටම ඔව්. විශේෂයෙන්ම අපට අලුත් නිර්මාණයක් ලැබෙන්නෙ එක නිර්මාණයක් දැකල ඒකෙන් තෘප්තිමත් වුණ රංගන ශිල්පීන්, නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂවරුන් නිසා. ඒ නිසා අපි යමක් සාර්ථකව කළොත් අනිවාර්යයෙන්ම එහි ප්‍රතිඵල අපට ලැබෙනවා.


 

චරිත තෝරා බේරා ගැනීම ගැන සීමාවන් තියෙනවා ද?


ඔව්. පිටපත කියෙව්වට පස්සෙ මගේ සීමාවන් ඇතුළෙ සාධාරණත්වයක් කරන්න පුළුවන් චරිතයක් නම් අනිවාර්යයෙන්ම භාර ගන්නවා. එහෙම නැති අවස්ථාවක් ආවොත් මම ඒක ප්‍රතික්ෂේප කරනවා.


 අනාගත බලාපොරොත්තු මොනවද?


අපි හැමෝටම තියෙනවා පෞද්ගලික ජීවිතයක්. ඒකට මම හරි කැමැතියි. ඒ නිසා සංඛ්‍යාත්මකව නිර්මාණ රැසකට දායක වෙලා අතිශය කාර්ය බහුල වෙනවට වඩා ගුණාත්මක චරිතවලට තෝරා බේරාගෙන හැමදේම සමබරව ජීවිතේ ගත කරන්න කැමැතියි. ඒ වගේ ම රංගනය ගැන අත්දැකීම් ලබන ගමන් විධිමත් අධ්‍යාපනය ලබන්නයි මට ඕනේ.





Previous Post Next Post