පසුගිය වර්ෂ කිහිපය පුරා බිහි වූ අලංකාර ගීත සඳහා හරි අපූරූ වූත් නැවුම් වූත් රූප රචනා රූප රාමු තුළට ගෙන ආ ඔහු චාරුක දුෂ්‍යන්ත. ඔහු නිර්මාණ කළ සෑම රූප රචනයක්ම අතිශය ජනප්‍රිය වුණා. යුටියුබ් ට්‍රෙන්ඩිං වීම අරභයා නිර්මාණ කරන ඔහු කලා ජීවිතය ආරම්භ කරන්නේ ගීත රූප රචනා නළුවෙක් හැටියට. හදවත ගැහෙනා ගීතයට විරූපී නිරූපණයක යෙදුණු ඔහු පසුව නිර්මාණකරණයට යොමු වෙනවා. ගීත සියල්ලටම සිත් ඇද ගන්නා වූ නිර්මාණ කැමරාව ඉදිරියට ගෙන ආ ඔහු නිර්මාණ තුන්සියයක පමණ හිමිකරුවෙක්. ඔහුගේ ආදරණීය බිරිඳත් නිළියක්. ඇය දිනුෂා සිරිවර්ධන. මේ කතාබහ ඒ පුංචි පවුල ගැනයි.
චාරුක මේ දිනවල යූටියුබ් ට්‍රෙන්ඩිං පස්සේ යන නිර්මාණකරුවෙක් බවට පත් වෙලා නේද ..?
වාසනාවකට මම කරන හැම ගීත රූප රචනාවක්ම යූටියුබ් ට්‍රෙන්ඩිං අතරට ගියා. ඒ අතර පසුගියදා උරේෂා රවිහාරි ගායනා කළ ඔබ කොතැනද ගීතය අතිශය ජනප්‍රිය වුණා. මේ ගීත යූටියුබ් ඇගැයීම් අතර තියෙනවා. ඇත්තම කිව්වොත් මම ගීතයකට රූප රචනයක් කරන්නෙම ට්‍රෙන්ඩිං කරන්න බලාගෙනම තමයි. ඒ හැම නිර්මාණයක්ම එකින් එක වෙනස්. මම ඒ නිර්මාණ ජනතාව අතරට අරගෙන යන්න ෆේස්බුක් මාධ්‍ය භාවිත කරනවා. අද බොහෝ දෙනෙක් සල්ලි කපාගෙන යූටිබ් බලන්නේ නැහැ. ෆේස්බුක් හරහා ප්‍රචාරය කළාම අවශ්‍ය කෙනා නිර්මාණ හොයාගෙන යූටියුබ් භාවිත කරනවා. මම ගීත 300ක රූප රචනා නිර්මාණ කරලා තියෙනවා. ඉන් 100ක් විතර ජනප්‍රියයි. 50ක් විතර ට්‍රෙන්ඩිං වුණා.
එක දිගට නිර්මාණකරණයට යොමු වෙද්දී කතා ප්රස්තුත හොයන්නේ කොහොමද ..?
මගේ ගම මාතලේ රත්තොට. මගේ ගමට අදටත් බස් එකයි තියෙන්නේ. ඉස්සර ඉදලම ගමට යන බස් එක යන එන වෙලාව අපි දන්නවා. බස් එක මිස් වුණොත් ත්‍රීවිල් එකක එල්ලිලා යන්න ඕන. එහෙම දුෂ්කරතා ඇති සුන්දර ගමක මම ජීවත් වුණේ. මගේ ගෙදර පිහිටලා තියෙන්නේ අපි ඔය පිට පළාත්වල විනෝද ගමන් කියලා යන වටපිටාවකට සමාන වටපිටාවක. ඒ නිසා පරිසරය හරියට රස වින්ඳා. පුංචි කාලේ ඉඳලා මම ඇස් පියාගෙන හීන මවාගත්ත කෙනෙක්. මගේ අම්මා මට ළඟදි කිව්වා ඉස්සර ඔයා චිත්‍රයක් ඇඳලා ඒ චිත්‍රය කතාවකට ගොතලා හරි ලස්සනට කියනවා, ඒ පුරුද්ද දැන් රස්සාවක් වෙලා කියලා. කතාවක් ගොතන්න පුළුවන් පද ටික අනුව. ගමේ සුන්දරකම අත්වින්ඳ මට ප්රස්තුත එකතු කර ගන්නෙත් ගම හා අත්දැකීම් එක්ක තමයි.
