මගේ පළමු රසිකාව දියණියයි - නිල්මිණි තෙන්නකෝන්




ඇය කලාවට අත්පොත් තබන්නේ වෙළඳ දැන්වීම් කලාවට සම්බන්ධ වීමෙනි. එකල ඇය භද්‍ර යෞවනියකි. ලාංකීය කලා ක්ෂේත්‍රයේ නොමැකෙන සටහන් තබන්නියකි. 1983 ඇරැඹි ලාංකේය ටෙලි නාට්‍ය වංශ කතාවේ මුල්ම ටෙලි නාට්‍යය වන ‘දිමුතු මුතු’ ටෙලි නාට්‍යයෙන් ටෙලිනාට්‍ය ගමන ආරම්භ කළාය. දසක හතරක කාල සීමාවක් තුළ ප්‍රේක්ෂකයෝ ඇය වැලඳ ගත්තාය. ඇය රඟපෑ සුසීමා, දිය සුළිය, නිදිකුම්බා මල් හා දූ දරුවෝ වැනි ප්‍රේක්ෂකයා කතා කරන දැවැන්ත ටෙලි නිර්මාණ ඔස්සේ තම රංගන කුසලතාව පහන් ටැඹක් සේ දීප්තියෙන් බැබලෙන්නට විය. ටෙලි නිර්මාණ හැත්තෑවකට අධික සංඛ්‍යාවක් එකිනෙකට වෙනස්ම චරිත ඇය තෝරා බේරාගෙන නිර්මාණවලට දායක වූවාය. රැල්ලට හසු නොවුණු චරිතයකි.වසරක නිහැඬියාවෙන් පසුව ඇය යළිත් පුංචි තිරයේ රංගන ශිල්පිනියක ලෙස අවතීර්ණ වී ඇත. පුංචි තිරයත් රිදී තිරයත් සමබරව පවත්වා ගනිමින් මේ දිනවල කා අතරත් කතාබහට ලක් වේ. ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන රනිල් කුලසිංහ ගේ අධ්‍යක්ෂණයක් වන ‘1990 ඹ්ධමඥ ඕධපද ඪද බඩඥ ඩඥචපබ’ ටෙලි නාට්‍යයේ සාගරි ඇයයි. ඒ නාට්‍යයටත් සිනමාවටත් වසර ගණනාවකට පසුව ආවත් අවශ්‍යම චරිතයක් වන ඈ නමින් සම්මානනීය රංගන ශිල්පිනී නිල්මිණි තෙන්නකෝන්ය. මේ ඇය පසුගිය දිනක ‘1990’ ගැන සහ දසක හතරක කලා දිවියේ ගැන  තැබූ සටහනයි.


වසරක නිහැඬියාවෙන් පසු යළිත් ප්‍රේක්ෂක අවධානය දිනා ගෙන නේද ?


1983 ඉස්සෙල්ලා ඉඳන් ආපු හිමින් ගමන නිසා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් මාව කවදාවත් අමතක කරන්නෑ. හරියට අකුරක් ඇදලා මකලා දානවා වගේ නෙවේ. එයාලා ගොඩක් කැමතියි මම තෝරා බේරාගෙන කරන චරිතවලටයි. මගේ තෝරා බේරා ගැනීම මොකක්ද කියලා ඔවුන් හරියටම දන්නවා. මගේ විදිහ තමා කවදාක්වත් පේන්නේ ඉන්න කැමැති චරිතයක් නෙවෙයි. මගේ මූලිකම අරමුණ වන්නේ සමාජයට යමක් කියන්න පුළුවන් හොඳ චරිතයකට දායක වීමයි.ජනප්‍රියත්වය පසුපස මම හඹා යන්නේ නැහැ. එහෙම හඹා යන කොට්ඨාසයට මම වැටෙන්න කැමති නැහැ. අවුරුද්දක් නෙමෙයි අවුරුදු ගාණක් ගිහිල්ලා වුණත් මට හොඳ චරිතයක් ලැබෙනවා නම් ප්‍රේක්ෂකයා මාව තියන්න ඕන තැන අදත් දන්නවා හෙටත් දන්නවා. ඒක මම ලබා ගත්ත වාසනාවක් යැයි මම හිතන්නේ.


මේ නිර්මාණය ජීවත්වන සාගරි ඔබමයි කියල හිතුණ හින්ද ද බාරගත්තේ?


