මම මේ දවස්වල නාට්‍ය තුනකම OIC චරිතය කරනවා-මංජුල කෝනාර




මංජුල කෝනාර කියන්නේ මෑතක විකාශය වන ටෙලි නිර්මාණ බොහොමයක පොලිස් නිලධාරියෙකුගේ චරිත නිරූපණය තුළින් ප්‍රේක්ෂකයන් අතරට එන නව පරපුරේ රංගන ශිල්පියෙක්. ඔහු මේ විදියට නිතරම අපිට පොලිස් චරිත වලින් සමීප වෙන්නේ ඇයි, පොලිස් චරිත වලටම සීමා වෙලාද?. ඒ දැන ගන්නත් එක්කම රසඳුන මංජුල කෝනාර සමඟ කළ කතාබහ මේ....


කොහොමද මේ දවස් වල නිර්මාණ කටයුතු


මේ දිනවල විකාශය වන නීල පබළු, ගගන පියවර සහ වැකේෂන් කියන නාට්‍යය තුනේ රූපගත කිරීම් වලට සහභාගී වෙනවා. මේ නිර්මාණ තුනේම පොලිසියේ OIC චරිත තුනක් සඳහායි රංගන දායකත්වය ලබා දෙන්නේ.


මේ වෙද්දී පොලිස් චරිත කීයක් කරලා තියෙනවද?


මම දැනට නිර්මාණ 60 -65කට වගේ ඉඳලා තියෙනවා. ඒවාගෙන් සිවිල් චරිත කරලා තියෙන්නේ නිර්මාණ දෙකක පමණයි.


දිගටම පොලිස් චරිත කිරීම තුළ, මංජුල එක් තැනකට සීමා වෙලා කියලා හිතෙන්නේ නැද්ද?


මගේ රංගන හැකියාවන් එක් තැනකට සීමා වීමක් වෙලා කියලා දැනෙනවා. මම ආසයි විවිධ චරිත කරන්න. නමුත් මට ලැබෙන්නේ පොලිස් චරිත. මම සේවය කරන්නේත් පොලිස් තූර්ය වාදක කණ්ඩායමේ ශබ්ද ඉංජිනේරුවරයෙක් විදියට. ඒ හින්දා මගේ රැකියාවත් එක්ක ඒ අයට ගන්න තියෙන දේත් එක්ක තමයි වැඩි වශයෙන්ම පොලිස් චරිත ලැබෙන්නේ.


කොහොමද රැකියාවෙන් ලැබෙන සහයෝගය


මම පොලිස්පතිතුමාගෙන් අවසර ලබාගෙන තියෙනවා. ඒ එක්කම විශේෂයෙන්ම අපේ තූර්ය වාදක කොටඨාසයේ අධ්‍යක්ෂකතුමා විදියට ඉන්න උපාලි අතපත්තු මහතාගෙන් සහ තූර්ය වාදක කණ්ඩායමේ නිලධාරීන්ගෙන් මගේ මේ කලා කටයුතු වලට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඊට අමතරව අපේ තූර්ය වාදක කොට්ඨාසයේ ප්‍රසාද් ප්‍රනාන්දු මහතා සහ ඔහු බිරිය අනෝමා මහත්මිය මට කොළඹ දී මගේ අම්මයි තාත්තයි වගේ.


පාසල් කාලය


මම පාසල් ගියේ දැලිව මහා විද්‍යාලයට. උසස් පෙළ හදාරන්නේ කලා අංශයෙන්. පාසල් කාලයේදී මම රංජිත් ගුරුතුමා යටතේ සංගීතය හදාරනවා. නාට්‍යය හා රංග කලාවත් ඒ එක්කම හැදෑරුවා. පාසලේ නාට්‍යය කණ්ඩායමේත් මම හිටියා. සමස්ත ලංකා ජයග්‍රහණ මම ලබාගෙන තියෙනවා.


පවුලේ කවුරු හෝ කලාවට සම්බන්ධ ද?


මොනරාගල සොකරි නාට්‍යය කණ්ඩායම මෙහෙයෙව්වේ මගේ ලොකු තාත්තා. කෝනාර මුදියන්සේලාගේ ගුණපාල. කෝ.මු ගුණපාල කියලා තමයි කෙටියෙන් ගමේ අය කියන්නේ. මම අවුරුදු 10 ඉඳලම සොකරිට ඇන්දා. අවුරුදු 10ක් 12ක්ම මම නාට්‍යය එක්ක හිටියා.


