මං නිළියක් වෙනවාට අම්මා අකැමැති වෙන්න හේතුවක් තිබුණා -චතූ රාජපක්ෂ



චතූ කොහොමද මේ දවස්වල කලා තොරතුරු?


ටෙලි නාට්‍යයක් විධියට මේ දවස්වල විකාශය වෙනවා ගගන පියවර එහි මහේෂිකාට මම රඟපානවා. මහේෂිකාට ඉතාම හොඳ ප්‍රතිචාර දකින්න තියනවා. දේශපාලනයට නැඹුරු වෙලා ඉන්න දේශපාලඥයෙක් ගේ දුවෙක් තමයි මහේෂිකා. තාත්තා කරන අකටයුතුකම් වලට දුව කොහෙත්ම කැමැති නැති සමාජශීලි තැතැත්තියක් වන ඈ හැමවිටම හරි පැත්ත වෙනුවෙන් පෙනී සිටින තැතැත්තියකගේ චරිතයක් තමයි මහේෂිකා තුළ දකින්න තියෙන්නේ. ඒ නිසාම පේ‍්‍රක්ෂකයොත් මට හොඳ ප්‍රතිචාරයක් දක්වනවා.


පසුගිය කාලයේ විකාශය වූ බන්ධනා ටෙලි නාට්‍යයේ ඔබේ චරිතයට ඉහළ පේ‍්‍රක්ෂක ප්‍රතිචාරයක් අත් කරගත්ත නොවේද?


මේ බන්ධනා ටෙලි නාට්‍යයේ බන්ධනාගේ චරිතයත් ලක්මි චරිතයත් මම මෙහි රඟපෑවා විශ්ව කොඩිකාර හා හිරාන් යක්ඕවිට සමඟ ටෙලි නාට්‍යය විකාශය වී අවසන් වුවත් අදටත් මගේ බන්ධනා චරිතයට ඉහළ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර තියනවා.


බන්ධනාට ඉහළ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර සේම මෙවර රයිගම ටෙලීස් සම්මාන උලෙළේ නිර්දේශිතයන් අතරත් ඔබ සිටියා නේද?


මෙවර රයිගම් ටෙලීස් සම්මාන උලෙළේ නැගී එන නිළියට නිර්දේශ වුණා. ඒ වගේම මේ සම්මාන උලෙළේ ජනපි‍්‍රයම නිළිය කාණ්ඩයේ ඉහළින්ම දින පහක් අඛණ්ඩව සිටියා වගේම අවසාන පස්දෙනා අතරට මට එන්නත් පුළුවන් වුණා.


හා පුරා කියා ඔබ රංගනයට එක් වන්නේ චිත්‍රපට රංගනයත් සමඟ?


2017 වසරේ තමයි මම මුලින්ම වී. සිවදාසන් මහතා ගේ පාටක් නැති ආදරයක් චිත්‍රපටයේ රඟමින් රංගනයට අවතීර්ණ වන්නේ. ඊට පස්සේ කිඩ්නැප්, ගිරිවැසිපුර, ද ගේම් චිත්‍රපට වල රඟපෑවා.


සිනමාවේ ඔබව වඩාත් කතාබහට ලක් වුණේ ගේම් චිත්‍රපට රංගනයත් සමඟ?


මේ චිත්‍රපටයේ රඟපෑ රන්ජන් රාමනායක මහතාගේ නැගණිය ලෙස තමයි මම රඟපෑවේ. ජනිත් වික්‍රමගේ තමයි මගේ බෝයි ෆ්‍රෙන්ඩ් විධියට මෙහි රඟපෑවේ. ලංකාවේ සිනමා තරුව විධියට මම සලකන රන්ජන් රාමනායක සමඟ ඔහුගේ නැගණිය විධියට රඟපාන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.


රංගන ශිල්පිනියක් ලෙසින් ගමනක් අරඹන ඔබ ප්‍රවෘත්ති නිවේදිකාවක් වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසත් වෙනස්ම මඟකත් පියවර තබනවා නේද?


