ඩිල්රුවන් ආවේ මල් පාරකින් නෙවේ - ඩිල්රුවන්ගේ ආදරණීය බිරිඳ රංගි

 


මුරලිදරන්ට සහ රංගන හේරත්‍ට පසු ශ්‍රී ලංකාවෙන් බිහිවූ සාර්ථකම ටෙස්ට් පන්දු යවන්නා ඩිල්රුවන් පෙරේරාය. මේ වෙනවිට ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටියද වසර ගණනාවක් පුරාවටම ප්‍රබල තුන්ඉරියව් ක්‍රීඩකයකු ලෙස නම් දරා සිටි ඩිල්රුවන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය අවස්ථා බොහෝය. ඉතින් මේ කතාබහ එවන් ජයග්‍රහණ රැසක්ම ශ්‍රී ලංකාවට අත්කර දුන් ඩිල්රුවන් පෙරේරාගේ ආදරණීය බිරිඳ වන රංගි ප්‍රසාදි සමගිනි.


රංගිට ඩිල්රුවන්ව මුණගැහුනේ ඉස්කෝලෙ යන කාලෙමද?


මට මතක විදිහට ඒ වෙනකොට මං හිටියේ දහය පන්තියේ වගේ. හැබැයි ඉතින් මං ඉස්කෝලේ ගියාට ඩිල්රුවන් ඒ වෙනකොට ඉස්කෝලේ ගිහින් ඉවරයි. යාළුවෙක් මාර්ගයෙන් තමයි අපි දෙන්නා එහෙම මුණගැහුනේ.


සාමාන්‍යයෙන් කෙල්ලෙක් කොල්ලෙක්ට එකපාර කැමති වෙන්නේ නෑනේ...


එහෙම ගණන් ඉස්සුවේ නම් නෑ. හැබැයි ඉතින් එයා යාළුවෙන්න අහපු ගමන්ම කැමති වුණේ නම් නෑ. කාලයක් යාළුවෝ වගේ ඉඳලා තමයි පස්සේ අපි ආදරේ කරන්න පටන් ගත්තේ.

ඇත්තටම ඔයා එයාට කැමති වුණේ ඇයි?


ඩිල්රුවන් නිතරම එයාගේ පාඩුවේ හිටිය කෙනෙක්. ගතිගුණ අතින් පවා හරිම හොඳයි. යාළුවෝ විදිහට හිටපු කාලේ මං එයා කවුද කියලා හොඳින්ම තේරුම් ගත්තා. ඒක හින්දා අකමැති වෙන්න තරම් හේතුවක් තිබුණෙ නෑ.


දෙන්නගේ විවාහය එහෙම සිද්ධ වුණේ කොයි කාලෙද?


2011 අවුරුද්දේ තමයි අපි විවාහ වුණේ. ඒ කියන්නේ මේ අවුරුද්දට අපි දෙන්නා විවාහ වෙලා අවුරුදු 12 ක් වෙනවා. දැන් අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා.


විවාහයට කලින් ඩිල්රුවන්ව ජාතික කණ්ඩායමට කැඳෙව්වා නේද?


ඩිල්රුවන් මුලින්ම එක්දින කණ්ඩායමට කැඳෙව්වා. ඒ වෙනකොට අපි ආදරේ කරන්න පටන් අරන් අවුරුදු තුනක් වගේ. එදා එයාගේ පෙම්වතිය විදිහට මට ගොඩාක් සතුටු හිතුනා.


ඇත්තටම ඒ සතුට අස්සේ පුංචි හරි බයක්වත් තිබුණෙ නැද්ද?


පොඩි බයක් තිබුණා ඉතින්. මොකද ක්‍රිකට් ක්‍රීඩකයෝ කියන්නේ ගෑනු ලමයින්ගේ එහෙම ආකර්ෂණයට ලක්වෙන පිරිසක්නේ. ඒ නිසා පොඩි බයක් තිබුණා.


ඩිල්රුවන්ට හරි ගියේ විවාහයෙන් පස්සේ කියලා රංගිට හිතිලා නැද්ද?


එහෙමත් හිතිලා තියෙනවා. ඒත් එයයි මමයි දෙන්නම හිතන්නේ ඒක අපේ ලොකු පුතාගේ වාසනාව කියලා. මොකද මට එයා ලැබෙන්න ඉන්නකොට තමයි ඩිල්රුවන් ටෙස්ට් කණ්ඩායමට තේරිලා එකදිගට දස්කම් පෙන්නන්න පටන්ගත්තේ.


