අපි දෙන්නාගේ තියෙන්නේ සහෝදර බැඳීමක් නෙමෙයි - ඉරෝෂ සහ නිරෝෂ




එක අත්තක පිපි මල් දෙකක් වූ සහෝදරියන් දෙදෙනෙක් එකෝමත් එක කාලෙක සැමගේ ඇස් කාන්දමකින් වගේ ඇදගත්තා. එකී ආකර්ෂණය කොතෙක්ද කියනවා නම් තාමත් ඉරෝෂයි නිරෝෂයි නම කියූ සැණින් ඒ දඟකාර, හැඩකාර රුවැත්තියන් ඇස් මානයේ පෙනෙනවා පමණක් නොවෙයි,ඒ කටහඬ හා ඒ සිනහව කන් අස්සේ දෝංකාර දෙන තරමටම ළැබැදියි. මේ අක්කා නංගියි දෙදෙනා කාලෙකින් නොදුටු නිසා ඔවුන් සමඟ පිළිසඳරක යෙදෙන්නට අපි හිතුවා. අපි මුලින්ම හැරුණෙ නිරෝෂා පෙරේරා වෙතටයි.


රංගනයට, නර්තනයට, නිවේදනයට දක්ෂ ඔබ ඇයි කලාවෙන් ඈත්වෙලා ඉන්නේ..


මම කොහොමත් රේස් එකක් දුවපු කෙනෙක් නෙමෙයි. හැමතිස්සෙම රූපවාහිනියෙ ඉන්න අවශ්‍යයි වගේම ලැබෙන හැම කාර්යයක්ම භාර ගන්න අවශ්‍යයි කියන මතයක මම හිටියේ නැහැ. හැම තැනකම පේනවට වඩා නොපෙ‍ෙනන කෙනා කැපී පෙනෙනවා වැඩියි. මට ආරාධනා කරන හැම නිර්මාණයකටම මම දායක වෙන්නේ නැහැ. ඒ අතරින් මම යම් තෝරාගැනීමක් කරනවා. මම ඕනෑම කාර්යයක් කරන්නෙ යම් සමබරතාවයක් ඇතිවයි. ඒ වගේම මම වැඩ අඩුවෙන් කරලා වැඩියෙන් විවේක ගන්න කෙනෙක්. මේ හේතුව නිසා මම කලාව තුළ නිතර නොදකිනවා කියන කාරණය සාධාරණීකරණය වෙනවා.


එසේ දක්ෂතා සඟවාගෙන සිටීම ඔබට අවාසි සහගත නැද්ද?


සද්ද දැම්මත් එය යම් සීමාවක් තුළ කළ යුතුයි. ඔක්කොම ශිල්ප එකවර ප්‍රදර්ශනය කළාම අප තුළ අලුත් යමක් නැති වෙනවා. යම් හැකියාවක් මා තුළ තිබෙනවා කියලා මං දන්නවා නම් එය ප්‍රදර්ශනය කිරීම අත්‍යවශ්‍ය නැහැ. එහිදී මම මුලින්ම අවධානය යොමු කරන්නේ මගේ ආත්ම තෘප්තිය සඳහායි. මම යමක් සතුටින් ඒ වගේම එය හොඳින් දැනගෙන කරනවා නම් පමණයි තවත් කෙනෙකුට සතුටක් දැනවීමට හැකියාව තිබෙන්නේ. ඒ වගේම මම අනාගතය ගැන සැලසුම් මවන්නෙක් නෙමෙයි. නමුත් ස්වභාවධර්මය හරි අපූරුවට මගේ අනාගතය වගේම වර්තමානය සැලසුම් කර තිබෙනවා. මම විශ්වාස කරනවා සැඟවිලා තියෙන්නේ ලස්සනම දේවල් කියලා. හැම විටම පෙනී සිටියම දකින පුද්ගලයන්ට මාව හිටියා ඇති වගේ හැඟීමක් දැනෙනවා. මා සම්බන්ධයෙන් එවැනි හැඟීමක් ප්‍රේක්ෂකයා තුළ ගොඩනැඟෙනවාට මම කැමති නැහැ.


