කළුගේ චරිතයත් විහිළුවක් නෙමෙයි කළුට කළු සීරියස් - නලීන් ලුසේනා

  



වේදිකාවෙන් පන්නරය ලැබූවන් පුංචි තිරයට, සිනමාවට ප්‍රවිෂ්ටවීම එදා මෙදාතුර සිදු වූවකි. නලීන් ලුසේනා කලාවේ මුල් අඩිය තබන්නේද වේදිකාවෙනි. වේදිකාවෙන් පන්නරය ලබා ජනප්‍රිය මාධ්‍ය තුළත් දියාරු නොවී සිටින්නට වගබලා ගන්න. කලා ශිල්පීන් අතර ඔහුත් කෙනෙකි. කොඩිගහ යට “කළු” මේ දිනවල කා අතරත් ප්‍රසිද්ධය.



ඔබ මේ දිනවල ප්‍රේක්ෂකයන් දිනා ගෙන සිටින්නේ කොඩිගහ යට කළුගේ චරිතයෙන්.


කළුෑගේ චරිතය ප්‍රේක්ෂකයන්ට ගොඩක් සමීප වෙලා තියෙනවා කියලා දැනෙනවා. මම හිතන විදිහට ඒ චරිතයේ තිබෙන සුවිශේෂිකම, මගේ රංගනයේ සුවිශේෂිකම වගේ කාරණා ඒ වෙනුවෙන් බලපාන්න ඇති. කොඩිගහ යට කළුට විතරක් නෙමෙයි මේ වෙද්දි ඒ නිර්මාණයේ අනෙක් චරිතත් ප්‍රේක්ෂකයන්ට ආදරණීයව සමීප වෙලා තියෙනවා. ජගත් මනුවර්ණ ඒ නිර්මාණයේ චරිත ප්‍රේක්ෂකයන්ට මුණගස්වන විදිහ හරි අපූරුයි. ඒ ගුණයත් මේ චරිත ප්‍රේක්ෂකයන් අතරට ගෙනියන්න බලපාන්න ඇති කියලා මට දැනෙනවා.


 


මේ චරිතයට ජගත්ගේ පළමු යෝජනාව වුණේ ඔබද?


ජගත් අයියා කියන්නේ මුල් කාලේ ඉඳන් මම දන්න රංගන ශිල්පියෙක්. කොඩිගහ යට ටෙලි නාට්‍ය කරද්දි මමත් ඒ නිර්මාණයේ ඉන්නවා කියන දේ ඔහු මට කියලා තිබුණා. හැබැයි ඒ මොන චරිතය තුළද කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඒ නිර්මාණයේ මාව යෝජනා වෙලා තිබ්බ චරිත කිහිපයක් තිබ්බා. කළුෑගේ චරිතයටත් රංගන ශිල්පීන් තෝරමින් හිටියේ. කළුෑගේ චරිතය මම ම කරන්න හිටපු චරිතයක් නෙමෙයි. නමුත් ජගත් අයියා මට ඒ චරිතය කරමු කිව්වම අධ්‍යක්ෂවරයෙක් ලෙස ඔහුත් එක්ක වැඩ කරන්න තිබ්බ පහසුව සහ ඒ චරිතය වෙන විදිහකට නිර්මාණය කරන්න ඔහුට අවශ්‍ය වෙලා තිබීමත් එක්ක මට ඒ චරිතය භාර ගැනීම අභියෝගයක් කියලා දැනුණේ නැහැ.


 

එවැනි ඉදිරිපත් කිරීමක් අභියෝගයක් වුණේ නෑ කියලද ඔබ කියන්නේ...


සංක්‍රාන්ති ලිංගිකයන්, සම ලිංගිකයන් විහිළුවට ලක් කිරීමක් වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒක කරන්නේ රංගන ශිල්පියාම නෙමෙයි. රචකයා, අධ්‍යක්ෂවරයාත් ඊට බලපානවා. කළුගේ චරිතය විහිළුවක් කරන්න ඕන වුණා නම් මටත් ඒක අභියෝගයක් වෙන්න තිබ්බා. ජගත්ට ඕන වුණේ නෑ මේ චරිතය “ආතල්” එකක් ගන්න චරිතයක් කරන්න. ඔහු මගේ පෞරුෂය යොදා ගන්නවා මේ චරිතය හරහා සමරිසි පුද්ගලයන් දුර්වලයන් නොවන බව පෙන්වන්න. සංක්‍රාන්ති ලිංගිකයන්, සමරිසි පුද්ගලයන් කියන්නේ සමාජයේ කොන්කළ යුතු අය නෙමෙයි. ඔවුනුත් සාමාන්‍ය මිනිස්සු. කළුගේ චරිතයත් විහිළුවක් නෙමෙයි. කළූට කළු සීරියස්. ඔහුගේ සැහැල්ලු විදිහ ඔහුගේ ජීවිතයම නෙමෙයි. ජගා ඒ චරිතය ගැන එහෙම කියවීමක් තියාගෙන වැඩ කරද්දි නළුවෙක් ලෙස මට කරන්න වැඩක් තිබ්බා.


