මම ආස නෑ කිසිම කෙනෙක් තව කෙනෙක්ට අයිති සින්දු කියලා ඉස්සරහට එනවට- ආත්මා ලියනගේ




එදා මෙදා තුර ප්‍රසංග වේදිකාවේ තමාට අනන්‍ය වූ හඬ පෞරුෂයෙන් රසික හදවත් සනහාලූ ඔහු සිය හඬින් ගැයූ ලියතඹරා, සිහින ලොවේ, රෑ අහසේ, සමනොලියා , දිව රෑ ගෙවෙනවා, බාරයි දෙයියෝ ආදී ගීත රසික හදවත් තුළ අතිශය ජනප්‍රිය විය. ඒ අතර චමින්ද රාජරි පද රචනා කළ නික්සන් පීරිස් තනු නිර්මාණයෙන් හ සංගීත නිර්මාණයෙන් දායක වූ ආත්මා ගයන “සඳට තනිවම ඉන්න බැරි බව“ මේ දිනවල බෙහෙවින් ජනප්‍රිය ගීයකි. සජීවී එළිමහන් වේදිකාවට පමණක් සීමා නොවූ ඔහු අපේ රටේ දක්ෂ ගායන ශිල්පියෙකි. එසේම වාදකයෙකි. විටෙක තනු නිර්මාණ ශිල්පියෙකි. එදත් අදත් රසිකයන් බෙහෙවින් ආදරය කරන ඔහු ආත්මා ලියනගේ.


ඔබ ගායන ක්ෂේත්‍රයට එන්නේ කොහොමද?


ඒක සිද්ධ වෙන්නේ මගේ පවුල් පසුබිමත් එක්ක. මම ඉපදෙනකොටත් මගේ ගෙදර සංගීත භාණ්ඩ තිබුණා. මගේ අයියා නන්දන ලියනගේ ඔහු සංගීත ගුරුවරයෙක්. ඔහු තමයි මගෙත් සංගීත ගුරුවරයා. ඔහුගෙන් ලැබුණ ගුරුහරුකම් එක්ක තමයි මම සංගීතය ඉගෙන ගන්නේ. 1978 වර්ෂයේදී මගේ මිත්‍රයෙක් වුණ රෝහණ ජයසිංහ මහතාගේ පද සමඟ මගේ තනු නිර්මාණයෙන් බිහි වෙනවා ලියතඹරා ගීතය. ඒත් එක්ක මුල්කාලීනව මම ඒ ගීතය හෝටල්වල ගායනා කරනවා. පසුකාලීනව මම තවත් ගීත කීපයක් එක් කරලා ලියතඹරා ගීතයත් එක්ක කැසට් පටයක් කරනවා. ඉතිං එහෙම තමයි මගේ ගායන දිවියේ ආරම්භය සිද්ධ වෙන්නේ.


ඔබේ ගායන දිවියේ අමතක නොවන සිදුවීම් ගැන කතා කළොත්?


මීට වසර ගණනාවක කලින් මම ප්‍රසංගයකට සහභාගී වෙන අතරතුරේදී අනතුරකට ලක් වෙනවා. ඒ හරහා මගේ පාදයකට හානි සිද්ධ වෙනවා. ඊට පස්සේ ක්‍රමයෙන් මම සුව අතට පත් වෙමින් ඉන්න අවස්ථාවේදී මම නැවතත් ප්‍රසංගයකට සහභාගී වෙනවා. එතැනදී අපිට ඉන්න සූදානම් කරලා තිබුණ හට් එක සවිකරලා තිබුණ කණුවක් මගේ අතේ වැදිලා මට විදුලි සර වදිනවා. ඒත් එක්ක මාව එළියට විසිවෙනවා. ඇත්තටම මට ඒ අත්දැකීම කිසිම දවසක අමතක වෙන්නේ නෑ.


ඔබේ ගමන වෙනුවෙන් පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය මොනවගේද?


මගේ පවුලේ ඉන්නේ මගේ බිරිද අමාලි චාන්දනී හේරත් ඇය සංගීත ගුරුවරියක් විදිහට සේවය කරනවා. ඒ වගේම පුතාලා දෙන්නා මයුර සහ කුමරු. මගේ දියණිය තිනුලි දහම්සා මේ වෙනකොට මගේ ලොකු පුතා මයුර ඔහු විවාහ වෙලා දැන් ඔහුට පොඩි දරුවන් ඉන්නවා. මගේ අලුත් බෑන්ඩ් එක “ආත්මා ලියනගේ විත් ෆෙදර්“. මගෙ පුතාලා දෙන්න එහි වැඩකටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ කටයුතු සාර්ථකව කරගෙන යන්න පුතාලා දෙන්නාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.


ඔබ දකින ආකාරයට සැබෑ ගායන ශිල්පියෙක් කියන්නේ කවුද?