බාහිර කථිකාචාර්යවරියක් ලෙස ඔබගේ භූමිකාව ගොඩනැගෙන්නේ කොහොමද?


මම කරන වෘත්තීන් හා කාර්යභාරයන් අතරින් මම ප්‍රසිද්ධියේ නොකියන භූමිකාවක් විදිහට එය හඳුන්වන්න පුළුවන්. එය කැමරාවට අදාළ නොවන පැතිකඩක්. මම බාහිර කථිකාචාර්යවරියක් ගුරුවරියක් උපදේශිකාවක් බව දන්නේ මගේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන් පමණයි. ඒවා දීර්ඝ කාලීන වෘත්තීන් ලෙස මම සිදු කරන්නේ නැහැ. මට නිදහස අවශ්‍යයි. එය මම උකහා ගත් දැනුම සම්ප්‍රේෂණය කිරීමට ගත් වෑයමක් පමණයි. ඒක මාකට් කරන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ.


නිවේදන වෘත්තියෙ ආචාරධර්ම බිඳහෙළන අසංවර නිවේදන භූමිකාවන් වර්තමානය තුළ ප්‍රවණතාවයක් වී තිබෙනවා. ඒ ගැන ඔබ දක්වන අදහස මොකද්ද?


අනිත් පුද්ගලයන් ගැන අදහස් දක්වන්න මගේ අවධානය විශේෂයෙන් ඔවුන්ට යොමුකර නැහැ. නමුත් රටේ ජීවත්වෙන වගේම පවතින තත්වය ගැන යාවත්කාලීන වන කෙනෙකු විදිහට මට එකී තත්ත්වය ගැන යම් අදහසක් තිබෙනවා. එක් එක් පුද්ගලයා යම් වෘත්තීන් තෝරා ගන්නේ යම් යම් පරමාර්ථ පෙරදැරිවයි. විශේෂයෙන් වෙනත් කාර්යයකට දක්ෂ පුද්ගලයන් නිවේදන කාර්යයට යොමු වීම තුළ එකී ප්‍රවණතාවය ගොඩනැඟෙනවා. එහිදී එම පුද්ගලයන්ට ඇඟිල්ල දික් කිරීම පමණක් සදාචාර සම්පන්න නැහැ. නිවේදනයට අදක්ෂ පුද්ගලයන්ව මාධ්‍ය ආයතනවලින් උලුප්පා පෙන්වීම තුළ එකී මාධ්‍ය ප්‍රධානීන් වගේම එකී නිවේදකයන්ට අවලාද නඟමින් හෝ නරඹන ප්‍රේක්ෂකයන්ටත් එම වැරදිකාර හැඟීමේ කොටසක් අයිති වෙනවා. එහිදී ඉහත දැක්වූ එක් කොටසකින් හෝ ඔවුන්ව ප්‍රතික්ෂේප කරනවා නම් ඔවුන්ට පැවැත්මක් ගොඩනඟා ගන්න අපහසුයි.


කන්දක් සේමා චිත්‍රපටිය තුළින් පාඨකයා ගේ සංකල්ප රූප ගොඩනැඟූ නූපාව සැබවින් ජීවමාන කිරීමට හැකි වූවා යැයි ඔබ විශ්වාස කරනවද?