ඩිල්රුවන් ක්‍රීඩා කරපු තරග අතරින් රංගිට අමතක නොවන තරගය මොකක්ද?


එයාගේ මංගල ටෙස්ට් තරගය අමතක නෑ. එදා එයා පිතිකරුවෙක් විදිහට ලකුණු 95 ක් ගැහුවා. එකම දුක ශතකය ගහන්න බැරිවුණු එක. ඊළඟට මට අමතක කරන්න බැරි අනෙක් තරගය එයා එයාගේ හොඳම පන්දු යැවීම කරපු තරගය. ඒක 2018 අවුරුද්දේ දකුණු අප්‍රිකාව එක්ක තිබුණු ටෙස්ට් තරගයක්. ගාල්ලේ තිබුණු ඒ තරගයේදි එයා පළමු ඉනිමේදී ලකුණු 46 කට කඩුලු 4 ක් සහ දෙවෙනි ඉනිමේදී ලකුණු 32 කට කඩුලු 6 ක් විදිහට තරගය පුරාවටම ලකුණු 78 කට කඩුලු 10 ක් අරගත්තා.


ඩිල්රුවන්ව ටෙස්ට් තරගවලට විතරක් යොදාගත්ත එක ගැන රංගිට හිතෙන්නේ මොකක්ද?


ඇත්තටම එයා මුල් කාලේ එක්දින සහ විස්සයි විස්ස තරගත් ක්‍රීඩා කරලා තියෙනවා. ඒත් එයාව ගොඩක් වෙලාවට ටෙස්ට් තරගවලට අරගත්තේ. ටෙස්ට් තරග 43 කදි ලකුණු 1303 ක් ගහලා කඩුලු 161 ක් අරගෙන තියෙනවා. මුලදි එයා සනත් ජයසූරිය එක්ක ආරම්භක පිතිකරුවෙක් විදිහටත් ක්‍රීඩා කළා.


ඔයා ඩිල්රුවන්ව දන්නේ පාසල් කාලේ ඉඳලනේ. එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණේ කොයි විදිහටද?


ඩිල්රුවන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්න වුවමනාව තිබුණෙ එයාගේ තාත්තට. ඒත් ඩිල්රුවන් තැනකට එන්න කලින් එයාගේ තාත්තා හදිස්සියේ නැතිවුණා. ඒ වෙලාවේ එයා මානසිකව බින්දුවටම වැටුණා. පස්සේ ඩිල්රුවන්ගේ අම්මා තමයි එයාගේ පස්සෙන් ඉඳලා එයාව මේ තැනට ගේන්න ශක්තියක් වුණේ. මං පෙම්වතිය උනාට පස්සේ මමත් එයාට හැමතැනදිම ලොකු ශක්තියක් වුණා.


ඒ කියන්නේ ඩිල්රුවන් මල්පාරකින් ආපු ක්‍රීඩකයෙක් නෙවෙයි නේද?


අනේ නෑ. එයා ගොඩාක් දුෂ්කරතා එහෙම විඳලා තමයි අද ඉන්න තැනට ඇවිත් තියෙන්නේ. කිව්වත් වගේ එයාට එන්න මල් පාරවල් තිබුණෙ නෑ.


අපිට ආරංචියි පොඩි ඩිල්රුවන් කෙනෙකුත් දැන් ඔය ගෙදර ඉන්නවා කියලා...


ලොකු පුතා ගැන වෙන්න ඇති ඔය කියන්නේ. ඔව් එයා ඉස්කෝලේ ක්‍රිකට් ගහනවා. අපි බලමු ඉතින් තාත්තා වගේ එයත් ඉස්සරහට එයිද කියලා. එහෙම එනවා නම් අපිත් ඉතින් ආසයි.


කොච්චර කිව්වත් හදාගන්නේ නැති වැරැද්දක් ඩිල්රුවන්ට තියෙනවා නේද?


එයා ගෙදර ඉන්නකොට කතා කරනවා හරි අඩුයි. කටින් වචනයක් ගන්න හරි අමාරුයි. සමහර වෙලාවට මට තරහත් යනවා. එයාගේ තියෙන එකම වැරැද්ද ඒක තමයි.





Previous Post Next Post