හීන පස්සේ දුවපු චාරුක ඇහැරෙන්න ඕන නිසා ද මාතලේ ගමෙන් කොළඹට එන්නේ..?
මගේ ජීවිතේම අහම්බයක්. වීඩියෝ කරණයට කොච්චර ආදරේ ද කිව්වත් මම උසස් පෙළ කරන කාලේ පාර්ට් ටයිම් ජොබ් එකක් විදියට ස්ටුඩියෝ එකක වැඩ කළා. උසස් පෙළ විභාගයට දවස් දෙකක් තියෙද්දි මගේ පාසලේ ගුරුවරියකගේ විවාහ මංගල උත්සවයක් මම වීඩියෝ කළා. එදා විවාහ උත්සවයට පාසලේ බොහෝ දෙනෙක් ඇවිත් හිටියා. ලැජ්ජාව පැත්තකින් තියලා මම මගේ වැඩ කළා. ඒ තමයි පටන් ගැන්ම. ඉන් පස්සෙ මගේ ගුරුවරයෙක් වූ කුමුදු නිශාන්ත පෙරේරා මහත්මයා short film එකක් කරා. එය නිෂ්පාදනය කළේ ශ්‍රියානි මහත්මිය. මම ඒකේ පොඩි එක් චරිතයකට රඟපෑවා. නළු උණ පටන් ගන්නේ එතනින්. ඊට පස්සේ ආයතන කිහිපයකම වීඩියෝ ඇසිස්ටන් ඩිරෙක්ටර් කෙනෙක් විදියට වැඩ කළා, අති දැවැන්ත අධ්යක්ෂවරු යටතේ වැඩ කරලා ගත්ත පළපුරුද්ද එක්ක මට හිතුණා මගේම දෙයක් කරන්න ඕන කියලා. මමයි පැතුම් රුක්ෂානුයි එක බෝඩිමේ හිටියේ. ගායක රෙඩ් එනවා පැතුම්ව හමුවෙන්න. එයා දවසක් අපිට සිංදුවක් හදන්න දුන්නා. එයා දන්නවා මම එඩිටිං වැඩ කරනවා කියලා. ඊට පස්සේ තමයි එයාගේ ගීතයක් කරන්නේ හුරතල් අක්කා කියලා. ඒක ජනප්‍රිය වුණා. එතැනින් පස්සේ මම ගීත සඳහා රූප රචනා කරන්න පටන් ගත්තා.
ඔබේ නම හා රූපය ජනතාව අතරට යන්නේ මෑතකදී. හදවත ගැහෙනා ගීතයේ රඟපෑවේ ඔබ බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ නේද ..?
බොහෝ දෙනෙක් මාව දන්නේ නැහැ. මම කවුද කියලා කාට හරි මම මාව මතක් කරලා දෙන්නේ අර හදවත ගැහෙනා ගීතයේ මුහුණේ පැත්තක් පිච්චිලා ඉන්න කෙනා මම තමයි කියලා. ඒක තමයි මගේ අයිකන් එක. ඒ ගීතයේ වීඩියෝ එක රූගත කරන දවස ළං වෙද්දීත් පිරිමි චරිතයට රඟපාන්න කෙනෙක් හිටියේ නැහැ. කතා කරපු හැම නළුවම කිව්වේ ඒක කළොත් එයාලගේ පෞරුෂයට හානියක් වෙනවා කියලා . අන්තිමට මම එහි අධ්‍යක්ෂකගෙන් ඇහුවා මොකද කරන්නේ කියලා. ඉතිං උඹ ඒක කරපං කිව්වා. මමත් මට තිබුණ නළු උණ නිසාම ඒක කළා. ඒ චරිතය කරන්න මම කටේ ගෝස් ඔබාගෙන ලොකු කට්ටක් කෑවා. නමුත් හිතුවට වඩා ඒ නිර්මාණය ජනප්‍රිය වුණා.
