මම රඟපෑ නාට්‍යයක් බලන්න එයා ඇවිත් හිටියා-තුමිදු දොඩම්තැන්න




සිනමාවත්, පුංචි තිරයත්, සජීවී වේදිකාවත් ආකර්ෂණය විදිහට පරිහරණය කළ ඔහු හැමදාමත් විවිධ මතක හිටින කතාබහට ලක් වෙන නිර්මාණ සඳහා සම්බන්ධ වෙන්න උත්සාහ කළ රංගන ශිල්පියෙක්. ඔහු නමින් තුමිදු දොඩම්තැන්න. ඔහු මේ වෙද්දී ඉන්නේ විදෙස්ගත වෙලා. ඒ ආචාර්ය උපාධිය සඳහා. මතක හිටින චරිත සඳහා රංගන දායකත්වය ලබා දෙන ඔහු හා ඔහුගේ පුංචි පවුල ගැන තොරතුරුයි මෙවර මේ විදිහට එකතු වෙන්නේ.



තුමිදු දැන් ජීවත් වෙන්නේ යුරෝපීය රටක, කොහොමද එහේ ගෙවන ජීවිතේ..?




මම එංගලන්තයට ආවේ මගේ ආචාර්ය උපාධිය කරන්න. ඔය හේතුව නිසා තමයි මෙහෙට එන්නේ. තව අවුරුදු දෙකකින් මගේ උපාධිය අවසන්. ජීවිතේ කොහොමද ගෙවෙන්නේ කිව්වොත් ඇත්තටම මේ ගෙවන ජීවිතේ පහසු නැහැ. අධ්‍යාපන කටයුතු හා පවුල් ජීවිතය එක්ක කාර්‍යබහුලයි. අනිත් එක අපිට හුරුපුරුදු රටක නෙමෙයි ජීවත් වෙන්නේ. දේශගුණය, මිනිස්සු, පරිසරය සියල්ලම අලුත්. ඒ සියලු දේ එක්ක අලුත් අත්දැකීමක් විඳිනවා. මට අවශ්‍ය වුණේ මගේ ආචාර්ය උපාධිය මවු රටින් පිට කරන්න. ඒකට හොඳම රට විදිහට එංගලන්තය තෝරා ගත්තා. මම කාලයක් ආසාවෙන් හිටියා නාට්‍ය හා රංග කලාව මේ වගේ දියුණු රටක අත්දැකීම් ලබමින් කරන්න. ඒ අත්දැකීම් දැන් විඳිනවා. නමුත් ලංකාවේ තරම් සතුටින් විනෝදෙන් ජීවත් වෙනවා කියන්න බැහැ. මොකද දන්න හැමෝම ලංකාවේ නිසා. නමුත් අලුත් අත්දැකීමක් විඳිනවා කියන්න පුළුවන්.


ලංකාවේ ජනතාවගේ ආදරේ ලබන කෙනෙක් හැටියට ඒ වගේ තීරණයක් ගන්න දෙපාරක් හිතුවේ නැද්ද ..?


ලංකාවේ වගේම එංගලන්තයේ ජීවත් වෙන ලංකාවේ ආදරණීය රසික ජනතාවගෙන් මට ප්‍රතිචාර ලැබෙනවා. මම ලංකාවෙන් එන්නේ අධ්‍යාපනය ගැන හිතලා මිසක් මට ජනප්‍රියත්වය තියා ගන්න ඕන කියන අදහසකින් නෙමෙයි. මෙහෙට එන්න අවුරුද්දකට කලින් මම ජනප්‍රියම නළුවාට හිමි සම්මාන‍යත් ගත්තා. නමුත් ඒ කිසි දෙයක් ගැන හිතලා තීරණ වෙනස් කරන්න ගියේ නැහැ. ජනප්‍රියත්වය තාවකාලිකයි, මම හිතන්නේ නිවැරැදි තීරණ ගන්න ඕන අවස්ථාවල ඒ තීරණ ගන්න ඕන කියලයි.


 

ගියේ ආයේ නොඑන්නමද..?


නැහැ. මගේ ආචාර්ය උපාධිය අවසන් වුණු ගමන්ම මම මගේ පවුලේ අය එක්ක නැවත ලංකාවට එනවා. මෙහෙ ඉන්න අදහසක් නැහැ.


 

ඔබ විදෙස් ගත වෙන්නේ අතිශය ජනප්‍රිය කාලේ. කුඹිවෝ නාට්‍ය නිසා ඔබ වඩාත් කතාබහට ලක් වුණා. අසීමිත ආදරයක් ලබපු ඒ මතක ගැන කිව්වොත් ..?