නළුවෙක් වෙන්න ද හීන මැව්වේ


එහෙම නැහැ. මේ ගමන ඇත්තටම අහම්බෙන් සිද්ධ වුණු දෙයක්. මම උසස් පෙළ ලියපු ගමන් සංගීතය පැත්තට ආස නිසා, පොලිස් තූර්ය වාදක කණ්ඩායම වෙනුවෙන් ගැසට් කරලා තියෙනවා දැකලා ඒකට අයැදුම් කළා. සාමාන්‍යය ප්‍රතිඵල වලින් ගත්ත නිසා උසස් පෙළ ප්‍රතිඵල එන්නත් කලින් මේ ජොබ් එකට ආවා. ඔය අතරතුර මාව මේ තැනට ගෙන්න මූලික වුණේ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂකතුමා. එතුමා තමයි මට මුලින්ම අවස්ථාවක් දෙන්නේ. ඒ 2008 අග වගේ. ඒ ලැබුණෙත් පොලිස් චරිතයක්. එදා පටන් ගත්ත ගමන තමයි තවම මේ කරගෙන යන්නේ. මේ කාලය තුළ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, ලුවී වැන්ඩස්ට්‍රාටන්, ගිහාන් රෝහණ අයියා, සුමුදු වෙල්ලාලගේ අයියා ඇතුළු බොහෝ දෙනෙක් මට මේ ගමන එන්න උදව් කළ අය අතර ඉන්නවා.


වැඩියෙන්ම ප්‍රේක්ෂකයන් අතරට ගිය චරිතය මොකක් ද?


නීල පබළු නාට්‍යයේ පොලිස් චරිතය නිසා තමයි බොහෝ ප්‍රේක්ෂකයින් අතරට ගියේ. අවුරුදු 5ක් විතර කොටස් 1500ක් පමණ පහුකරලා තියෙනවා. ඒ නිසා නීල පබළු හි අධ්‍යක්ෂක සඳුන් රාජකරුණා අයියාව විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ දේත් කියන්න ඕනේ, මම මේ වෙනකම් නාට්‍යය 70කට ආසන්න ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා. හැබැයි මට නම් කවදාවත් ටීවී ප්‍රෝග්‍රෑම් එකකට හෝ අවුරුදු උත්සව වලට හෝ සම්මාන උළෙලවල් වලට ඇරයුම් ලැබිලා නැහැ. පොලිස් චරිත කරන ශිල්පින් ගැනත් සලකා බැලීමක් කරන්න කියන ඉල්ලීම මම කරනවා.



මංජුල වේදිකාව එක්කත් ගනුදෙනු කරන කෙනෙක් 


මම රචනා කරලා නිෂ්පාදනය හා අධ්‍යක්‍ෂණය කළ නාට්‍යයක් මේ දිනවලත් වේදිකා ගත වෙනවා. ඒක නම් කරලා තියෙන්නේ ‘‘ආරච්චි දීගේ’’ නමින්. ඒක ජන ගී ආශ්‍රයෙන් නිර්මාණය වුවක්. එහි එන ජන ගී සියල්ල මමමයි ගායනා කරන්නේ. මෙහි එරික් අබේවර්ධන, උදය කුමාරි රණසිංහ, දයානන්ද හේවගේ, නිලන්ති ගුණවර්ධන, ධනංජි තාරුකා, ඉමේෂාන් නෙල්ලිගහවත්ත, තිමිර උඩවත්ත සහ මම රංගනයෙන් දායක වෙනවා. එහි මගේ චරිතය වෙන්නෙත් පාල කියන ගමේ කොල්ලෙක්ගේ චරිතයක්. මැයි 13 අපි ඇල්පිටියේ දී වේදිකා ගත කළා. ඉදිරියේදී වේදිකාගත කරන්න අනුරාධපුර සහ බදුල්ලෙන් ආරාධනා ලැබිලා තියෙනවා.


සිනමාවට කොයි විදියට ද සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ


මේ වෙද්දී සිනමා නිර්මාණ හතරකට වගේ දායක වෙන්න අවස්ථාව ලැබුණා. නටන් නැතිව දින්නා, මැද පොඩ්ඩක් පැත්තක් නැහැ, පැරෂුට් සහ බුද්ධ පුත්‍ර වගේ නිර්මාණ.


අනාගත බලාපොරොත්තු මොනවද?


තව වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්න අදහසක් තියෙනවා. ඒකත් ඉක්මනින් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මගේම කියලා ටෙලි නාට්‍යයක් කරන්න අදහසක් තියෙනවා. ඒකත් ගැමි පරිසරයක් වටා ගෙතුණු සුන්දර කතාවක්. ඒ එක්කම Fb එක හරහා මම ලියන කවි සහ නිසදැස් පළකරනවා. ඒ දේවල් ඉදිරියේදී පේජ් එකක් විදියට කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.





Previous Post Next Post