පොතක් චිත්‍රපටයක් වීම ඉතාමත් අවදානම් සහගත වැඩක්. සුමිත්‍රා රාහුබද්ධ ලියූ නූපා චරිතය කියවන්නා කෙසේ මවා ගත්තා ද යන්න තීරණය කිරීමට අපට හැකියාවක් නැහැ. නමුත් චරිතයට මාව තෝරා ගත්තේ කතාව ලියූ රාහුබද්ධ මහත්මියයි “මම ලියපු නූපාව හරියටම කවුද කියලා දන්නේ මමයි.“කියලයි රාහුබද්ධ මහත්මිය කියන්නේ. එකී තෝරා ගැනීම තුළ මගේ භූමිකාව වන්නෙ තිර කතාවට හා අධ්‍යක්ෂකවරයාට අනුව රඟ දැක්වීම පමණයි.මේ වන විට කන්දක් සේමා චිත්‍රපටිය සිනමා සම්මාන උළෙලවල් වල ප්‍රදර්ශනය කළ නිසා එය නැරඹූ සීමිත පිරිසක් සිටිනවා. ඔවුන් එම චිත්‍රපටය පිළිබඳව කතා කරන්නේ ප්‍රශංසා මුඛයෙන්. මෙම චිත්‍රපටිය සුවිශේෂ වන්නේ අවුරුදු ගණනාවක් මුළුල්ලේ මෙය නැරඹීමට සැදී පැහැදී ප්‍රේක්ෂක පිරිසක් සිටීමයි. චිත්‍රපටිය සම්පූර්ණම රූගත කළේ ජපානයෙයි. ජපානයේ සෘතු හතරම ආවරණය වන ලෙස එකී රූගත කිරීම් සිදු කළා.මෙය සත්‍ය කතාවක් නිසා සැබෑ නූපාව මට මුණ ගැහුණා. එහිදී නූපා චරිතයට රාහුබද්ධ මහත්මිය මාව තෝරා ගත්තේ ඇයි කියලා මට තේරුණා


ඇත්තම නූපාව ඔබගෙ හැඩහුරුකම් වලට සමාන ද?


ඒක රහසක්. ඒ තරම් විස්තර දැන්මම කියන්න නරකයි. ඒ කුතුහලය ඒ විදිහටම තියාගන්න.


නිරෝශාගෙ නමත් එක්කම එකට ඈදෙන ඉරෝශාගෙ සහෝදර බැම්ම ගැන අපි කතා කරමු


ඉරෝශා කියන්නේ මගේ පිනට පහළ වුණ නංගියෙක්. ඉරෝශා තමයි මගේ හොඳම යාළුවා. ඒක විස්තර කරගන්න බැරි හැඟීමක්. මම ගොඩාක් වාසනාවන්තයි කියලා හිතෙන එක සාධකයක් ලෙස ඇයවත් හඳුන්වන්න පුළුවන්.


ළඟදීම මංගල සීනු හැඩවෙයි ද


අපි යම් දෙයක් ගැන හිතන්නෙ ඒ ගැන උනන්දුවක් තිබෙනවා නම් පමණයි. මට විවාහය ගැන කිසිම උනන්දුවක් නැහැ .ඒ වගේම විවාහය මට අත්‍යවශ්‍ය දෙයක් ලෙස මම දකින්නේ නැහැ. මම හරිම පෞද්ගලිකයි. මම කොතරම් පෞද්ගලික ද කියනවා නම් තවත් පාර්ශ්වයක් සමඟ මගේ පෞද්ගලිකත්වය බෙදාගන්නවත් මම කැමති නැහැ. ඒ වගේම විවාහය සම්බන්ධයෙන් මට සසර ගනුදෙනුවක් නැහැ. ඒක මට විශ්වාසයි.


ඊට පස්සේ අපි හැරුණේ ඉරෝශා පෙරේරා දිහාවට...


ඔබ මේ දිනවල කලාවෙන් තරමක් ඈත්වෙලා නේද?


ඔව්. මේ දිනවල මම කිසිදු කලා කටයුත්තක් කරන්නේ නැහැ. මගේ ව්‍යාපාර කටයුතු කරමින් සාමාන්‍ය ලෙස කාලය ගත කරනවා.


ව්‍යාපාර කටයුතුවල විස්තර කොහොමද?


පසුගිය දිනවල කොවිඩ් අර්බුදකාරී තත්ත්වය නිසා වැඩි කාලයක් මම ලංකාවේ හිටියා. නමුත් ඉදිරියේදී ලංකාවේ අඩු කාලයක් ගත වේවි කියා මම හිතනවා. ටෙලිවිෂන් ප්‍රඩක්ෂන් සාමාන්‍ය ලෙස කරගෙන යනවා. ඊට අමතරව තවත් ව්‍යාපාර කිහිපයක් පිටරට තිබෙනවා. ඒවාත් හොඳින් කරගෙන යනවා.