මේ තිර පිටපත භාර ගන්නට සහ කියවන්නට කලින් මේ කතා තේමාව මට සංෂිප්තව රනිල් කුලසිංහ අධ්‍යක්ෂවරයා පැහැදිලි කළා. එහිදී මට හිතුණ එකම දේ තමයි මම තමයි මේ චරිතය තුළ ඔහු සෙවූ ජීවත් වන එකම කෙනා මම කියලා. ඔව් මාව තෝරාගෙන සිටින්නේ ඔහුගේ මනසේ මැවුණු චිත්තරූප දහසක් තුළය. එවිට හිතුණු තවත් දෙයක් තමයි සාගරිට මේ තුළ ගොඩක් දේවල් කරන්න තියෙනවා කියලා. ඉන්පසු ගතවන හැම තත්පරයක් පාසාම සිතුවේ මේ තුළ යම් දෙයක් කළොත් ප්‍රේක්ෂක ජනතාව මං ගැන කතා කරයි. ඔවුන්ට තවත් මතකයේ රඳවා ගන්න පුළුවන් නමක් ඉතිරි කරගනි කියලා. එදා ඔහු කියූ කතාවේ දැනුණු හැඟීම මේ කතාවේ ටේ‍්‍රලර් එක විකාශය වුණු දා ඉඳන් අද දක්වා ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක මම භුක්ති විඳීන්නේ හරිම නිරාමිස සුවයකිනි. මොන දේකින් හෝ මට ලැබෙන හැම දෙයක්ම ධනාත්මක අගයකින් යුතු වෙනවා.


මේ තරුණ අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණය සාර්ථකයි කියන එකද?


මේ ටෙලිනාට්‍යයට ඉස්සෙල්ලා මම සහ ශ්‍යාම් ප්‍රනාන්දු ඔහුගේ භූමි නාට්‍යයේ චරිත දෙකක් නිරූපණය කළා. ඒ මීට අවුරුද්දකට ඉස්සෙල්ලා. රනිල් නාට්‍යයකට චරිත තෝරා ගනිද්දී ඒ තෝරා ගන්නා චරිතයට පුදුම ගෞරවයත් දීලා කතා කරන අධ්‍යක්ෂවරයෙක්. ‘භූමි’ නාට්‍යයට මට කතා කරන කොටත් ඔහු බොහෝම ගරුත්වයකින් මුල්තැන දීලා මට කතා කළේ. ඒ කාලසීමාව තුළදී රනිල් කුලසිංහ නම් තරුණ අධ්‍යක්ෂවරයා කවුද කියන එකත් මම සොය සොයා හිටියේ. ඔහුගේ නාට්‍ය දෙකක් ඒ වනවිට මම බලලා තිබුණේ. ඒ තුළින් මට වැටහුණේ හොඳ නිර්මාණශීලීත්වයක් තියෙන දක්ෂ අධ්‍යක්ෂවරයෙක් කියන එක විතරයි. ඒ වගේම භූමි ටෙලිනාට්‍යයේ දර්ශන තලයේදි රූගත කිරීම් කරද්දි ඇතිවුණු විශ්වාසය සහ අනෙකුත් නළු නිළියන් තෝරා ගැනීමේදී ඇතිවුණු විශ්වාසය නිසා 1990 Love Born in the Heart  සම්බන්ධ වුණේ. ඒ වගේම මෙහි නිෂ්පාදකවරයා වන බෙවන් පෙරේරා මහතාද මාව ගැන විශ්වාසය තැබීම මම ඔහුව අගය කරනවා.


මුල් පිටපතේදි හා මුහුරත් උලෙළේ දී ‘සිත්යාය’ ලෙස නම් කළ ටෙලි නාට්‍යය 1990 Love Born in the Heart නම වෙනස් කළේ ඇයි?