2017 වසරේ සිට 2020 වසර දක්වා සිරස රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස මම වැඩ කරනවා. ඊට අමතරව රූපවාහිනි වැඩසටහන් මෙහෙය වන්නියක් ලෙසත් මම කටයුතු කරනු ලැබුවා. මේ දවස්වල රංගන කටයුතු වල නියැළී සිටින අතරතුර ස්වර්ණවාහිනීයේ නිදහස් වැඩසටහන් මෙහෙයවන්නියක් ලෙසත් කටයුතු කරමින් ඉන්නවා.


නිවේදන වෘත්තියේ ස්ථිර සේවකයෙක් නොවුණේ?


මම රංගන ශිල්පිනියක් ලෙස තමයි මේ ක්ෂේත්‍රයට පය තියන්නේ මම ගොඩක් ආශා කළේ රංගන ශිල්පිණියක් විධියට කටයුතු කරන්න.


ඔබ වඩාත් මුලින්ම කතාබහට ලක් වුණේ?


සිරස ෆිල්ම් ස්ටාර් රියැලිටි ප්‍රෝග්‍රෑම් එක හරහා තමයි මම මේ ක්ෂේත්‍රයට ආවේ. මේ ප්‍රෝග්‍රෑම් එක තුළ බෙස්ට් ඇක්ට්‍රස් හැටියට එවෝඩ් එකක් ගත්තා ඒ වගේම අවසාන මහා රාත්‍රියේ දී දෙවන ස්ථානය මෝස්ට් බියුටි ෆුල් ඇක්ට්‍රස් හැටියටත් මට සම්මානයක් හම්බ වුණා. 2018 වසරේ මේ සම්මානනීය ඇගැයුමත් සමඟ තමයි මට සිරසේ ප්‍රවෘත්ති කියන්න ලැබුණේ. නිවුස් කියන ගමන් තමයි මම රංගනයේ නියැළුණත්. කෝවිඩ් කාලයේ ගෑනු අය ප්‍රවෘත්ති කියන එක නතර කළා. ඒ සමඟම මාත් ප්‍රවෘත්ති කියන්න ගියේ නෑ. දැනටත් මාධ්‍ය ආයතනයක් නිවුස් කියන්න එන්න කතා කරලත් තියනවා. මගේ වැඩත් එක්ක තවම තීරණයක් නෑ.


ඔබේ ජිවිතය ගැන ආපසු හැරිලා බැලුවොත්?


මෝස්තර නිර්මාණය රංගනය මේ හැමදෙයක්ම මාවෙත ගලාගෙන ආවේ හරි පුදුම විධියට. මගේ පවුලේ අයට මගේ ගමේ අයට අද ලොකු ආඩම්බරයක් ඇතිවෙලා තියනවා මම ගැන. මුලදි ලොකු කට්ටක් කෑවා තමයි. රංගන ක්ෂේත්‍රයට විතරක් නොවෙයි. ඕනෙම ක්ෂේත්‍රයකට මේ වගේ කට්ටක් කන්න වීම කෝකටත් පොදුයි. ඒ හැම අභියෝගයක්ම ජයගෙන මම ඇවිත් තියන ගමන ගැන පිටුපස හැරිල බලනකොට මට මාගැනම සතුටුයි.


ඉදිරියේදිත් විකාශය වීමට නියමිත ටෙලි නාට්‍ය එහෙමත් ඇති?


මේනක රාජපක්ෂගේ තිරු ටෙලි නාට්‍ය එන්න තියනවා. තව නම නොදමා කළ ටෙලිනාට්‍ය දෙකක් තියනවා. කොටස් පහළොව ගාණේ කරපුවා හැබැයි තවම නම් යොදලා නෑ.


සිනමාව ඔස්සේ පුංචි තිරය හඳුනා ගන්නා ඔබව සිනමාවට කැඳවන් එන්නේ කවුද?