ඒ කාලේ ඒ ඔබ කියලා හඳුනා ගත් අය හිටියද..?
අඳුන ගත්ත අවස්ථා තිබ්බා. මම මාතලේ ගෙදර ගියේ බස් එකේ. දවසක් බස් එකේ විරාජ් පෙරේරා ගේ හදවත ගැහෙනා ගීතය රූප රචනා එක්ක යනවා. මම බස් එකේ හිටගෙන. ගීත දිහා බලලා මගේ මුහුණ දිහා බලපු මිනිස්සු හිටියා. මට හරි ලැජ්ජා හිතුණා කලාකරුවෝ කියන්නේ හිඟන්නෝ කියලා හිතයි කියලා මම මුහුණ හංග ගන්න උත්සාහ කළා. ඒ වගේ සිදුවීම් එක්ක හිතෙනවා මාව දැන ගත්ත අය හිටියා කියලා.
ඔබ භාතිය සංතුෂ් එක්ක එකට වැඩ කරන්න හීන මැව්ව කෙනෙක්ලු..?
ඒ කතාව නම් ඇත්ත. මම භාතිය සංතුෂ් අයියලා දෙන්නට මාර ආදරෙයි. මම කැමති ගායකයෝ. පුංචි කාලේ හිතා ගත්තා කොහොම හරි එයාලා එක්ක වැඩ කරනවා කියලා. මට මතකයි මම පුංචි කාලේ එයාලගේ තාරුණ්‍යයේ කැසට් පටය අතිශය ජනප්‍රිය වුණ කාලේ ඒක රුපියල් 125ක් දීලා ගන්න කාපු කට්ට. මම ඒ සිංදු ටික කැසට් එකකට කොපි කරලා දෙන්න කියලා රෙකෝඩ් බාර්වලට ගියාම බැහැ සල්ලි දීලා ගන්න කිව්වා. ඉතිං රුපියල් 125 මම මාස ගාණක් එකතු කරලා කැසට් එක ගත්තා. ඒ කැසට් එකේ සිංදු දවසට කී වතාවක් අහන්න ඇතිද? භාතිය සංතුෂ් කියන්නේ මගේ ජීවිතේ වෙනස් කරපු දෙන්නෙක්. මාව විශ්වාස කරලා හරියට වැඩ දුන්නු දෙන්නෙක් ඒ. එයාලගේ ගීතයකට මගේ අතින් වීඩියෝ එකක් කරන්න ලැබීමත් හීනයක් වගේ.
ජීවිතේ ලැබුණු හැම දෙයක්ම අහම්බෙන් ළංකරගත් චාරුකට බිරිඳ ලැබෙන්නේත් අහම්බයකින් ද..?