 


එක් චරිතයක් කළාම එවැනි චරිතවලටම ශිල්පීන් කොටු කරන්න උත්සාහ කරන අවස්ථා තිබෙනවා. ඔබට එහෙම කොටු වෙන්න සිදු වෙන එකක් නැද්ද?


මම හිතන්නේ නළුවෙක් බුද්ධිමත් මනුෂ්‍යයෙක් වෙන්න ඕනේ. මම තෝරගන්න චරිතය මගේ වුවමනාව, කැමැත්ත මත සිද්ධ වෙන දෙයක්. එහෙම එකම චරිතයකට කොටු කරන්න හැදුවොත් බුද්ධිමත්ම තීරණය තමයි එවැනිම චරිත භාර නොගෙන සිටීම. මම කරපු එකම ආයේ කරන්න ගියොත් ඒක ෆේල්. එකම චරිතය ආයෙත් කරලා වැඩක් නෑ. කරන වැඩේ තුළ උපරිම දේ කරන්නයි මම උත්සාහ කරන්නේ.


 


නිර්මාණ කරද්දි ඔබට තේරීම් නැද්ද?


මොන නිර්මාණය කළත් ඒක හොඳයි, නරකයි කියලා මම හිතන්නේ නෑ. මම තමයි අද වෙනකල් මගේ දේවල් තෝරා ගත්තේ. හොඳට කල්පනා කරලා මෙතෙක් වැඩ කළේ. 



ඉදිරියෙදිත් එය නිරායාසයෙන් සිද්ධ වෙයි. නිර්මාණයක් කරද්දි ඒ නිර්මාණය තුළ ෆේල් නොවී කරන්න දෙයක් තියෙනවද, මට තෘප්තිමත් දෙයක් කරන්න පුළුවන්ද කියලයි මම බලන්නේ. මිනිස්සු නිර්මාණය වැලඳ ගන්නවද නැද්ද කියන දේ මම හිතන්නෑ. අපි සෑහෙන හොඳට කැමැත්තෙන් කළ ගොඩක් නිර්මාණ ප්‍රේක්ෂකයෝ බලලා නෑ. මම කරන දේ මට දැනුණද, ඒකෙන් යමක් කරන්න පුළුවන් වුණා ද කියලා බලලා රඟපානවා.


ජනප්‍රිය මාධ්‍යයට ආවට පස්සෙ වේදිකාවෙන් එන සමහරුන්ට විවිධ කාරණා නිසා වේදිකාව මඟ හැරෙනවා. ඔබ වේදිකාව අතහරින්න සූදානම් නෑ වගේ?


අපි කොයි තරම් මුදල් හම්බ කරලා කොයි තරම් සුපිරි ගෙවල් හැදුවත් අපි අපේ මහ ගෙදර යන එක අතහරින්නේ නෑනේ. අපි කැමැති නෑ අපේ උරුමය, පෝෂණය ලැබුණ බිම එක්ක තිබෙන ගනුදෙනුව අතහරින්න. මට මගේ ජීවිතයේ තිබෙන අරමුණ තමයි මේ ජීවිතය අවසන් කරන තැනදිත් මාව වේදිකා රංගන ශිල්පියෙක් කියලා හඳුන්වනවට. මම අනෙක් මාධ්‍ය පහළට දානවා නෙමෙයි. මම ආවේ වේදිකාවෙන්. ඒ නිසා මොන මාධ්‍ය තුළ වැඩ කළත් වේදිකාවේ දිගටම වැඩ කරයි. මේ දවස්වලත් රාජිත දිසානායකයන්ගේ 2019 ජූලි මාසේ දවසක් සහ නැතුව බැරි මිනිහෙක් කියන වේදිකා නිර්මාණවලටත් මම සම්බන්ධ වෙලා ඉන්නවා.


 





Previous Post Next Post