මම පෞද්ගලික ආයනයක වැඩකරමින් සිටියා. 2016 දී ඒ කාලයේ හඟුරන්කෙත තිබුණා. හිසතෙල් ගෑමේ ජාතික උත්සවයක්. මේ සඳහා එවක ජනාධිපතිව සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා පැමිණියා. හිසතෙල් ගෑමේ උත්සවයකට මම අපේ පෞද්ගලික ආයතනයෙන් යනවා. ඒ උලෙළට ප්‍රමෝෂන් එකකට ඒ වෙලාවේ මගේ රූපයක් අයි.ටී.එන්. එකේ කැමරාවේ සටහන් වෙලා තියනවා දැකපු අයි.ටී.එන්. එකේ අනුර ජයසේකර මගේ ළඟට ඇවිත් ඇහුවා. ඔයා කැමැති නැද්ද රඟපාන්න ඔයා ස්ක්‍රින් එකට ලස්සනයි. කැමැති නම් කියන්න මම චාන්ස් එකක් අරන් දෙන්නම් කියලා. ඒ වෙනකොට මට රංගනය ගැන බලාපොරොත්තුවක් තිබුණේත් නෑ. මේ ගැන අවබෝධයක් තිබුණෙත් නෑ. මම කිව්වා මම හිතලා කියන්නම් කියලා. ඒ පාර මගේ නම්බර් එක අරගෙන ගිහින් වී සිවදාසන් මහතාට දීලා තිබුණා. ඒ කාලේ සිවදාසන් මහතා චිත්‍රපටයක් කරන්න නළු නිළියෝ හොයන කාලයක්. ඊට පස්සේ සිවදාසන් මහතා මට කතා කරල කිව්වා චිත්‍රපටයක් පටන් ගන්නවා කැමැති නම් එන්න ස්ක්‍රින් ටෙස්ට් එකකට කියලා. නිකමට වගේ මමත් ගියා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන රංගන ශිල්පිනියගේ හොඳම යාළුවාගේ චරිතය කරන්න මට හම්බ වුණා. එතැනින් තමයි මගේ රංගන ජීවිතය පටන් ගත්තේ.


ඔබේ මුල්ම ටෙලි නාට්‍ය රංගනය වුණේ ?


සඳුන් රාජකරුණාගේ ආදරේ ගින්දරක්. මේ නාට්‍යයේ පුංචි චරිතයකට තමයි මම රඟපෑවේ. ඊට පස්සේ ටෙලි නාට්‍ය ගණනාවක් මට හම්බ වුණා. රඟපාන්න. වී. සිවදාසන් මහතාගේ චිත්‍රපටයේ රඟපෑමත් සමඟ සහය අධ්‍යක්ෂවරුන්ගේ මාර්ගයෙන් එකිනෙකාට මගේ දුරකතන අංකය ගියහම ඔවුන් මට කතා කරන්න පටන් ගත්තා. ඒ අයගේ නිර්මාණවලට. ඊට පස්සේ ටී.වී කොමෂල්වලට කතා කළා. මියුසික් විඩියෝවලට කතා කළා. මගේ මුල්ම ටෙලි නාට්‍ය රංගනයෙන් පස්සේ කොළඹ අපි ආවා. රතු පිච්ච ටෙලි නාට්‍ය ලැබුණා. ඊට පස්සේ තමයි මට සිරස ෆිල්ම් ස්ටාර් ප්‍රෙ‍්‍රීග්‍රෑම් එකට සම්බන්ධ වන්නේ. මෙහිදී මට නොසිතූ ලෙස තැනක් ලැබීමත් සමඟ මම පෞද්ගලික ආයතනයක කළ රැකියාවට සමු දී රංගනයට පෙලඹෙනවා.


කුඩා අවදියේ පටන් ඔබේ සිහිනයක් වුණා ද රංගන ශිල්පිනියක් වන්න.


මම ගොඩක් ආශයි නර්තනයට. නර්තන ගුරුවරියක් වන්න තමයි මගේ එකම ආශාව වුණේ. ඒ හීනය බොද වුණාට පස්සේ කවුරු හරි වෙන්න ඕනේ කියල මට හිතුණෙත් නෑ. නිවුස්රිඩ කෙනෙක් රංගන ශිල්පිනියක් මෝස්තර නිරූපණ ශිල්පිනියක් නිවේදිකාවක් මේ හැම දෙයක්ම මම නොසිතු ලෙස මගේ ජිවිතයට එකතු වුණා. ඒ නිසා මගේ ජිවිතය දිහා ආපසු හැරිලා බලන කොට මම මම ගැනම ආඩම්බරයි.


කුඩා කල පටන් චතූ නර්ථනයට පෙම් කළා කිව්වොත්?