ඒකත් අහම්බයක්. මම හා හා පුරා කියලා වාහනයක් ගත්තා, ඒක අරන් දවස් දෙක තුනක් ගියේ නැහැ එක නිර්මාණ කටයුත්තක එහි අධ්යක්ෂ සත්සර අයියා මට කිව්වා ප්‍රඩක්ෂන් වෑන් එක බ්රේක් ඩවුන් මොඩ්ල් ගන්න විදිහක් නැහැ එන ගමන් මහරගමට ගිහිං අහවල් තැනින් එයාව අරන් එන්න කියලා. මට වාහනේ පුරුදුත් නැහැ. කොහොම හරි එයාව ගන්න ගියා. එයා ආවේ අම්මා එක්ක. මම කිව්වා දෙන්නගෙන් එක්කෙනෙක් ඉස්සරහට එන්න මට ඩ්‍රයිවර් වෙන්න බැහැ කියලා. එයාගේ අම්මා ඇවිත් වාඩි වුණා. ලොකුවට කතාබහ කළේ නැහැ. වාහනේ අවධානය තිබ්බ නිසා. එදා එයාව මට විශේෂයක් වුණේ නැහැ. ඊට පස්සේ දවසකත් අපේ නිර්මාණයකට සම්බන්ධ වුණා . එතකොට එයාව ලස්සනට දැක්කා. ලංකාවේ ඉන්න දක්ෂම කැමරා Dop තමයි ලියනගේ කියන්නේ. මම ලියනගේ අයියට “කෙල්ල නම් ලස්සනයි අයියේ. ටැටූ ගහලා ඉන්න නිසා කොහොම චරිතයක් ද දන්නේ නැහැ“ කිව්වා එයා කිව්වා අවුරුදු කුමාරි තරගයෙන් දෙවැනි තැනට ආව කෙනෙක් උබ කැමති නම් මම හොයලා බලන්නම් කියලා . ඊට පස්සේ එයා කිව්වා හොඳ කෙල්ලෙක් කියලා. මගේ හොඳම යාළුවා පැතුම් රුක්ෂාන් මම එයාටත් කිව්වා. එයත් මෙයා හොඳ කෙනෙක් කිව්වා. එතැනින් පස්සේ දිනුෂා එක්ක කතා කළා. ආදරේ ප්‍රකාශ කළාම ඔයාට ඕන තරම් කෙල්ලො ඇති බොරු කරයි වගේ කතා ගොඩක් කිව්වා. ඊට පස්සේ නිතරම චැට් කරන්න වෙලාවක් ලැබුණේ නැහැ. එයා හිතලා මම තරහා වෙලා කියලා , ආයෙත් චැට් කරන්න ගත්ත දවසක කැමැත්ත දුන්නා. ඊට පස්සේ ආදරේ කරලා විවාහ වුණා. අපේ දූ ආරාධ්‍යා වයස අවුරුදු තුනයි. දැන් මගේ ජීවිතේ ඒ දෙන්නා තමයි.
ඇයට පුංචි තිරයේ නිළියක් කරන්න අවස්ථාව අරන් දෙන්නේ ඔබ..?
ඔව්. පැතුම් තමයි උදව් කරන්නේ. එයා හිතවත් ශාන්ත සොයිසා මහත්තයා එක්ක. එතුමාව ගිහිං මුණගැහුණා . දිණුෂාට ඔහු අවස්ථාවක් දුන්නා නෙතු නාට්‍යයේ රඟපාන්න.
චාරුකගේ කතාබහෙන් පසුව ඔහුගෙ ආදරණීය බිරිඳ මේ විදිහට කතාබහ ට එකතු වුණා
කොහොමද දිනූෂා ඔබට ..?
හොඳින් සතුටින් ජීවත් වෙනවා.
දිනුෂා විවාහ ජීවිතේ දුවණිය එක්ක ගෙවන සුන්දර කාලේ කොහොමද දැනෙන්නේ, බරක් වගකීමක් වගේ ද..?
මගේ පුංචි සුරංගනාවියත් එක්ක ගෙවන ඡිවිතය හරිම සුන්දරයි. මං හිතනවා දියණියක් ඉන්න අම්මා කෙනෙකුට ඡිවිතේට ඒක බරක් විදිහට දැනෙන්නේ නැහැ. ඒක ලොකු වගකීමක් කියලයි මම හිතන්නේ. දියණියකගේ අනාගතය සාර්ථක කර ගන්නවා බලන එක තමයි හැම අම්මා කෙනෙකුගෙම ප්‍රර්ථනාව. මමත් ඒ ප්‍රාර්ථනා එක්ක ජීවත් වෙන අම්මා කෙනෙක්. කොච්චර කාර්යබහුල වුණත් පවුල ඇතුළේ ඒක මට බරක් නෙමෙයි .
නිළියකගේ වගකීම් පැත්තකින් තියලා පවුලේ වගකීම අතට අරන් වගේ..?