ඔබ කියන කතාව ඇත්ත. මෙහි මුල් පිටපතේ නම තිබ්බේ ‘සිත්යාය’ කියලා තමයි. තනුජා නිල්මිණී ලියපු පිටපත මට ලැබෙන විට එකේ තිබ්බෙත් ඒකම තමයි. මගේ අතට පිටපත ලැබුණු විට මම තවත් දවසකට ඉඩතියන් නැතුව කියවල ඉවර කළා. ඒ වෙලාවේ මට දැනුණා මේක ඇතුළේ කියන්නෙත්, දැනේන්නෙත් 90 දශකයේ කතාවක් බවයි. 90 දශකයේ ජීවත් වුණු අයගේ ප්‍රේමයෙන් පරාජිත වූ කතා පුවතක්. මෙහි සම්පූර්ණ කතා වස්තුව තේමා වන්නේ හඬකට ආදරය කරපු ‘සාගරි’ නම් තරුණියට වන ඛේදවාචකයයි. 90 දශකයේ ආත්මා ලියනගේ, නාමල් උඩුගම, කුමාරසිරි පතිරණ, ග්‍රේෂන් ජයමහ, විජය බණ්ඩාර වැලිතුඩුව, අතුල ශ්‍රී ගමගේ වැනි ගායන ශිල්පීන්ගේ ප්‍රේමණීය ගීත අහන පිරිසක් ඔවුන්ගේ ගීත රසවිඳීන ‘සාගරි’ නම් ප්‍රේක්ෂිකාවක් ප්‍රේමයෙන් පරාජිත වන බවයි. ඉන්පසු ඇය මවක් වෙලා දියණියක් සිටින තමන්ගේ පළමු ප්‍රේමය ගැන ළතවෙමින් සිටීමයි. ප්‍රේමයට තාත්තගෙන් ඇතිවුණු අකැමැත්ත සහ විවිධ බලපෑම් නිසා තම පවුලේ ආත්ම ගරුත්වය, නම්බුව ආරක්ෂා කරගන්නට පියා ගනු ලබන තීරණ නිසා ජීවිතය විනාශ වන සහ අසරණ වන තම දියණියකගේ විවිධ හැලහැප්පීම් ඇතුළත්ව ලියන ලද පිටපතකි. තනුජා මේක ලියලා තියෙන්නේ 90 දශකයේ රේඩියෝ කියන සංකල්පය මූලික පදනම කරගෙනයි. ඒ නිසා මෙහි නම වෙනස් කරනවා කියන මතයක ගොඩක් වෙලාවට හිටියා. නමුත් මේ දැන් යොදල තියෙන නම පිටපතට සාධාරණයක් වෙලා කියන තැන අපි සියලු දෙනාම ඉන්නේ.


සාගරී නම් චරිතය ලැබෙන්න ප්‍රථම අධ්‍යක්ෂවරයා නිල්මිණි තෙන්නකෝන්ට කිව්වේ මොනවද?


අක්කේ ඔයාටම හරියන ජඩචපචජබඥප එකක් තියෙනවා. මම ළඟදීම ඒ වැඩේ පටන් ගන්නවා. ඒකට වෙන කවුරුවත් හරියන්නෑ. ඒකට හරියන්නේ ඔයාමයි. ඒ නිසා ඔයා බෑ කියන් නැතුව මේ චරිතය නම් කරන්නම ඕන කියලා රනිල් මට කිව්වා. පස්සේ මට තනුජා නිල්මිණි⁣ගේ පිටපත ලැබෙන්න සැලැස්සුවා.


