නිවේදනය ඕනෑම කෙනෙකුට කළ හැකි වුවත් එය කලාත්මකව කිරීමට නම් යම් හැකියාවක්, පුහුණුවක් තිබිය යුතුයි. එසේ නොවුණහොත් එය ප්‍රේක්ෂකයාට නීරස වීම වළක්වන්නත් බැහැ. ඇයත් ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක්වුණු නිවේදිකාවක්. ස්වාධීන නාළිකාවේ නවකයකුට ලැබෙන හොඳම අවස්ථාව තමයි ස්වාධීන රූපවාහිනියේ සුර්ය මංගල්‍යය ඉදිරිපත් කිරීමට වරම් ලැබීම. මෙවර එම අවස්ථාව හිමිවුණු වාසනාවන්තිය තමයි තිලක්ෂි ඉන්දීවරී.
කැලණිය සරසවියේ ජනසන්නිවේදනය විශේෂ උපාධිය හදාරණ ගමන් නිවේදනයේ නියැළෙන ඇය තමන් පැමිණී ගමන් මඟ ගැන අප හා පැවසුවේ මෙලෙසිනි.
“මම 2021 වසරේ ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙලා අවසන් දොළොස් දෙනා අතරට ආවා. එතැන තමයි මගේ නිවේදන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ. කිරුළ අහිමි වුණත් ඒ ලැබුණු අවස්ථාව ජීවිතේම වෙනස් කරන සන්ධිස්ථානයක් වුණා. අද මම ස්වාධීන රූපවාහිනී සේවයේ නිවේදිකාවක් විදිහට කටයුතු කරනවා.
මගේ හිත කිව්වෙම මට තව අවස්ථාවක් තියෙනවා කියලා. ඒ නිසා මං 2022 අවුරුද්දේ හිරු අවුරුදු කුමරිය තරගයටත් ඉදිරිපත් වුණා. එතැනදි මට හිරු අවුරුදු කුමරිය තරගයේ තුන්වැනි ස්ථානය හිමිවුණා. ඒක මගේ ගමනට ලොකු අත්වැලක් වුණා. ඒ හරහා මට රූපවාහිනී වෙළෙඳ දැන්වීම් සඳහා ඉදිරිපත් වීමේ අවස්ථා රැසක් ලැබුණා. ලංකා බැංකුව, සොබා සිලෝන්, මැක්ඩොනල්ඩ්ස් වගේ වෙළෙඳ දැන්වීම් වගේම මංචි බැනර්ස්වලටත් මාව තෝර ගත්තා. මේ වෙද්දි මියුසික් වීඩියෝ දෙකකටත් දායක වෙලා තියෙනවා.“
පෙනුම තිබූ පමණින්ම නිවේදනයට හෝ වෙළෙඳ දැන්වීම් කලාවට යොමුවිය නොහැකි බවයි තිලක්ෂිගේ අදහස.
“ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය අවසන් දොළොස් දෙනාටම අවස්ථා ලැබුණා. දොළොස් දෙනාම ගෙන්නලා ස්ක්‍රීන් ටෙස්ට් තියලා තමයි නිවේදනයට තෝර ගත්තේ. ගොඩක් අය හිතනවා පෙනුම තිබුණම ඇති ඉදිරියට යන්න පුළුවන් කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි. පෙනුම එක් සාධකයක් විතරයි. හැම පැත්තෙන්ම යම්කිසි හැකියාවක් තියෙන්න ඕන. ඒ හැකියාවන්ට වාසනාවත් එක්වුණ විට තමයි ජයග්‍රහණය ලැබෙන්නේ. උත්සාහය, කැපවීම, ඉවසීම වගේ ගුණාංගත් ගොඩක් වැදගත්. ස්වාධීන රූපවාහිනියෙන් මට නිවේදනයට අවස්ථාව ලැබුණා වගේම හිරු නාළිකාවෙන් මට වෙළෙඳ දැන්වීම් කලාවට මාවත විවර වුණා. “
නිවේදන කලාවට හැම ක්ෂේත්රයක් ගැනම දැනුම්වත් වීමේ අවශ්‍යතාව ගැනත් ඇය සඳහන් කළා.