මම ඉපදුණේ බදුල්ලේ පදිංචි වෙලා හිටියේ. මගේ මවගේ ගම වූ බිබිලේ. දැන්නම් මම පිළියන්දල තමයි පදිංචි. මගේ පාසල වුණේ බිබිලේ මො/ නන්න පුරාව මහා විද්‍යාලය පාසලේදී මම නැටුම් වලට හරි දක්ෂයි. මට නමක් පට බැදිලා තිබුණා. නැටුම් කරන චතුරිකා කියල අදටත් මම ගැන පාසලේ ගුරුවරු කතා කරනවා.


දුව නිළියක් වනවාට දෙමාපියන් ආශිර්වාද කළාද?


නෑ. මුලින්ම මගේ අම්මා මට කිව්වේ මේ වෘත්තීය තෝර ගන්න එපා කියලා. ඒකට හේතුව ලෙස අම්මා කිව්වේ. මේ ක්ෂේත්‍රයේ කවුරුන් හෝ ශිල්පිනියක් කළ වැරදි දෙයක් නිසාවෙන් සමස්ථ නිළියන් දෙසම ඒ දුෂ්ඨි කෝණයෙන් බැලීම. ඒ නිසාම මට වෙන ජොබ් එකකට ගිහින් වැඩක් කරන්න තමයි කිව්වේ. නමුත් මම එකින් එක ගන්න ජයග්‍රාහී පියවරවල් දැක්කම ඒ අකමැත්ත ටිකෙන් ටික අඩුවුණා. එයාල පසුව දැනගත්තා මගේ නියම තැන මෙතනයි කියලා. අද වෙනකොට මගේ අප්පචිච්ට මගේ අම්මාට ලොකු ආඩම්බරයක් වෙලා තියනවා මම.


ඔබ විවිධ පැතිකඩයන් බොහොමයක් ඔස්සේ විහිදුණු ශිල්පිනියක්.? මේ තුළින් ඔබ වඩාත් සිත් ගත්තේ ?


මුලින්ම මට ඕනෙ වුණේ මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වෙන්න. නමුත් මම රෑන්ක් කරපු ටොප් මෝඩල් කෙනෙක් නොවෙයි. හැබැයි පසුකාලීනව මම රංගන ශිල්පිනියක් වුණා. එතකොට මම ආශා කළා. චතූ රාජපක්ෂ කියන රංගන ශිල්පිනියට ඊට පස්සේ ටික කාලකින් මම ප්‍රවෘත්ති නිවේදිකාවක් වුණා. ඊට පස්සේ මාව කවුරුත් හැඳින්වුයේ සිරසේ නිවුස් කියන චතූ කියල හැබැයි රංගන ශිල්පිනියකට වඩා නිවුස් කියන කෙනෙක් කිව්වහම සමාජයේ ලැබෙන තැන එයා ගැන මිනිස්සු කතා කරන විධිය හාත්පසින්ම වෙනස්. පිළිගැනීම තියනවා. ඒ කාලේ මම ආශා කළේ නිවුස් කියන චතූ කියනවට. හැබැයි මෑතකාලෙ මම ප්‍රසන්ට කෙනෙක් නොවෙයි. හොඳ ගරුත්වයක් හොඳ පිළිගැනිමක් තියන රංගන ශිල්පිනියක් විධියට තමයි අද මාව දකින්නේ. බන්ධනා ටෙලි නාට්‍යයේ බන්ධනාගේ චරිතයෙන්.


චතූ රාජපක්ෂ අද කැමැති නමින් කතා කරනවාටද? බන්ධනා කියල කතා කරනවා ටද?


බන්ධනා යන්න කලින් මම හිටිය ටෙලි නාට්‍යක් ගියා. ඇය නමින් එකේ මම රඟපෑවේ රිතූට. ඒ දවස්වල මට කවුරුත් කිව්වේ රිතූ කියල රිතූ කිව්වත් බන්ධනා කිව්වත් චතූ කිව්වත් ඒ මම නිසා මට හරිම සතුටුයි.


චතූ අද වෙනකොට චරිත වලට කොටුවෙලා ද?