ඔබ ආදරේ කරන්නේ මේ චරිත දෙකෙන් සාගරිටද සාගරිගේ මවටද? ඔවුන් දෙදෙනාට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මම ඉඳලා ඉඳලා නැවත ආපුවාම ලැබෙන ඕනෑම චරිතයක දි මම ඒ චරිතවලට සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරනවා. ඒ දේ මම කරන්නේ මාව තෝරා ගන්නා සියලුම නිර්මාණවේදීන් වෙනුවෙන්. මම ඒ දෙයට තෝරාගන්නේ ඒ දෙයට සාධාරණයක් ඉෂ්ට වෙන බව දැනගෙනයි. ඒ නිසා මම අර චරිතයට මේ චරිතය කියලා විශේෂයක් දක්වන්නේ නෑ. දෙකටම එක වගේ කැමතියි. ප්‍රේක්ෂකයනුත් මේ චරිත දෙකට එක වගේම කැමතියි. එදා මම සෝමවීර සේනානායකගේ ‘දූ දරුවෝ’ ටෙලි නාට්‍යයේ දීප්ති ලෙස රංගනයෙන් දායක වුණා වගේම දීප්තිට ආදරය කරපු බොහෝ දෙනෙක් අද ද මා වටා රොක් වෙලා ඉන්නවා. සාගරී ගේ චරිතයත් එක්ක බොහෝ දෙනකු නැවත දීප්තිව ඉපදිලා කියලත්, සාගරිගේ චරිතයත් එක්ක ප්‍රේක්ෂකයන්ගේ මතකය අලුත් වෙලා කියලා මට හිතෙනවා. 90 දශකයේ ආදරේ භුක්ති වින්ඳ අය සහ දැන් තරුණ අය බිමල්ගේ සහ මගේ චරිතවලට ඇලුම්කරනවා කියලා දැනෙනවා. අධ්‍යක්ෂවරයා විසින් මාව මේ චරිත දෙක තුළ ජීවත් කරන ආකාරය අනුව අම්මාගේ චරිතය තුළ සැඟවුණු ගුප්ත බවක් ද නිරූපණය වෙනවා. සාගරී නම් තරුණියගේ අසරණ බවට ප්‍රේක්ෂකයාගේ අනුකම්පාව නිතර ලැබෙනවා. සාගරි නම් චරිතය මධ්‍යස්ථ හැටියට ගත්තාම හැම වකවානුවකට ම සමානයි කියලා කියන්න පුළුවන්.


සාගරිට ආදරේ කරන හොඳම රසිකාව දුව නේද?


දුව තරම් මගේ හොඳ නිර්මාණයක් දැක්ක ගමන් සතුටු වෙන තවත් කෙනෙක් නැහැ. මගේ පළවෙනි ප්‍රේක්ෂිකාව හා රසිකාව ඇයයි.


අද පරම්පරාව මේ කාල වකවානුවේ යන දේවල් වලට හා විකාශය වන දේවල්වලට කැමති නැහැ. ඒත් ඒ පරම්පරාව ම නියෝජනය කරන මගේ දුව මෙයට කදිම උදාහරණයක් වෙනවා. මගේ දුව නිර්මාණ ශක්තිය සහ ඉදිරිය ගැන හොඳට දකින විඳීන කෙනෙක්. අතීතයේ සිදුවීම් හා එයට අනුගත වන දේවල් විඳීමින් ඇය සතුටු වෙනවා. මේ නාට්‍යය විකාශය වෙන්න ඉස්සෙල්ලා දුව නාට්‍යයේ ට්‍රේලර් එක බැලුවා. 1990 ට්‍රේලර් එක ගැන ධනාත්මක අයුරින් හොඳ දේවල් කතා කළා. මට ඉස්සෙල්ලා සාගරිගේ කතාව ඇස් දෙකෙන් වින්දේ ඇයයි. මවක් හැටියට මම ලබන ලොකුම සතුට එයයි. මොන රාජකාරි කටයුතු තිබ්බත් දුවගේ අධ්‍යාපනයට සහ අනිකුත් කටයුතු වලට මුල්තැන දීලා තමයි මගේ අනිත් හැම වැඩක්ම මම කරන්නේ. දුවට රඟපාන්න අවස්ථා සැහෙන්නට ලැබෙනවා. අධ්‍යාපන කටයුතු අවසන් වුණාම සමහරවිට රංගනයට යොමු වෙයි කියලා මම හිතනවා. දැනට ඇය මගේ හොඳම රසිකාවිය පමණයි.


ඔබ නිර්මාණ තෝරා ගැනිමේදි අන් අයට හත්පසින්ම වෙනස්නේද?


මම නිර්මාණ තෝරාගන්නේ හරිම පරිස්සමෙන්. මම හොඳ නිර්මාණයක් බාර ගත්තාම ඒ නිර්මාණය ඉවර වෙලා තමයි අනිත් නිර්මාණයට අත ගහන්නේ.මම තෝරාගන්නා චරිතයට සාධාරණයක් සහ විශ්වාසවන්තව අධ්‍යක්ෂවරයාට සහ නිෂ්පාදක වරයාට මෙන්ම එයට දායක වන සියලු දෙනාටම දායකත්වය දෙන්න ඕන නිසයි මම එහෙම කරන්නේ.චරිතයකට අවතීර්ණ වුණාම ඒ තුළ ජීවත් වෙන්න ඕන. තුන හතරක් බාර ගත්තාම දර්ශන තලයෙන්, දර්ශන තලයට ගිහිල්ලා ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ.