ජාත්‍යන්තරය සමඟ නිතර ගැටෙන කෙනෙක් ලෙස ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ තිබෙන යම් යම් අර්බුදකාරී තත්ත්වයන්ට ඔබ දකින පිළියම් මොනවාද?


මේ වනවිට ලංකාවේ කලා ක්ෂේත්‍රයේ තාක්ෂණික පැතිකඩ යම් තරමක හොඳ මට්ටමක තිබෙනවා. අතීතයේ තාක්ෂණික ගැටලු පැවතුණත්, නිර්මාණශීලී කලා නිර්මාණ බොහොමයක් බිහි වුණා. අතීතයේ පැවති ඇතැම් වෙ‍ෙළඳ දැන්වීම්, ටෙලි නාට්‍ය තේමා ගීත වැනි දේවල් තවමත් අපගේ මතකයේ තිබෙන තරමට හරිම නිර්මාණශීලීයි. නමුත් වර්තමානයේ ඇතැම් නිර්මාණවල ප්‍රධාන චරිතයවත් මතකයේ රැඳෙන නැති තරම්. වෙනත් රටවල කලා නිර්මාණ රස විඳින පිරිසක් වගේම ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමට පිරිසක් සැදී පැහැදී සිටිනවා. නමුත් ලංකාව තුළ එම සහභාගිත්වයේ අඩුවක් මම දකිනවා. යම් කෙනෙක් නිර්මාණයකට මුදල් ආයෝජනය කරන්නේ ලාභ ලබාගැනීමේ පරමාර්ථයෙනුයි. ඒ නිසා ඔවුන් පවතින තත්වයට හා ප්‍රවණතාවයට අනුගත විය යුතුයි. ඒ නිසා එකම කුලක නිර්මාණ රැසක් වර්තමානයේ බිහි වී තිබෙනවා. නමුත් කලාව චක්‍රයක් සේ තත්පරෙන් තත්පරේ වෙනස් වෙනවා කියා මම විශ්වාස කරනවා. ඒ නිසා යම් කාලයක පවතින තත්වය වෙනස් වෙලා කලාත්ම ගුණාත්මක නිර්මාණ රස වින්දනයට ප්‍රේක්ෂකයන් රොද බඳීවි කියා මම හිතනවා.


ඔබ කලා ක්ෂේත්‍රයෙන් එකපාර අතුරුදහන් වෙන්නේ ඇයි?


මම කලා ක්ෂේත්‍රයෙන් එකපාර අතුරුදහන් වුණා කියනවට වඩා එකපාර මං කලා ක්ෂේත්‍රයට කඩාවැටුණා කිව්වොත් හරි. මොකද මම රංගනයට පිවිසෙන්න කිසිම බලාපොරොත්තුවක් තිබූ කෙනෙක් නෙමෙයි. මගේ අක්කා කලාවට සම්බන්ධ වී සිටි නිසා මටත් අවස්ථාවක් ලැබුණා. මීඩියා සම්බන්ධයෙන් මගේ රුචිකත්වය තිබුණේ කැමරාව පිටුපස තිබෙන තාක්ෂණික කාර්යභාරය සඳහායි. දැණුත් මගේ වෘත්තිය වීඩියො ප්‍රඩක්ෂන් නිසා ඊට බෙහෙවින් සමීපයි. මම මෝරපු තාක්ෂණික ජීවියෙක් ලෙස මාව දකිනවා. කුඩා කාලයේ පටන්ම මගේ කැමැත්ත තිබුණෙ ව්‍යාපාර කටයුතු වලටයි. රංගන කටයුතුවලට මම දායක වුණේ මගේ ජීවිතයේ යම් යම් අවස්ථා වලදී ලැබුණු විවේක කාලවලදීයි. මගේ මූලික අරමුණ ගොඩනැඟුණේ ව්‍යාපාර සමඟයි. ඒ නිසා මගේ අරමුණු මම ක්‍රමක්‍රමයෙන් සාක්ෂාත් කර ගත්තා. නමුත් විදේශ රටවල පසුකාලීනව මම කලා කටයුතු කිහිපයක් සිදු කළා.