නෑ. මම විවිධ චරිත රඟපාල තියනවා. පෙම්වතිය, විතරක්ම නොවෙයි. නපුරු චරිත, මවකගේ චරිත එහෙමත් කරල තියනවා. වස්දඬුමානය ටෙලි නාට්‍යයේ මවක් ලෙස මම රඟපෑවා. මගේ තාරුණ්‍ය මේකප් එකෙන් මහලු බවට පත්කරලා.


තවමත් නොලැබුණු ඔබ ආශාවෙන් ඇති චරිතත් ඇති නේද? ඔබට රඟපාන්න?


තියනවා. මම ආසයි. චීත්ත ගවුමක් ඇදල ගැමි චරිතයක් කරන්න. ඒත් මට තවම ඒ වගේ චරිතයක් ලැබුණේ නෑ. මගේ තියන වෙස්ටන් ලුක් එකට ලැබෙන්නේම එයට සමාන චරිත. මට ගමේ ඉපදුණු ගෑනු ළමයෙක්. ඒත් පෙනුම නගරේ වුණාට මම රඟපාල දෙයක් මේ වෙනකොට පෙන්නල තියනවා. ඉතිං මම ආසයි ගැමිකම පිරි චරිතයක් කරන්න.


චතූ මෙතෙක් දායක වූ වැඩිම ටෙලි නාට්‍ය ප්‍රමාණයක් නිර්මාණය වී තිබෙන්නේ මෙගා ගණයේ දිර්ඝ ටෙලිනාට්‍ය ලෙස නේද? මේක සාර්ථකයි කියා ඔබ සිතනවාද?


සමහරු මුල දී කියනවා කොටස් සියයයි තියෙන්නේ කියලා. නමුත් විවිධ හේතු නිසා. තව තවත් ඇදගෙන යනවා ඒකෙන් වෙන්නේ කතාවේ තියන රසය අඩුවීම. මිනිස්සුන්ට නළු නිළියන් ටෙලි නාට්‍යයත් එපා වීමක් වගේම නාළිකාවත් එපා වීමක්. මම කියන්නේ ටෙලි නාට්‍යයක් පටත් ගත්තොත් ඉවර කරන තැනින් ඉවර කරනවා නම්, පේ‍්‍රක්ෂකයාට හොඳ මතකයක් ඉතිරි කරල නතර කරන්නත් පුළුවන් වගේම තව හොඳ නිර්මාණයකටත් කාලවේලාවක් වෙන් වෙනවා.


මේ දවස්වල චිත්‍රපට සඳහා ආරාධනා නැද්ද?


වී.සිවදාසන් මහතාම මට චිත්‍රපටයකට කතා කළා. ඒක තවම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ මා රඟ පෑ ගිරිවැසිපුර චිත්‍රපටය නුදුරේදී තිරගත වීමට නියමිතයි. මම ඒ චිත්‍රපටයේ බිසවකගේ චරිතයක් රඟපෑවා.


රඟපෑ චිත්‍රපට අතුරින් රංගනයෙන් යමක් කළ හැකි වුණේ මොන නිර්මාණය තුළින් ද?


ද ගේම් චිත්‍රපටය තුළ මට දෙයක් කරන්න තිබුණා. කෑ කෝ ගහන්න පෙම්වතා සමඟ පෙම්සම්බන්දතාවක් ගොඩනඟා ගන්න. මගේ නර්තන හැකියාව පෙන්නන්න පවා මට අවස්ථාව උදාවුණා. පුළුල් තිරයේ වැඩි කාලයක් රැඳී සිටින්න. මට අවකාශ උදා කළේ ද ගේම් චිත්‍රපටය.


ඉදිරියටත් රංගන ශිල්පිනියක් ලෙස ඉදිරිගමනක් ද ඔබ අපේක්ෂා කරන්නේ?


දැනට එහෙමයි. නමුත් මගේම කියල ව්‍යාපාරයක් පටන් ගෙන තියනවා. මම මෙතන ඉන්න ඕනෙ කියල ඒක බදාගෙන සිටීමක් නෑ. අපි තව අයටත් ඉඩකඩ ලබාදිය යුතුයි.


චතූ ඉන්නවා හොඳේ අපිටත් කැරැක්ටර් නැද්ද කියල අධ්‍යක්ෂවරුන්ගෙන් අහන නිළියක් ද ඔබ?