මට මොන දේ දෙනවා කිව්වත් කොච්චර මුදල් දෙනවා කිව්වත් මට ඒ චරිතය හරියන්නේ නැත්නම් මම ඒ චරිතය බාර ගන්නෙ නැහැ. මම නිර්මාණ දහයක් ඇවිත් එකක් කරපුවාම ඒ නිර්මාණය සාර්ථකයි නම් ඒක තමා මම බලාපොරොත්තු වන එකම දේය. තිරේ මූණ පෙන්න පෙන්න ඉන්න චරිතයක් වෙන්න නෙවෙයි මගේ බලාපොරොත්තුව කවදාවත්.


අද ක්ෂේත්‍රයේ නිර්මාණ ගැන සැහිමකට පත්වෙනවාද?


මම නිර්මාණ හැත්තෑවකට හැත්තෑපහකට වැඩිය දායකත්වය දීලා තියෙනවා. ඒ කරපු නිර්මාණ වලිනුත් සම්මානත් මම ලබලා තියෙනවා. මම ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මියගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම ස්වර්ණා මල්ලවආරච්චි කියන සම්මානනීය රංගන ශිල්පිනියගෙනුත් ගොඩක් දේවල් මේ ක්ෂේත්‍රය තුළ ඉගෙන ගත්තා ක්ෂේත්‍රය තුළ ඉන්නේ කොහොමද ඒ කාර්යභාරය කරන්නේ කොහොමද කියන එක මැනවින් ඉගෙන ගත්තා. ඔවුන්ගෙන් ලැබුණු ආභාසය නිසා මට අද හොඳ ගමනක් එන්න ලැබුණා. අද ටෙලි නාට්‍ය පිටපතක් ලැබෙන විට මුලින් පිටපතේ කොටස් 15 විතරයි ලැබෙන්නේ. ඉස්සෙල්ලා ටෙලිනාට්‍යයක් කරන විට මුළු පිටපතම අතට ලැබෙනවා. එවිට අපිට ලැබෙන චරිතය ගැන අපි පූර්ණ අවබෝධයකින් කටයුතු කරන්නේ. ඊළඟ කොටස මෙහෙමයි වෙන්නේ අපේ චරිතයට අපි අනුගත වෙලා සියල්ලටම සූදානම් වෙනවා. අද ඊට හාත්පසින්ම වෙනස් වෙලා කොටස් පහළවක පිටපතක් තමයි මුලින්ම දෙන්නේ. ඊට පස්සේ වෙන්නේ ඒ කොටස් 15 තුළ අපිට කියපු කතාව නෙවෙයි. පස්සේ පස්සේ අලුත් චරිත ගෙනල්ලා මේවට ඔබනවා. එහෙම උණාම එහි අධ්‍යක්ෂවරයා සිට සියලුම කාර්ය මණ්ඩලය දන්නෑ ඒ නිර්මාණය වැටෙන බව. ඒක අද පවතින ලොකු අඩුපාඩුවක් ලෙස කියන්න පුළුවන්. මම ඒ හා සමාන අත්දැකීම් දෙකකට මුහුණදීලා තියෙනවා. මුල් කොටස්වලට ප්‍රවීණ ජනප්‍රිය රංගන ශිල්පීන් ගන්නවා. ඊට පස්සේ වෙන්නේ ප්‍රවීණයන්ට ගෙවන මුදල වැඩිකියලා ඔවුන් කරන්නේ වෙනත් වෙනත් ජනප්‍රියත්වයක් නොවන කවදාක්වත් දැකලා නැති රඟපා ගන්නත් බැරි චරිත ගෙනල්ලා ඒ තුළට රිංගවන එකයි. නිර්මාණකරුවන් හැටියට එවැනි දේවල් නොකරනවා නම් ක්ෂේත්‍රය තුළ සාර්ථක නිර්මාණ දකින්න පුළුවන් වෙයි. මම විතරක් කියන දෙයක් නෙමෙයි ජනප්‍රිය තලයේ ඉන්න හැමෝම ඒ යට මුහුණදීලා තියෙනවා. අපි කරන්න ගිය දේවත් බාර ගත්ත දේවත් නෙමෙයි මේ කරන්නේ කියන එක. ඕඩියන්ස් එක මුලින් බලාපොරොත්තු වුණ හා රස වින්ඳ දේ මැද හරියක් යනකොට විනාශ වුණොත් ඒක ක්ෂේත්‍රයටම බලපානවා. නාට්‍යයක් දිගින් දිගටම කොටස් නොකඩා යනකොට ප්‍රේක්ෂකයාගේ අවධානය අඩු වෙනවා රසයත් නැති වෙනවා. එහෙම වුණාම ඒ නිර්මාණ සියල්ලම බලා ඉඳීද්දිම කඩාවැටීමක් සිදුවෙනවා. ක්ෂේත්‍රයේ පවතින වැරැදි අඩුපාඩු ගැන කතා කරන්න ගියොත් ඉවරයක් කරන්න බැහැ. නමුත් ක්ෂේත්‍රයේ තියෙන වැරදි අඩුපාඩු හදාගෙන හොඳ නිර්මාණ බිහි කිරීම තමයි ප්‍රවීණ සහ නව පරපුර කළ යුතුයි කියන එකයි මගේ අදහස.


