පබසරා මධුෂානි කී පමණින් ඇය ගැන නොදන්නා අයකු වුවද ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ මන්ත්‍රී නෝනා හොඳින් හඳුනයි. නාළිකා ත්‍රිත්වයක චරිත තුනක් ඔස්සේ මේ දිනවල ඔබ හමුවට එන පබසරා මධුෂානි සමඟයි අද කතාබහ.
පබසරා කිවුවට බොහෝ දෙනෙක් ඔබ හඳුනන්නේ නෑ. ඉස්කෝලෙ නාට්‍යයේ මන්ත්‍රී නෝනා කිවුවම නම් ඕනම කෙනෙක් දන්නවා. ඒ තරමටම මන්ත්‍රී නෝනා ප්‍රේක්ෂකයන්ගෙ හිතට බැදිලා ඉන්නේ කිව්වොත් හරි නේද?
කොච්චර හිතට අල්ලලා ද කියනව නම් ඒකෙ රූප රාමුවක් ෆේස්බුක් එකේ දැම්මත් බැණලයි කමෙන්ට් කරන්නේ. “කැත වැඩ කරන්න එපා මන්ත්‍රී නෝනා“ කියලා. ඒව දැක්කම මට ලොකු සතුටක් දැනෙනවා. ප්‍රේක්ෂකයන් චරිතයකට බණිනවා කියන්නේ ඒ චරිතය සාර්ථකයි කියන එකනේ. ඒ චරිතයේ නම නිමාලි. ඒත් මන්ත්‍රී නෝනා කියලම තමයි ප්‍රේක්ෂකයන් කතා කරන්නේ. මන්ත්‍රී නෝනා කියන්නේ මෝඩකම, කපටිකම වගේම මහන්තත්තකම මුසුවුණු චරිතයක්. මේ දවස්වල ඒකට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා.
ජාතික රූපවානියේ විකාශය වන කාසි ටෙලියේ ඔබ වෙනස්ම රංගනයක යෙදෙන්නේ. ඒක ඔබේ රංගන පරාසය හොඳින්ම පෙන්නන්න පුළුවන් චරිතයක් වුණා කිව්වොත්?
කාසි ඉරේෂ් ලොකුබණ්ඩාරගේ අධ්‍යක්ෂණයක්. ඇත්තටම ඒකෙ සඳරාණි කියන්නේ ද්විත්ව චරිතයක්. ඒ වගේ චරිතයක් රඟපාන්න අවස්ථාවක් ලැබුණු පළමු වතාව. සඳරාණි කියන්නේ වලව්වක හාමුගේ පළමු බිරිය. පාලිත සිල්වා අයියා තමයි හාමුගෙ චරිතයට ඉන්නේ. ඒ වගේ ප්‍රවීණයෙක් සමඟ රඟපාන්න ලැබුණු එකත් ලොකු අභියෝගයක් වුණා. සඳරාණි ජීවත්ව ඉන්න චරිතයක් වගේම මිය ගිහින් හොල්මනක් විදිහටත් පෙනී ඉන්න චරිතයක්. මම මීට කලින් හොල්මනකට රඟපාල තිබුණෙත් නෑ. ඒ නිසා ඒකත් අභියෝගයක් වුණා.
සියත නාළිකාවේ විකාශය වන ඉරේෂ්ගේම ආයෙමත් ආදරෙන් හි අමන්දා කියන්නේ වෙනස්ම චරිතයක්. රංගනයේ විවිධත්වයක් පෙන්නන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?
ප්‍රේමවන්තියගෙ එහෙම නැත්නම් යාළුවගෙ චරිතයටම කොටුවෙලා ඉඳලා මේ වගේ චරිත කරන්න ලැබුණු එක සතුටක්. රංගනයේ විවිධත්වය තුළ තමයි අපේ හැකියාව එළියට එන්නේ. ආයෙමත් ආදරෙන් නාට්‍යයේ අමන්දා බටහිර ආරෙට අඳින, පලඳින බටහිර පන්නයට කතා කරන වෙනස්ම චරිතයක්. මෙතෙක් මට ගොඩක්ම ආරාධනා ලැබුණේ ගැමි චරිතවලට. සමහර විට ඒ මම භාෂාව හසුරුවන විදිහ නිසා වෙන්නත් ඇති. රන්තිළිවැව, සුසුම් කියන නාට්‍යවල චරිතත් එකිනෙකට වෙනස්.
පබසරා කියන්නේ වේදිකාවෙන් උපන් රංගන ශිල්පිනියක්. ඔබට කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ?