නෙතූ නාට්‍යයෙන් පස්සේ මම රඟපෑවේ නැහැ. දවසින් දවස පවුලේ වගකීම් වැඩි වෙනවා. දුව දැන් පෙර පාසල් යනවා. එයාගේ හුරතල් කාලේ මම ළඟින් ඉන්න ඕන. ඒ නිසා ටිකක් නිළිකම පැත්තකින් තිබ්බා.
ඒ කියන්නේ වෙළෙඳ දැන්වීම්, රූප රචනා වගේම ටෙලිනාට්‍යවලින් දැක ගන්න ලැබුණු ඔබව ආයෙමත් පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නේ නැද්ද ..?
හොඳ නිර්මාණයක් ලැබුණොත් භාර ගන්නවා. මං හැමදේම තෝරා බේරාගෙන භාර ගන්නේ. එදා ඉඳලා මං හරි බයයි මගේ නම කැත කර ගන්න. මේ ක්ෂේත්රයේ හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියනවා. ඒ නිසා මම කල්පනාවෙන් මේ ගමන යන්නේ. මට හදිස්සියක් නැහැ,
එහෙම නැත්තම් පවුල කියන රාමුවට සැමියා ඔබව කොටු කරල ද..?
ඇත්තටම නැහැ. අපි යාළු වුණ දවසේ ඉදලා අද වෙනකම් එයා මට කිසිම නීතියක් දලා නැහැ. ගෙදරට වෙලා ඉන්න කියලා නැහැ. මං එළියට ගියත් calls අරන් වද දෙන්නේ නැහැ කොහෙද ඉන්නේ කිය කිය අහලා. අපි දෙන්නා කරන ජොබ් එකත් එක්ක ගොඩක් තේරුම් අරන් මේ ගමන යන්නේ.
සැමියා මේ දවස්වල ජනප්‍රිය චරිතයක්. ඔහු කරන හැම ගීතයක්ම අතිශය ජනප්‍රිය වුණා ඔහුගේ සංකල්ප සහිත රූප රචනා නිසා. මොකද හිතන්නේ ..?
ඇත්තටම මට ගොඩක් සතුටුයි වගේම හරි අාඩම්බරයි. ඒ හැම නිර්මාණයක්ම සාර්ථක වෙන්න හේතුව, නිර්මාණයේ මුල සිට අවසානය දක්වා හරි උනන්දුවෙන් වැඩේ සාර්ථකව නිම කරන නිසා. ඉතිං එයාගේ ඉෂ්ට වෙන හැම බලාපොරොත්තුවක් එක්කම පිටිපස්සේ ඉඳගෙන මං හැමදාම සතුටු වෙන කෙනෙක්.
ඔහුගේ නිර්මාණවලට ඔබට අවස්ථා ලැබෙන්නේ නැද්ද ..?
මට ගැළපෙන හොඳ නිර්මාණ ලැබුණොත් එවාට මාව සම්බන්ධ කරගන්න එයාගේ අකමැත්තක් නැහැ.
දෙන්නම කලාවෙන් කර්යබහුල වෙද්දී පුද්ගලික ජීවිතේ ගළප ගන්නේ කොහොමද කියලත් කතාබහ අවසන් කරන්න කලින් කියමු.?
කලාවයි, පුද්ගලික ජීවිතයයි කියන්නේ දෙකක්. ඒක අපි දෙන්නා හොඳට තේරුම් අරගෙන මේ ජීවිතේ සතුටින් ගෙවාගෙන යනවා. හැම වෙලාවකදීම මුල් තැන දෙන්නේ අපේ පුංචි පවුලට. කොච්චර කාර්යබහුල වුණත් සතුටින් ජීවත් වෙන්න අපි උත්සාහ කරනවා. ඒ නිසා කාර්යබහුලයි කියලා දේවල් පටලවා ගන්නේ නැතුව ගළපා ගෙන මේ ජීවිතේ ගෙවනවා.