වර්තමානයේ බිහිවන නිර්මාණ සාර්ථක නෑ කියන එක නේද ඔබ කියන්නේ?


එහෙම කියන්නත් බැහැ. ප්‍රේක්ෂකයාට රසවිඳීන්න පුළුවන් හොඳ නිර්මාණ ගොඩක් නිර්මාණය වෙනවා. අපේ සංස්කෘතිය සභ්‍යත්වය තුළ නිර්මාණය වන නිර්මාණ පොළොවෙ පය ගහලා ඉන්න චරිත තමයි පෙන්නන්න ඕනෙ හැම වෙලේම ප්‍රේක්ෂකයා හමුවට ගෙනල්ලා. වෙනත් වෙනත් රටවල සංස්කෘතීන් බදාගෙන නිර්මාණ කරලා හරියන්නේ නැහැ. විශේෂයෙන් ඉන්දියානු සංස්කෘතිය ලංකාවේ සංස්කෘතියට ගැළපෙන්නෙ නැහැ. තුර්කි ටෙලි නිර්මාණ කලාව ගත්තොත් එයාලගේ රංගන කෞශල්‍ය සහ නිර්මාණවල තියෙන ගුණාත්මකභාවය ඉහළයි. තුර්කි නිර්මාණවල තියෙන්නේ සත්‍ය වස්තු විෂයයන්. ඇතැම් අධ්‍යක්ෂකවරු ඉන්දියානු ආභාසය ගෙන දැන් බොරුව රජ කරන්නට පටන්ගෙනයි තියෙන්නෙ. එහෙම උණාම දක්ෂ රංගන ශිල්පී පරපුරක් බිහි වෙයිද කියලා හිතන්න අමාරුයි. ප්‍රේක්ෂකයාගේ ජනප්‍රියත්වය ඉහළින්ම ලැබුණු තැනකදී නිර්මාණය අවසන් කළ යුතුයි. එහෙම නොවුණොත් නිර්මාණය කඩාවැටීමට ලක්වෙනවා.නිර්මාණයක් කරන විට නිර්මාණය ඇතුළෙ සාමූහික කණ්ඩායමක් ජීවත් වෙනවා කියලා හැමවිටම තත්පරයක් පාසා හිතන්න ඕන. සමහර විට පවතින නාළිකාවලින් ටෙලිනාට්‍ය නොබැලුවාට සමාජ මාධ්‍ය ජාලා හරහා රස විඳීන පිරිස අද ශීඝ්‍රයෙන් ඉහළ ගිහින් තියෙනවා. ඔවුන්ගේ රසඥතාවයට හරියන නිර්මාණ අපි බිහි කළ යුතුයි.


සිනමා නිර්මාණ සමඟ ඔබ පසුගිය කාලයේ වැඩි පුර කාලය ගතකළා නේද?