කොහෙත්ම නෑ. මට ඩිරෙක්ටර්ල නිෂ්පාදකයෝ කියන දෙයක් තමයි එයාලට මම පෞද්ගලිකව කතාකරන්න නෑ කියල. ඒ නිසාම එයාලට මාව අමතකත් වෙනවලු. අද වෙනකන් මම චරිත ඉල්ලපු කෙනෙක් නොවෙයි. යාළුකමට කලින් නිර්මාණයේ හිටිය කියල මාව නිර්මාණවලට අරන් නෑ. මගේ පවුලේ කවුරුවත් රංගනයට සම්බන්ධවත් නෑ. මගේ හැකියාවට වගේම මටම මේ චරිතය දෙන්න ඕනෙ කියල. මගේ ටැලන්ට් එකට චරිත දුන්නා ඇරෙන්න. වෙන කිසිම හේතුවකට මට චරිත හම්බ වෙලා නෑ. ඒ නිසා මම ආ ගමන ගැන මට සතුටුයි.


එන නිර්මාණ හැමදෙයක්ම භාර ගන්න නිළියක් ද ඔබ?


කොහොමත්ම නෑ. නිර්මාණ දෙක තුනක් මම භාරගන්නෙත් නෑ. එකක් කරල තව එකක් භාර ගැනීමට තමයි මගේ කැමැත්ත. නමුත් ගැටලුවක් නොවන්න තවත් එක් නිර්මාණයක් භාරගෙන වැඩකරන්නත් මම අකමැති නෑ. මම දිහා ප්‍රශ්න තියන නිළියක් නොවෙයි. කාලය මට ඕනෙ තරම් තියනවා රඟපාන්න. මේ චතූ බිසී නිළියක් නම් නොවෙයි.


අද ටෙලි නාට්‍යවලින් බොහෝ පේ‍්‍රක්ෂකයා ඈත් වෙලා නොවෙයිද?


ඈත් වෙලා කියල මමත් හිතනවා. ඒකට හේතු ගණනාවක් තියනවා. අද හිටිය නළුවා හෙට නෑ. ප්‍රවීණයන් කියන නළුවෙක් නිළියක් ඇහැට දකින්න නෑ. දවස ගාණේ නිර්මාණයේ නළුවෝ අලුත් ඉතිං කොහොමද පේ‍්‍රක්ෂකයා අපිත් එක්ක රැඳෙන්නේ?


අද තියෙන්නේ බහුලව නිර්මාණ නොවෙයිනේ. තිබ්බ ගැහුව පුරුද්දපු කලාවක්නේ?


අද ස්ක්‍රිප්ට් නෑ. පටන් ගන්න කොට ස්ක්‍රිප්ට් එකක් කියල මොකක් හරි තියනවා. මැදට යන කොට ඒකත් නෑ. රඟපාන්න ගියහම තමයි කතාව එන්නේ මුලත් අමතකයි. මැදත් අමතකයි, අගත් අමතකයි. අපිත් එක්ක රඟපෑ නළු නිළියොත් අමතකයි. කොටින්ම කියනවා නම් චරිතෙත් අමතකයි.


දැන් අලුත් ට්‍රෙන්ඩ් එක වෙලානේද අවුරුදු කුමර කුමරියෝ ටෙලි නාට්‍යවල ප්‍රධාන චරිත රඟපාන අය වීම.


ඕක වෙන්නේ රූපවාහිනි ආයතන සංවිධානය කරන අවුරුදු උත්සව සමඟ අවුරුදු කුමර කුමරියෝ ආතක් පාතක් නැතුව ඒ චැනල් වලින් කරන ටෙලි නාට්‍යවලට කැරැක්ටර්වලට ගන්නවා. රඟපෑම ගැන කිසිවක් දන්නැති ළමයි. මේවට ඇවිත් තමන් විතරක් නොවෙයි. කලාව කියනදේ්ත් විනාශ කරනවා. ඒක මහා අපරාධයක් මොන දේ කරන්නත් ඉගෙනුමක් තියෙන්න ඕනේ. ප්‍රවීණ නළු නිළියන් කීප දෙනෙක් අරන් ඒ අතරේ මේන් රෝල් ආධුනිකයන්ට දීල ප්‍රවීණයන්ටත් කරන්නේ නව නිග්‍රහයක් ආර්ථික අපහසුතා නිසාම ප්‍රවීණයොත් දැන දැනම මේවට සහභාගි වනවාත් ඇති. මොනව කරන්න ද කවුරුත් ජීවත් වෙන්න එපායැ.