ඔබ අඩු නිර්මාණ ප්‍රමාණයකින් සහෘදයන්ගෙ වැඩි මතකයක් ඉතිරි කළ කෙනෙක්. එවන් පුද්ගලයෙකු බවට පත් වීමට ඔබ ගත් ව්‍යායාම් මොනවාද? 


මම කළේ ගණන් කර කීමට හැකි තරම් ඉතාමත් අඩු කලා නිර්මාණ කිහිපයක් පමණයි. නමුත් තවමත් මා වෙනුවෙන් යම් ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා. මට යම් නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් මම එම චරිතය මට හැකි උපරිමයෙන් වගේම කැපවීමෙන් ඉටු කරනවා. මං හිතන විදියට මිනිසුන්ගේ මතකයේ රැඳීමට එය එක් හේතුවක් වෙන්නට ඇති. ඒ වගේම වාසනාවත් ඊට අඩු වැඩි වශයෙන් බලපාන්න ඇති කියා මම හිතනවා.


හොඳ කලා නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් ඔබ එය භාරගන්නවද


මම කවදාවත් නැහැ කියන්නේ නැහැ. මොකද ඕනම දෙයක් ඕනම වෙලාවක සිදුවෙන්න පුළුවන්. ඒ නිසා ඉදිරියේදී එවන් දෙයක් වීමටත් නොවීමටත් ඉඩ කඩ තියෙනවා. මම යමක් කරනවා නම් හරියටම කරනවා. නමුත් පවතින තත්ත්වය තුළ කලා නිර්මාණයකට දායක වීමට ඉඩකඩක් නැහැ. නමුත් අනාගතය තුළ කලාවට සම්බන්ධව නොවෙනවා යැයි නිශ්චිතවම කියන්නෙත් නැහැ.


ඉරෝශා නිරෝෂා එකමුතුව ගැන ඔබට දැනෙන හැඟීම කෙබඳුද?


අපි දෙන්නාගේ තියෙන්නේ සහෝදර බැඳීමක් නෙමෙයි ඒක සංසාරගත බැඳීමක්. ඇය නිරූපණය කරන්නේ මගේ වැඩිමහල් සහෝදරියගේ භූමිකාව පමණක් නොවෙයි. විටෙක ඇය හොඳම යාළුවෙක් විටෙක උපදේශිකාවක් තවත් වෙලාවක ඇය මවගේ හා පියාගේ භූමිකාවත් ඉටු කරනවා. කෙටියෙන්ම කියනවා නම් ඇය මගේ හැමදේම. මට හිතෙනවා මාව සංසාරෙන් එතෙර කරන්න මට ලැබුණු කල්‍යාණ මිත්‍රයා ඇය කියලා. මගේ අක්කා මට ලැබුණේ මගේ පිනටයි.


ආදරේ ගැන මොකද හිතෙන්නේ


ආදරය කියන්නේ හැමෝටම අත්‍යවශ්‍ය දෙයක්. ආදරය විවාහයකින් අවසන් විය යුතුයි වගේම තවත් පුද්ගලයකු සමඟ බැඳිය යුතුයි කියා නියමයක් නැහැ. සමහර මිනිස්සු පොත්වලට, කාර් වලට, සිහිනවලට, රැකියාවට ආදරය කරනවා. ඒ කුමන ආකාරයකට බැඳුනත් ආදරේ කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්.


ඉරෝශා ආදරවන්තියක් ද?


මට කසාදයක් ගැන කිසිම අදහසක් නැහැ. ඒ වගේම ඒ මගේ පැවැත්මට එය අත්‍යවශ්‍ය දෙයක් ලෙසත් මම දකින්නේ නැහැ. ආදරය එක් එක් පුද්ගලයාට පුද්ගලානුබද්ධයි. කසාදය හැමෝටම හරි යන්නේ නැහැ. මම එහෙම කියන්නේ මට ඒ සම්බන්ධයෙන් ගැටලුකාරී අදහසක් තියෙන නිසා නෙමෙයි. නමුත් මට එය අවශ්‍ය නැහැ කියලා හිතෙනවා.





Previous Post Next Post