හොඳ තිර පිටපත් රචනා ටෙලි නිර්මාණවල නොලැබුණු නිසා ටෙලි නිර්මාණවලින් ටිකකට ඈත් වෙලා මම සිනමාව වෙනුවෙන් වැඩි කාලසීමාවක් ගතකරන්නට සිදුවුණා. පසුගිය කාල වකවානුව පුරාවටම ඇත්තටම කිව්වොත් නම් සිනමාවට සම්බන්ධ වීමේ ප්‍රවණතාවය මට අඩු වුණා.එයට මූලිකම හේතුව වුණේ මම ‘දූ දරුවෝ’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්න කාල සීමාව තුළයි. සිනමාව එසේ ගිලිහී ගියත් නිල්මිණී කියන චරිතය ගොඩ නැඟුණේ දූ දරුවෝ ටෙලි නාට්‍ය තුළිනි. ඒ පිටුපස ජයග්‍රහණ ගොඩක් ලැබුණු තැනක්. එයින් මගේ දිශානතිය වෙනස් වෙන්න පටන් ගත්තා. දූ දරුවෝ තුළ ජීවත්වුණු මාව සිනමාවත් එක්ක බද්ධ කරගන්න සිනමා නිර්මාණ ශිල්පීන් ගොඩක් උත්සාහ කළා. ඒ හැම මොහොතකම දින වකවානු මට ප්‍රශ්නයක් බවට පත්වුණා. මේ කාල සීමාව තුළ දී සිනමා නිර්මාණ පහළොවකට වඩා මට ගිලිහී ගියා. ඒ මගේ භද්‍ර යෞවන කාලයයි. ඒ මගේ ජීවිතේ හොඳම කාලයයි. මේ කාලවකවානුවේදී ම ඉන්දියානු කේරල චිත්‍රපටය චිත්‍රපට ගණනාවක රංගනයට අවස්ථාව මට ලැබුණා. සරසවිය පුවත්පතෙහි හිටපු කර්තෘ ඒ.ඩී රංජිත් කුමාර මහත්තයා ඔස්සේ තමයි ඒ සම්බන්ධතාවය මට ගොඩනැඟුණේ. ෆිල්ම් ලොකේෂන් සර්විස් එකේ චන්ද්‍රන් රත්නම් මහත්මයා ඔස්සේ මට චිත්‍රපට ලැබෙන්න පටන් ගත්තා. ඒත් මම ආසාවෙන් බලා හිටි එච්. ඩී ප්‍රේමරත්න මහත්තයාගේ චිත්‍රපටයක රඟපාන්න අවස්ථාව මට නැති වුණා. ඒක මගේ අවාසනාවක් ද කියලා මට සමහර වෙලාවට ඒ කාලේ හිතුණා.


වර්තමාන සිනමා කර්මාන්තය ගැන සෑහීමකට පත් වෙනවාද? ඔබ කළ සිනමා නිර්මාණ ගැන කතා කරන්න කැමතිද?


සිනමා කර්මාන්තයක් වශයෙන් මට සෑහීමකට පත් වෙන්න බැහැ. ඒත් මේ කාල සීමාව තුළ මට ගොඩක් සිනමාපටවලට සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබුණා. සිනමාපට පහකට පමණ රංගනයෙන් දායක වුණා. ඒ නිර්මාණ සියල්ලම හොඳ චරිත මට රංගනයෙන් දායක වෙන්න ලැබුණු. ඉදිරියේදී හොඳ තිර පිටපත් දෙකක් ද ලැබුණා ඒ දෙකටත් සම්බන්ධ වෙන්නට බලාපොරොත්තු වෙනවා. මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ඒ සිනමා නිර්මාණ තුළින් මගේ හැකියාවන් 1990 සාගරිට එහා ගිය චරිත දැකගන්නටත් අවස්ථාව ලැබෙයි. මේ කාල සිමාව තුළ දායක වුණු සියලුම සිනමාපටවල වැඩ කටයුතු අවසන් කරලයි තියෙන්නේ. අහිමි වූ සිනමාපට ගැන මම කවදාවත් පසුතැවෙන් නැහැ මොකද මං මට ගොඩක් ආදරෙයි. මම මට ආදරේ කරන්නෙ නැතුව මගේ තරුණ වයසත් එක්ක සමහර තැන්වලදී ගත් යම් යම් තීරණ නිසා ගිලිහී ගිය දේවල් ගොඩක් තියනවා. අහිමිවන දේවල් තුළ සතුටු වියහැකි ජයග්‍රහණයන් වැඩියි.


ඉදිරියේ ටෙලි නිර්මාණ කීයක් එන්න තියනවාද?


