නිර්වාන්ටයි අනුත්තරටයි ළඟදීම සමුදෙනවා - සචින් ලියනගේ




සචින් ලියනගේ කියන්නෙ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. රයිගම් ටෙලි සම්මාන උළෙලේ නිර්දේශිත නම් අතර තිබුණත් ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ඔහුගෙන් ගිලිහී යනව. මේ ගැන සචින් කියන්නෙ මොනවද?. 


ජනප්‍රියම නළුවා සම්මානය ඔබෙන් ගිලිහී යනව?


සම්මානයක් කෙනෙකුට ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඒ ගැන දුකක් නැහැ. නමුත් තුන් වතාවක්ම දෙවැනි ස්ථානය දිනාගන්න පුළුවන් වුණ එක ගැන මම ගොඩක් සතුටු වෙනව. මම ක්‍ෂේත්‍රයට ඇවිත් බොහොම ටික කාලයයි. අලුත්ම ඩ්‍රාමා දෙක පටන් අරගෙන දැනට මාසයක විතර ඇති. ඒ වගේම මම ප්‍රධාන චරිතය නිරූපණය කරන පළමුවැනි ටෙලි නාට්‍යයෙන්ම තමයි මේ අවස්ථාව උදාවෙන්නෙ. මගේ ගමනත් එක්ක බලනකොට මම ලොකු තැනක ඉන්නව කියල හිතනව.


ඔබට ලැබෙයි කියල බලාපොරොත්තුවක් තිබුණද?


සම්මාන විතරක් නෙමෙයි” කිසිම දෙයක් ගැන මම බලාපොරොත්තු තියාගන්න කෙනෙක් නෙමෙයි. මගේ වැඩේ ඉවර වෙලා මම ගෙදර යනව. සම්මාන ලැබුණත් එකයි නොලැබුණත් එකයි. මගේ ෆේස්බුක් පිටුවෙවත් මට වෝට් කරන්න කියල පෝස්ට් එකක් දාල නැහැ. හරි කාලෙට හරි විදිහට මට ඒක ලැබෙයි. එතකං බලාගෙන ඉන්නව.


උද්දිකට සම්මානය ලැබීම ඔබටත් සතුටක් බව පෙනුණා?


කෙනෙක් දිනද්දි තව කෙනෙක් පරදින්න ඕන. ඒ පැරදුන කෙනා දිනපු කෙනා දිහා නපුරෙන්” වෛරයෙන් බලන්න ඕන නැහැ. මං වගේම කලාකරුවෙක්නෙ දිනන්නෙ. ඒ සතුටට නැගිටල අත්පුඩියක් ගහන්න පුළුවන්නම් ඒක තමයි මනුස්සකම


‘කියාදෙන්න ආදරේ තරම්. ඔබේ කලා දිවියේ හැරවුම් ලක්‍ෂයක් වුණා?


ඔව්” ඇත්තටම කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය මගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂයක් බවට පත්වුණා කියන්න පුළුවන්. මේ මම ප්‍රධාන චරිතය රඟපාන මුල්ම ටෙලි නාට්‍ය වගේම මගේ දෙවැනි ටෙලි නාට්‍ය. ඒ වෙනුවෙන් මෙහි රචක මහේෂ් රත්සර මද්දුමආරච්චි මහත්මයාට” සිරස මාධ්‍යට” ධනුෂ්ක අයියට” වසන්ත අයියට වගේම ප්‍රේක්‍ෂකයන්ටත් ස්තූතිවන්ත වෙන්න ඕන.


නිර්වාන්” අනුත්තර වැනි චරිත සචින්ට කොතෙක් දුරට සමානද?


සචින් කියන්නෙ ඒ දෙන්නම නෙමෙයි. නමුත් ඔවුන්ගේ ගති ලක්‍ෂණ යම් ප්‍රමාණයක් සචින් තුළත් තියෙනව.


මේ චරිත දෙකට සමුදෙන්න අදහසක් තියෙනව?


ඔව්” මම ඉල්ලීමක් කළා සිරස ටීවී ආයතනයෙන් සහ අපේ කණ්ඩායමෙන් මට ඉවත් වෙන්න අවශ්‍යයි කියල. නමුත් ඔවුන්ගේ අදහස වුණේ දැන්ම ඒක කරන්න එපා තව ටික කාලයක් ඉන්න කියන එක. මම ඒ අදහස පිළිගත යුතුයි. මොකද මම අද යම් තැනක ඉන්නව නම් ඒ ඔවුන් නිසා. බොහෝ දුරට මේ අවුරුද්දෙ ඒ වෙනුවෙන් ඉඳීවි.


‘ජානු. හි චරිතයට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනව. ඒ වගේම මම හිතුවට වඩා වැඩි ප්‍රේක්‍ෂක පිරිසක් ඒ ටෙලි නාට්‍යය වටා එකතු වෙලා ඉන්නව. කොටස් 75ක් හෝ 80ක් පමණ ප්‍රේක්‍ෂකයන්ට රසවිඳින්න පුළුවන් වේවි.


නිළියක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තා කියලත් කටකතාවක් පැතිරුණා?