චතූ මුදල මත බැට කාපු නිළියක්ද?


ඔව්. ගියවසරේ මම රඟපෑ ටෙලි නාට්‍ය තුනක නිෂ්පාදකයන්ගෙන් මට මුදල් එන්න තියනවා. අදටත් ඔවුන් මඟ හරිමින් ඉන්නේ. කොටස් සිය ගාණක ප්‍රවීණ ආධුනික නළු නිළියන් ඇතුව ටෙලි නාට්‍ය පටන් ගන්නවා. කියන කොට කියන්නේ නංගි මේක ලෝබජට් එකක් කියලා. ඇයි දෙයියනේ මම අහන්නේ මෙච්චර කාස්ට් එකක් අරන් ලෝ බජට් කියන්නේ. ඒ හැමෝම නිකන් රඟපානවා කියල ද මේ වගේ සටකපටකම් වලින් අද මේි ෆීල්ඩ් එක පිරිල මම වැඳල කියනවා. නිෂ්පාදකයන්ට චැනල් වලින් සල්ලි අරන් ගෙවන්න කලින් දෙයියනේ කියල සල්ලි ටිකක් එකතු කරගෙන ටෙලි නාට්‍යයක් කරන්න. තමන්ගේ නමත් තියාගෙන අන්තිමට වෙන්නේ අම්මා තාත්තාගේ ඉඳල දරුවටත් දෙස් දෙවොල් තමයි අහන්න වෙන්නේ. මේවගේ තුට්ටු දෙකේ වැඩ නිසා.


වේදිකාවට ඔබ අකමැතිද?


නෑ. වේදිකාව රංගශිල්පියෙකුට විශ්ව විද්‍යාලයක් කිව්වොත් නිවැරදියි. උත්සාහ ගන්නවා. වේදිකා නිර්මාණයක් වෙනුවෙන් දායක වෙන්න. ඒ සඳහා වැඩිකාලයක් ශ්‍රමයක් වැය කරන්න වෙනවා. රංග ශිල්පයේ දුරගමනක් යන්න වේදිකාව සැබැවින්ම අතැඹුලක්.


කොහොමද පවුලේ තොරතුරු?


මගේ සැමියා ව්‍යාපාරිකයෙක්. ඔහු දර්ශන ඩී. කොස්තා මට ඔහු හමුවුණේ. ව්‍යාපාරිකයෙක් ලෙස නොවෙයි. අපි දෙන්නා විවාහ වෙලා අවුරුද්දකින් පමණ මගේම අදහසක් අනුව අපි දෙන්නාගේම එකතුවෙන් ව්‍යාපාරයක් පටන් ගත්තා. අද වෙන කොට එහි සාර්ථක ඵල අපි දෙන්නම නෙළාගෙන ඉවරයි. මට තාත්තා අම්මා හැරුණු කොට අක්කා කෙනෙක්. නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නවා.


ගහට ගහක් මොරටුවේ දී මුණ ගැහෙනවා කියලා කතාවක් තියනවා වගේම. ඔබේ රංගන ජිවිතයේත් එහෙම සිද්ධියක අත්දැකීම් ඔබ සතුයි නේද?


2016 දී මාව මුලින්ම රංගනයට හඳුන්වා දුන් අනුර ජයසේකර මහතා මට එකට මුණ ගැහෙනවා. වසර හතකට පස්සේ ගගන පියවර ටෙලි නාට්‍යයේදී අපි දෙන්නට එකට රඟපාන්නත් ලැබෙනවා මේ නිර්මාණය තුළ මම ගෙනා කෙල්ලෙක් නේද මේ අද මාත් එක්කම එකට රඟපාන්නේ කියල අනුර අයියා. මට සුබපතන්නේ හරියට දෛයිවෝපගත ලෙසින්.





 

Previous Post Next Post