1990 ඹ්ධමඥ ඕධපද ඪද බඩඥ ඩ්ඥචපබ නාට්‍යය හැරුණාම ඉදිරියේදී ටෙලි නිර්මාණ හයක් විකාශය වීමට නියමිතයි. එකකට එකක් වෙනස් ම චරිත නිර්මාණ ඒ නිර්මාණ අතර තියෙන්නේ. මේ නිර්මාණ ඇරුණැම එරංග තිලකරත්නගේ නන්දනී ටෙලි නාට්‍යයේ මේ දිනවල සිරගත වූ චරිතයක් රංගනයෙන් දායක වෙනවා.


හොඳ ටෙලි නිර්මාණ ලැබුණොත් ඒවාට සම්බන්ධ වෙන්න නම් බලාපොරොත්තු වෙනවා. කොටස් පනහකට හැටකට වගේ සම්බන්ධ ටෙලියකට ඇරුණාම මෙගා නාට්‍යවලට රංගනයෙන් දායක වෙන්න නම් කිසිසේත්ම අදහසක් නොමැත. දැන් පවතින ෂූටිං පැටන් එක නිසා දින වකවානු සහ කාලය යෙදවීම හරිම අපහසුයි.


වෙළෙඳ දැන්වීම් හා දිමුතු මුතුවලින් ආරම්භ කරපු ගමන අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?


ආපු ගමන ගැන ආපස්සට හැරිලා බලන විට නිහතමානී ආඩම්බරයක් හිතෙනවා. දසක හතරකට වැඩි කාල පරාසයක් තුළ දායක වුණු නිර්මාණවල වටිනාකම මිල කළ නොහැකියි. මම ක්ෂේත්‍රයට එන්නේ අධ්‍යාපනයෙන් න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම් සම්භාරයක් ඇතුව ඉගෙන ගෙනයි. මගේ ජීවිතේ ජයමග වෙනුවෙන් ලබා ගත්ත දේවල් ක්ෂේත්‍රයෙන් බොහෝමයි. ප්‍රවීණයා සිට ආධුනිකයා දක්වා මට ලැබෙන ගරු සැලකිලි තුළ මම ජීවත් වෙනවා. මම නවක අධ්‍යක්ෂවරුන් සමඟ ගොඩක් වැඩ කරනවා. ඔවුන් ප්‍රවීණයන්ගෙන් ලැබූ ආභාසය තුළින් තමයි හැම කටයුත්තක්ම කරන්නේ ඔවුන් එක්ක වැඩ කටයුතු කිරීමත් හරිම ලේසියි මේ ගමන තුළ. ඒ දෙවල් සාඩම්බරයෙන් මම භුක්ති විඳීනවා. හෙට තවත් අලුත් දවසක් උදා වෙනවා. ඒ දවස හරිම සතුටින් ඉන්න ඕන කෙනෙක් ලෙස මම හිතන්නේ.


ව්‍යාපාර කටයුතු නව තැනකද නේද ?


ඔව්. මම කරගෙන ගිය ව්‍යාපාර කටයුතු දැන් මම මිරිහානේ මගේ ගෙදරම කරගෙන යනවා. ලෝකයේ පැවැති වසංගත සමයත් එක්ක හැම කටයුත්තක්ම වෙනස්ම දිසාවකට අපේ යොමු කළා. මේ වෙනවිට අලුත් කටයුතු කිහිපයක්ම සැලසුම් කරගෙන යනවා. දුවගේ අධ්‍යාපන කටයුතුවලින් පස්සේ තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. සමාජ සේවා කටයුත්තකට මුලපුරන්න තමයි අදහස තියෙන්නේ. අපේ ක්ෂේත්‍රයේ ඉන්න අපේ පරම්පරාවට කියන දෙයක් තමයි මම තමන් හම්බකරන දෙයින් පොඩි බිස්නස් එකක් හරි පටන් ගන්න කියලා. ලෝකෙ ඕනෑම ක්ෂේත්‍රයක ජීවත්වන අයට තමාට ඒ ක්ෂේත්‍රයේ නැති වෙන දවසක් එනවා. ඒ උදාවන අවස්ථාවේදී තමන් කාගෙන්වත් යැපෙන් නැතුව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තමන් විසින්ම සාදා ගත යුතුයි. ඒ තැන තමයි මම අදත් හෙටත් මතුවටත් ජීවත් වෙන්නේ.





Previous Post Next Post