තිර රචනය කියන්නේ භාරධූර කටයුත්තක් - ධනංජය සිරිවර්ධන




මේ හැඟුම්බර ගී පදය ඇහෙන්නේ මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවේ රාත්‍රී 9ට විකාශනය වන සිදාදියේ සමනලියෝ ටෙලි නාට්‍යයේ තේමා ගීතයෙන්. දක්ෂ රංගන ශිල්පියකු, තිර රචකයකු වගේම නිවේදකයකු වන ධනංජය සිරිවර්ධනගේ ප්‍රථම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය ලෙස පුංචි තිරයේ දිගහැරෙන සිදාදියේ සමනලියෝ කියන්නේ දඟකාර යෞවනයට අපූරු පාඩමක් කියාදෙන නිර්මාණයක්. ඒ නිසාම අපි ධනංජය සිරිවර්ධන අපේ කතාබහට එක්කර ගත්තා.


ඔබේ පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වන සිදාදියේ සමනලියෝ මොනවගේ කතාවක් ද?


මෙයට ප්‍රස්තුතය වෙන්නේ ඈත ගම්වල ඉඳන් රස්සාවල් කරන්න කොළඹට ඇවිත් එකම බෝඩිමක නැවතිලා ඉන්න තරුණියන් පස්දෙනෙක්ගේ ජීවිත අත්දැකීම්. එයාලා බෝඩිමේ ගත කරන ජීවිතය වගේම රැකියාවල දී ඔවුන්ට මුහුණ පාන්න සිද්ධ වෙන අත්දැකීම් තමයි මේ නාට්‍යයෙන් කියන්නේ. අපි ගොඩක් දුරට දකින්නේ කොළඹ ඇවිත් වැරදුණු ගෑනු ළමයි ගැන කතා. එහෙම නැත්නම් කොළඹ ඇවිත් දිනපු පිරිමි ළමයි ගැන කතා. කොළඹ ඇවිල්ලා වැරැදිලා, හරි ගිහිල්ලා, ආයි වැරැදිලා ඒ පටු මාවත් ඇතුළෙ දහදිය ගඳ, දූවිලි කාගෙන තමන්ගෙ රෝස පාට හීන සැබෑ කරගත්තු මල් වගේ සමනලියන්ගේ කතාව තමයි සිදාදියේ සමනලියෝ කියන්නේ.


ඔබ අධ්‍යක්ෂණය කරන්නේ අරුණ ජයවර්ධනගේ තිර රචනයක්. තිර පිටපත කියන්නේ නිර්මාණයක සාර්ථකත්වයේ ප්‍රධානම සාධකය. මේ තුළ ඔබ විශේෂත්වයක් දැක්ක ද?


මෙහි කැමරා ශිල්පී කපිල සුගත් විජේරත්න සහ නිෂ්පාදන කළමනාකරු මාලින්ද මධුසංක තමයි මට ආරාධනා කරන්නේ ටෙලි නාට්‍යයක් කරමු කියලා. එතැනදි මට පණ්ඩුල වීරසේකර කියන තරුණයා හමුවෙනවා. එයාටත් ඕන වුණේ හොඳ වැඩක් කරන්න. එතැනදි තමයි මං තීරණය කරන්නේ මං මොකක්ද කරන්න ඕන කියන එක. ප්ලොට්ස් කීපයක්ම තිබුණා. ඒ අතරේ අරුණ අයියගේ එකත් තිබුණා. අරුණ අයියා මට කලින්ම කියලා තිබුණා මල්ලි මෙහෙම වැඩක් තියෙනවා ලියලා තියෙන්නේ කියලා. මට ඒක මතක් වෙලා මං ඇහුවා ඒක තාම තියෙනවද කියලා. “අනේ ඔව්. අපිට හොඳ වැඩක් කරන්න පුළුවන්. එහෙනම් අපි ඒක කරමු“ කියල අරුණ අයියා කිවුවා. ඊට පස්සේ අපි එකතු වෙලා සාකච්ඡා කරලා බලනකොට ඒක ලස්සන කතාවක්. ඒකට මමත් දේවල් එකතු කළා. ඔහුත් එකතු කළා. කතන්දර පහ පස් විදිහට කියන එක අපේ ඔළුවල තිබුණා. පස් දෙනෙක්ගෙ, පස් විදිහක, කතා පහක් එකම කතාවක් තුළට ගේන්නෙ කොහොමද කියන අභියෝගය මට ඒකෙ තිබුණා. මම හිතුවෙ මං අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කරනව නම් සරල නාට්‍යයක් වුණත් ඒක ඇතුළෙ මට කරන්න දෙයක් තියෙන්න ඕන කියලා. ඒ අභියෝගය අරුණ අයියගෙ ස්ක්‍රිප්ට් එකේ තිබුණා. මං හිතනවා මගේ තෝරාගැනීම හරියටම හරි කියලා.


මේ කතාවේ ප්‍රධාන චරිත රැසක් තියෙනව. චරිත තෝරා ගැනීමත් ඔබට අභියෝගයක් වෙන්න ඇති?