කූඹියෝ නාට්‍ය විකාශය වූ කාලය හා ඊට පස්සේ තවමත් ආදරේ ලබනවා. නළුවෙක් හැටියට මිහිරි හා සුන්දර අත්දැකීම් ලබනවා. ඒ ආදරණීය මතක හා ජනතාව ගේ ආදරේ එක්ක. ඒ වගේම ප්‍රසාදය ලැබෙනවා. ජනතාව අපි නිසා සතුටු වුණා කියලා අහන්න ලැබෙන එක මට සතුටක්. කුඹියෝ නාට්‍ය නිසා අවබෝධයක් ලබපු පිරිසක් ඉන්නවා. ඒ නාට්‍ය නිසා තවත් බොහෝමයකට ආරාධනා ලැබුණා. නමුත් මගේ අධ්‍යයන කටයුතු නිසා මට ඒ ආරාධනා පිළිගන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ.


 


ඒ චරිතය ගැන තවමත් විවිධ අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා..?


ඒ චරිතවල දෙබස් තවමත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. සමහර හුවමාරු වෙන දෙබස්වලට අදහස්වලට අලුත් දෙබස් එකතු කරලා හුවමාරු වෙනවත් මම දැකලා තියෙනවා. ප්‍රේක්ෂකයන් නොවිදී අත්දැකීම් ඒ වගේ නාට්‍ය ඔස්සෙ ජනතාවට ලබා දෙන නිසා තමයි ඔය වගේ ප්‍රතිචාර ලැබෙන්නේ.


ඔබ රංගනයෙන් දායක වුණේ සීමීත නිර්මාණ කිහිපයකට, නමුත් රිදි තිරය වගේම පුංචි තිරයත් ඔබ ආක්‍රමණය කළා. කථිකාචාර්යවරයකු නිසා ද චරිත සීමා කර ගත්තේ..?


මම ඉතාම අඩු චරිතවල රඟපෑ හා තෝරා බේරාගෙන නිර්මාණවලට දායක වුණු කෙනෙක්. මම කියන්නේ නැහැ මම ඒ කරපු සීමීත චරිත හැම එකක්ම සාර්ථකව කළා කියලා. මම කරපු සමහර චරිත මම දකිද්දී මට හිතිලා තියෙනවා ඒ චරිතය ඊට වඩා හොඳට කරන්න තිබුණා කියලා. ඇත්තටම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු නිසා තමයි මම චරිත තෝරා බේරාගෙන රඟපෑවේ. ඒ වගේම මගේ පවුලට ප්‍රමුඛත්වය දුන්නා. මම හිතනවා ප්‍රමුඛත්වය දිය යුතු තැන්වල ප්‍රමුඛත්වය දිය යුතුයි කියලා. ඒ වගේම මම නිර්මාණ භාර ගත්තේ ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් කාලයක් මට තියෙනවා ද කියලා බලලා. මම රශ් එකේ වැඩ ගොඩක් පටලවාගෙන වැඩ කරන කෙනෙක්. මගේ රංගනයේ යම් සාර්ථකත්වයක් ලැබුවා නම් ඒකත් හේතුවක් වෙන්න ඇති. ඒ වගේම වේදිකා නාට්‍ය වලටත් කාලය වෙන් කළා. ආසාවෙන් වේදිකාවේ මගේ චරිත හැසිරුවා. ඒ වගේම වේදිකාවෙන් ලබපු පන්නරය මාව නළුවෙක් හැටියට හැමදාම අලුත් කළා. ඒ වගේම සිනමාවේදි අතිදක්ෂ අධ්‍යක්ෂවරුන් එක්ක වැඩ කරන්න ලැබුණා. මගේ සාර්ථකත්වයට එයත් බලපෑවා.


 

බිරියත් නිළියක් හැටියට ජනප්‍රිය වුණා. ඇය රංගනයට එන්නේ ඔබ නිසා. පවුල් ජීවිතේට ඇගේ රංගනය හරස් වෙයි කියලා එදා හිතුණේ නැද්ද ..?


ඔව්. එයා රංගනයට එන්නේ විවාහ වුණාට පස්සේ. ඇගේ නිළි ජීවිතේට පවුල් ජීවිතේ හරස් වෙයි කියලා බයක් තිබ්බෙම නැහැ. ඒ වගේම නිළි ජීවිතේ නිසා පවුලට හානියක් වෙයි කියලත් බයක් තිබ්බේ නැහැ. ඇය සියල්ල කළමනාකරණය කර ගන්න පුළුවන් කෙනෙක්. පවුලට සතුට කොහොමද ගෙන එන්නේ කියලා දන්න කෙනෙක්. මම උපරිම සහාය ඇයට දෙනවා. මේ මොහොතේ කළණී ඉන්නේ ලංකාවේ අමුතු දොස්තර කියන නාට්‍යයේ රූගත කිරීමකට සම්බන්ධ වෙලා. මාත් පුතත් විතරයි එංගලන්තයේ ඉන්නේ. අපි අපිට උදවු කර ගන්නවා. ඒ නිසා පවුල් ජීවිතේත් රංගන ජීවිතේත් සමබරව ගෙන යනවා.


 

ඇයගේ හමුවීමත් ආදරණීය එකක්. ඒ ගැනත් කියමු..?