මානෙල් වානගුරු මහත්මිය හරහා තමයි මට ටෙනිසන් කුරේ මහත්මයව හඳුනගන්න ලැබෙන්නේ. ඔහුගේ අධ්‍යක්ෂණයෙන් ප්‍රථම රංගන අත්දැකීම ලබාගන්න හැකිවීම ලොකු පන්නරයක්. ඔහුගේ මෑන්ද මෑන් වේදිකා නාට්‍ය තමයි මගේ රංගන දිවියේ ආරම්භය. ඊට පස්සේ කුරුල්ලා කියන වේදිකා නාට්‍යටත් සම්බන්ධ වුණා.
නිවේදන කටයුතු වගේම හඬ කැවීම් කරන අතරේ කලාවට තිබුණු ආසාව නිසාම ඉන්දියන් ටෙලි නාට්‍යයක පොඩි චරිතයකට සම්බන්ධ වුණා. ඊට පස්සේ පොඩි පොඩි චරිත කීපයකටම දායක වුණා. ඒත් ප්‍රේක්ෂකයන් මාව අඳුනගත්තේ ටිකිරි රත්නායකගේ අරුන්දතී ටෙලි නාට්‍යයේ රුවනි කියන චරිතයෙන්. ඒකත් ගැමි චරිතයක්. මේ වෙද්දි ප්‍රේක්ෂකයාගේ මතකයේ රැඳෙන චරිත ගණනාවක්ම මට කරන්න ලැබුණා.
වේදිකාව, පුංචි තිරයට වගේම රිදී තිරයටත් පන්නරයක් කියලා කිව්වොත් ඔබ පිළිගන්නව ද?
අනිවාර්යයෙන්ම. වේදිකාව තුළ රංගනය, ගායනය, කටහඬ පාලනය වැනි රංගනයේ සියලු පරාසයන් ප්‍රගුණ කරනවා. මමත් වේදිකාවෙන් ආපු කෙනෙක් විදිහට ඒ පන්නරය ලොකු සවියක් වුණා. වේදිකා නාට්‍යයක් කරද්දී ගොඩක් පුහුණුවීම් කරනවා. ඒ වගේම දෙබස් හොඳින් මතකයේ රඳවා ගැනීමේ හැකියාව ලැබෙනවා. හැඟීම් ප්‍රකාශනය හොඳින්ම පුහුණුවෙනවා. වේදිකාවෙදි අපට දෙබස් වරදින්න බෑ. දෙතුන් සැරේ කරන්නත් බෑ. ඒ ලැබුණු පුහුණුව නිසා පුංචි තිරයේ දී මට අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් තිබුණෙ නෑ. ඒක ලොකු පහසුවක් වුණා.
පබසරාට තාම රිදී තිරයෙන් ආරාධනාවක් ලැබුණෙ නැද්ද?
තාම නම් නෑ. අවස්ථාවක් ලැබුණොත් කැමැත්තෙන් බාරගන්නවා.
වේදිකාවෙදි ලැබෙන ප්‍රතිචාරයි පුංචි තිරයෙදි ලැබෙන ප්‍රතිචාරයි හාත්පසින්ම වෙනස්. පබසරාට ඒක දැනෙන්නේ කොහොමද?
වේදිකාවෙදි එවෙලෙම සජීවීව ප්‍රතිචාර ලැබෙනවා. ඒත් ටෙලි නාට්‍ය බලලා ප්‍රේක්ෂකයාගේ ප්‍රතිචාර ලැබෙන්න ටික කලක් ගතවෙනවා. සමහර විට ඒ චරිතයට ඔවුන් අකමැති වෙන්නත් පුළුවන්. ප්‍රධාන චරිත ප්‍රතික්ෂේප වෙලා සමහර පොඩි චරිත ප්‍රේක්ෂකයා ආදරෙන් වැලඳ ගන්න අවස්ථාත් තියෙනවා. ඒක මිනිස්සු වැලඳගන්න විදිහ අනුව තමයි තීරණය වෙන්නේ. ඉස්කෝලෙ මන්ත්‍රී නෝනගෙ චරිතයත් ප්‍රධානම එක නොවුණට ප්‍රේක්ෂක හදවත් වැලඳ ගත් චරිතයක් කියලා හිතෙනවා ඔවුන්ගේ ප්‍රතිචාර දැක්කම.
රංගන ජීවිතේදි නම් ඕන තරම් පෙම්වතිය, බිරිය වෙලා ඇති. සැබෑ ජීවිතේදි ඒ භූමිකාවට ඉඩක් නැද්ද?
තියෙනවා. ඒකට ලොකු ඉඩක් තියෙනවා. ආදරවන්තයෙක් ඉන්නවා. එයා විදෙස් රටකයි ඉන්නේ. ලබන අවුරුද්ද අවසානයේ එක්වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒත් තාම ලොකුවට ප්ලෑන් කරලා නෑ. ඒ ගැන ඉදිරියේ දී කියන්නම්කො.