ඒක තමයි භාරදූරම කටයුත්ත වුණේ. අපි මේක්අප් ටෙස්ට් එකක් කරලා තමයි තෝර ගත්තේ. මගේ හිතට ආපු අයව ගෙන්නලා මේක්අප් කරලා දෙබස් කිහිපයක් දීලා බැලුවා චරිතයට සුදුසුම කෙනාද කියලා. ඒක ඔඩිෂන් එකක් නොවෙයි. ප්‍රවීණ රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම, තරින්දි ප්‍රනාන්දු, මිෂෙල් දිල්හාරා, අඛිල ධනුද්ධර ඇතුළු බොහෝ පිරිසක් ඒ සඳහා සහභාගී වුණා. විකාශය වුණු කොටස් මේ වෙද්දි ට්‍රෙන්ඩිං වෙලා. ඒ කියන්නේ ඒ තෝරාගැනීම් සාර්ථකයි කියලා ප්‍රේක්ෂකයන්ටත් දැනිලා. මට ඕන වුණේ දක්ෂ, ජනප්‍රිය පරණ පරම්පරාවට වගේම අලුත් පරම්පරාවටත් අවස්ථාවක් දෙන්න. හැමෝම චරිත හොඳින් ග්‍රහණය කරගෙන ඒ ඒ චරිතයට සාධාරණයක් කරලා තිබුණා.


යශෝධා විමලධර්ම මේ වගේ චරිතයකින් මුණගැහෙන ප්‍රථම අවස්ථාව නේද?


විශේෂයෙන්ම ඇය මේ චරිතයට තෝරාගන්න මූලිකම හේතුව වුණෙත් ඇය මෙතෙක් මේ වගේ චරිතයක් කර නොතිබීම. මෙතෙක් කල් සංවේදී, අහිංසක චරිත කරල තිබුණට මේ වගේ සැරපරුෂ චරිතයක් කරලා තිබුණෙ නෑ. මට ඕන වුණා සාමාන්‍ය අහිංසක මෘදු ආදරණීය චරිතයෙන් එහාට ගිහින් එයා සැර පරුෂ කාන්තාවක් වුණොත් කොහොමද කියලා බලන්න. මට නිරන්තරයෙන් ඕන වෙන්නේ සාමාන්‍ය තත්ත්වයෙන් එහාට ගිහින් කැරැක්ටර් එකක් කරන්න පුළුවන් කෙනෙක්.


ඇය එක්වරම කැමැති වුණා ද සුපුරුදු රාමුවෙන් පිටගිහින් මේ අභියෝගය භාර ගන්න?


මම එයාට කතා කරද්දිම මේ චරිතෙ ගැන පොඩි හැඳින්වීමක් කළා. මේක ටිකක් නපුරුයි. සැරපරුෂයි. ටෝන් එක ටිකක් වැඩියි කියලා. මීට කලින් මට මේ වගේ චරිතෙකට කවුරුත්ම කතා කරලා තිබුණෙ නෑනෙ. ඒ නිසා මං මේකට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා කියලා එයා හරි කැමැත්තෙන් ඒක භාර ගත්තා. ඇය තමයි තරුණියන් පස්දෙනා නැවතිලා ඉන්න බෝඩිමේ අක්කා. වෙලාවකට එයා අම්ම කෙනෙක්, අක්ක කෙනෙක්, යාළුවෙක් වගේ. තවත් සමහර වෙලාවට මේ ළමයි කරන දේවලට විරුද්ධයි. එයා ප්‍රේමයෙන් පරාද වුණු කෙනෙක්. ඒ නිසා පිරිමි පාර්ශ්වය එයා හඳුන්වන්නේ විරුද්ධ පක්ෂය විදිහට. ඇය පිරිමින්ගෙන් රැවටුණු කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින කාන්තාවක්. ඒ වගේම එඩිතර කාන්තාවක්.


ඔබත් තිර පිටපත් රචකයෙක්. ඇයි ඉතින් තමන්ගෙම එකක් කළේ නැත්තෙ?


තිර රචනය කියන්නේ භාරධූර කටයුත්තක්. අධ්‍යක්ෂණයත් ඒ වගේමයි. එහෙම යෝජනාවකුත් තිබුණා. ඒත් මං හිතුවා අධ්‍යක්ෂණය කියන භාරධූර කටයුත්ත හරියටම කරන්න නම් වෙන කෙනෙකුගෙ තිර පිටපතක් කළොත් හොඳයි කියලා. ඔය කියන දෙකම කළා නම් කාලය සහ ඔළුව මහන්සි කරන්න තියෙන කාලය වැඩියි. විශේෂයෙන්ම ටෙලියක. ඒ නිසා මං හිතුවා මට වඩා අත්දැකීම් තියෙන කෙනෙක් සම්බන්ධ කරගත්තොත් මගේ අධ්‍යක්ෂණයටත් පහසුවක් වේවි කියලා.


අරුණ ජයවර්ධන කියන්නෙත් ජාත්‍යන්තර සම්මානලාභී අධ්‍යක්ෂවරයෙක්. මෙහිදී ඔහුගේ මැදිහත්වීමත් තිබුණ ද ?


මේ පිටපත තුළ අධ්‍යක්ෂණයක් තිබුණෙම නැති තරම්. එයා ප්‍රොපෙෂනල් රචකයෙක්. ඔහු මට සම්පූර්ණ නිදහස දුන්නා. අනික ඔහු දන්නවා අධ්‍යක්ෂවරයෙකුට සීන් එකක් එහෙට මෙහෙට වෙනස් කරන්න තියෙන අවශ්‍යතාව හා හැකියාව ගැන. අපි දෙන්නම එකතු වෙලා සමහර දේවල් සාකච්ඡා කළා ඇරෙන්න අධ්‍යක්ෂණය කරන්නවත් වෙන බලපෑමක් කරන්නවත් ආවෙ නෑ. මේක පෙන්නුවම ඔහු කිවුවේ පිටපතේ තියෙන දේ හරිම විදිහට ෂූට් වෙලා තියෙනවා. සමහර දේවල් එයා බලාපොරොත්තු වුණෙත් නැති තරම් ඉහළ මට්ටමක තියෙනවා කියලා. ඒ වගේ කෙනෙක්ගෙන් එහෙම වචනයක් අහන්න ලැබීමම හරිම වටිනවා.





Previous Post Next Post