ටෙලි නාට්‍යයක පෙම්වතා සහ පෙම්වතිය බොහෝ වෙලාවට සැබෑ ජීවිතයේදීත් දකින්න ගොඩක් දෙනා උත්සාහ කරනව. මෙතනදි නිර්වාන් සහ ස්නේහා කියන දෙන්නව සචින් සහ ශලනිගෙන් දකින්න උස්සාහ කරපු දෙයක් තමයි වෙලා තියෙන්නෙ. නමුත් අපි දෙන්න හොඳ යාළුවො. ඒ යාළුකමත් එක්ක ගොඩක් ෆොටෝස්” වීඩියෝස් අප්ලෝඩ් වුණා. මේ කාරණා නිසා තමයි කටකතාව පැතිරෙන්න ඇත්තෙ.


ඔබ රංගනයෙන් දායක වන තවත් ටෙලියක් විකාශනය වෙනවා?


ඔව්” ඒ හිරු ටීවී නාළිකාවේ විකාශනය වන ‘සංසාරිණී.. හොඳ ඩ්‍රාමා එකක්. හිරු එකත් එක්ක මම මේ සම්බන්ධ වෙන්නෙ අවුරුදු පහකට විතර පස්සෙ.


මේ අතරින් ඔබේ සිත් ගත් චරිතය?


එහෙම විශේෂයක් නැහැ. නළුවෙක් විදිහට මම කරන හැම චරිතයකටම මම ගොඩක් ආදරෙයි. ඒ හැම චරිතයටකට මගේ උපරිම දායකත්වය ලබා දෙනව. සමහර තැන්වල අඩුපාඩු ඇති. මොකද ම තවම අලුත් නිසා වගේම ක්‍ෂේත්‍රය ගැන ඉගෙන ගන්න නිසා.


සිනමාවටත් ආරාධනයක් ලැබුණා?


ඔව්. දැනට එක් ආරාධනයක් ලැබිල තියෙනව. බොහෝ දුරට ජූලි මාසයේ විතර ෂුටිං පටන්ගනීවි.


මේ නිසාද කියාදෙන්න ආදරේ තරම් ටෙලියෙන් ඉවත් වෙන්න හිතුවෙ?


නැහැ. මම දැනට මේ ටෙලි නාට්‍යයේ කොටස් පන්සියයකට පමණ රංගනයෙන් දායක වෙලා තියෙනව. දැන් දැන් මම දකිනව ප්‍රේක්‍ෂකයන් මේ නාට්‍ය ඇතී කියන තැනට ඇවිත් තියෙනව. එතනදි අපි නවත්වන්න ඕන. ඒක තමයි හොඳම දේ. මමත් පෞද්ගලිකව කැමති නැහැ ඒ තරම් දීර්ඝ නාට්‍යවල රඟපාන්න.


සචින්ට මගතොටදී ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


නවක නළුවෙක් විදිහට අද වන විට මම ප්‍රේක්‍ෂකයන්ගේ නොමද ආදරයට පාත්‍රවෙලා තියෙනව. අපේ පරම්පරාව ගත්තොත් ඒ අතරින් මට ලොකු ඉල්ලුමක් තියෙනව. ඒ වගේම එක නාට්‍යයක එක චරිතයක් තුළින් මේ වගේ ආදරයක් ලබන්න මම ගොඩක් වාසනාවන්ත වෙලා තියෙනව.


නිරූපණයෙන් ඉවත් වෙලාද?


නිරූපණයට සමුදීල දැන් ගොඩක් කල්. මාස හයක් විතර තමයි මම ඒ ක්‍ෂේත්‍රයේ කටයුතු කළේ. ආරාධනයක් ලැබුණොත් සළකා බලනව. නමුත් දැන් තියෙන කාර්යබහුලත්වයත් එක්ක රංගනයට එහා දෙයක් කරන්න වෙලාවක් නැහැ. මම පිටපත් රචකයෙක් නිසා කරන්න දේවල් ගොඩක් තියෙනව.


සචින් වෘත්තීයමය නළුවෙක්?


මගේ වෘත්තිය නළුකම තමයි. රඟපාන එක තමයි කරන්නෙ. නමුත් නළුවෙක් නෙමෙයි. මම තවම රංගනය කියන පාසලේ ශිෂ්‍යයෙක්. තවම පළමුවැනි පඩිය පමණයි නැගල තියෙන්නෙ. තව පඩි දහස් ගණනක් තියෙනව නළුවා කියන තැනට අඩිය තියන්න. සචින් කියන්නෙ නළුවෙක් වෙන්න හීන දකින කෙනෙක්.


කැපිලි කෙටිලි?


කැපිලි කෙටිලි ඕනෑම ක්‍ෂේත්‍රයක තියෙන දෙයක්. මම කර්මය විශ්වාස කරන කෙනෙක්. හොඳ දෙයක් කළොත් හොඳ දෙයක් ලැබෙයි. නරකක් කළොත් දැනට හරියයි. නමුත් ප්‍රතිපලය පස්සෙන් එනව.


මහේෂ් එදිරිසිංහ





Previous Post Next Post