ගීතයක් ගායනය සහ ගීතයක් කියනවා කියන්නේ දෙකක්. ගායනය කියන්නේ අලුත් ගීතයක් ලියලා තනු නිර්මාණය කරලා තමන්ගේ ඇඟේ තියන සංගීතමය හැකියාවන් එළියට අරගෙන ඒ දක්ෂතා ඔප මට්ටම් කරන්න ගන්න උත්සාහයක්. ඇත්තටම ගීතයක් නිර්මාණය කරගෙන ඒක ගායනා කරන පුද්ගලයා තමයි සැබෑම ගායකයා වෙන්නේ. මම කියන්නේ වෙනත් අයගේ ගීත ගායනා කරනවා නම් යම් කෙනෙක් ඔහු කරන්නේ ගායනයක් නෙමෙයි. ඒ අය කරන්නේ ඒ ගීතය කියනවා. දැන් මගේ ගීතයක් ගත්තොත් ඒ ගීතයේ ගායකයා වෙන්නේ මම. වෙනත් කෙනෙක් කරන්නේ ඒක කියන එක විතරයි. මගේ දරුවෝ දෙන්නත් උත්සාහ කරන්නේ එයාලගෙම අලුත් ගිතයක් නිර්මාණය කරගෙන ඒක ගායනා කරලා ඒ හරහා අනන්‍යතාවක් නිර්මාණය කරගන්න. ඇත්තටම විය යුත්තේත් ඒකමයි. එය තමයි සැබෑ ගායකයාගෙන් විය යුත්තේ.


වර්තමානයේ බිහි වන නවක ගායන ශිල්පීන් ශිල්පිනියන් වෙනුවෙන් යමක් පැවසුවොත්? 


ඔව්. මේ වෙනකොට ඉතාම හොඳ දක්ෂ පිරිසක් අපේ ක්ෂේත්‍රයට ඇවිත් ඉන්නවා. මම ඒ අයට දෙන උපදේශය තමයි තමන්ගේ කියලා නිර්මාණය කරගත්ත ගීත ගායනා කරන්න. කවුරු හරි පද ටික ලියාගෙන ඇවිත් මට කිවුවොත් තනුව නිර්මාණය කරලා දෙන්න කියලා. මම මගේ වෘත්තියට අදාළව ඒ සඳහා උදව් කරනවා. නැත්තම් මම ආස නෑ කිසිම කෙනෙක් තව කෙනෙක්ට අයිති සින්දු කියලා ඉස්සරහට එනවට. ඒත් දැන් වෙන්නෙත් ගොඩක් ඒකම තමයි. ගීතයේ සැබෑ ගායකයා ගෙදර. වෙනත් කෙනෙක් තමයි වේදිකාවේ සින්දු කියන්නේ. ඒ ගැන ඇත්තටම කනගාටුයි. විශේෂයෙන්ම කියන්න ඕන එහෙම අයට පැවැත්මක් නෑ.


කාලයක් අසනීප තත්ත්වයෙන් සිටි ඔබ, දැන් නැවතත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙනවා. ඒ ගැන කතා කළොත්?


ඔව්. ඇත්තටම මම අනතුරට ලක් වුණාට පස්සේ මගේ හිසට හානි වුණා. ඉතිං මගේ හිසට ශල්‍යකර්මයක් සිදු කළා. ඒත් එක්ක පොඩි පොඩි අසනීපකම් තිබුණා. ඒත් දැන් නැවතත් මම සුවෙන් ඉන්නවා. ඒ වගේම සුපුරුදු පරිදි ප්‍රසංග කටයුතුවලටත් සම්බන්ධ වෙනවා.


ගායන ශිල්පියෙක්ට අපේ රටේ තිබෙන වටිනාකම ගැන ඔබේ අදහස කිවුවොත්?


ගායන ශිල්පියෙකුට ඇත්තටම මේ රටේ සාධාරණත්වයක් නෑ කියන එකයි මගේ අදහස. නමුත් කියන්න අවශ්‍යයි මෑතකදී අවුරා ලංකා සමූහ ව්‍යාපාරයේ අධිපති වෛද්‍ය විරංජිත් තාඹුගල මහතා අපේ රටේ අසරණ වෙලා ඉන්න ගායකයින් වෙනුවෙන් ලොකු සහයෝගක් ලබා දෙනවා. ඒ අය ගැන හොයලා බලනවා සහ සහන සලසනවා. ඇත්තටම ඒක ලොකු ශක්තියක්. නැත්නම් වෙනත් රටවලට සාපේක්ෂව අපේ රට තුළ ගායන ශිල්පියාට නිසි වටිනාකමක් ලැබෙන්නේ නෑ. ඇත්තටම ඒක කනගාටුදායක තත්ත්වයක්.


ඔබේ ඉදිරි නිර්මාණ ගැන කතා කළොත්?


ඉදිරියේදී මම සහ මගේ බිරිය ගායනා කරන යුග ගීතයක් එන්න තියනවා. ඊට අමතරව වැඩකටයුතු අවසන් කළ ගීත කීපයක්ම තියනවා. ඒවත් ඉස්සරහට රසිකයන් වෙනුවෙන් ගීතවත් වෙන්න නියමිතයි. ඒත් එක්කම ආත්මා ලියනගේ විත් ෆෙදර් සංගීත කණ්ඩායමත් එක්ක මගේ ලියතඹරා ප්‍රසංගය ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.




Previous Post Next Post