අන්තිමට එයාගෙ හීන අතෑරලා මගෙ හීනෙට ඉඩ දුන්නා - අශාන් ප්‍රනාන්දු




ස්වාධීන නාළිකාවේ එෆ්. එම්. චැනලයට ‘හීන කැන්දන ආදරේ‘ තේමා ගීතය නිර්මාණය කරමින් ක්ෂේත්‍රයට පිවිසුණු අශාන් ප්‍රනාන්දු ප්‍රසංග වේදිකාවට වගේම විරහවට පෙම් බඳින තාරුණ්‍යයටත් දැන් නැතුවම බැරි ගායකයෙකි. මේ වනවිට ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය තුළ ද ඔහුගේ ප්‍රතිභාව හොඳින්ම දිස්වේ. පසුගියදා ඔහු ගැන නැවතත් කතාබහට ලක්වුණේ ‘තාත්තාගේ ආලේ‘ නමින් ගුවනට මුසුවුණු ඔහුගේ නවතම මියුසික් වීඩියෝවත් සමඟිනි. 


අශාන් අපේ කතාබහට එක්වුණේ තාත්තාගේ ආලේ බිහිවුණු හැටි ගැන මේ විදිහට අදහස් දක්වමිනි.


“මායි කුමුදියි පහුගිය අවුරුද්දේ විදෙස්ගත වුණේ කුමුදිගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා. හදිසියේම ආවේ නිවාඩුවට. එහේදි අනුෂිකා හේවාපතිරණගේ හැඩගැන්වීමෙන් මෙල්බර්න් විදිහට වෙඩිං ෂූට් එකක් කරන්න අවස්ථාව ලැබුණා. ඒක අපිට අමතක නොවන අත්දැකීමක්.


මේ ගමනට ඇරෙන්න මං කවදාවත් අම්මගෙන්, තාත්තගෙන් මේ තරම් කල් ඈත්වෙලා ඉඳලා නෑ. කුමුදිත් එහෙමයි. එයා මටත් වඩා තාත්තට සමීප කෙනෙක්. ටුවර් එකක් ගියත් දවස් දෙක තුනකින් එනවා. කාලෙකට ගිය නිසා මේ පාර තනිකම පුදුම විදිහට දැනුණා. ඒ දැනුණු සංවේදීකමත් එක්කයි මගේ අතින් මේ තනුව නිර්මාණය වුණේ. මං වෙන සින්දුවක් රිලීස් කරන්න හිතාගෙන හිටියෙ. තාත්තා තමයි මගේ ලෝකය. එයාගෙන් ඈත්වෙලා ඉන්නව කියන්නේ පුදුම වේදනාවක්. ඒ කම්පනය මට දරාගන්න බැරි වුණා. මගේ තනුවට ගී පද යෙදුවේ දුමින්ද අලහේන්ද්‍ර අයියා. පවුල් දෙකේම මවුපියන් යොදාගෙන එයාලටත් නොදැනෙන්න එයාමයි වීඩියෝ එකත්


කළේ.”


‘තාත්තාගේ ආලේ‘ අශාන්ගේ තාත්තට ලොකු සර්ප්‍රයිස් එකක් වුණා කියලත් ආරංචියි. තාත්තගේ ප්‍රතිචාරය ගොඩක්ම සතුටුදායක බව අශාන් පැවැසුවේ මේ විදිහට.


“මට ඕන වුණේ හැමෝටම ‘තාත්තාගේ ආලේ‘ සර්ප්‍රයිස් එකක් කරන්න. ඒකයි ඒක තාත්තගේ උපන්දිනේ දවසෙම රිලීස් කළේ. තනුව හදලා දුමින්ද අයියට කියලා වචන දාගෙන වීඩියෝ එකත් කරලා සතියක් ඇතුළත සින්දුවේ වැඩේ කළා. ලොකුම අභියෝගය වුණේ තාත්තටත් නොදැනෙන්න වීඩියෝ එක කරගන්න එක. ඒකෙ අපේ තාත්තා, අම්මා වගේම කුමුදිගේ තාත්තා, අම්මත් ඉන්නවා. දුමින්ද අයියා එයාලට නොදැනෙන්න ඒක ෂූට් කරගෙන තිබුණා. තාත්තගෙ උපන්දිනේට අපි හිටියේ ඕස්ට්‍රේලියාවේ. එහේ ඉඳන්මයි ඒක රිලීස් කළේ. ඒක දැකලා හැමෝම ගොඩක් සංවේදී වුණා. තාත්තට ගොඩක් සතුටුයි. මගේ අතින් නිමවුණු වටිනාම නිර්මාණය තමයි මේක. අම්මා, තාත්තා ළඟ ඉන්න කල් අපිට එයාලව ලොකුවට දැනෙන්නෑ. එයාලගෙන් ඈත් වුණාම තමයි ඒක දැනෙන්නේ. 



අශාන් කුමුදි දෙන්නම තාත්තගේ ආලෙ විඳින්න ලංකාවට ආවට වැඩිදුර අධ්‍යාපන කටයුතු නිමකරන්න ආයෙමත් යායුතු වෙනවා. කෙසේ වෙතත් නැවත යන්න සිද්ධ වෙන එක ගැන අශාන් හිටියේ සංවේදී වෙලා. 