“මං මුලින්ම කළේ ශනිදා සාදය කියන වැඩසටහන. සපුතන්ත්‍රි අක්කව විශේෂයෙන්ම මතක් කරන්න ඕන. මං ගැන විශ්වාසය තියලා මගේ කුළුඳුල් රූපවාහිනී වැඩසටහන විදිහට ශනිදා සාදය ඉදිරිපත් කරන්න අවස්ථාව ලබාදුන්නට. මුල්ම වැඩසටහන නිසා බයත් හිතුණා. ඒත් හැමෝම උදවු කළා. ඒක ගීතමය වැඩසටහනක්. වැඩසටහන පුරාම ප්‍රේක්ෂකයන් රඳවා ගන්නවා කියන එකත් ලේසිපාසු වැඩක් නොවෙයි. ප්‍රේක්ෂකයන්ගේ හදවතටම කතා කරන්න ඕන. ගීත ගැන පූර්ණ විස්තරයක් දැනගෙන ඉන්නත් ඕන. ඒ වගේම ගීතයේ පදවල තේරුම දැනගෙන ඉඳීමත් වැදගත්. එදා මට හැමදේම මතක තියාගන්න ටිකක් අපහසු වුණා. එතැනදි නිෂ්පාදක මාව දිරිමත් කළා බයවෙන්න එපා කියලා. පළවෙනි වැඩසටහනට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඊට පස්සෙ දිගටම වැඩසටහන් කළා.“
බොහෝ දෙනාගේ කතාබහට ලක්වන තිලක්ෂි මේ වන විට තමන් ඉදිරිපත් කරන වැඩසටහන් ගැනත් පැහැදිලි කිරීමක් කළා.
“ලයිෆ් ස්ටයිල් කියන්නේ ක්‍රීම් සම්බන්ධ වැඩසටහනක්. ඒකට රංගන ශිල්පිනියක් එක්ක තවත් ක්ෂේත්රයේ කෙනෙක් හෝ වෛද්‍යවරයෙක් සම්බන්ධ කරගන්නවා. වොයිස් ඔෆ් කලම්බු කියන්නේ රියැලිටි වැඩසටහනක්, ශනිදා සාදය වගේම මියුසික් @ 11 කියන සංගීතමය වැඩසටහනත් ඉදිරිපත් කරනවා.“
ස්වාධීන රූපවාහිනී සේවයේ ලොකුම වැඩසටහන වන සූර්ය මංගල්‍යයට සම්බන්ධ වීමේ දුලබ අවස්ථාව ගැන ඇය කතා කළේ ලොකු සතුටකින්.
“සූර්ය මංගල්‍යය කියන්නේ ස්වාධීන නාළිකාවේ සුවිශේෂීම වැඩසටහනක්. අලුත් අවුරුද්ද අළලා කරන මේ වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනව කියන්නෙත් ලොකු දෙයක්. මෙවර මට ඒ අවස්ථාව ලැබුණා. ඒක මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඒ වෙනුවෙන් මං ගොඩක් සූදානම් වුණා. ඒක ලයිව් කරන වැඩසටහනක් නිසා වරදින්නත් බෑ. නිතරම ප්‍රධාන පාලක මැදිරිය එක්ක සම්බන්ධතාව පවත්වා ගන්නත් ඕන. පසුගිය වැඩසටහන් ගැනත් පූර්ණ අධ්‍යයනයක් කරලා තොරතුරු හොයාගත්තා. මං ආසාවෙන්ම ඉදිරිපත් කළ ඉවෙන්ට් එක තමයි නිරෝගීම මුත්තා සහ මිත්තණිය සෙවීම. එයාල එක්ක කතා කරද්දි එයාල කරන කියන දේවල් දකිද්දි සංවේදී වෙන තැන් තියෙනවා. එයාලා හරිම ආදරණීයයි. “
නිවේදිකාවක් විදිහට වැඩ කිරීමේ දී සහෝදර ශිල්පීන්ගෙන් ලැබෙන සහයෝගය ගැන තිලක්ෂි විශේෂයෙන්ම සඳහන් කළේ ඇය මුහුණ දුන් සිදුවීමක් පාදක කරගනිමිනි.
“එක දවසක් මං මියුසික් @ 11 වැඩසටහන කරන්න ආවේ ත්රීවිලර් එකකින්. ඒක උදේ 11 – 12 වෙනකල් යන සජීවී වැඩසටහනක්. දැන් මට තේරෙනවා මේ මනුස්සයා පාර වරද්දල මාව වෙන පාරක අරන් යනවා කියලා. මං හොඳටම බය වෙලා. මාත් එක්ක වැඩසටහන කරන සහෝදර ශිල්පියත් කෝල් කරනවා තව විනාඩි 20යි තියෙන්නේ කොහේද ඉන්නෙ කියලා. මම ලොකේෂන් එක දාල විස්තරේ හෙමින් කිවුවා. ඒ පාර එයා කිවුවා ඔයා නොදන්න බවක් අඟවන්නෙ නැතුව ඔය ඉස්සරහ තියෙන බැංකුව ළඟින් බහින්න, මං ඉක්මනින් එන්නම් කියලා. ලේසියෙන් නැවත්තුවෙත් නෑ. මගෙන් වැඩිපුර සල්ලිත් ගත්තා. කොහොමහරි විනාඩි 4ක් වගේ ඇතුළත මගෙ යාළුව ඇවිත් මාව එක්ක ගියා. දැන් මට ඇඬෙනවා. යාළුවා, මේකප් ආර්ටිස්, ප්‍රොඩියුසර් මේ ඔක්කොගෙම සහායෙන් කොහොමහරි ප්‍රෝගෑම් එක කළා. එදා ලොකු අනතුරකින් බේරුණේ. ඒක නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ.“