කළණිව මට මුණගැහෙන්නේ වේදිකා නාට්‍යයක් නිසා. මම රඟපෑ නාට්‍යයක් බලන්න එයා ඇවිත් හිටියා. එතැනදි දැන හඳුනාගෙන ආශ්‍රය කරලා ආදරේ කරලා විවාහ වෙන්නේ. අපේ ආදර කතාව පටන් ගන්නේ එහෙම. ආදරේ කරපු කාලේ වගේම විවාහ ජීවිතේදිත් ඇය මට සහාය දෙනවා. පවුල් ජීවීතයකදි ඒ සහාය වටිනවා


 


ඒ කාලේ විශ්වවිද්‍යාල සිසුවියන්ගේ වැඩිපුර ආකර්ෂණයක් තියෙන්න ඇති. ඒ අතර බිරිය විදිහට ඇය තෝරා ගන්නේ කුමන විශේෂත්වයකටද..?


එහෙම ආකර්ෂණයක් තිබ්බද කියලා අහන්න ඕන විශ්වවිද්‍යාල සිසුන්ගෙන්ම තමයි. නමුත් කලණීව දැක්ක මොහොතේදීම මට ඇය ගැන ආකර්ෂණයක් ඇති වුණා. ආකර්ෂණයක් තිබ්බට එහෙම මුලින්ම ප්‍රේමණීය හැඟීමක් ඇති වුණේ නැහැ. පස්සේ අඳුර ගත්තට පස්සේ තමයි ආදරේ කරනවා කියලා දැනුණේ. එයා ප්‍රියමනාප කෙනෙක් වගේම අහිංසක කෙනෙක්. එයත් එක්ක කතා කරද්දී තේරුණා ජීවිතේ බෙදාගන්න පුළුවන්, බිරිය විදිහට සුදුසුම කෙනා එයා කියලා . ඒ හේතු නිසා තමයි මම ඇයව තෝරා ගන්නේ


නළුවෙක් කථිකාචාර්යවරයකු හැටියට වගේම පවුල් භූමිකාව තුළත් ඔබ සාර්ථක ද..?


නළුවෙක් හැටියට සාර්ථකද කියලා මට කියන්න බැහැ. ඒක කියන්න ඕන රසිකයින්. කථිකාචාර්යවරයකු හැටියට මම සාර්ථක ද කියලා මගේ ශිෂ්‍යයින්ගෙන් දැනගන්න ඕන . සැමියෙක් හැටියට සාර්ථකද කියලා බිරිය තමයි දන්නේ. කොහොම නමුත් ඔය හැම පැත්තටම සාධාරණයක් කරන්න අවංක වෙන්න මම උපරිම දේ කරනවා කියලා කියන්න පුළුවන්.


 

ආදරණීය පුතාගෙන් ඔබේ රංගනයට තිබුණු ප්‍රතිචාර කොහොමද ..?


පුතාගේ වයස අවුරුදු පහයි. එයාට තවම අවබෝධයක් නැහැ, අපි රඟපානවා නළුවන් හැටියට කටයුතු කරනවා කියන්න. නමුත් ටීවී එකේ, යූටියුබ් එකෙන් දකිද්දී අපි දෙන්නා රඟපාන හැටි එයා ආසාවෙන් බලාගෙන ඉන්නවා. එයාගේ ප්‍රතිචාර හරිම වෙනස්. සමහර වෙලාවට අපිව දැකලා එයාට හයියෙන් හිනා යනවා. ඇයි අපි එහෙම ඉන්නේ කියලා අහනවා. වෙනස් කියනවා. එයාට ප්‍රශ්න ගොඩක් නිර්මාණය වෙනවා. ඇයි එහෙම කියන්නේ ඇයි එහෙම කරන්නේ කියලා අහනවා. එයාගේ ප්‍රතිචාර තමයි ඒ.


 

මවයි පියයි වගේ ඔහුත් කලාවට ළැදි ඇති..?


ඒක කියන්න අමාරුයි දැන්ම. එයා විවිධ දේවලට දක්ෂයි. එයාට කැමැති දෙයක් තිබ්බොත් එයා ඒක කරලා බලන්න උත්සාහ කරනවා. ඒත් රංගනය ගැන දැන්ම කියන්න අමාරුයි .


 

එංගලන්තයේ ලාංකිකයින්ගෙන් ඔබේ රංගන ජීවිතේට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?


ශ්‍රී ලංකාවේ හරිම සුන්දර මිනිස්සු ගොඩක් මට හමු වුණා. උණුසුම් විදිහට මාව පිළිගත්තා. මේ රටට ආව ශිෂ්‍යයෙක් විදිහට පීඩාවන්වලදි ඔවුන් මට උදවු කළා. ඒ සහාය නිසා සමහර අවස්ථා පහසු වුණා. මම නළුවෙක් කියලා එහෙම උදවු කරේ නැහැ . සමහර අය මම රඟපාපු නිර්මාණ දැකලත් නැහැ, ඒක තමයි මනුෂ්‍ය ගුණාංග කියන්නේ. මේ රටේදි ලාංකිකයන් ලාංකිකයින්ට උදවු කරනවා. මම ඒකට ගරු කරනවා. ආදරණීය ප්‍රතිචාර ලැබෙනවා කියන්න පුළුවන්.






Previous Post Next Post