“කොහේ ගියත් අපේ රට තරම් වටින්නේ නෑ. කුමුදිගේ ඩිග්‍රියේ වැඩ ඉවර කරගත්ත ගමන්ම ලංකාවට එනවා. ලංකාව තරම් නම් ලෝකෙ කොහේවත් හොඳ නෑ. කුමුදිටත් ඒක ඒ විදිහටම දැනිලා. ඒත් එයාගෙ වැඩිදුර අධ්‍යාපනය නිම කරන්න ආයෙම අපිට ඉක්මනින්ම යන්න වෙනවා. ඒ අතරතුර මාත් මගේ සංගීත කටයුතුවල නිරත වෙනවා. එහේ මගේම ස්ටුඩියෝ එකක් හදාගෙන යනවා. ඒත් කුමුදිගෙ අධ්‍යාපන කටයුතු ඉවර වුණ ගමන්ම අපි ආයෙම ලංකාවට එනවා. ලංකාව තරම් නම් හොඳ රටක් ලෝකෙ කොහේවත් නෑ. ඒක නම් හොඳටම දැනුණා.“


නව නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදී එන්න තියෙන බව පැවසූ අශාන් ඒ අතර කාටත් සප්‍රයිස් එකක් වෙන එකකුත් තිබෙන බවත් පැවසුවා.


“රිලීස් කරන්න මගේම සින්දු දෙකක් කරලා ඉවරයි. එකක් මනුරංග විජේසේකරගේ පද රචනයක්. අනිත් එක දුමින්දගෙමයි. ලබන මාසෙ වගේ එක සින්දුවක් රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා. අනෙක තව මාස තුනකින් වගේ රිලීස් කරනවා. වෙන අයගේ නිර්මාණ 6කුත් කරලා තියෙනවා. ඒවත් ලබන මාසෙ වෙද්දි රිලීස් කරනවා. ඒවගේ ට්‍රේලර්ස් කිහිපයක් මේ වන විටත් ෂෙයාර් වෙනවා. ඒ අතරින් එකක් හිතාගන්නවත් බැරි කෙනෙක්ගේ. ඒක නම් හැමෝටම සප්‍රයිස් එකක් වේවි. බලාගෙන ඉන්නකෝ. ඊට අමතරව මේනක රාජපක්ෂගේ ටෙලි ඩ්‍රාමා 2ක සංගීත නිර්මාණය කළේ මමයි, මගේ මල්ලියි. ඒ දෙක එන්න තියෙනවා. දැනට මං සංගීත නිර්මාණය කළ රැල්ල වෙරළට ආදරෙයි, සිහින ගෙනෙන කුමාරියේ වගේම දිවිතුරා යන ටෙලි නාට්‍ය තුනම විකාශනය වෙනවා.“


තමන්ට කුමුදි හමුවුණු මතකයත් අවදි කරමින් අශාන් පවසන්නේ මෙහෙම කතාවක්.


“කුමුදිගෙ හමුවීමත් හරි දෛවෝපගත සිදුවීමක්. දවසක් මං ෆේස්බුක් එකේ ඉහළට පහළට යන අතරේ නෙළුම් මල් පොකුරක් අතේ තියාගෙන ඉන්න අහිංසක ගෑනු ළමයෙක්ගෙ ෆොටෝ එකක් දැක්කා අහම්බෙන්. ඒක දිහා බලලා පහළට ගියාට මගේ හිතට හරි අමුත්තක් දැනුණා. මං ආයෙම ඒක හෙව්වා. ගොඩක් වෙලා ගියාට පස්සෙ තමයි හමුවුණේ. ඒක එයාගෙ යාළුවෙක්ගෙ ෆේස්බුක් ගිණුමක ෂෙයාර් වුණු ෆොටෝ එකක්. එදා ඉඳන් මං මාස තුනක් යනකල් දන්න හැම විදිහටම එයාව හෙව්වා. කොහොමහරි මාස තුනකට පස්සෙ තමයි හොයාගත්තේ. එයා බැංකු නිලධාරිනියක්. ඊට පස්සේ මං එයාට හැමදාම මැසේජ් දැම්මා. කිසිම රිප්ලයි එකක් නෑ. මාස තුනකට පස්සෙ තමයි එයා ‘හායි‘ ගාල මැසේජ් එකක් එව්වේ. ඊට පස්සෙ බොහොම අමාරුවෙන් කතාවට අල්ලගෙන අපි යාළුවො වගේ ආශ්‍රය කළා. මට තේරුණා එයා හරිම අහිංසකයි කියලා. දෙන්නට දෙන්නා තේරුම් ගත්තට පස්සේ තමයි මං ආදරෙයි කියලා කිව්වේ. ඒකටත් මාසෙකට පස්සෙ තමයි උත්තරේ ලැබුණේ. ඒ වෙද්දි මං ගායකයෙක්වත් ප්‍රසිද්ධ කෙනෙක්වත් නොවෙයි. මං ගායනය, සංගීතය ගැන උනන්දුයි කියලා එයා තේරුම් ගත්තා. අන්තිමට එයාගෙ හීන අතෑරලා මගෙ හීනෙට ඉඩ දුන්නා. මං හැමදාම කියන දෙයක් තමයි මගේ ජීවිතේට වාසනාව ගෙනාවෙ කුමුදි. ඒ වාසනාවත් එක්ක ජීවිතේ සතුටින් ගත කරනවා.“





Previous Post Next Post